‘දකුණු කොරියාවේ උපත් අනුපාතය නොහොත් ජනගහනය පහත වැටීම තදබල ප්‍රශ්නයක් ලෙසට පත්ව තිබෙනවා. විශේෂයෙන් අපගේ රටේ පළාත් ප්‍රදේශවලට මෙම තත්ත්වය දරුණු ලෙස බලපා තිබෙනවා. මෙම ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් මම යෝජනා කරනවා. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා මම යෝජනා කරනවා ශ්‍රී ලංකාවෙන් දකුණු කොරියාවට තරුණ කන්‍යාවන් ආනයනය කළ යුතුයි කියලා. ඉන් පසුව එම ලාංකික තරුණියන් අපගේ දේශීය පිරිමින්ට විවාහ කර දිය හැකියි. දකුණු කොරියාවේ කලාප 89ක් මෙම වත්මන් ජනගහනය පහත වැටීමේ ප්‍රශ්නයට මුහුණ දී සිටිනවා. එයින් කලාප 20ක්ම පිහිටා තිබෙන්නේ මෙම ජෙයෝල්ලා ප්‍රාන්තයේය. මෙහිදී මම යෝජනා කරනවා ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවෙන් මෙන්ම මෙම කන්‍යාවන් අපට වියට්නාමයෙන්ද ආනයනය කළ හැකියි…’
කුමක්ද මෙලෙස ඇසෙන අපූරු, රසවත් කතාන්දරය? කන්‍යාවක් යනු අර්ථ දැක්වෙන්නේ ලිංගික සංසර්ගයට භාජනය නොවූ ස්ත්‍රිය යන්නයි. කන්‍යාව යන වදනට ඉංග්‍රීසි බසින් ‘වර්ජින්’ යන වචනය භාවිත කෙරෙයි. ලෝකයේ බොහෝ රටවලින් කන්‍යාව යන්න ආශ්‍රිතව විවිධ කතාන්දර රාශියක්ද ඇසෙයි. ක්‍රිස්තියානි ආගම තුළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මවුතුමිය හැඳින්වීමටද කන්‍යාව යන වදන භාවිත කෙරෙයි. මේ ආකාරයට කන්‍යාවන් අර්ථ දැක්වීම සිදුකෙරෙයි. මෙවැනි වටපිටාවකදී අපගේ ශ්‍රී ලංකාවට අදාළව මෙසේ අසන්නට ලැබෙන කන්‍යාවන්ගේ කතාව කුමක්ද? ශ්‍රී ලංකාවේ දේශපාලනයටද අදාළව යම් කාලවකවානුවකදී කන්‍යාවන් හත් දෙනකුගේ කතාවක්ද අසන්නට ලැබිණි. මේ සියල්ලක් ලියා තබන්නට මෙහි ඉඩක් නැත. එහෙයින් ශ්‍රී ලංකාවට අදාළව අසන්නට ලැබුණු මෙම කන්‍යාවන්ගේ අලුත්ම කතාන්දරය කුමක්දැයි සොයා බලමු.
ලෝකයේ අතිශයින්ම දියුණු සහ ධනවත් රටක් ලෙස සැලකෙන දකුණු කොරියාවෙන් මෙම කතාව අපට අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට පෙරදීය. එනම් දකුණු කොරියාවේ වත්මන් පාලක පක්ෂය වන කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (The Democratic Party of Korea) දේශපාලකයකු වන ජීන්ඩෝ ප්‍රාන්තයේ ආණ්ඩුකාර කිම් හී සූ (Kim Hee-soo, Jindo County Governor) විසින් මෙම අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබිණි. එනම් මෙම ප්‍රකාශයෙහි බැරෑරුම් බව ප්‍රකාශ වන්නේ අපගේ ශ්‍රී ලංකාවෙහි නාමය පැහැදිලිවම සඳහන් කිරීමය. ඒ සමගම තවත් ආසියාතික රටක් වන වියට්නාමයේ නමද සඳහන් කර ඇත. මෙම කොරියානු ආණ්ඩුකාරවරයා විසින් මෙම සුවිශේෂ ප්‍රකාශය සිදුකර ඇත්තේ පසුගියදා එම ප්‍රාන්තයේ පැවැති නගර සභා රැස්වීමකදීය. එම රැස්වීමට සිය ගණනක පිරිසක් නිල වශයෙන් සහභාගි වී සිට ඇත. ඔහු මෙම ප්‍රකාශය සිදුකරන විටදී රැස්ව සිටි පිරිස එම මාතෘකාවට විස්මිතව සිටි ආකාරයද දක්නට හැකි විය.
ඔහුගේ එම ආන්දෝලනාත්මක ප්‍රකාශය තවදුරටත් කියා සිටින්නේ කුමක්දැයි සොයා බලමු.
‘අපගේ රටේ ජනගහනය වඳවීමේ තත්ත්වය ඉතා බලවත් ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අපට මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම නීතිගත කළ නොහැකි නම් ග්‍රාමීය ප්‍රදේශවල තනිකඩ පිරිමින්ට විවාහ කර දීම සඳහා ශ්‍රී ලංකාවෙන් හෝ වියට්නාමයෙන් තරුණ කන්‍යාවන් අවශ්‍ය ප්‍රමාණයට මෙරටට ආනයනය කළ හැකියි. කාර්මික පුනර්ජනීවනයට පමණක් මෙම ජනගහන වඳවීමේ අර්බුදය විසඳිය නොහැකියි. ඒ නිසා රාජ්‍ය මට්ටමින් සහ පළාත් පාලන මට්ටමින් ආයතනික ප්‍රතිචාරයක් සහ ක්‍රමවේදයක් අවශ්‍යයි. ජනගහන පරිහානියේ ව්‍යුහාත්මක ගැටලු නිසා දැනට ධීවර සහ ගොවිතැන් ප්‍රජාවටද බලපා තිබෙනවා…’
දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. අපගේ ශ්‍රී ලංකාවේ නාමය පැහැදිලිවම ප්‍රකාශ කරමින් මෙසේ සිදුකළ කතාව මේ වනවිට බොහෝ පාර්ශ්වවල මතභේදයට තුඩුදී තිබේ. දකුණු කොරියාව මෙසේ වර්තමානයේ මුහුණදී තිබෙන ජනගහන අර්බුදය යනු කුමක්ද?
දකුණු කොරියාව යනු ලෝකයේ අඩුම දරු උපත් අනුපාතය ඇති රට බවට පසුගිය අගෝස්තු මාසයේදී බීබීසී මාධ්‍ය සේවය විසින් වාර්තා කර ඇත. එසේම එය නිතිපතා තමන්ගේම වාර්තාව බිඳදමමින් සිටින බව වාර්තා වෙයි. එය 2018දී කාන්තාවකට උපත් ප්‍රතිශතය 0.98ක්, 2020දී 0.84ක්, 2023දී 0.72ක් සහ 2024දී 0.71ක් ලෙසටද පහත වැටී ඇත. මෙම පහත වැටීම නිසා එම ප්‍රවණතාවට අනුව විශේෂඥයන් ඇස්තමේන්තු කරන්නේ රටේ ජනගහනය මිලියන 50ක් තවත් වසර 60ක් පමණ යනවිට හරි අඩකින් අඩුවිය හැකි බවයි.
මෙම තත්ත්වය දකුණු කොරියාවට විශාල අර්බුදකාරී තත්ත්වයක් ඇතිකරනු ඇත. මෙයින් පෙන්නුම් කර සිටින්නේ ‘උපත් සරුභාවය’ නොහොත් ‘උපත් සශ්‍රීකත්වය’ (Fertility Rate)ය. මෙය තවත් සරල ආකාරයකින් පැහැදිලි කළ හැක්කේ, දරු උපත් සිදුකිරීමේ හැකියාවයි. මේ අනුව එම ක්‍රියාවලිය දකුණු කොරියාවේ ඇත්තේ පහත් අනුපාතයකටය. මෙයට ප්‍රධාන හේතුවක් ලෙස තරුණ පරම්පරාවේ උපත් පාලනය මෙන්ම තවත් හේතු සාධක ගණනාවක් බලපා ඇත. මේ නිසා එරට කාන්තාවන් බොහොමයකට දරුවන් ලබා සිටින්නේ එක් අයකු පමණක් බැව් ප්‍රකාශ වෙයි. මේ අතර කොරියානු කාන්තාවන්ගේ උපත් සරුභාවය තවත් පහත වැටීමට හේතුවී ඇත්තේ දුම්පානය, මද්‍යසාර භාවිතය, බර වැඩීවීම හා බර අඩුවීම මෙන්ම තයිරොයිඩ් ඌනතා රෝග බවද ජාත්‍යන්තර වෛද්‍ය වාර්තා පෙන්වා දෙයි. එවැනි වටපිටාවක් තිබියදී දැන් ඔබ මෙම කතාවේ කූටප්‍රාප්තියකට පැමිණ සිටින්නේය.
දකුණු කොරියාවේ ජනගහන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් තරුණ කන්‍යාවන් ආනයනය කළ යුතු යැයි කියූ එරට දේශපාලනඥයකු වූ ආණ්ඩුකාර කිම් හී සූ බලවත් අකරතැබ්බකට මුහුණ දුන්නේය. එනම් විදේශ රටවල නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිදුකළ ප්‍රකාශය නිසා දකුණු කොරියාවත්, එසේම අනෙක් විදේශ රටවල්ද අපහසුතාවට පත්වූ බවට එරට පාලක පක්ෂය චෝදනා කළේය. ඒ අනුව එරට පාලක පක්ෂයේ ඒකමතික තීරණයක් මත මෙම චූදිත ආණ්ඩුකාරවරයා එම පක්ෂයෙන් සහ ආණ්ඩුකාර ධුරයෙන් නෙරපා දමා ඇත. පසුගියදා පැවැති එම පක්ෂයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත. දකුණු කොරියාව වර්තමානයේ ජනගහන අර්බුදයකට මුහුණදී ඇතත් ශ්‍රී ලංකාව වැනි මිත්‍ර රටවල නම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් කන්‍යාවන් එරටට ආනයනය කළ යුතු යැයි පැවැසීම ඉතා පරිභවකාරී ප්‍රකාශයක් ලෙසට බොහෝ දෙනෙකු පිළිගෙන ඇත. අවසානයේ කොරේ පිටට මරේ වැටී ආණ්ඩුකාරයා ගෙදර ගියේය.

ප්‍රියන්ත හෙට්ටිගේ










