මීට පෙර අවස්ථා ගණනාවකදී අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ තොරතුරු හෙළිදරව් කරමින් සජබයෙන් ආණ්ඩුවට එක්වන මන්ත්‍රීවරු ගැන කියමින් ආණ්ඩුවට හිතවත් මාධ්‍යවල පළවූ අතේ රෝල් ගැන සඳහන් කිරීමට පියවර ගත්තෙමු. අප කළ අනාවරණ හේතුවෙන්ම මේ වන විට ජනතාවද එවැනි පුවතක් දුටු සැණින් ‘අයියෝ මේක ආණ්ඩුවේ අතේ රෝලක්’ යැයි කියන තරමට තොරතුරු අතින් දැනුවත්ව සිටින ආකාරයද දැකගැනීමට පුළුවන. මෙවර අප කියන්නට යන්නේද පසුගිය සතියේ ආණ්ඩුව පැත්තෙන් පළවූ තවත් එවැනි අතේ රෝල් පුවතක් පිළිබඳවය. ඒ, එජාප කළමනාකරණ කමිටුව රැස්වී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ බවත්, ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට එක්වීම සඳහා සජබ ප්‍රබලයන් දෙදෙනකු සමග සාකච්ඡා කරමින් පවතින බවත්, ඔවුන් දෙදෙනාද ඊට සහාය දැක්වීමට සූදානමින් සිටින බවත්ය. මෙම පුවතද අතේ රෝලක් බව ඉදිරි දින කිහිපය ඇතුළත රටට බලාගැනීමට හැකිවනු නියතය.Sri Lanka Latest News
රනිල් නිහඬ ඇයි!
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එජාපය පැත්තෙන් මේ ආකාරයේ විවිධ අතේ රෝල් පුවත් පළවුවද ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ ආකාරයක් මෙතෙක් දැකගන්නට නැත. ඊටද එක්තරා විශේෂ හේතුවක් තිබේ. මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිදරව් කිරීමට සූදානම් වන්නේ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කිසිවක් නොකීමට බලපා ඇති හේතුවකි. ඒ, වෙන මොකක්වත් නොව ජ්‍යොතිෂමය කාරණයකි.
පසුගිය මහ මැතිවරණ පරාජයෙන් පසු ඇත්ත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ දේශපාලනයෙන් සමුගෙන විශ්‍රාම සුවයෙන් සිටීමටය. නමුත් ඒ අවස්ථාවේදී රනිල්ගේ එම අදහස වෙනස් කළේ වෙන කවුරුවත් නොව, ඔහුට අතිශය සමීප ජ්‍යොතිෂවේදීන් කිහිප දෙනෙකි. ඔවුන් රනිල් හමුවී ලබාදී තිබූ ජ්‍යොතිෂමය උපදෙසින් කියැවුණේ මේ මොහොතේ දේශපාලනයෙන් සමු නොගන්නා ලෙසත්, තවත් අවුරුදු දෙකක් යෑමට මත්තෙන් ඉතා ප්‍රබල තනතුරක් හිමිවීමේ ග්‍රහ යෝගයක් මතුවීමට නියමිත බවත්ය. ඒ හරහා රටේ ඉහළම තැනකට පත්වීමේ වාසනාව රනිල්ට හිමිවන බවද ඔවුන් එහිදී පවසා තිබිණි. මහ මැතිවරණය පරාජයට පත්වී රනිල් වසරක පමණ කාලයක් පාර්ලිමේන්තුවට පැමිණීම කල් මැරුවේද මෙම ජ්‍යොතිෂ උපදෙස නිසාය.
රාහු-ගුරු සුසංයෝගය
ජ්‍යොතිෂවේදීන් මෙහිදී රනිල්ට පෙන්වා දී තිබුණේ නැවත වතාවක් රාහු, ගුරු සුසංයෝගයක් රනිල්ගේ ග්‍රහචාරය අනුව මතු වන බවත්, ඒ හරහා මෙම තනතුරු ලාභය හිමිවන බවත්ය. 1993 හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවය සිදුවන අවස්ථාවේදීද මේ ආකාරයටම රනිල්ට රාහු, ගුරු සුසංයෝගයක් බලපා තිබිණි. ඒ අනුව ප්‍රේමදාස පමණක් නොව, ලලිත්-ගාමිණී ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සියලු දෙනාම අභාවප්‍රාප්ත වී රනිල්ට නිකමම අගමැති තනතුර හිමිවූ ආකාරයක් දැකගත හැකි විය. ඒ ආකාරයෙන්ම 2022 වන විට නැවත වතාවක් රාහු ගුරු සුසංයෝග වී රටේ ඉහළම තනතුරකට යෑමට අවස්ථාව උදාවන නමුත්, එම සුසංයෝගයේ බලය අවසන් වූ වහාම තනතුරේ බලය අහිමි වන බව මෙම ජ්‍යොතිෂවේදීන් රනිල්ට දැනුම් දී තිබිණි. පසුගිය කාලසීමාවේම රනිල් කටයුතු කර තිබුණේ මෙම ජ්‍යොතිෂමය උපදෙස ඔළුවේ තබාගෙනය.
ඒ අනුව රාහුගෙන් තමන්ට තිබූ බලය, රාහු මාරුවත් සමග අවසන් වූ බව රනිල් නොදන්නවා නොවේ. නමුත් ගුරුගේ බලය තවමත් පවතින නිසා ගැටලුවක් නොමැති අතර, ලබන මැයි 01 වැනිදා සිදුවීමට නියමිත ගුරු මාරුවත් සමග මෙම රාහු – ගුරු සුසංයෝගයේ බලය සම්පූර්ණයෙන්ම අවසන් වන බවද රනිල් නොදන්නවා නොවේ. පසුගිය කාලයේදී රනිල් මේ සියලු දේශපාලන තීන්දු තීරණ ගත්තේ මේ තත්ත්වය හොඳ හැටි හිතේ තියාගෙනය. ඒ අනුව රනිල් සිටින්නේ මැයිවලින් පසුව මතුවන දේශපාලන තත්ත්වය හොඳ හැටි විශ්ලේෂණය කර බලා තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටය. අප මෙය ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ වාර්තා කරන්නේද ඉතා වගකීමෙන් යුක්තවය.
හදිසි වෙන්න එපා!
ඒ අනුව, අප රනිල් වටා සිටින ඔහුගේ හිතවතුන්ටද කියා සිටින්නේ රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් කීමට ඉක්මන් නොවන ලෙසටය. මන්ද යත් යම් හෙයකින් රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කැට තියා කියන මේ පිරිසට යම් හෙයකින් අවසානයේ රනිල් ජ්‍යොතිෂ උපදෙස් මත ජනාධිපතිවරණයට නොඑන බව ප්‍රකාශ කළහොත් සිදුවන්නේ පසුගිය කාලයේදී අනාවැකි කී ජ්‍යොතිෂවේදීන්ට අත්වූ ඉරණමටම මුහුණ දීමටය.










