කෙරවළපිටිය කියන්නේ ආණ්ඩු හොල්ලපු මර්මස්ථානයකි. කෙරවළපිටියේ ‘යුගදනවි’ බලාගාරය ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට බදු දෙන්න ගිහින් ගෝඨාභයගේ ආණ්ඩුව ලොකු අමාරුවක වැටුණි. එවක මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යුගදනවි බලාගාරය ඇමෙරිකාවට බදු දෙන ගිවිසුම අස්සන් කළේ මහ රෑ හොර රහසේය. ගිවිසුම අස්සන් කරන්න කලින් ඇමැති මණ්ඩලයේදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, බැසිල්ගේ තීරණයට එරෙහිව යුද ප්‍රකාශ කළහ. ගෝඨාභය, විමල්, උදය ඇමැති ධුරවලින් ඉවත් කරන්න තීරණය කළේ මේ යුගදනවි බලාගාරය ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට බදු දෙන්න ගත් තීරණය නිසාය. ඇත්තටම ගෝඨාගේ ආණ්ඩුව හතර ගාතෙන් ඇදවැටුණේ එදාය. අරගලය ආවේ පස්සේය. ඇමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති කරගහගෙන බලයට ආ ගෝඨාගේ ආණ්ඩුව ඇමෙරිකානු ගැති වී ඇති ආකාරය පෙන්වමින් විමල්ලා, උදයලා, වාසුලා රට වටේ යද්දී ආණ්ඩුව උත්තර දීගත නොහැකිව ලැජ්ජාවේ ඇඹරුණි.Sri Lanka Latest News
යුගදනවි බලාගාරය ඇමෙරිකාවට බදු දීමේ තීරණය, විරෝධය හමුවේ ආණ්ඩුවටම අකුළා ගන්න සිදුවිය. ඉන් පසු ආණ්ඩුවට කෙරවළපිටියේ ද්‍රව ස්වභාවික වායු විදුලි ව්‍යාපෘතියකට සහ පාවෙන ගෑස් ගබඩා ව්‍යාපෘතිය සඳහා චීන සහ පාකිස්තාන සමාගමකට දෙන්න තීරණය කළේය. ඒ චයිනා හාබර් කෝපරේෂන් සහ පාකිස්තානයේ එන්ග්‍රෝ කෝපරේෂන් යන හවුල් සමාගමටය. ආණ්ඩුව චීන-පාකිස්තාන හවුල් සමාගමකට මේ කෙරවළපිටිය විදුලි සහ ගෑස් ව්‍යාපෘතියකට දීමට තීරණය කළත් ආර්ථික අර්බුදය නිසා එම තීරණය ක්‍රියාත්මක කරන්න පසුබිම සකස් වුණේ නැත. මේ වෙනකොට පාකිස්තානයේත් ආර්ථික අර්බුදයක් ඇතිව තිබූ අතර, චීනය ආර්ථික අර්බුදය මැද ලංකාවේ ව්‍යාපෘතිවලට අත ගහන්න බය විය.
2022 රනිල් ජනාධිපති වී ආර්ථික අර්බුදය සමනය කළාට පසු මෙම විදුලි සහ ගෑස් ව්‍යාපෘතියට ඉන්දියාව කැමැත්ත පළ කළේය. මේ වනවිටත් ඉන්දියාව ආර්ථික අර්බුදයේදී ලංකාවට ඩොලර් බිලියන 4ක මූල්‍ය සහන ලබාදී තිබූ නිසාත්, අර්බුදය මැද චීන සහ පාකිස්තාන හවුල් සමාගම කල්මැරීම නිසාත් රනිල් මේ ව්‍යාපෘති ටෙන්ඩරය ඉන්දියාවට දීමට කැමැත්ත පළ කළේය. ඒ අනුව 2023 දී ව්‍යාපෘතිය ඉන්දියාවේ පෙට්රොනෙට් සමාගමට දෙනු ලැබීය.
ඉන්දියාවේ පෙට්රොනෙට් සමාගමට මේ ව්‍යාපෘතිය පැවරීමේ තීරණය ඉන්දීය අගමැති මෝදි රනිල් සමග අස්සන් කළ ඒකාබද්ධ ප්‍රකාශනයේදී ප්‍රකාශයට පත්කරනු ලැබීය.
ඒත් 2024 අනුර ජනාධිපති වීමෙන් පසු ව්‍යාපෘතිය ඉන්දියාවට පැවරීමේ තීරණය අත්හිටුවන්න ආණ්ඩුව තීරණය කළේය. එසේ අත්හිටුවා කෙරවළපිටියේ ද්‍රව ස්වභාවික වායු විදුලි ව්‍යාපෘතිය සහ ගෑස් ව්‍යාපෘතිය යළි චීන-පාකිස්තාන හවුල් සමාගමට දෙන්න තීරණය කළේය. මේ අනුරගේ ආණ්ඩුව අත්හිටුවපු දෙවැනි ව්‍යාපෘතියය. පළමුවැන්න අදානිගේ සුළං විදුලි ව්‍යාපෘතියය.
ලංකාවේ ආණ්ඩු භූ දේශපාලනය සෙල්ලමක් කර ගනිමින් ලංකාවේ විදුලි ව්‍යාපෘති වෙන්දේසි කිරීම තුළින් අත පුච්චා ගත්තේ ලංකාවමය. ලංකාවේ විදුලි ව්‍යාපෘති දැන් භූ දේශපාලන චෙස් ක්‍රීඩාවක් බවට පත්කර ඇත්තේ ලංකාවේ ආණ්ඩුය. කෙරවළපිටිය යුගදනවි බලාගාරය පළමුවෙන් ඇමෙරිකාවට දෙන්න ගිහින් පසුව ඒ තීරණය අකුළාගෙන ලංකාව ඇමෙරිකාව තරහ කර ගත්තේය. දැන් කෙරවළපිටිය ව්‍යාපෘතිය ඉන්දියාවට භාරදී ඒ තීරණය අකුළාගෙන ලංකාව ඉන්දියාවෙන් ගේම ඉල්ලමින් සිටී. ඉන්දියාවට දීම අත්හිටුවා ව්‍යාපෘතිය ලබාදී ඇත්තේ චීන-පාකිස්තාන හවුල් සමාගමකටය. මේ වනවිට ඉන්දියාව සහ පාකිස්තානය යුද්ධයකට මැදිවී කලාපයේ අනෙක් රටවල් තමන් කිනම් පාර්ශ්වයක් තෝරාගන්නේද කියා හිතාගන්න බැරි තරමේ භූ දේශපාලන අර්බුදයකට පාර කපා ඇත. මේ වගේ වෙලාවක ඇවිළෙන ගින්දරට පිදුරු දමන්නා සේ අනුරගේ ආණ්ඩුව ඉන්දියාවට දුන් ව්‍යාපෘතියක් ඉන්දියාවේ භූ දේශපාලන සතුරන් වන චීන-පාකිස්තාන හවුල් සමාගමකට භාරදී ඇත. දැන් තමන් සමග ගිවිසුම් අස්සන් කොට තමන්ට අහිමි කළ ව්‍යාපෘතිය චීන-පාකිස්තාන සමාගමකට දීමට එරෙහිව ඇමෙරිකාවද ලංකාවට දබරැඟිල්ල දිගුකොට ඇත. ට්‍රම්ප්ගේ ටැරිෆ් අඩුකරන්න නම් ගෝඨාගේ ආණ්ඩුව සමග අස්සන් කළ ව්‍යාපෘතිය යළි පණගැන්විය යුතු යැයි ඇමෙරිකාව ලංකාවට බලපෑම් කිරීමට පටන්ගෙන තිබේ. මේ විදුලි ව්‍යාපෘති චෙස් ක්‍රීඩාව පදනම් කරගෙන ලංකාව ආසියානු බලවතුන්ගේ යුද බිමක් බවට පත්වුණොත් ඉන් පීඩා විඳින්නේ ලංකාවේ ජනතාවය. මේ නිසා විදුලි ව්‍යාපෘති අත්හිටුවීමේදී සහ ඒවා යළි පවරා දීමේදී භූ දේශපාලනය ගැන සිතා එම තීරණ ගන්නවා නම් ආණ්ඩුවේ ඇඟට ගුණය. මන්ද ලංකා විදුලිබල මණ්ඩලය භූ දේශපාලනය ගැන දන්නේ නැත. ඔවුන් බලන්නේ ටෙන්ඩරයේ දිග පළල පමණි.










