National Committee of the Chineseහි උප සභාපති Qin Boyong පසුගිය දෙසැම්බරයේ ජනාධිපති අනුර කුමාර හමුවීමෙන් පසු ප්‍රකාශ කළේ චීනය යළි ලංකාවේ මැරිටයිම් රිසර්ච් ආරම්භ කරන බවය. කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමැතිවරයා කීවේ පසුගිය රජය පනවපු පර්යේෂණ නැව් තහනම ඉවත් කරපු බවය. නමුත් පසුව විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කළේ තහනම ඉවත් කර නැති බවත්, ඒ සඳහා SOP නොහොත් Standard operating procedure සකස් කරමින් සිටින බවත්ය. Sri Lanka Latest News
ආණ්ඩුව තහනම ඉවත් කළේ නැතිනම් චීන නියෝජ්‍ය ඇමැති සහ කැබිනට් ප්‍රකාශක තහනම ඉවත් කළා යැයි ප්‍රකාශ කළේ කෙසේද යන්න ප්‍රශ්නයකි. චීන උප ඇමැති ආණ්ඩුවේ අනුදැනුමකින් තොරව එවැනි ප්‍රකාශයක් කරයි කියා සිතිය නොහැකිය. ඇය ජනාධිපති අනුර හමුවූ පසුව මෙම ප්‍රකාශය මාධ්‍යයට නිකුත් විය. අනුරගේ චීන සංචාරයේදී තහනම ඉවත් කිරීම ප්‍රකාශ කරනු ඇතැයි පෙනෙන්න තිබුණත් ඒකාබද්ධ නිවේදනයේ ඒ පිළිබඳ සඳහන් නොවීය. චීනය තහනම ඉවත් කිරීම සඳහා ලංකා ආණ්ඩුවට මාර්තු අවසන් දින දී ඇති බවත්, එම දිනයට ආණ්ඩුව තහනම ගැන සිය තීන්දුව ප්‍රකාශ කරනු ඇතැයි චීනය බලාපොරොත්තුව සිටින බවත් චීන ආරංචි මාර්ග වාර්තා කර තිබිණි. මෙම දිනය දැන් පසුවී ඇතිද යන්න පැහැදිලි නැත.
මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මාලදිවයින චීන පර්යේෂණ නෞකාවලට ඉන්දීය සාගරයට එන්න අවසර දී ඇති බවය. මෙය මාලදිවයින් ජනාධිපති Muizzu ඉන්දියාව පාවාදීමක් යැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත. මාලදිවයින් ජනාධිපති ඉන්දියාවේ සංචාරය කොට ඉන්දියාවේ වටිනා සහකාරයෙක් බව පෙන්වූ අතර, චීනය සඳහා මේ අවසරය දී ඇත්තේ ඉන් පසුවය. මාලදිවයින චීනය සඳහා මේ අවසරය දී ඇත්තේ චීනය ලංකාවේ පර්යේෂණ නැව් තහනම ඉවත් කරන්න දින දී තිබියදීය.
චීනය මාර්තු දින දී තිබුණත් අප්‍රේල් මස ඉන්දීය අගමැති මෝදි පැමිණෙන නිසා අනුර කුමාර චීන නැව් තහනම ඉවත් කරන්න තීරණය කරයි කියා සිතිය නොහැකිය. අනුර කුමාර එවැනි තීරණයක් ගතහොත් ඉන්දීය අගමැතිවරයා ලංකාවට එයි කියා සිතිය නොහැකිය. ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයෙන් පසු අනුර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න ඉන්නවාදැයි කිව නොහැකිය.
තහනම සම්බන්ධ ආණ්ඩුවේ තීරණය නොදැන චීනය අනුරගේ චීන සංචාරයේදී එකඟ වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ඇතැයි සිතිය නොහැකිය. විදේශ ඇමැති පසුගිය සතියේ ප්‍රකාශ කළේ 2026 වසරටත් පාසල් සිසුන් සඳහා නොමිලේ නිල ඇඳුම් දීමට චීනය එකඟ වූ බවය. මෝදිගේ සංචාරයට පෙර චීන විශේෂ නියෝජිතයෙක් ලංකාවට ඒමට ඉඩ ඇතැයි චීන ආරංචි මාර්ග කියයි. ඔහුගේ පණිවුඩය කුමක් දැයි අපැහැදිලිය.










