අපේ ගමේ ගම්සභා පාරේ තුංමං හන්දියේ ජෝන් මාමාගේ සිල්ලර බඩු කඩේට හැන්දෑ මානේ (ඉර බහින වෙලාවට) ගමේ ගොඩේ වැඩි දෙනෙක් එන්නෝය. වැරහැලි ගැහෙන්න ඔන්න මෙන්න ගානට පරණ වූ චීත්ත රෙද්දයි ඒකටම ගැළපෙන හැට්ටෙයි ඇඳගෙන පුරුෂ පක්‍ෂය කොහේ කොහේ හරි කුලියක් මලියක් කර කීයක් හෝ හොයාගෙන එනතුරු උන්නැහේලාගේ මායියලා (බිරින්දෑවරුද කඩේ මිදුල කෙළවර තාඹුගස (ගංවල කැලෑවට වැවෙන) යටට වී දෙතුන් දෙනා බුලත් විට සපමින් කුංකුමිට ගසාගෙන හෝ (උක්කුටිකයෙන්) හෝ හිටගෙන හෝ පාළු කපන්නෝය. (මොනව මොනව හෝ කියවීම) ඔවුන් සියල්ලන්ගේම පාහේ කිහිල්ලේ දෙකට නමා ගත් පං මල්ලකි. ඒ ගෙදරට අවශ්‍ය පහේ ටික (උයන්න පිහන්න අවශ්‍ය කළමනා ගෙනියන්නටය. ඇතැම්හු ඒ පං මලු එළාගෙන මිදුලේ වට මේස සාකච්ඡාද පවත්වති. යන්තම් ඉරගල බහින්න අවරට ඕං මේං ගානට නැමෙන කල සියලු වැඩපොළ ගසාබසා දමා (කඩඩිමුඩියේ නිමකර) කඩේ කෙළවර අඹ ගහ යට ලෑලි බංකුව වටේට වහ වැටෙන පිරිසක්ද සිටිති. ඒ දාං ලෑල්ල වටේටය. කරට කර දෙන්නකු හොඳ පොරකට ඔට්ටු වූ කල්හි ඔවුනට මහමෙර කඩා වැටුණත් ගානක් නැත. අදින දෙන්නා කිසිම වචනයක් කතා කරන්නේද නැත. තනිවම ඇඟිලි භාෂාවෙන් දාං පෙත සමග කතා කරති. ඒ අන්දමට පැය කාල කාල හමාරේද සිටිති. (Sri Lanka Latest News)
මමත් කඩේට මොකේකට හරි හැන්දෑවේ ගිය කල අර වටේ කට්ටිය අස්සෙන් ඔළුව දමා දණහිස් දෙකට දෑත මුක්කු ගසාගෙන බලා සිටිමි. අවුරුදු අටක් දහයක් වූ මට දාං සෑත්තරේ ගැන අංදෝ සංසාරයක (මෙලෝ හසරක්) දැනුමක් ඒ කාලයේ නම් නොතිබිණි. මා බලා උන්නේ (සිටියේ) ඇඳ සිටි සරම දණහිස් දෙකටත් බොහොම උඩහට වෙන්නට කැටිකර අඹ ලෑලි බංකුවේ දෙපරැන්ද ගසා (දෙකකුල් දෙපැත්තට දමා) තන මත්තට (පපුවේ උඩහටම වෙන්නට) රෝල් කරගත් මේස් බැනියම නිසා පුල්ලියාරෙගෙ (ගණදෙවි) වගේ මාදිය කළයක් (ලොකු හැළියක්) තරම් විශාල රංකිරා මාමාගේ බඩ ගෙඩිය මැද්දේ තිබුණු මහා ගැඹුරට හෑරුණු ‘සුළිය‘ දිහා බලා ඉන්නටය.
ඒ සුළිය අප නාන මාඔයේ වක්කලමේ කැරකෙන දිය සුළියටත් වැඩිය බක්ක (ලොකු) යැයි මට සිතුණි. අනිත් අතට රංකිරා මාමාගේ බණ්ඩිය (බඩ) ඒ තරම් ලොකු උන්දැ ඒ කාලේ (තරුණ) සිටම රා බිව් නිසායැයි කියති. රා බොන්නට විතරක් නොව උන්දැ සමග දාං අදින්නටත් අහල ගං (ගම්) හතක කෙනෙකු නැති බව ගමේ පොදු මතය වූවේය. ඒ නිසා ඒ වැඩේට මිනිහා ‘කැස්ටෙන්‘ යැයි අපේ සීයා කෙනෙක් කීයේය. (කැස්ටෙන් යන්න ‘කැප්ටන්‘ යන්නට ගම්මුන් භාවිත කළ වචනය බව මම පසු කලෙක තේරුම් ගත්තෙමි. ඒ මනුස්සයා බොහෝ වේලාවක් කල්පනා කරකර ඇඟිලි භාෂාවෙන් පෙතත් එක්ක කතා කරකර ඉඳ ප්‍රතිවාදියාට තමන්ගේ ඉත්තෙක් කන්න (කපාගන්න) දෙන්නේය. ඒ මනුස්සයා ඒක කපාගත් පසු රංකිරා මාමා කිසි ගණනක් නැතුව අර උන්නැහේගේ තුන හතරක් කපාගෙනම දාං යන්නේ ඒ මනුස්සයාට නැවත ඔළුව උස්සන්නවත් බැරි අන්දමටය.
අපේ අම්මා කී අන්දමට අපේ කරදඬු දික් උනාම (ලොකු මහත් වූ කල) මම ඔය ගැන කල්පනා කෙළෙමි.
අපේ දේශපාලනඥ උන්නාන්සේලාද ඔන්න ඔය වගේමය. අපට කන්න දෙනව වගේ පෙන්නන්නේය. අන්තිමේදී කල්පනා කර බලන විට අපව කාලා අපේ ඇට ටිකත් සූප්පුකර හමටත් බුරන්නේය.
දින ගණනක් තිස්සේ කුණුවී ගිය මී හරකෙකුගේ බඩවැල් අතුණුබහන් ඇද ඇද ගිල දමන බලු කපුටුවන් සේ ගතවූ වසර හැත්තෑ ගණනක දේවල් යළි යළිත් සිහිපත් කිරීමෙන් පලක් නැත.
අපේ දර්ශනය විය යුත්තේ ‘ගිය හකුරට නාඬන්නේ-තියෙන හකුර රැකගන්නේ’ යන්නයි. එහෙත් ‘අල්ලන අල්ලන එකා මඩ ආරා’ (පරිභෝජනයට නොගැළපෙන මිරිදිය මත්ස්‍යයෙකි) නම් කියන්න තියෙන්නේ කාටද? බෙදන්න එනවා යැයි කියන උන්නැහේලා පත්කොළේ එළාගන්නවා නම්, අපට කොරන්න එන කොයි උන්නැහේත් කොරන පාටක් නැති හැඩේ නම්, ‘වෙච්චි දේට එන්න සෙයියරදු fදාරේ…’
පනහේ (1950) මුල සිට හැට හැත්තෑ ගණන් වනතුරු අපට කන්න දෙන හැටි ගැන බලයට ඒමට පිටපොට ගැසුවෝ අපට කෙළ හැලෙන කතා (ආශක්ත දේ) කියාපෑවෝය. පසු කලෙක සංවර්ධන බෙරේ ගහන්නට පටන් ගත්හ. එහෙන් මෙහෙන් යුද්දෙ පටන් ගත්විට ‘සාමය උදාවයි – දුක්ගිනි නිමාවයි’ යන්න අසන්නට ලැබුණේය. චන්ද්‍රිකා අක්කාත් නටව නටවා තාරා ගමනක්ද, හංස ගමනක්ද රැඟුවාය. මාවිල්ආරු හොරොව්ව අරින්න පැමිණි මහින්ද අයියා අපේ මිනිසුන් උඩ පැන පැන හුරේ දමද්දී අපරාදෙ කියන්න බැරිය. වැඩේ කෙළගෙන කෙළගෙනම ගියේය. ඔය අන්දමට දිගින් දිගටම පැමිණි හිත් ඇදගැනීමේ ක්‍රමය (මට මතක හැටියට) හැත්තෑවෙදි පමණ මිනිසුන් බඩඅල්ලා සිනාවෙමින් අසා සිටින අමුතු සිස්ටම් එකකට හැරුණේය,
ඒ කාලේ ඩඩ්ලියි (මිනිසුන්ගේ හඳුනව්ව බත් දුන් පියා) සිරිමාවොයි නොබැඳි කිරිල්ලි හැප්පුණාහ…
‘අපෙ අම්මා ළඟ එනවා-ආපු ගමං දෙක දෙනවා’ යැයි කියමින් සිරිමක්කගේ කොල්ලෝ පෙළපාළිවල දැක්වූහ. ඒ කාලේ හොඳ කථිකයකු වූ අශෝක කරුණාරත්න ඒකට පිළිතුරු දුන්නේ මෙසේය. ‘අපෙ අප්පා (ඩඩ්ලි) ළඟ එනවා – ආපු ගමං තුන දෙනවා’ ලෙසිනි. කැලණියේ ආර්.ඇස්. පෙරේරා උන්නැහේ ඒ ජනප්‍රිය සිස්ටම් එකේ කප්පිත්තෙක් වූවේය. වැඩේ දුරදිග ගියෙන් කුණුහරුප කතා නොකියන ලෙසට අපහාස නීතියක්ද ගෙනාවා මට මතකය.
ඉතින් වසර හැත්තෑවක් පමණ ඔය අන්දමින් දඟර නැටුම් නටමින් ආ ආශක්ත (හිත් වශී කරගන්නා) ගමන උඩුයටි කළේ අනුර කුමාර දිසානායක ගොයියාය. මනුස්සයා මන්ත්‍රීවරුන් මහජන මුදලින් භුක්ති විඳින සැප සම්පත් සුන්නත්ති (කප්පාදු) කරන බව කීවේය. සුන්නත්ති කිරීමේ කොටසක් පමණක් කැපුවත් මේ ගොයියා දේශපාලකයන්ගේ මුලින්ම කපන්න පටන් ගත්තේය.
දේශපාලකයන්ට ආරක්‍ෂාව අඩු කෙළේය. ඉන්ධන නැවැත්තුවේය. ගෙවල්වලින් පැන්නුවේය.
ඒවා හොඳ වැඩය. එහෙත් කියන්න හිතට දුක හිතෙන කරුණුද තිබේ. ඒවා කෙරුවේ භාගෙටය. බාර් ලයිසන් ගත්ත අය එළි කරනවා කීවේය.
‘පුළුවන් නම් එළිකරනවා ඕයි’ යනුවෙන් පාරම්ද බාන්නේය. පුරාජේරු ද ගසන්නේය.
අපට ලැබෙන ආරංචිවල හැටියට ලයිසන් එකක් යාපනේ පැත්තට ලක්‍ෂ පනහට හැටට දුන්නේලු. (ඒත් ඒ පැත්තෙ අය මැතිවරණෙදි ලොක්කට පස්ස පෙන්නු වේය.) අනුර ලයිසන් ගත්ත අයගෙ නම් ලැයිස්තුව එළියට දැම්මේය.
මහින්ද අයියා කියන හැටියට ඊට එහා මක්කවත් නෑ. ඕයි.
අනෙක් කාරණේ හාල් කෙළියය. දැන් අපට හාල් නැත. හාල් කීවාට උළුහාල් නෙමේය. දෙයියන්නෙ හාලුත් නෙමේය. දුප්පත් මිනිසුන් වේලක් නොකා වේලක් කන බත් කන හාල්ය.
හාල් ගැන කතාකරන්න අනුර මහත්තයා හාල්මෝල්කාරයන් සමග සාකච්ඡා කෙළේය. ඒ වෙනවිට කිලෝව තිබුණේ රුපියල් 220ටය. ඒ ගානට දෙන්න බැරි බව වෙළෙන්දෝ කීහ. අනුර මලයා එහෙනම් 230ට දෙන්න කීවේය. මෝල්ලු වෙළෙන්දන්ට කිලෝව දෙන්නේ 228ටය. ඒ ගානට මෝල්වලින් අරන් රුපියල් දෙකකට බෑග්වල දමා ප්‍රවාහනය කරන්න බැරි බව සිල්ලර වෙළෙන්දෝ කියති. ඊට වැඩි මිලට වික්කොත් හිරේ විලංගුවේ වැටෙනවාට බය බවත් කියති. දැන් අප බඩගින්නේය. අනුර මල්ලි එකක් කිව යුතුය. මෝල්කාරයන් කියන්නේ ඔයාගෙ නාහෙන් රිංගලා කනෙන් එන ජාතියේ බඩුය.

චන්ද්‍රසේන මාරසිංහ










