සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘රජය ජනතාවට ප්‍රකාශ කළ දේවල්වලට විරුද්ධව අද වනවිට කටයුතු කරනවා. සහල් ආනයනය කරන්නේ නැති බව කියු ආණ්ඩුව 2025 වසරේදී සහල් ටොන් 67,000 ක් ගේන්න කටයුතු කරනු ලැබුවා. නමුත් නැවත එක් ආනයනකරුවෙකුට කිරි සම්බා ටොන් 1040 ක් ආනයනය කරන්න ආණ්ඩුව අවසර ලබා දී තිබෙනවා. මෙවර කන්නයෙන් විශාල අස්වැන්නක් ලැබීමට නියමිතයි. එවැනි අවස්ථාවක ආණ්ඩුව සහල් ආනයනය කරන්න කටයුතු කරනවා. සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය සහල් පමණක් ආනයනය කරන්න ආණ්ඩුව කටයුුතු කළ යුතුයි. ආණ්ඩුව සහල් ආනයනයෙන් මුදල් උපයන්න කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ආණ්ඩුවේ කළමනාකරණයක් නොමැති වැඩපිළිවෙළ හේතුවෙන් ගොවීන් අන්ත අසරණ තත්ත්වයට පත් වී සිටිනවා. සිංහල හින්දු අලුත් අවුරුද්දට දින කිහිපයක් තිබියදී පිටරටින් සහල් ආනයනය කරන්න ආණ්ඩුව සුදානම් වෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙනැවිත් විශාල පාඩුවක් කළා වගේ සහල් ආනයනය හරහාත් රටට විශාල පාඩුවක් අත් කරන්න ආණ්ඩුව උත්සහ දරනවා.
ඒ වගේම 1994 දී ගොවින්ගේ ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 21 ක් තිබුණා. නමුත් අද වනවිට ගොවීන්ගේ ආදායම දළ දේශිය නිෂ්පාදනයෙන් සියයට 7 ක් දක්වා අඩු වී තිබෙනවා. ගොවීන් අද දුප්පත් වී තිබෙනවා. ඒ වගේම යල කන්නයට අවශ්‍ය පොහොර වලින් යුරියා ටොන් ලක්ෂයක අඩුවක් තිබෙනවා. ආණ්ඩුව මේ ප්‍රශ්නයට වගකිව යුතුයි. මැද පෙරදිග යුද්ධයට පෙර මෙම පොහොර තොගය ආනයනය කරන්න ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ඒ නිසා ගොවීන් අද අන්ත අසරණ වී තිබෙනවා. අද්දැකිම් නැති පාලකයක් රට පාලනය කිරීම හේතුවෙන් ගොවීන් අසරණ වී තිබෙනවා. ආණ්ඩුව අද ගොවීන්ගේ පිළිබඳව කිසිදු සංවේදිභාවයක් නැහැ. ආණ්ඩුව මහා පරිමාන සහල් මෝල් හිමියන් පොහොසත් කරන්න කටයුතු කරමින් සිටිනවා.
ඒ වගේම රබර් ගොවීන් , තේ ගොවීන්ද ප්‍රශ්න රැසකට මුහුණ දී තිබෙනවා. ආණ්ඩුවට මෙම ගොවීන් සඳහා ලබාදෙන පිළියම කුමක්දැයි ආණ්ඩුව වහාම පැහැදිලි කළ යුතුයි. ආණ්ඩුව සැලැස්මක් නොමැති නිසා ගොවීන්ට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. ආණ්ඩුව සැලැස්මකුත් නැහැ දැනුමකුත් නැහැ. බොරු කියලා බලය ගත්ත ආණ්ඩුව ගොවීන් අන්ත අසරණ කර තිබෙනවා. ඒ වගේම ගොවීන්ට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්න ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ඩීසල් මිල සියයට 38 කින් වැඩි වී තිබෙනවා. ඒ පීඩනය ගොවීන්ට බලපානු ලබනවා. ඒ වගේම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවුණත් ගොවීන්ගේ අස්වනු වලට නිසි මිලක් ලැබෙන්නෙ නැහැ. අස්වනුවල මිල වැඩි වෙන්නේ නැහැ.
ඒ වගේම විදුලි බල ඇමැතිවරයාට වංචා දුෂණ චෝදනා එල්ල වෙනවා. නමුත් ඔහුට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඇමැතිවරයාට නඩු පවරන්න නොහැකි ලෙස රටේ නිති හදලා නැහැ. ඇමැතිවරයා රජයේ නිලධාරියෙක් ලෙස කටයුතු කළ සමයේ දුෂණ චෝදනාවක් එල්ල වී තිබෙනවානම් එය ඇමැතිවරයාව සිටින කාලයේදීත් වලංගු වෙනවා. කෙසේ නමුත් ගල් අගුරු ගෙන්වීමේදී චෝදනා එල්ල වුණ බලශක්ති ඇමැතිවරයාටම ඉන්ධන ගෙන්වීමටත් ඉඩ ලබාදී තිබෙනවා. ඉදිරියේදී මේ නිසා තවත් ඉන්ධන මිල ඉහළ යාමට හැකියාව තිබෙනවා.
ඒ වගේම ගම්මන්පිල මහතාගේ කෘතියේ එළිදැක්වීමට විපක්ෂයේ පක්ෂ සියල්ල සම්බන්ධ වුණා. කෙසේ නමුත් ඔහුගේ කෘතියේ තිබෙන සියලුම කරුණු වලට සමගි ජනබලවේගය එකඟ වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සමගි ජනබලවේගය මීට පෙර සිටි ස්ථාවරයේම අදටත් සිටිනවා. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් කතොලික ජනතාව විශාල පිරිසක් අගතියට පත්වුණා. මුස්ලිම් ජනතාව චුදිතයන් බවට පත්වුණා. මෙම වාසිය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත්තා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට උත්තර සොයන බව කියමින් අනුර දිසානායකත් ජනාධිපති බවට පත් වුණා. මෙම අවස්ථා දෙකේදීම අවාසිය අත්වුණේ සජිත් ප්‍රේමදාස මහතාට. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයේ සැබැ මහමොළකරු සොයා ගත යුතුයි. එම පුද්ගලයාට හෝ කණ්ඩායම දඩුවම් ලබා දිය යුතුයි. ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෙලි කරන බව කිව්වත් තවම ඒ බව ප්‍රකාශ කරන්න වර්තමාන ආණ්ඩුව අපොහොසත් වී තිබෙනවා. ඒ වගේම පාස්කු ප්‍රහාර පිළිබඳව සොයන්න දේශිය විදේශිය විමර්ශකයින් පත් කර මෙම සිද්ධිය පිළිබඳව සොයන බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම විශේෂ කමිටුවක් පත් කර විශේෂ විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය අදටත් එම ස්ථාවරයේ සිටිනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැබැ පිරිස වහාම හෙළි කරන ලෙස සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ගම්මන්පිල මහතාගේ කෘතියේ තිබෙන සියලුම දේවල්වටල සමගි ජනබලවේගය එකඟවෙන්නේ නැහැ.‘‘










