බැසිල්ව හමුවන්න ආ ඇමැතිවරු තිදෙනා!
රෝහිණීගේ ඇස් දෙකේ කතාවට සජබෙන් ප්‍රතිචාර!
ජනපතිගේ මඩු කතාවට පල්ලියෙන් ආ විරෝධය!
අලුත් ප්‍රශ්න දෙකක්!
මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ නිතර ඇහෙන මාතෘකා වන්නේ පෑවිල්ලය. පෑවිල්ල නිසා ජලාශ සිඳී යෑමය. ජලාශ සිඳීයෑම නිසා වගාවට වතුර නොමැති වීමය. වතුර නොමැති වීම නිසා පීදෙමින් තිබූ බණ්ඩි ගොයම විනාශ වීමය. ගොයම විනාශ වීම නිසා රට වටේම ගොවියෝ පාරට බැස උද්ඝෝෂණ කිරීමය. බොන්නවත් වතුර නොමැති බවට මත පළවීමය. විදුලිය කැපෙනු ඇති බවට අදහස් ප්‍රකාශ වීමය. ඒ, එක පැත්තකින්ය.Sri Lanka Latest News
සෞඛ්‍ය ක්ෂේත්රය එක පැත්තකින්!
අනෙක් පැත්තෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ බරපතළ අර්බුද රැසක් ගැනද මේ දිනවල නිතර නිතර දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්වෙයි. එක් පැත්තකින් වෛiවරුන් රට අතහැර යෑමය. ඒ නිසා රජයේ රෝහල්වල දොස්තරවරු නොමැති වීමය. තවත් පැත්තකින් බාල බෙහෙත් ගෙන ඒමය. ඒ නිසා මරණ කිහිපයක්ම සිදුවීමය. තවත් පැත්තකින් බෙහෙත් ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන මහාපරිමාණ වංචා දූෂණය. මේ නිසාම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද මේ වන විට කතානායකවරයාට භාරදීමට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය පියවර ගෙන තිබේ. මේ සියල්ල මැද දිගින් දිගටම ඉහළ යන ජීවන වියදම් කතාය.
පළමු ප්රශ්නය මෝදිගෙන්!
මේ සියලු මාතෘකා කතාබහට ලක්වෙද්දී ඉදිරි දින කිහිපය ඇතුළත තවත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය හැකි සිදුවීම් දෙකක්ද මේ වන විට පෙළගැසෙමින් පවතින ආකාරයක් දක්නට තිබේ. ඉන් එකක් වන්නේ ශ්‍රී ලංකාවට හිමිව ඇති කච්චතිව් දූපත සම්බන්ධ සිදුවීමය. එය මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ මාතෘකාවක් බවට පත්ව ඇත්තේ පසුගිය සතියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීම නිසාය.
දෙවැනි එක චීනයෙන්!
දෙවැනි සිද්ධිය වන්නේ මේ වන විට ලංකාව බලා ගමන් ආරම්භ කොට ඇතැයි කියන චීනයේ ‘ෂී වැන්ග් 6’ නෞකාවය. මීට දින කිහිපයකට ඉහතදී චීන වරායකින් මෙම නැව ලංකාව බලා පිටත්වීම ආරම්භ වීමත් සමග ඒ දෙස දැඩි උනන්දුවකින් බලා සිටි ඉන්දියාව, ඊට දැඩි විරෝධය පළකරමින් කියා සිටියේ මෙම නැවට ලංකාවට ඇතුළු වීමට ඉඩ නොදිය යුතු යැයි කියාය. මෙම සිදුවීම් දෙකම මේ වන විට ආරම්භක අවදියේ පැවැතියද ඉදිරි සති කිහිපය ඇතුළත ලංකාවට හිසරදයක් වන තරමට ජාත්‍යන්තරයේ ඉහළ අවධානයක් දිනාගන්නා සිදුවීම් බවට පත්වනු නොඅනුමානය.
කච්චතිව් නැතිවෙයිද!
කච්චතිව් දූපත සම්බන්ධ මාතෘකාව යළිත් වතාවක් ඉන්දීය දේශපාලනයේ සහ මාධ්‍යවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ ඉන්දියාවේ පාලනය හොබවන භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි අතර පැවැති මතගැටුමෙන් පසුවය. මෙම ගැටුමේදී වරක් රාහුල් ගාන්ධිට අධිකරණ නියෝගයක් මගින් පාර්ලිමේන්තු ආසනය අහිමි කෙරුණු අතර, මැතිවරණවලට ඉදිරිපත් වීමද වළක්වා තිබිණි. පසුව රාහුල් විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාග කළ විනිසුරුවන් එම තීන්දුව අත්හිටුවමන් රාහුල්ට පාර්ලිමේන්තු ආසනය සහ මැතිවරණයට ඉදිරිපත් වීමේ අවස්ථාව සලසා දීමට කටයුතු කොට තිබිණි. මෙම සිදුවීමෙන් පසුව මෝදිට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අතර, ඊට මුහුණ දෙමින් සිය කතාවේදී මෝදි ගාන්ධි පවුලට ප්‍රහාරයක් එල්ල කරමින් ඉන්දිරා ගාන්ධි විසින් ඉන්දියාවට අයත්ව තිබූ කච්චතිව් දූපත ලංකාවට ලබාදීමට පියවර ගත් බවත්, මේ ආකාරයට ඉන්දියාව සතුව තිබූ තවත් වටිනා කියන දෑ රැසක් වෙනත් රටවලට ලබාදුන් බවත් කියා සිටියේය.
ඡන්දෙදි ලොකු මාතෘකාවක්!
මෝදි පාර්ලිමේන්තුවේදී ලංකාවේ කච්චතිව් දූපත මතක් කරමින් කළ බරපතළ ප්‍රකාශයට ඒ අවස්ථාවේදී මෙරට මාධ්‍ය වැඩි ඉඩකඩක් ලබා නොදුන්නද දේශපාලනය සහ ආරක්ෂාව සම්බන්ධ බොහෝ විශ්ලේෂකයන් මෝදිගේ මෙම කතාව විශ්ලේෂණය කරමින් කියා සිටින්නේ එය ලංකාව සම්බන්ධයෙන් කළ බරපතළ අනතුරු ඇඟවීමක් යැයි කියාය. මන්ද යත් පසුගිය කාලය පුරාම ලංකාව සහ ඉන්දියාව අතර උතුරු මුහුදේ ධීවර ගැටුම් පැනනැගුණු අතර, අවස්ථා කිහිපයකදීම ඉන්දීය ධීවරයෝ ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ. මේ නිසාම තමිල්නාඩු මහ ඇමැතිවරුන් මෙන්ම දේශපාලකයන්ද ඉන්දීය මධ්‍යම රජයට දැනුම් දී තිබුණේ කලක් ඉන්දියාවට අයත්ව තිබූ කච්චතිව් දූපත නැවත ඉන්දීය පාලනයට නතු කරගත යුතු යැයි කියාය. ඒ සම්බන්ධයෙන් මෙතෙක් මෝදි ප්‍රසිද්ධියේ කතාකොට නොතිබුණද විශ්වාසභංග යෝජනාවේදී ඒ පිළිබඳ විශේෂයෙන් සිහිපත් කිරීම බරපතළ තත්ත්වයක පෙරනිමිත්තක් බව එම විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. අනෙක් අතට ඔවුන් පෙන්වා දෙන්නේ ලබන වසරේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට නියමිත නිසා එම මහ මැතිවරණයේදී තමිල්නාඩුව ඇතුළු ප්‍රාන්ත ගණනාවක ජයග්‍රහණය භාරතීය ජනතා පක්ෂයට ලබාගැනීම සඳහා මෝදි පාලනය විසින් මෙම කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීම ප්‍රධාන මැතිවරණ සටන් පාඨයක් බවට පත් කරගනු ඇතැයි කියාය. ඒ අනුව බලන විට ඉදිරි මාස කිහිපය ඇතුළත කච්චතිව් දූපත මුල්කරගෙන ඉන්දියාව පැත්තෙන් විවිධ ප්‍රකාශ සහ විවිධ ක්‍රියාමාර්ග ගන්නා ආකාරයක් දැකබලා ගැනීමට හැකිවනු ඇත.
තවත් චීන නැවක් එනවා!
අනෙක් පැත්තෙන් කච්චතිව් දූපත ඉන්දියාව සතුව පැවැතුණහොත් ඉන්දීය සාගරයේ සැරිසරන චීන නෞකා පිළිබඳ යම් බලපෑමක් කළ හැකි බවද ඉන්දීය ආරක්ෂක විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. දැනටමත් චීන ආරක්ෂක නෞකා මෙන්ම සන්නිවේදන නෞකා කිහිපයක්ම ඉන්දියාවේ දැඩි විරෝධය මත සහ ලංකාවේ අනුමැතිය යටතේ මෙරට වරායන්වලට ඇතුළු වී තිබීම මුල් කරගෙන ඉන්දියාව පසුගිය කාලය පුරාම සිටියේ තරමක කෝපයකින් යුතුවය. එවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේ චීන වරායකින් ලංකාව බලා ගමන් ආරම්භ කොට ඇති ‘ෂී යුවැන්ග් 6’ නෞකාව මුල් කරගෙන ඉන්දියාව දැඩි කලබලයට පත්ව ඇති ආකාරයක් දැකගන්නට ඇත. ලංකාවේ නම් එම සිදුවීමට මාධ්‍ය මගින් වැඩි ප්‍රචාරයක් ලබා නොදුන්නද මේ දිනවල ඉන්දීය මාධ්‍යවලත්, ඉන්දීය දේශපාලනයේත් ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ මෙම චීන ආරක්ෂක නෞකාවය.
නැවෙන් ආයෙත් ඇනගනීද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය භාරගැනීමෙන් පසු චීන නෞකා මුල් කරගෙන අර්බුදයකට මුහුණ දෙන දෙවැනි අවස්ථාව වන්නේ මෙයය. ජනාධිපතිවරයා පළමු අර්බූදයට මුහුණ දුන්නේ සිය ධුරය භාරගෙන දින කිහිපයක් ගතවෙද්දීය. ඒ වන විට චීන අධිතාක්ෂණික සන්නිවේදන නෞකාවක් වූ ‘යුවාන් වැන්ග් 5’ නෞකාව ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ අතර, එහි ගමනාන්තය බවට පත්ව තිබුණේ චීනයට අයත් හම්බන්තොට වරායය. නමුත් ඉන්දියාව ඊට දැඩි විරෝධයක් පළකරමින් කියා සිටියේ අදාළ නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට කිසිසේත් ඉඩ දිය යුතු නැතැයි කියාය. එය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ලංකාවට දැනුම් දීමටද එවක ඉන්දීය රජය පියවර ගෙන තිබිණි.
ඉන්දියාව අවුලක!
මේ විරෝධය නිසාම ලංකා ආණ්ඩුව කළේ නියමිත දිනට යුවාන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර නොදීමය. ඒ අනුව අදාළ නෞකාව දින කිහිපයක් ජාත්‍යන්තර මුහුදේ සැරිසරමින් තිබීම නිසා බොහෝ දෙනා සිතුවේ ආණ්ඩුව එම නෞකාවට ඉන්දීය විරෝධය හමුවේ ලංකාවට ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇතැයි කියාය. නමුත් සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් සිදුවීමකි. නියමිත දිනට දින කිහිපයකට පසු අදාළ චීන නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට ආණ්ඩුව අවසර ලබාදුන්නේය. මේ හේතුවෙන් ඉන්දියාව කෙතරම් අසීරුතාවකට පත්වූවාද කියනවා නම් ජනාධිපතිවරයාට ඉන්දියාවට ආරාධනා කිරීමට පවා වසරකට වැඩි කාලයක් බලා සිටීමට සිදුව තිබිණි.
නැව එන්නෙ හම්බන්තොටට!
එවැනි පසුබිමක් මැද චීනයේ දෙවැනි නැවටද ලංකාවට ඇතුළු වීමට අවසර ලබාදී තිබීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්රයේ විශාල කතාබහක් මතුව තිබේ. බොහෝ දෙනා අදහස් පළකරමින් කියා සිටින්නේ ලබන ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා චීනයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති බැවින් ඊට අවශ්‍ය පසුබිම සකසා ගැනීම සඳහා මෙම නෞකාවට ලංකාවට ඇතුළු වීමට ඉඩ දී ඇතැයි කියාය. ජනාධිපතිවරයා ධුරයට පත්ව මේ වන විට වසරක කාලයක් ගතව තිබුණද, තවමත් ජාත්‍යන්තර රටවලින් සැලකිය යුතු ආධාර සහ මුදල් ලංකාවට ලැබී නොතිබීම මත ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින්නේ මෙම චීන සංචාරයේදී යම් විශාල සහනයක් ලංකාවට ලබාගැනීමටය.
මැදිහත් වෙන්නේ කව්ද?
කෙසේවෙතත් මෙරට ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙම චීන නෞකාව කොළඹ වරායට ඇතුළු වීමට නියමිතව ඇතැයි කියාය. නමුත් අප වෙත ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම නෞකාව චීනයට අයත් හම්බන්තොට වරායට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවකි. ඉකුත් වතාවේ පැමිණි යුවාන් වැන්ග් 5 නෞකාව සම්බන්ධයෙන් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තොරතුරු වාර්තා කිරීමේදී එක් වතාවකදී විශේෂ සටහනක් තබමින් අප කියා සිටියේ චීනය, ඉන්දියාව සහ ලංකාව අතර සාගර කලාපය මුල් කරගෙන ඉදිරියේදී යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමේ අවදානමක් හටගනු ඇති බවකි. එහිදී අප වැඩිදුරටත් පෙන්වා දුන්නේ හම්බන්තොට වරාය චීනයට ලබාදීම හේතුකොට ගෙන ඉන්දියාව ත්‍රිකුණාමල වරාය ඇතුළු කලාපය සිය අණසකට ගැනීමේ සැලසුමක් දියත් කරමින් සිටින බවකි. එවැනි අවස්ථාවකදී චීන යුද නැව් ඔවුන්ට අයත් හම්බන්තොට වරායට පැමිණිමේදී යම් අර්බුදයක් මතුවුවහොත් ඊට මැදිහත් වන්නේ ලංකාවේ නාවික හමුදාවද, එසේත් නැත්නම් ඉන්දීය නාවික හමුදාවද යන්න සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුවනු ඇති බවය. මේ වන විට සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලන විට අප එදා මතු කළ සැකය යථාර්ථයක් බවට පත්වීමේ අවදානමක් මතුව ඇති බව සඳහන් කළ යුතුව ඇත.
චීනෙ යනවා!
අනෙක් අතට ඉන්දීය විරෝධය හමුවේ ලංකාවට පැමිණීමට නියමිත චීන නැව නැවතීමට ගියහොත් ජනාධිපතිවරයා ලබන ඔක්තෝබරයේ සිදුකිරීමට නියමිත චීන සංචාරයේදී බලාපොරොත්තු වන කිසිවක් ලබාගැනීමට නොහැකි වනු ඇත. පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනාධිපතිවරයා එවැනි තීන්දුවක් ගනු ඇතැයි සිතිය නොහැකිය.
ජනපති පොරොන්දු කැඩුවා!
එමෙන්ම මේ දිනවල ඉන්දීය මාධ්‍ය දිගින් දිගටම මෙම චීන නැව පිළිබඳ තොරතුරු වාර්තා කරමින් ඉන්දීය දේශපාලනය උණුසුම් කරන ආකාරයක්ද දැකගැනීමට පුළුවන. විශේෂයෙන් හින්දුස්ථාන ටයිම්ස් පුවත්පත ප්‍රධාන සිරස්තලයක් මගින් වරක් අනාවරණ කොට තිබුණේ පසුගිය දිනවල ජනාධිපතිවරයා සිදුකළ ඉන්දීය සංචාරය අතරතුරදි ඉන්දීය ආරක්ෂාවට බලපාන කිසිදු තීන්දුවක් නොගන්නා බවට සහතිකයක් ලබාදී තිබුණද, මෙම චීන නැවට ලංකාවට පැමිණීමට ඉඩ ලබාදීම හරහා එම සහතිකය කඩාදමා ඇති බවකි. මීට අමතරව පසුගිය දිනෙක මෙරට මාධ්‍යයක් නාවික හමුදාවෙන් මෙම චීන නැවේ පැමිණීම පිළිබඳ කර තිබූ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කර තිබුණේ ඒ සම්බන්ධයෙන් ඔවුන් කිසිවක් නොදන්නා බවකි. කෙසේ වෙතත් ලංකාවට පැමිණෙන මෙම චීන නැව සම්බන්ධයෙන් මෙතෙක් චීනය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැති අතර, එම නැව පැමිණියහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ ඉන්දියාවද මෙතෙක් සිය ස්ථාවරය ප්‍රකාශ කර නොමැති වීම විශේෂ සිදුවීමකි. අනෙක් අතට ලංකාවද තවම පසුවන්නේ ඒ පිළිබඳ නිහඬ ව්රතයක් රකිමිනි.
මිලින්දත් එනවා!
මේ සියලු අලකලංචි මැද්දේ මෙතෙක් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය දැරූ මිලින්ද මොරගොඩ ඉදිරි දින කිහිපය ඇතුළත මහතා සිය තනතුරට ආයුබෝවන් කියා යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇත. කලක් රනිල්ගේ අති සමීපතම මිතුරකුව සිටි මිලින්ද, පසුව රනිල් අතහැර රාජපක්ෂවරුන් සමග එක්විය. මිලින්ද ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්කරනු ලැබුවේද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ය. ඒ පත් කළේද නිකම්ම නොව, විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට කැබිනට් බලතලද මිලින්දට ලබාදෙමිනි.
ක්ෂෙනුකා යනවා!
නමුත් රනිල් ජනාධිපති ධූරයට පත්වූ පසු මිලින්ද සමග සහයෝගයෙන් යුතුව වැඩකරන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. වරක් ජනාධිපතිවරයා ඉන්දීය නායකයන් මුණගැසීම සඳහා සිය ජ්‍යෙෂ්ඨ උපදේශකයා වූ සාගල රත්නායක මහතා ඉන්දියාවට යැවූයේ මිලින්දව දැනුවත් කිරීමකින් හෝ තොරවය. එමෙන්ම පසුගියදා ජනාධිපතිවරයා සිදුකළ ඉන්දීය සංචාරයේදී මිලින්දගේ මුහුණ වැඩිහරියක් දැකගන්නට ලැබුණේ නැත. ඉන්දියාවේදී ගිවිසුම් රැසකට අස්සන් තැබුණද මිලින්දගේ මුහුණ වෙනුවට ඒ සෑම තැනකදීම දැකගන්නට ලැබුණේ සාගලගේ මුහුණය. මෙහි අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ මිලින්ද හෙට අනිද්දාම සිය තනතුරෙන් ඉවත් වී ලංකාවට පැමිණීමය. මිලින්ද වෙනුවට ක්ෂෙනුකා සෙනෙවිරත්න නව ඉන්දීය මහකොමසාරිස්වරිය ලෙස ඉන්දියාවට යෑමට නියමිතය.
ආව හේතුව මේකද?
කෙසේ වෙතත් රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්රයේ ඇතැමුන් සඳහන් කර සිටින්නේ මිලින්ද මෙසේ ලංකාවට පැමිණෙන්නේ ඉදිරියේදී සිදුවීමට නියමිත යම් යම් තීරණාත්මක සිදුවීම්වලට තමන්ටද මුහුණදීමට සිදුවනු ඇතැයි සිතා, ඊට පෙර මිලින්ද මෙසේ ලංකාවට පැමිණීමට තීරණය කර ඇතැයි කියාය.
චැනල් අයි අලිරාජාට!
මීට මාස දෙකකට පමණ ඉහතදී ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් අප ලන්ඩනය කේන්ද්‍ර කොට ගෙන වාසය කරන ප්‍රකට ව්‍යාපාරිකයකු වූ අලිරාජා සුබාස්කරන් මෙරට ව්‍යාපාරික ක්ෂේත්රයට ඇතුළු වීමට සූදානමින් සිටින බවට විශේෂ අනාවරණයක් කළෙමු. එහිදී අප කියා සිටියේ ජනාධිපතිවරයා ලන්ඩනයේ සංචාරය කළ අවස්ථා දෙකකදීම අලිරාජා සුබාස්කරන් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කොට තිබුණු බවකි. එම හමුවීම් සූදානම් කළ පුද්ගලයන් සම්බන්ධයෙන්ද එහිදී අපි විශේෂ අනාවරණයක් කිරීමට පියවර ගත්තෙමු. වැඩිදුර තොරතුරු වාර්තා කරමින් අප කියා සිටියේ ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනය මෙසේ මිලදී ගැනීමට අලිරාජා සැලසුම් කර ඇතැයි කියාය.
දිනේෂ් බාල්දියක් පෙරළයි!
කෙසේ වෙතත් පසුගිය සතිය වන විට යළිත් අලිරාජා කරළියට පැමිණියේ මෙරට මාධ්‍ය ආයතනයක් මිලදී ගැනීමට සූදානමින් සිටින බවට වූ පුවතත් සමගය. එසේ ගන්නා බවට මාධ්‍ය වාර්තා කොට තිබුණේ ආණ්ඩුවට අයත් රූපවාහිනී නාලිකාවක් වූ ‘චැනල් අයි’ නාලිකාවය. ඒ සම්බන්ධයෙන් වූ මූලික වැඩකටයුතු අවසන් කොට ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැබිනට් පත්රිකාවක්ද යොමුකර තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වීමත් සමග ඊට යම් බාල්දියක් පෙරළුවේ අගමැති දිනේෂ් ගුණවර්ධනය. දිනේෂ් කියා සිටියේ ‘චැනල් අයි’ නාලිකාව කිසියම් පුද්ගලයකුට ලබාදීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවත්, ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල මට්ටමින් ඒ සම්බන්ධ තීන්දුවක් ගත හැකි බවත්ය. ඒ අනුව බන්දුල අදාළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගැනීමට පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය බන්දුල ‘චැනල් අයි’ නාලිකාව විකිණීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වී ඇති බවටත්, අලිරාජා හට ‘චැනල් අයි’ නාලිකාව මිලදී ගැනීමට නොහැකි වී ඇති බවටත් පුවත් පළ කළද, අවසානයේ සිදුවූයේ අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ ‘චැනල් අයි’ නාලිකාව කුලී පදනම යටතේ අලිරාජා වෙත ලබාදී තිබීමය.
මඩු ගමනට පල්ලියේ ප්‍රතිචාරය!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා දිනයේදී මන්නාරම බලා ගියේ අතිපූජනීය මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගි වීම සඳහාය. කතෝලික බැතිමතුන්ගේ ඉහළම උත්සවයක් වීම හේතුකොටගෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් ප්‍රමාණයක් ඊට එක්ව සිටි අතර, ජනාධිපතිවරයා එහිදී කතාවක්ද කිරීමට පියවර ගත්තේය. මංගල්‍යයට සහභාගි වී සිටි පරිස් මෙන්ම රූපවාහිනිය මගින් නිවෙසේ සිට සජීවීව මෙම උත්සවය නැරඹූ ලක්ෂ සංඛ්‍යාත කතෝලික ප්‍රජාව උත්සවය අතරතුරේ ජනාධිපතිවරයා සිදුකළ මෙම කතාවද අසා සිටි ආකාරයක් දැකගත හැකි විය. ජනාධිපතිවරයා එහිදී මන්නාරම් ප්‍රදේශය දියුණු කරන ආකාරය පිළිබඳ සහ ඉදිරියේදී මන්නාරමට පැමිණෙන ආයෝජන පිළිබඳවද සිය කතාවේදී අදහස් පළ කළේය.
පත්තරෙන් විරෝධය!
ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් පැන නොනැගුණද ඊට පසු දින, එනම් බ්‍රහස්පතින්දා (17) දිනයේදී කතෝලික සභාව මගින් ප්‍රකාශයට පත්කෙරෙන නිල පුවත්පත වූ ‘ඥානාර්ථ ප්‍රදීපය’ මගින් ජනාධිපතිවරයාගේ කතාව පිළිබඳ දැඩි විවේචනයක් සිදුකොට තිබිණි. එම පුවත්පතේ කර්තෘවරයා සිය කතුවැකිය මගින්ම ජනාධිපතිවරයාගේ කතාව විවේචනයට ලක්කරමින් චෝදනා කර සිටියේ කතෝලික ජනතාවගේ අතිඋතුම් ආගමික අවස්ථාවකට සම්බන්ධ වෙමින් ජනාධිපතිවරයා දේශපාලන කතාවක් සිදුකළ බවය. ජනාධිපතිවරයකු වූ විට අවස්ථාවෝචිත ආකාරයට කතා කිරීමට වගබලාගත යුතු බවත්, ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු බොහෝ පිරිස් ඥානාර්ථ ප්‍රදීපය කාර්යාලයට කතාකොට ඒ පිළිබඳ සිය විරෝධය පළකළ බවත් එහි වැඩිදුරටත් සඳහන්ව තිබිණි.
ඥානාර්ථ ප්‍රදීපය කතුවැකිය!
පහත පළවන්නේ බ්‍රහස්පතින්දා දිනයේ ‘ඥානාර්ථ ප්‍රදීපය’ පුවත්පතේ පළවූ එම කතුවැකියය.
‘පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් විකාශය වුණු ඊයේ (15දා) මඩු පල්ලියේ මංගල්‍ය පූජාව මම උදේ ඉඳන්ම හරිම භක්තියෙන් බලාගෙන සිටියා. දිව්‍ය පූජාව හරිම භක්තිමත්ව ලස්සනට තිබුණා. හැබැයි පූජාවෙන් පස්සේ ජනාධිපතිවරයා ඇවිල්ලා කරපු කතාව ඇහුවම මට ලොකු වේදනාවක් ඇතිවුණා. තාමත් ඒ දුක මගේ හිතෙන් ගියේ නැහැ. එයා ඇවිත් අල්තාරේ ඉඳන් කළේ තනිකරම දේශපාලන කතාවක්. එතැන හිටිය මිනිස්සු වගේම ගෙදර හිටිය අපිත් ඒ වෙලාවේ දේව මැණීයන්ට භක්තියෙක් යාඥා කරමින්, කන්නලව් කරමින් හිටියේ. පූජාව පුරාම මිනිස්සු හරිම භක්තියෙන් හිටියේ. ජනාධිපති කරපු කතාවෙන් ඒ භක්තිමත් පරිසරය විනාශ වුණා. ඒ කතාවේදී අරව දෙන්නම් මේවා දෙන්නම් කිය කියා කළේ තනිකරම දේශපාලන කතාවක්. දේශපාලකයන්ට ඒගොල්ලන්ගෙ කතා පවත්වන්න ඕනෙ නම් ඒගොල්ලන්ගේ වේදිකා රැලිවලදී ඒවා කරගන්න පුළුවන්. පාස්කු ඉරිදා බෝම්බයෙන් අපේ මිනිස්සුන්ගෙ ශරීර සහ ජීවිත විනාශ කළා. දැන් ආධ්‍යාත්මය විනාශ කරන්නයි යන්නේ. අපේ පල්ලිවලට මේ ලෙඩේ බෝවෙන්න ඉඩ දෙන්න එපා. අපේ පල්ලි විතරක් නෙවෙයි, පූජාවට සහභාගි වෙන්න අපේ පල්ලිවලට එන මිනිස්සුන්ගේ ආත්මයන් විනාශ කරන්නයි යන්නේ. ඒකට නම් ඉඩදෙන්න එපා පියතුමනි…’
මේ, එක්තරා භක්තිමත් මහලු කාන්තාවක් අද (16) උදේ දුරකතනයෙන් අප අමතා කළ ප්‍රකාශයක කොටසකි. මුළුමහත් දුරකතන සංවාදය පුරාවටම ඇය හැඬුවාය.
අද මෙසේ උපුටා දැක්වූයේ දුරකතන සංවාදයක් පමණකි. ජනාධිපතිවරයාගේ එම කතාවට විරෝධය දක්වමින් සහ විවේචනය කරමින් ගිහියන් ගණනාවක් දුරකත ඇමතුම් ලබාදුණි. ඒ පිළිබඳ සටහනක් තැබීම කාලෝචිත යැයි අප සිතුවෙමු.
මඩු සිද්ධස්ථානය මුළුමහත් ශ්‍රී ලාංකේය ජනතාවගේම ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ පූජනීය භූමියක් ලෙසය. අප කතෝලික මෙන්ම අන්‍යාගමික ජනතාවද මංගල්‍යය සඳහා එහි යන්නේ මහත්වූ භක්තියෙන් ප්‍රාර්ථනා සහ දුක වේදනාව මරුදමඩු මෑණියන් ඉදිරියේ තැබීමට මෙන්ම එතුමියගේ මැදිහත්කමින් දෙව්පියාණන්ගෙන් තමන් ලද සියලු වරප්‍රසාද වෙනුවෙන් තුති පිදීමටය. එදා සිට මේ දක්වාම මරුදමඩු පුදබිම ශුද්ධ වූ සහ පූජනීය බිමක් ලෙස කතෝලික සැදැහැවත්හු සලකති. ඒ බිමෙහිදී එම ශුද්ධවත් බවට අල්ප හෝ හානියක් වන වචනයන් පවා මුවින් පිට නොකිරීමට ඔවුහු පරෙස්සම් වෙති. මරුදමඩු මෑණියන්ගේ මංගල මහා පූජාවට ඔවුන් සහභාගි වන්නේ ඉමහත් භක්තියකිනි. දිව්‍ය පූජාවෙන් අනතුරුව ඔවුන් පුල පුලා ශක්තියෙන් බලා සිටින්නේ මරුදමඩු මෑණියන්ගේ ප්‍රතිමාව රැගත් පෙරහැර දෙසය.
ඒ අතරතුර සිදුවූ ජනාධිපතිවරයාගේ කතාව අප ජනතාවගේ එම ආධ්‍යාත්මික භාවනාව සහ ශීලය බිඳදැමීමක් බව බොහෝ දෙනාගේ මතයයි. එය කිසිසේත්ම ඒ මැදට ඇතුළු කළ යුතුව තිබූ අවස්ථාවක් නොවන බව පැහැදිලිය. අපගේ ආගමික සිද්ධස්ථානයක ආගමික මෙහෙයන් අතරතුර දේශපාලකයන්ට විශේෂයෙන් මතුවන්නට හෝ කතා පැවැත්වීමට හෝ අවස්ථාව නොදිය යුතුය යන්න අපගේ මතයයි.
අනෙක් අතට, තමා සිටින්නේ කොතැනකද, තමන් කතා කරන්නේ කවුරුන්ටද, ඒ අනුව තමා කතා කළ යුත්තේ සහ නොකළ යුත්තේ මොනවාද යන කාරණා පිළිබඳ රටේ ප්‍රධාන පුරවැසියා ලෙස ජනාධිපතිවරයාට හැඟීමක් තිබිය යුතුය යන්නද නොකියාම බැරිය. පොරොන්දුවලින් පිරුණු දේශපාලන කතා ඒ අවස්ථාවට කෙසේවත් නොගැළපෙන බව ඔහු තේරුම්ගත යුතුව තිබිණි. සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ භක්තියට භාජනය වූ ප්‍රධාන කතෝලික සිද්ධස්ථානයට, භක්තියෙන් සහ යාඥාවෙන් යුතුව රැස්ව සිටි සැදැහැවතුන්ගේ එම ඇතුළාන්ත ආධ්‍යාත්මික පරිසරය විනාශ කෙරෙන පරිදි කතා නොකිරීමට ජනාධිපතිවරයා වගබලාගත යුතුව තිබිණි.
මෙවැනි නුසුදුසු සහ අවාසනාවන්ත සිදුවීම් මින් මතුවට සිදු නොවීම අරමුණු කොට ගෙන මෙම සටහන තැබුවෙමු. එය හුදු ඍණාත්මක විවේචනයක් ලෙස භාර නොගෙන ධනාත්මක අදහස් දැක්වීමක් ලෙස භාරගන්නැයි අදාළ සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.
- ඥානාර්ථ ප්‍රදීපය
නුවරඑළිය රත්වෙයි!
පසුගිය සති අන්තයේ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් සිටියේ සීතල නුවරඑළියේ මන්ත්‍රී බංගලාව වූ ‘සෙන්පති මැදුරේ’ නිවාඩුවක් ගතකරමිනි. ඊට හේතු වූයේ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් විසින් වාර්ෂිකව පවත්වනු ලබන ක්‍රිකට් තරගය සහ සුහද හමුව මෙවර නුවරඑළියේ පැවැත්වීමට තීරණය කර තිබීමය. එම යෝජනාව මෙවර ඉදිරිපත් වූයේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් වූ අතර, පියල්ම එහි සංවිධාන කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබිණි. පොහොට්ටුවේ නායක මහින්දටද ඊට ආරාධනා කළ පියල් සෙසු සියලු මන්ත්‍රීවරුන්ටද ඊට අරාධනා කිරීමට පියවර ගත්තේය.
ගම්පහින් කෝල් ඇවිත්!
මේ ආකාරයට පියල් ඊට පොහොට්ටුවේ සියලු දෙනාටම ආරාධනා කරද්දී පොහොට්ටුවේ තවත් පිරිසක් ඊට සහභාගි නොවන ලෙසට දැනුම් දෙමින් මැතිඇමැතිවරුන්ට දුරකතන ඇමතුම් ලබාදී තිබීම විශේෂ සිදුවීමක් විය. ඒ සඳහා මූලිත්වය ගෙන කටයුතු කර තිබුණේ ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන පොහොට්ටුවේ ප්‍රබල ඇමැතිවරයකු සහ ගම්පහ නියෝජනය කරන තවත් පොහොට්ටු මන්ත්‍රීවරුන් දෙදෙනෙකි. මුලින් ගම්පහ මන්ත්‍රීවරුන්ට කතාකොට ආරම්භ වූ මෙම ඇමතුම් ලබාදීමේ මෙහෙයුම කෙමෙන් කෙමෙන් අනෙකුත් දිස්ත්‍රික්කවල සිටින පොහොට්ටු මන්ත්‍රීවරුන් කරා විහිදී ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
පොහොට්ටුවත් ලෑස්ති වෙයි!
කෙසේ වෙතත් මොහොතක් ගතවීමට මත්තෙන් පොහොට්ටුවේ සුහද හමුව කඩාකප්පල් කිරීම සඳහා ගම්පහින් මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවක් බත්තරමුල්ලේ පොහොට්ටු පක්ෂ මූලස්ථානයේ සිටි ප්රධානීන්ටද දැනගන්නට ලැබිණි. ඒ අනුව පක්ෂ මූලස්ථානයද ඊට එරෙහිව වෙනම මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් නැවත වතාවක් මැතිඇමැතිවරුන්ට ඇමතුම් ලබාදුන් ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
බස් එකට නගින්න එපා!
කෙසේ වෙතත් ගම්පහ මන්ත්‍රීවරුන් සිය මෙහෙයුම අතහැර නොතිබූ බවක් පොහොට්ටු මන්ත්‍රීවරුන් නුවරඑළිය බලා පිටත්වන දිනයේදීද දැකගත හැකි විය. එදින මන්ත්‍රීවරුන්ට නුවරඑළිය බලා යෑමට මාදිවෙල මන්ත්‍රී නිල නිවාසය අසලට බස් රථ දෙක් යොදවා තිබූ අතර එදින උදෑසනම ඇතැම් මන්ත්‍රීවරුන්ට ලැබුණු දුරකතන ඇමතුම්වලින් බස් රථවලට ගොඩ නොවන ලෙසත්, මෙම අවස්ථාවට ගියහොත් ජනාධිපතිවරයාගෙන් ලකුණු කැපෙනු ඇති බවත් කියවිණ. නමුත් අති බහුතරයක් මන්ත්‍රීවරු මෙම ඇමතුම් කනකට නොගෙන නුවරඑළිය බලා යෑමට බස් රථවලට ගොඩවූහ.
මෙම මන්ත්‍රීවරුන් නුවරඑළියට පැමිණෙන විට මහින්ද වෙනම ‘සෙන්පති මැදුර’ වෙත පැමිණ, සෙසු මන්ත්‍රීවරුන් සමග විහිළු තහළු කරමින් විවේකයෙන් සිටියේය. එමෙන්ම මහින්ද මන්ත්‍රීවරුන් සමග ක්‍රිකට් ගැසීමටද එක්විය. ඒ අවස්ථාවේදී ගම්පහ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම ගමන කඩාකප්පල් කිරීමට ලබාදුන් දුරකතන ඇමතුම් පිළිබඳ කතාබහක් නොවුණත් මාතෘකාව ඇදී ආවේ එදින රාත්‍රී මධුවිත සමග පැවැති සුහද හමුවේදීය. එහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනකු තමන්ට ලැබුණු මෙම දුරකන ඇමතුම් පිළිබඳ මහින්ද ඇතුළු පොහොට්ටු ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගත්හ. ඇතැම් මන්ත්‍රීවරු එහිදී දුරකතන ඇමතුම් ලබාදුන් පොහොට්ටු ප්‍රබලයා ඇතුළු මන්ත්‍රීවරුන් දෙදෙනා පිළිබඳ රටට සහ පාක්ෂිකයන්ට හෙළිකළ යුතු බවද දැඩි කෝපයෙන් යුතුව සඳහන් කර සිටියහ.
‘දැන් අපි මේ ගැන බලාගෙන හිටියා හොඳටම ඇති. මේ දෙපිටකාට්ටුවො ගැන අපි අපේ පාක්ෂිකයන් දැනුවත් කරන්න ඕනෙ. ආයේ මේ වගේ අයට පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එන්න දෙන්න හොඳ නෑ.මේ අය රනිල් ගාවට ගිහිල්ලා ඇමැතිකම් අරගෙන දැන් පක්ෂයට ගහන්නත් පටන් අරගෙන…’ යැයි මේ මන්ත්‍රීවරුන් කෝපයෙන් යුතුව කියද්දී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වා දී තිබුණේ මේ ඊට අවස්ථාව නොවන බවත්, නිසි අවස්ථාව පැමිණි පසු මෙම දෙබිඩි චරිතවල සැබෑ ස්වරූපය පාක්ෂිකයන්ට පෙන්වා දී ඔවුන්ගේ දේශපාලනය අවසන් කළ යුතු බවත්ය.
ඇමැතිවරු 3ක් බැසිල් ළඟට!
මීට අමතරව පසුගිය සතියේ පොහොට්ටුව ඇතුළේ තවත් විශේෂ සිදුවීම් තුනක් සිදුවිය. ඒ, මේ දිනවල ජනාධිපතිවරයා සමග ඉතා සමීපව වැඩකරන පොහොට්ටුවේ ප්‍රබල අමාත්‍යවරුන් තිදෙනකු වෙන වෙනම පැමිණ පොහොට්ටුවේ මහමොළකරුවා වූ බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමය. මෙම හමුවීම සඳහා බලපෑ විශේෂ හේතුවක්ද තිබිණි. එම හේතුව වූයේ ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට හේතුවෙන් පොහොට්ටුව මගින් මෙම ඇමැතිවරුන්ට පවරා තිබූ සිය දිස්ත්‍රික්කවල පක්ෂ ප්රතිසංවිධාන කටයුතු අවසන් කොට නොතිබීම සහ පක්ෂයෙන් පැවරූ රාජකාරි ඉටුකොට නොතිබීමය. මේ හේතුවෙන් පක්ෂය මගින් මෙම ඇමැතිවරුන් තිදෙනාටම දැනුම් දී තිබුණේ අදාළ කටයුතු සිදු නොකරන්නේ නම් වෙනත් පුද්ගලයන් පත්කොට එම රාජකාරි සිදුකිරීමට පියවර ගන්නවා යැයි කියාය.
එකම කතාවක් කියයි!
කෙසේ වෙතත් මෙම දැනුම්දීමත් සමග අදාළ පොහොට්ටු ඇමැතිවරුන් තිදෙනා කඩාගෙන බිඳගෙන පොහොට්ටු පක්ෂ මූලස්ථානයට පැමිණ බැසිල් හමුවීමට පියවර ගත්හ. වෙන වෙනම පැමිණ බැසිල් හමුවුවද ඔවුන් තිදෙනාම සාකච්ඡාවේදී බැසිල්ට කියා සිටියේ එකම කතාවකි. ඒ, ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කළද ඉදිරියේදී තමන් පොහොට්ටුව සමග සිටින බවත්, පොහොට්ටුවෙන් තරග කරන බවත්ය.
අපි පොහොට්ටුවේ!
‘අපි ජනාධිපතිතුමා එක්ක ළඟින් වැඩ කරනවා තමයි. එතුමා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕනෙ කියලත් කිව්වා තමයි. හැබැයි අපි තවම ඉන්නෙ පොහොට්ටුවත් එක්ක. ඉස්සරහට එන ඡන්දවලදී අපි තරග කරන්නෙත් පොහොට්ටුවෙන්. ඊළඟ ජනාධිපතිවරණයෙදී පක්ෂය තීන්දු කළොත් ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා අපි එතුමට සහාය පළකරනවා. ඒ වගේම පොහොට්ටුව තීන්දු කළොත් වෙන අපේක්ෂකයෙක් දාන්න අපි සහයෝගය දෙන්නේ පක්ෂය නම්කරන ඒ අපේක්ෂකයට…’ යන්න මෙම ඇමැතිවරුන් තිදෙනාම බැසිල්ට කියා සිටි කතාව විය.
ජවිපෙට ප්‍රශ්නයක්?
කලක් එකට දේශපාලනය කළද ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට දේශපාලනය කරනුයේ කඳවුරු දෙකකට බෙදීය. ජවිපෙ, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් වෙනම දේශපාලන ගමනක් යමින් සිටින අතර පෙරටුගාමී පක්ෂය කුමාර් ගුණරත්නම් මහතාගේ නායකත්වයෙන් වෙනම දේශපාලන ගමනක් යමින් සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. පසුගිය අරගල සමයේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුණද මතවාදීමය ගැටීම් හේතුවෙන් එම සාකච්ඡාවලට වැඩි ආයුෂක් තිබුණේ නැත.
කෙසේ වෙතත් පසුගිය සතියේදී මේ දෙපාර්ශ්වය එළිපිට ගැටුණු අතර ඊට මුල්වී තිබුණේ පෙරටුගාමී ප්‍රබලයකු වන දුමින්ද නාගමුව මහතා ජවිපෙ නායකයන් ඉලක්ක කර සිදුකර තිබූ බරපතළ චෝදනාවකි. මේ චෝදනාවට මුල්වූ එක් සිදුවීමක් වූයේ හදිසියේම අටවාගත් ශිෂ්‍ය සංවිධානයක් ලවා අන්තරේ ශිෂ්‍ය සංගමයට ප්‍රහාරයක් එල්ලවීමය. අනෙක් සිදුවීම වූයේ පසුගියදා මොරටුව ප්‍රදේශයේ පැවැති ජවිපෙ ආසන සමුළුවකි. මෙම ආසන සමුළුව ආරම්භ වීමට ප්‍රථම කවදාවත් නැතිව විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් පැමිණ උත්සව භූමිය පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබූ අතර, ඊට පොලිය නිල සුනඛයන්ද යෙදවීමට පියවර ගෙන තිබිණි. ඇතැම් සමාජ මාධ්‍ය මෙම අවස්ථාව සජීවීව විකාශය කිරීමටද පියවර ගෙන තිබිණි.
ටිරාන් පොලිසි යයි!
කෙසේ වෙතත් ඊට පසු දින මාධ්‍ය හමුවකට එක්වෙමින් දුමින්ද නාගමුව ජවිපෙ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර සමීප සබඳතාවක් පවතින බවටත්, දෙපාර්ශ්වය යුරෝපා රටක මුදල් ගනුදෙනු සිදු කර ඇති බවටත් බරපතළ චෝදනාවක් එල්ල කළේය. ප්‍රධාන මාධ්‍ය මගින් ඒ අවස්ථාවේදී මේ පිළිබඳ විශාල වශයෙන් වාර්තා නොකිරීම හේතුවෙන් දුමින්දගේ මෙම චෝදනාවට එතරම් ප්‍රසිද්ධියක් නොලැබුණද සමාජ මාධ්‍ය මගින් මෙය වාර්තා කොට තිබීම නිසා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් වහාම මෙම චෝදනාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසට දැනුම් දීමක් කොට තිබිණ.
නාගමුව කියුවේ ඇත්තද?
පසුව මෙම ගැටුම එළියට පැමිණියේ එදින රාත්‍රී එක්තරා රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන සංවාද වැඩසටහනකදීය. ඊට ජවිපෙ නියෝජනය කරමින් හිටුප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සභාපති වී සිටි අතර ජවිපෙට බරපතළ චෝදනාවක් සිදුකළ දුමින්ද නාගමුව අනෙක් පසින් ඊට එක්ව සිටිනු දැකගත හැකි විය. මෙහිදී නලින්ද අදාළ චෝදනාව තහවුරු කරන ලෙසට දුමින්දට අභියෝග කළ අතර, එහිදී දුමින්ද ජවිපෙ සහ ටිරාන් අතර ඇති සබඳතාව පිළිබඳ තොරතුරු හෙළි කිරීමට පටන් ගත්තේය. කෙසේ වෙතත් ආයෝජන සම්බන්ධයෙන් හෙළිකරන ලෙස නලින්ද අභියෝග කරද්දී දුමින්ද කියා සිටියේ මේ වන විට පොලිසිය භාර ඇමැතිවරයා මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බැවින් තමන් ඒ පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන්නම් යැයි කියාය.
රෝහිණීගේ අස් දෙක!
සමගි ජන බලවේගයේ භික්ෂු උපදේශක සභාවේ දෙවැනි හමුව පසුගිය සතියේ පැවැතියේ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙනය. මෙහි සමාරම්භක උත්සවය කොළඹදී පැවැති අතර එහි සාර්ථකත්වය හේතුකොටගෙන දෙවැනි උත්සවය ගාල්ලේ පැවැත්වීමට යෝජනා විය. උත්සවයේ සංවිධාන කටයුතු භාර කෙරුණේ ගාල්ලේ සජබ නියමුවන් වන ගයන්ත කරුණාතිලක, චන්දිම වීරක්කොඩි ඇතුළු ගාල්ලේ සජබ ආසන සංවිධායකවරුන්ටය. මෙම අවස්ථාව කෙතරම් සාර්ථක ලෙස සංවිධාන කිරීමට ගයන්ත – චන්දිම ඇතුළු කණ්ඩායම කටයුතු කර තිබුණාද කියනවා නම් මෑත කාලයේ ගාල්ලේ පැවැති කිසිදු දේශපාලන වැඩසටහනකට නොපැමිණි තරමේ හිමිවරුන් විශාල පිරිසක් ඊට වැඩම කරවා ගැනීමට ඔවුන්ට හැකිවිය. එමෙන්ම උත්සව අවස්ථාවට රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත, චන්දිම, රාජිත, සරත් ෆොන්සේකා, මයන්ත, තිස්ස ඇතුළු මන්ත්‍රීවරු විශාල පිරිසක්ද එක්ව සිටියහ. එහිදී රැස්ව සිටි පිරිස සඳහන් කර සිටි එකම කරණය වූයේ එක්සත් ජාතික පක්ෂයට පසුගිය වසර 30 ඇතුළතම මෙවැනි ඉහළ මට්ටමේ සහභාගිත්වයකින් යුත් මහා සඟ සමුළුවක් පැවැත්වීමට හැකි වූයේ නැතැයි කියාය.
මේ ආකාරයට සජබය රටේ සියලු පාර්ශ්ව ඒකාබද්ධ කොටගෙන ඉදිරි ගමනක් යද්දී පසුගිය සතියේ සජබ මාතලේ මන්ත්‍රීවරිය වන රෝහිණී කවිරත්න මහත්මිය කර තිබූ ප්‍රකාශයක් හේතුවෙන් පක්ෂය ඇතුළේ මහත් ආන්දෝලනයක් මතුව තිබිණි. අන්තර්ජාල මාධ්‍යයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් රෝහිණී කියා තිබුණේ රනිල් සහ සජිත් තමන්ට ඇස් දෙක වගේ යැයි කියාය. රෝහිණීගේ මේ ප්‍රකාශයට සමාජ මාධ්‍ය විශාල ප්‍රචාරයක්ද ලබාදීමට පියවර ගෙන තිබිණි.
සජබයට යකා නැගලා!
කෙසේ වෙතත් සජබය සජිත්ගේ නායකත්වය යටතේ පැහැදිලි ඉදිරි ගමනක් යද්දී රෝහිණී කළ මෙම ප්‍රකාශය සජබයේ මන්ත්‍රිවරුන්ගේ දැඩි කෝපයට හේතු වී තිබිණි. ඒ අනුව ඔවුහු පසුගිය අඟහරුවාදා දින කොළඹ එක්තරා නිවෙසක රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්හ. එහිදී රෝහිණීගේ කතාවෙන් දැඩි කෝපයට පත්ව සිටි එක් මන්ත්‍රීවරයෙක් කියා සිටියේ එසේ නම් රෝහිණීට ජනාධිපතිවරයා සමග එක්ව ඉදිරි දේශපාලනය සිදුකරන ලෙසට දැනුම්දිය යුතු යැයි කියාය. පසුගියදා මොරටුවේ පැවැති ආසන සමුළුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබඳ කර තිබූ ප්‍රකාශයක්ද මේ මන්ත්‍රීවරයාගේ කෝපයට හේතු වී තිබිණි.
මන්ත්‍රී කියපු කතාව!
‘දැක්කද රෝහිණීගෙ කතාවට අනුර දිසානායක මොරටුවෙදී කියලා තිබ්බ කතාව? රෝහිණීට රනිල් සජිත් ඇස් දෙක වගේලු. අපි කිව්වෙ මේ දෙගොල්ලොම එකක් කියලා තමයි අනුර කිව්වේ. මේක තවදුරටත් අපිට බලන් ඉන්න බෑ. සජිත් කීප වතාවක්ම කිව්වා රනිල් එක්ක තිසිසේත්ම එකතු වෙන්නෙ නෑ කියලා. එහෙම තියෙද්දී අපේ අය කියනවා රනිල්-සජිත් එයාගේ ඇස් දෙක වගේ කියලා. මේ කතා නිසා අපිට ගම්වල ඉන්න නෑ, අපේ ගම්වල රනිල්ට කිසිම චාන්ස් එකක් නෑ. ඉතින් අපේ අය අහනවා සර් රනිල් එක්කලා එකතු වෙන්නද යන්නේ කියලා. අපි මොනවද අපේ මිනිස්සුන්ට දෙන උත්තර? මම නම් මේවා තවත් බලන් ඉන්නෙ නෑ. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙදී මම මේ ගැන ප්‍රශ්න කරනවා. අපි ඔක්කොම රනිල්ව අතහැරලා ආවේ රනිල් එක්ක දේශපාලන ගමනක් යන්න බැරි නිසා. අපි මන්ත්‍රීවරු වුණේ සජබෙන්. ඉතින් කාට හරි ආයෙමත් රනිල් එක්ක යන්න ඕනෙ නම් කරුණාකරලා සජබෙන් ලැබුණු මන්ත්‍රී ධුරය ආපහු පක්ෂයට දීලා ඕන කෙනෙක් එක්ක යන්න පුළුවන්. මෙතන ඉඳන් ඩීල් දාන්න ලෑස්ති වෙන්න එපා. මම මේ ගැන නායකතුමාටත් කියනවා…’ යනුවෙන් මෙම තරුණ මන්ත්‍රීවරයා කියද්දී එහි සිටි අනෙක් මන්ත්‍රීවරුද හිස සලා එය අනුමත කිරීමට පියවර ගත්හ.
සජිත් උත්තරේ දෙයි!
ඒ අතරවාරයේ පසුගිය බදාදා දින පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පොදු කමිටුව වෘත්තීය සමිති නායකයන් හමුවී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි. ඊට රෝහිණී කවිරත්න මන්ත්රීවරියද එක්ව සිටිනු දැකගත හැකි විය. එහිදී සජිත් රෝහිණීට දැනෙන්නට කීවාද යන්න නොදන්නා නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ජනතා විරෝධී ප්‍රතිපත්ති හේතුකොටගෙන කිසිසේත්ම ජනාධිපතිවරයා සමග එක්වීමට සජබය සූදානම් නැති බව කියා සිටියේය. සජිත් මෙසේ කියද්දී රෝහිණී සිය ජංගම දුරකතනයට මුහුණ ඔබාගෙන සිටින ආකාරයක්ද දැකගත හැකි විය.
ඇස් දෙක එක ශරීරයක!
එමෙන්ම බ්‍රහස්පතින්දා දිනයේදී විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මරික්කාර් කියා සිටියේ තමන්ගේ ඇස් දෙක එක ශරීරයක පමණක් පිහිටා තිබිය යුතු බවත්, එය ශරීර දෙකක පිහිටීමට ඉඩක් නැති බවත්ය.