පදවිය රක්ෂිතය පිහිටා ඇත්තේ කැබිතිගොල්ලෑව නගරය මැදිකරගෙනය. වවුනියාව සහ හොරොව්පොතාන මාර්ගද ඒ ආසන්නයෙන් විහිදී යයි. පදවිය රක්ෂිතය සහ ඒ අවට වනාන්තරවල ජීවත්වන වන අලි වැසි සමය ආරම්භ වීමත් සමග කැබිතිගොල්ලෑව අවට ගම්වලට පැමිණෙන්නට පටන්ගනී. එලෙස ගම්වදින වන අලි රංචු පිටින් ගම ආශ්‍රිතව ඇති දෑ ආහාරයට ගනිමින් කාලය ගතකරන්නේ වැසි සමය නිමාවී වැව්වල ජල මට්ටම අඩුවන තුරුය. යාන්ඔය ප්‍රදේශයේ දැකගත හැකි වන්නේ පදවිය සහ වාහල්කඩ ප්‍රදේශවල ජීවත් වන වන අලින්ය. ඊට හේතුව එහි වැඩෙන ළපටි තෘණ විශේෂයන්ය. වන අලින්ට හිතකර එම යාන්ඔය ප්‍රදේශයේ වන අලි 500ක පමණ පිරිසක් කාණ්ඩ වශයෙන් බෙදී වෙන වෙනම එහි කාලය ගතකරයි. ඒ අතර ඇතුන් 20ක පමණ ප්‍රමාණයක් ජීවත් වූ අතර, එහි වයස අවුරුදු 35-40 අතර ඇතුන් සිටියේ ඉතා සීමිත පිරිසකි. පදවි රක්ෂිතයේ පදවි වැව ආශ්‍රිතව ‘මහේෂාක්‍ය’ නමින් හඳුන්වන ඇතකු සිටි අතර, එම ඇතා වාහල්කඩ ප්‍රදේශයට ගොස් එහි සිටි ‘ධනුද්ධර’ නම් ඇතා සමග ගැටුමක් ඇතිකරගෙන මියගියේය. ඒ වනවිට මහේෂාක්‍යගේ වයස අවුරුදු 45ක් පමණ විය. පසුව ධනුද්ධර ඇතාද මියගියේය. මේ වනවිට ජීවත්ව සිටින වයස 35 ඉක්මවූ විශාල ඇතුන් වන්නේ ‘ගජබාහු’, ‘බුවනෙක’, ‘මේඝ’, ‘දප්පුල’ යන ඇතුන්ය. ඊට අමතරව වයස අවුරුදු 15-20 තරුණ ඇතුන් ලෙස ‘දීඝාභය’, ‘අනුත්තර’, ‘දන්ත’, ‘කේනුල’, ‘වෙස්සගිරි’ හඳුන්වා දිය හැකිය. ඔවුන් අලුත් පරපුර නියෝජනය කරන ඇතුන්ය. වයස අවුරුදු 4-5 ඇතුන්ද ඇතුළුව මේ වනවිට ජීවතුන් අතර සිටින සමස්ත ඇතුන් සංඛ්‍යාව 15කට පමණ සීමාවී තිබේ. ඒ අතරින් වයස 35-40 අතර විශාල ප්‍රමාණයේ ඇතුන් සිටින්නේ 4 දෙනකු පමණි. ‘ගජබාහු’, ‘ධනුද්ධර’, ‘මේඝ’ සහ ‘දප්පුල’ එම ඇතුන් සිවුදෙනාය. මීට වසර කීපයකට පෙර දිගු දළ සහිත සද්ධන්ත ඇතුන් කිහිප දෙනකුම සිට ඇති අතර, ඔවුන් මේ වනවිට අතුරුදන්ව සිටී. මෙතෙක් හඳුනා නොගත් ඇතුන් දෙතුන් දෙනකුද තවදුරටත් වනාන්තර අභ්‍යන්තරයේ සිටිය හැකි බවට විශ්වාස කෙරේ.
ඇතුන් සොයා එන සංචාරකයන්, වනජීවී ඡායාරූප ශිල්පීන් අතර ජනප්‍රියම ඇතා වන්නේ ‘ගජබාහු’ය. හොඳ ජවසම්පන්න, තේජාන්විත පෙනුමක් ඇති ගජබාහු යාන්ඔය, පදවිය, වාහල්කඩ ආශ්‍රිතව බහුලව දැකගන්නට ලැබේ. ‘මේඝ’ සහ ‘බුවනෙක’ යන ඇතුන්ද ඇත් ලෝලීන් අතර ජනප්‍රිය චරිතයන්ය. මියගිය ඇතුන් අතර සිටි තේජාන්විත ඇතුන් ලෙස ‘මහේෂාක්‍ය’ සහ ‘ධනුද්ධර’ හඳුන්වාදිය හැකිය.
වැසි සමයේදී වැව් පිරී යද්දී අලි ඇතුන් පදවි මාර්ගය ආශ්‍රිතව ඇති ගම් ආසන්නයට පැමිණීම ඉහළ යයි. ඊතල්විද්ද වැව, සමාධිගම, නබඩවැව, තිත්තගෝනෑව, සිංහයාඋල්පත, යකාවැව, ඉඳිගොල්ලෑව, කණුගහවැව, තල්ගහවැව, හල්මිල්ලවැටිය යන ගම් එලෙස වන අලින් නිතර ගැවසෙන ප්‍රදේශයන්ය. කෙසේ වෙතත් වැසි ජලය බැසගිය පසු වැව් පිටිවලට එන වන අලින් මුහුණපාන ප්‍රධාන ගැටලුව වන්නේ ගවයන් රංචු වශයෙන් එම පිටිවල ඇති තණකොළ ආහාරයට ගැනීමයි. ඒ අනුව අලි ඇතුන්ට ආහාර හිඟ වීම හඳුනාගත හැකි ප්‍රධාන ගැටලුවකි. වන අලි ගම්වැදීමට එම ආහාර හිඟයද බලපාන බව පැහැදිලිව දැකගත හැකිය.
මෑත ඉතිහාසය දෙස බලද්දී මීට වසර 12කට පමණ පෙර තිබූ වනාන්තර අද දකින්නට නැත. වන අලින්ගේ ජීවිත පෝෂණය කළ තෘණ භූමිද අද නැත. ඒ සියල්ලට හේතුව අවිධිමත් සහ සැලසුමකින් තොර ඉදිකිරීම්ය.
අලි – මිනිස් ගැටුමට ප්‍රධාන හේතුව ලෙස අපගේ නිරීක්ෂණයට අනුව කිව හැක්කේ අලිමංකඩවල් වසාදැමීමය. අනවසරයෙන් කැලෑ එළිපෙහෙළි කිරීම් සහ අනවසර වගාකිරීම්ය. නිසි කළමනාකරණයකින් තොර මිනිස් ක්‍රියාකාරකම්ය. එම මිනිස් ක්‍රියාකාරකම් නියාමනය කර, අලිමංකඩවල් යළි විවෘත කිරීමටත්, වැව් පිටිවලට අලින්ට පිවිසීමට ඉඩ සැලසීමටත් බලධාරීන් පියවර ගන්නේ නම්, අලි මිනිස් ගැටුම 50%ක් පමණ අඩුකරගත හැකිවනු ඇත.
වන අලි ජීවිත බිලිගන්නා ප්‍රධාන සාධක ලෙස හක්කපටස්, බඳින තුවක්කු සහ අනවසර විදුලි රැහැන් දැක්විය හැකිය. එසේම වෙඩිතැබීම් නිසා ඇතිවන තුවාලවලින්ද වන අලින් ජීවිතක්ෂයට පත්වෙයි. එසේ වුවද ස්වභාවික හේතූන් නිසා වන අලින් මියයෑම් 1%ක් තරම්වත් වාර්තා වන්නේ නැත.
අද වනවිට මූනිස්සමක සලකුණක් සිරුරේ නොමැති වන අලියෙක් සොයාගැනීම අතිශයින් දුර්ලභය. කුඩාම අලි පැටවාගේ පටන් සද්ධන්ත හස්තියා දක්වා සෑම සතෙකුගේ සිරුරේම වෙඩිපහරක සලකුණක් හෝ තුවාලයක් දැකගත හැකිය. ඒ තරමටම එම සතුන්ගේ ජීවිත ඇත්තේ දැඩි අවදානමකය.
වනාන්තර එළිපෙහෙළි කිරීම සහ ජනාවාසකරණය හේතුවෙන් වන අලි සම්පත එන්න එන්නම අඩුවන බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය. එදා සිටි සද්ධන්ත ඇතුන් අද දකින්නට නැත. එදා සිටි අලි රංචු අද දකින්නට නැත. ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා විධිමත් සැලසුමක් සහිතව රජය ක්‍රියාත්මක නොවුණහොත් නුදුරේදීම මෙම වටිනා සම්පත රටට අහිමි වීම වැළැක්වීමට නොහැකි වනු ඇත.
තොරතුරු සැපයීම
ප්‍රියංජන දිල්මිත් (කැබිතිගොල්ලෑව)










