ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු ඉටුකිරීම පසෙක තබා, පෙර පැවැති ජනතාව පීඩාවට පත්කළ ආණ්ඩු ගමන් කළ මාවතේම ගමන් කරමින් සිටින බව ජන අරගල සන්ධානය පවසනවා. එම සන්ධානයේ නියෝජිත, නීතිඥ නුවන් බෝපගේ මහතා මේ අදහස් පළකළේ පසුගිය 22 වැනිදා පන්නිපිටියේදී පැවැති ජන හමුවකදීය. පහත පළවන්නේ නුවන් බෝපගේ සිදුකළ එම අදහස් දැක්වීමයි.
ඡන්දෙදී ජනතාව කැමැති වුණේ මොනවටද? ඡන්දෙදී ජනතාව ඡන්දේ දෙද්දී බලාපොරොත්තු වෙච්ච දේවල් ටිකක් තියෙනවා. මිනිස්සු ඇත්තටම බලන්න කැමැති වුණා මේ ආණ්ඩුව ඇවිල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලින් අපි පීඩාවට පත්වෙලා ඉන්නේ, ඒ කොන්දේසිවලින් ඉවත් වෙලා, ජනතාවට සහන දෙයි කියලා මිනිස්සු එහෙම යුගයක් බලන්න බලාපොරොත්තුවෙන් හිටියා.
ඊළඟට ජනතාව බලාපොරොත්තුවෙන් හිටියා බදු බර අඩුවෙයි, බදු බර අඩුකරන පාලනයක් බලන්න. ඊළඟට ඊයේ පෙරේදා පාතාලේ කිය කියා පොලිස් ආරක්ෂාවේදී මිනිස්සු මැරෙනවා නම්, මිනිස්සු බලාගෙන හිටියා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ඔහොම පොලිස් අත්අඩංගුවේදී මිනිස්සු මැරෙන්නේ නැති පාලනයක් හැදෙයි කියලා. මිනිස්සු බලන්න බලාපොරොත්තුවෙන් හිටියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සමාජ මාධ්‍ය වාරණ පනත වගේ දේවල් අහෝසි කරන හැටි. ඔන්න මිනිස්සු බලන්න බලාගෙන හිටපු දේවල් කීපයක්. ඊට අමතරව සේවක අර්ථසාධක අරමුදල් ආරක්ෂා කරලා දෙන පාලනයක් බලාපොරොත්තුවෙන් හිටියා. මිනිස්සුන්ගේ ඒ වගේ විවිධ දේවල් බලාපොරොත්තුවෙන් හිටියා. මිනිස්සු බලන්න බලාපොරොත්තුවෙන් හිටියේ මේවා. මාස පහක් හයක් යද්දී මිනිස්සුන්ට දළදා බලන්න දෙනවා. දැන් අපිට දළදාව තමයි බලන්න තියෙන්නේ. අර කිසිම දෙයක් බලන්න බැරි වෙලා තියෙනවා. ඒ කිසිම දෙයක් බලන්න බැරි වුණාම අපිට කියනවා දළදාව බලන්න කියලා. ඔන්න ඔතැනට මේක යමින් තිබෙනවා.
එතකොට මේ මාතෘකාවේ වැදගත්කම තමයි ‘ජනතාවට ඕනේ දේ – ආණ්ඩුව කරන දේ’. එතකොට මේ වෙලාවේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච දේශපාලන පරිවර්තනය, මිනිස්සු බලාපොරොත්තුවෙච්ච ඔවුන්ගේ තිබුණු අභිප්‍රාය, පරමාර්ථය නැවත ආපස්සට යමින් තියෙන මොහොතක්. ඇයි අපි එහෙම කියන්නේ? අපි උදාහරණ කීපයක් ගනිමු. අපි හිතමු මේකේ තියෙන ගැඹුරුම තැනින් අපි පටන්ගමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මේ ආණ්ඩුව කිසිම වෙලාවක කිව්වේ නෑ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අයි.එම්.එෆ්. එකෙන් අයින් වෙනවා කියලා. ඔවුන් කියපු ප්‍රධාන කරුණක් තමයි විකල්ප ක්‍රමවේදයකට යනවා, මොකද මේ තියෙන ක්‍රමවේදය ජනතාවට අවාසියි කියලා. අපි හිතමු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම මත වැට් බද්ද 15% සිට 18% දක්වා වැඩි කළා. එතකොට ආණ්ඩුව කිව්වා ඒවා අපි සාකච්ඡා කරලා ඒවා අඩුකරගන්න කටයුතු කරනවා කියලා. ඊළඟට පාසල් උපකරණ, ඖෂධ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු අඩුකරනවා කියලා ආණ්ඩුව කිව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වා නෑ නෑ, ඒවා අඩුකරන්න බෑ කියලා. ඔන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විදියට මේක යනවා.
ඊළඟට අපි දන්නවා වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදලුයි, භාරකාර අරමුදලුයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා ආණ්ඩුව ඒවායේ තියෙන ප්‍රතිලාභ කපනවා. එතකොට ඒක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත වෙන්නේ. ඒක එහෙම්මම ඉස්සරහට යනවා. ඊළඟට ඊයේ පෙරේදා අයවැය ප්‍රකාශයට පත්කළා. අයවැයේ අකුරක්වත් මේ ආණ්ඩුව ලියලා නෑ, ඒකේ හැම අකුරක් පාසාම ලියන්නේ කෙටුම්පත් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලියපු අයවැය යෝජනාව ජනාධිපතිතුමා ඇවිල්ලා තමන්ගේ අයවැය යෝජනාවක් විදියට කියෙව්වා. එතකොට ඒකේ වැටුප් වැඩිවීම් ගැන, මිනිස්සු බලාපෙරොත්තු වෙලා තිබ්බ දේවල් සියල්ල පුස්සක් බවට පත්වෙලා තියෙනවා. ඒක පුස්සක් බවට පත්වුණා විතරක් නෙවෙයි, කලින් දේශපාලන සංස්කෘතියට අපි බැන්නනේ බොරු කියනවා කියලා. වැටුප් වැඩිකිරීම අස්සේ එළියට ඇවිල්ලා කියනවා වැටුප 15,000කින් වැඩිවුණා කියලා. හැබැයි ඇතුළට ගිහිල්ලා බැලුවට පස්සේ රුපියල් 5000කින් විතරයි වැඩි වෙන්නේ. මෙහෙම බැලුවට පස්සේ ආයෙත් බොරු කියන්නත් සිද්ධ වෙලා තියෙනවා. හරයෙන් ගත්තට පස්සේ මේ අයවැය යෝජනාව ජනතාව බලාපොරොත්තු වෙච්ච, ජනතාවට සහන ලැබෙන, මේ රට යන මාර්ගය, මේ ආර්ථික ගමන යන මාර්ගය වෙනස් කරන, වෙනත් දිශාවකට යන අයවැයක් නෙවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීපු අයවැයක්. ඒක ලියන්න මැදිහත් වෙච්ච මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ගත්තත්, ඔහු කෙළින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක්.
අයවැය එළියට ආවට පස්සේ ඒකට හොඳ කිව්වේ මිනිස්සු නෙවෙයි. කවුද හොඳ කිව්වේ? මහබැංකුවේ අධිපති නන්දලාල් මහත්තයා. ජනතාව දිගටම පීඩාවට පත්කරන්න කටයුතු කරපු අය. ඊට අමතරව ආයෝජන මණ්ඩලය. ආයෝජන මණ්ඩලය කියලා කියන්නේ මේ රටේ හාම්පුතුන්ගේ අයිතිකාරයෝ. ඒගොල්ලෝ තමයි කිව්වේ. කොළඹ තිබ්බ මේ රටේ ප්‍රකට ව්‍යාපාරිකයන්ගේ සමුළුවකදී ඔවුන් ප්‍රශංසා කරනවා ඔවුන් ඉල්ලපු දේ අනුර කුමාර දිසානායක මහත්තයා දුන්නා කියලා. එතකොට අනුර කුමාර දිසානායක මහත්මයාව බලයට ගේන්නේ ඔය හාම්පුත්තු ටික නෙවෙයිනේ. මේ රටේ මේ වතුවල ඉන්න, කුඹුරුවලට, කුඩා තේවතුවලට, ලැයිම්වලට, යාපනේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට කම්කරුවෝ, පතල්වල ඉන්න අය, කර්මාන්ත ශාලාවල ඉන්න අය. මේ අය තමයි බහුතරයක් මේ ආණ්ඩුව ගේන්න ඡන්දේ දුන්නේ. අර හාම්පුත්තු ටික නෙවෙයි. හාම්පුත්තු ටික සාද දාලා මේක සමරනවා. සාමාන්‍ය මිනිස්සු මේ වෙනකොට මේකෙන් මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්නනවා. ඔන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ඒ ක්‍රමවේද ඉස්සරහට යමින් තියෙනවා.
සහල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ජාතික ජන බලවේගය මැතිවරණයට කලින් කිව්වා එක පෑන් පහරින් අපි මේ ප්‍රශ්නය විසඳනවා කියලා. ඒගොල්ලන්ට එහෙම කියන්න හේතුවකුත් තිබුණා. මොකද සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විදියට රටේ ගොඩක් තැන්වල ඒගොල්ලෝ උද්ඝෝෂණත් කළා. ඒවා අවංකව කළාද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. රටේ වී මිල අඩුවෙද්දී උද්ඝෝෂණය කළා. හාල් මිල වැඩිවෙද්දී උද්ඝෝෂණ කළා. ඒගොල්ලන්ගේ කම්කරු දිනයට අමුඩ අන්දලා ගොවියෝ ගෙනාවා. ඔය විදියට කාලයක් තිස්සේ වැඩ කරපු ව්‍යාපාර. අපිට ඒ ගැන විවේචනයක් නෑනේ. එතකොට ඒගොල්ලෝ කිව්වා අපි මේකට උත්තරය දන්නවා. අපි ඒ වෙනුවෙන් හැමදාම සටන් කරපු අය. අපි මේ හාල් මාෆියාව අපි විසඳනවා කියලා. පෙරේදා ඩඩ්ලි සිරිසේන මාධ්‍යයට දෙනවා කතාවක්. ඒත් ව්‍යාපාරික සමුළුවකදී. ඩඩ්ලි සිරිසේන කියනවා මොකක්ද මේ ආණ්ඩුව, පිස්සු ආණ්ඩුවක්. මේ කන්නයේ හාල් මෙටි්‍රක් ටොන් ලක්ෂ 26 තියෙනවා. ඒක ගන්න රුපියල් බිලියන 335ක් වැයවෙනවා කියලා. ආණ්ඩුව වෙන්කරලා තියෙන්නේ රුපියල් බිලියන 5යි කියලා. බිලියන 5ක් වෙනකරලා අපිට කෑගහනවා කියලා. ඩඩ්ලි වීරයෙක්. ඇත්තනේ මේ ඩඩ්ලි කියන කතාව. ආණ්ඩුව අයවැයෙන් බිලියන 5ක් වෙන්කරනවා. බිලියන 5කින් මිලදී ගන්න පුළුවන් ජනතාවගේ පරිභෝජනය සඳහා දවස් 4කට අවශ්‍ය වී විතරයි. එතකොට බිලියන 400ක විතර ණය ගන්න ඕනේ. ඒක කාගේ අතේද තියෙන්නේ මේ වී ටික. විශාල මෝල් හිමියෝ ටික රුපියල් 130ට 140ට දැන් වී ටික මිලදී ගන්නවා. එතකොට වී අලෙවි මණ්ඩලයට ගොවියෝ මොකටද රුපියල් 120ට වී දෙන්නේ? මහ මෝල් හිමියා රුපියල් 140ට වී කිරද්දී, ගොවියන්ට පිස්සු නෑනේ ගිහිල්ලා වී අලෙවි මණ්ඩලයට දෙන්නට. ගොවියා කියන්නේ කාලාන්තරයක් තිස්සේ දුප්පත්කමින් මිරිකිලා හිටපු මනුස්සයා. ඒගොල්ලන්ට එහෙම පිස්සුවක් නෑනේ. අන්තිමට අර මහ මෝල් හිමියාව දණගස්සන්නත් බැරිවෙලා තියෙනවා ආණ්ඩුවට. අඩුම තරමෙන් මෝල් හිමියාට මේ ආණ්ඩුවට ඕනේ විදියට වැඩකරන්න කියලා බලකරගන්න බැරුව ඔන්න ඉන්නවා ආණ්ඩුව. ඔන්න මේ සරලව පේන ප්‍රශ්නය. මෝල් හිමියාටත් යටත් වෙලා.
අපි දන්නවා මේ රටේ තිබුණා නිලධාරිවාදය. පොලිසිය ගත්තට පස්සේ අඛණ්ඩව තියෙනවා නිලධාරිවාදයක්. අපි දන්න දේ තමයි මිනිස්සුන්ට ගහනවා, මරනවා, අත්අඩංගුවේදී මිනිස්සු මරනවා, සමහර අපරාධවලට ඍජුව එගොල්ලෝ සහාය දෙනවා. ඔහොම තියෙන අතර එකපාර එනවා පාතාල ප්‍රශ්නය. අලුත්කඩේ උසාවියේ මාත් එදා හිටියා. අපි දිසා අධිකරණය පැත්තේ ඉන්නකොට, මහෙස්ත්‍රාත් අධිකරණය ඇතුළටම ඇවිල්ලා වෙඩි තියලා. මම හිතන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි සාක්ෂි කූඩුවේ ඉන්නකොට කෙනෙක්ව ඝාතනය කළේ. එහෙම ඝාතනය වුණාම රටේ හැදෙනවා රැල්ලක් අපරාධ රැල්ලක් එනවා, පාතාලය ආයෙත් හිස ඔසවනවා කියලා. දැන් මේ කණ්ඩායම් අතර තියෙන ප්‍රශ්න. ඔය ප්‍රශ්න ආවට පස්සේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් එනවා. මිනිස්සුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැකයක් ආවා. සාමාන්‍යයෙන් උසාවිය තමයි ආරක්ෂිතම තැන. සැකකාරයෙක්ට ආරක්ෂිතම තැන තමයි අධිකරණය. එතැනත් මෙහෙම ප්‍රශ්නයක් වුණා. මේක කාලාන්තරයක් තිබ්බ නමුත් සැරෙන් සැරේ උඩට එන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට උත්තර හොයන්න පුළුවන්ද මිනීමරලා? ආණ්ඩුවට පුළුවන්ද ත්‍රස්තවාදියෙක් විදියට හැසිරෙන්න? මිනිස්සුන්ට ආණ්ඩු විවේචනය කරන්න, පොදු දේපළවලට ගහන්න මිනිස්සුන්ට පුළුවන්. මිනිස්සු එහෙම කරලා තියෙනවා. පුළුවන් කියලා මම අදහස් කළේ ඒක හරි කියන එක නෙවෙයි. සාමාන්‍යයෙන් මිනිස්සු එහෙම කරලා තියෙනවා.
එතකොට එහෙම කළාම මනුස්සයෙක් ගලක් ගැහුවා කියලා ආණ්ඩුවට බෑ ඒ මනුස්සයට ගල් ගහන්න. ආණ්ඩුව ඉන්නේ මොකක් හරි තියෙන නීති ක්‍රමයක් තුළ ඒකට උත්තර හොයන්න. ඒකට තමයි ආණ්ඩුවට බලය දීලා තියෙන්නේ. නීති හදන්න, නීති ක්‍රියාත්මක කරන්න. එතකොට ආණ්ඩු තමන්ට වෙඩිතියන කෙනාට පෙරළා වෙඩි තියනවා කියන කතාවක් නෑ. දැන් මොකක්ද වෙන්නේ? පහුවැනිදාම අනුර කුමාර දිසානායක මහත්තයත් එක්ක පොලිසියේ සාකච්ඡාවක් තියෙනවා. ඒ පොලිසියේ සාකච්ඡාවෙන් පස්සේ ඔන්න ගෝඨාභයලා කිව්වා වගේම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයත් කියනවා පාතාලය හැකි ඉක්මනින් මුලිනුපුටා දානවා කියලා. ඔන්න පොලිසියට දෙනවා ඒකට ඕඩර් එක. ඔහොම තමයි ගෝඨාභයත් කළේ. ඕගොල්ලෝ හිතනවද පහුවැනිදා කොටහේනේ සිද්ධියේදී පොලිසිය ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගත්ත දෙන්නෙක්ව පොලිස් අත්අඩංගුවේදී ආයුධ හොයන්න ගියා කියලා වෙඩිතියලා මරනවා. ඒ කෙනාගේ සහෝදරයාගේ සාක්ෂිය අනුව ගහලා මරන්නේ. ගහලා මරලා පස්සේ වෙඩි තියනවා.
කොහොම නමුත් ජීවග්‍රහයෙන් අල්ලගත්ත දෙන්නෙක් ආයුධ පෙන්නන්න ගිහින් මරනවා. ජනාධිපතිතුමා කලින් දවසේ කියනවා පාතාලය මුලිනුපුටා දාන්න කියලා. පහුවැනිදා පොලිසිය වෙඩිතියලා මරනවා. ඇත්තටම මට නම් කිසිම සැකයක් නෑ මේ ඝාතනය ගැන ආණ්ඩුව දන්නවා. ඒ සැකකාරයෝ දෙන්නා ඝාතනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා හෝ ඒ නිලධාරීන් නොදැන සිද්ධ වෙන්නේ නෑ. මුලිනුපුටා දාන්න කියලා කියපු දවසට පහුවදා තමයි මේක වෙන්නේ. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම දේශපාලනයේ ආශීර්වාදය ඇතිව, ඕගොල්ලේ ඕනේ දෙයක් කරන්න, අපි බේරගන්නම් කියලා ඉස්සර ගෝඨාභය කියන්නේ. ඒ විදියට වෙච්ච ඝාතනයක් කියන එක ගැන මට නම් කිසිම අවිශ්වාසයක් නෑ. මිනිස්සු ශිෂ්ටත්වය බලාපොරොත්තු වුණු, යහපත් රාජ්‍ය පාලනයක් බලාපොරොත්තු වුණු දේ සම්බන්ධයෙන් ඔන්න ඒ පැත්තෙන් රට යමින් තියෙන තැන.
දැන් මිනිස්සු ගන්න ඕනේ තීරණයක්. එතකොට මේකේ වාසිය ආයෙත් රනිල් වික්‍රමසිංහලට, සාගල රත්නායකලට යන්න දෙන්න පුළුවන්ද අපිට? දැන් රනිල් වික්‍රමසිංහ ආයෙත් පාර්ලිමේන්තු එන්න යනවනේ. ආයෙත් පාර්ලිමේන්තු එනවලු එයා. මේ එළවපු මනුස්සයා. ඊළඟට නාමල් රාජපක්ෂ ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා මම රට බාරගන්න කැමැතියි කියලා. දැන් මේ ආණ්ඩුව ජනතාවට ඕනේ දේ කරන්නේ නැති වුණාම ඔන්න නැගිටලා එන්නේ කවුද? නාමල් රාජපක්ෂ. සජිත් ප්‍රේමදාස සාකච්ඡා පවත්වනවා රනිල් එක්ක එකතු වෙන්න. එකතු වුණත් වෙන් වුණත් එකම තමයි. එකම ගැඩවිලා දෙකට කැපුවාම දෙපැත්තේ ඉඳන් නටනවා වගේ. වෙනසක් නෑ. මේක ඇතුළේ අර පරණ පිළිල ටික නැවත රඟන්න පටන් අරන් තියෙනවා. අපිට ඒක ඉඩ දෙන්න පුළුවන්ද? අපිට දේශපාලන අභියෝගයක් තියෙනවා. එන්.පී.පී. එක පරාජය කරන්න මිනිස්සු ගත්ත තීරණය හරි කියනවට වඩා, ඒකේ අනිත් පැත්ත හරි. රනිල්ලා සජිත්ලා නාමල්ලා පරාජය කරන්න මිනිස්සු ගත්ත තීරණය හරියටම හරි. ඒ තීරණය මේ රටේ සදාකාලික තීරණයක් බවට පත්වෙන්න ඕනේ. ඒ ඔළුගෙඩි ටික නැවත නැගිටින්න ඉඩ නොදීම සඳහා ජන අරගල සන්ධානයේ අපිට වගකීමක් තියෙනවා. අපි ඒක බාර අරන් තියෙනවා.
අනිත් අතට මේ ආණ්ඩුව ආරක්ෂා කරන ක්‍රමය පරාජය කරන්න ඕනේ. ඒකෙන් මේ ආණ්ඩුව පරාජය වෙනවා නම් අපිට කරන්න දෙයක් නෑ. කවුරුවත් අපිට කියන්න එන්න එපා. මේ ආණ්ඩුව වට්ටන්න ඕගොල්ලෝ උත්සාහ කරන්නේ කියලා. අපිට මේ ආණ්ඩුව මොකක් වුණත් වැඩක් නෑ, ආරක්ෂා කරන්නේ මේ ආර්ථික ක්‍රමය නම්. ආරක්ෂා කරන්නේ ධනකුවේරයෝ ටිකම නම්. ආරක්ෂා කරන්නේ ඩඩ්ලිලාව නම් අපි මේ ආණ්ඩුව එක දවසක් හරි තියාගන්න ඕනේද? ආරක්ෂා කරන්නේ අර මූල්‍ය අරමුදල නම්, එක දවසක්හරි අපි මේ ආණ්ඩුව තියාගන්න ඕනෙද? ආරක්ෂා කරන්නේ අදානිලාව නම් අපි මේ ආණ්ඩුව තියාගන්න ඕනෙද? ආරක්ෂා කරන්නේ නම් ආයෝජන මණ්ඩලයේ ඉන්න ධනපතියෝ ටික නම් අපි මේ ආණ්ඩුව තියාගන්න ඕිනෙද? නෑ ඕනේ නෑ. අපි මේ ආණ්ඩුව වට්ටනවා. වට්ටන්නේ මේ ක්‍රමයට ඔවුන්ට පක්ෂ නම්. ඔන්න අපි ඔප්ෂන් එකක් දෙනවා ආණ්ඩුවට පුළුවන් නම් මේ ක්‍රමයට විපක්ෂයි කියලා පෙන්නන්න ක්‍රියාවෙන්. බෑ, වෙවුලනවා. ක්‍රමයට විපක්ෂව එක වචනයක් කියන්නේ නෑ. මේ රට ගොඩදාපු කම්කරුවට ස්තුති කරන්නේ නෑ. ස්තුති කරන්නේ මහින්ද සිරිවර්ධනට. හාන්ස් විජේසූරියලට. මේ ධනපතියෝ ටිකට තමයි ස්තුති කරන්නේ. බජට් එකේ ස්තුති කරන්නේ නෑ ණය ගෙවන්න මහන්සි වෙච්ච, ශ්‍රමය වගුරපු කම්කරුවට. එතකොට මේ ගොල්ලෝ නියෝජනය කරන්නේ ඒ පන්තිය. ඒ ක්‍රමය.
රොකට් එකක් ටික ටික උඩට යන්න යන්න ඒකේ කෑලි හැලෙනවනේ. කෑලි හලලා ඒක ඉලක්කයට යන්නයි හදලා තියෙන්නේ. අපිට වැදගත් රොකට් එකේ තිබ්බ ධනවාදය යන ජනතාව අගාධයට ගෙනියන ධනපති ක්‍රමයට යන රොකට් එකේ වංචා දූෂණ කියලා පොඩි කෑලි වැට්ටුවට අපිට වැඩක් නෑ, ඒකෙන් අපිට වෙන සෙතක් නෑ, අපිට මේ රොකට් එක යන මග වෙනස් කරන්න ඕනේ. රොකට් එක මේ නව ලිබරල් මාවත දිහාවට යද්දී, ඒ රොකට් එක එළවන මනුස්සයව ඇදලා අරගෙන හරි පැත්තට ගෙනියන්න තමයි අපිට සටන තියෙන්නේ. පොඩි පොඩි කෑලි හැලුවට අපිට වැඩක් නෑ. දැන් වෙමින් තියෙන්නේ පොඩි පොඩි කෑලි හල හලා කියනවා යන්නේ අතනට කියලා. ධනවාදයට යන්නේ. ධනකුවේරයන්ගේ න්‍යායපත්‍රයට යන්නේ. අපිට එතනට යන්න බෑ. වැරැදි පාරේ නම් යන්නේ අපි මේකේ සුක්කානම අතට ගන්න ඕනේ. මේක හරි දිශාවට යන්න. එතකොට අපි පැහැදිලිව කියනවා ඔව්, අපි බලය අරගෙන මේ ක්‍රමය වෙනස් කරන ව්‍යාපාරයක් හදමින් ඉන්නවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි බලය ඉලක්ක කරගත්ත ව්‍යාපාරයක්. ඒ බලයේදී අපි කෙළින්ම මිනිස්සු ෆ්ලැට් වෙන්න ගහපු රනිල්ලා, සජිත්ලා, නාමල්ලා මේ පන්තිය ඔවුන් නියෝජනය කරපු පන්තියට නැවතත් ෆ්ලැට් වෙන්න ගහනවා ඇරෙන්න අපි ඔවුන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ. ඒකයි මිනිස්සුන්ගේ අභිලාෂය.










