ඛේදවාචකයක්, බරපතළ සමාජ ප්‍රශ්නයක් කියලා එක ප්‍රවෘත්තියක් පහුගිය දවසක සමාජගත වෙන්න පටන් අරගත්තා. මේ ප්‍රවෘත්තියේ සාරාංශය වුණේ පාසල් සිසුවියන් ගැබ්ගැනීම් විශාල වශයෙන් වැඩිවෙලා තියෙනවා කියන එක. වෙන විදිහකට සරල කරලා කිව්වොත් පාසල් වයසේ මවුවරුන් ප්‍රමාණය ඉහළ ගිහිල්ලා කියන එක. අඩු වයසින් දරුවන් ගැබ්ගැනීමේ ප්‍රමාණය ඉහළ ගිහිල්ලා කියන එක තමයි මෙතැනදි සඳහන් වුණේ. Sri Lanka Latest News
මේක ඉතා බරපතළ සහ ඉතාම නරක තත්ත්වයක්. මේ පිළිබඳ සඳහන් කරන්නේ කන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ්. ඇය මේ ගැන කිව්වේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී. මේ පිළිබඳ පැහැදිලි කර ගනිද්දී ගණන් හිලව්වලින් නෙමෙයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. වැදගත් වෙන්නේ මේකෙ තියෙන අවදානම සහ මේකේ තියෙන භයානකකම බරපතළකම.
පහුගිය මාස කීපය ඇතුළේ ටික්ටොක් එකේ ටේරන්ඩ් එකක් වෙලා තිබුණා ලෝකයේ අඩු වයස් ගැබ්ගැනීම්. ටීනේජ් ප්‍රෙග්නන්සි. තරුණ වයසේ දරුවෝ, අවුරුදු 14 – 15 – 16 අය, කවුරු හෝ අතින් තමන් ගැබ්ගෙන, තමන්ගේ ප්‍රෙග්නන්ට් ෆොටෝ ෂූට් එකක් මේවට මුදාහැරීම විලාසිතාවක් වෙලා තිබුණා බොහොම කාලෙකට කලින්. මාස කීපයක් තිස්සේ මේක රැල්ලක් වෙලා අද ඒක ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා කියනවා නෙමෙයි. නමුත් ඒක තමයි ලෝකේ තත්ත්වය. දැන් අපි ජීවත් වෙන්නේ ගෝලීය සංස්කෘතියක. මුළු ලෝකයම එක්ක එක තැනක ඉඳන් ගනුදෙනු කරන්න පුළුවන් තත්ත්වයක. එහෙම තත්ත්වයක් යටතේ අපි එක අතකින් ටීනේජ් ප්‍රෙග්නන්සි ගැන දැනගෙන ලෝකේ මෙහෙම විලාසිතාවක් තියෙනවා කියලා දැනගෙන ඒ වගේ වෙන්න තැත් කරනවා නම් ඒක ප්‍රශ්නයක්. හැබැයි අපිට පුළුවන් ලෝකෙට මීට වඩා නිරාවරණය වෙන්න, ලෝකේ ඉස්සරහට යන්න.
දැන් මේ හරහා අපි දැක්කා ලංකාවේ තියෙන ටෙලිනාට්‍යවලට බරපතළ වශයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාසල් සම්බන්ධව කතා කියන ටෙලිනාට්‍යවල. මේවායේ බරපතළ වශයෙන් නියාමනයට ලක් විය යුතු, වෙනස් විය යුතු කරුණු තියෙන වග තමයි බොහෝ දෙනෙක්ගේ අදහස වෙලා තියෙන්නේ.
පාසල කියලා කියන්නේ පරමාදර්ශී ස්ථානයක් විය යුතුයි. පාසලේ ඉන්න විදුහල්පතිවරු සහ ගුරුවරු මීට වඩා නිදහස්ව මීට වඩා දරුවන්ගේ පැත්තෙන් හිතිය යුතුයි කියන එක තමයි අපි නම් විශ්වාස කරන්නේ. ඒකට හේතුව, වයස අවුරුදු 14 – 15 – 16 වෙනකොට ස්වභාවිකව සිද්ධ වෙන හෝමෝන වර්ධනය නවත්තන්න මේ කිසි කෙනෙකුට පුළුවන්කමක් නෑ. මේ විදියට ස්වභාවිකව හෝමෝන වර්ධනය සිද්ධ වෙන දරුවාගේ ශරීරය ලිංගිකව සක්‍රීය වෙනවා. එහෙම වුණාම අපි දන්නවා ජීව විද්‍යාත්මකව මේ ශරීරය මේ විදිහට සකස් වෙලා තියෙන්නේ දරුවන් බිහි කිරීම සඳහා. ඒ සඳහා අවශ්‍ය වෙන මූලික සුදුසුකම් සම්පූර්ණ කරපු දරුවාව විශේෂයෙන් තේරුම් බේරුම් කරලා දීලා ආරක්ෂා කරගැනීමයි සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැතුව දැඩි නීතිරීති සහ දැඩි විනය කරුණු පාවිච්චි කරමින් ඒ දරුවා අපහසුතාවට පත්කරමින් මේ වැඩේ කරන්න යනවා නම් ඒක බරපතළ ප්‍රශ්නයක්.
අපි දැක්කා පහුගිය දවසක සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා දරුවෙක් ගාව තිබිච්ච කාඩ් වගයක් දෙකට කපපු විදුහල්පතිවරයෙක්. මේ කාඩ් ටික දෙකට කැපුවාම විදුහල්පතිවරයාට ලැබෙන තෘප්තිය මොකක්ද කියලා අපිට තේරෙන්නේ නෑ. දරුවන්ගේ ජංගම දුරකතන අරගෙන මාස ගණන්, අවුරුදු ගණන් තියාගෙන ඉඳලා ඒවා ආපහු දෙන විදුහල්පතිවරුන්ගේ කතන්දර අපි දන්නවා. විදුහල්පතිවරු හිතාගෙන ඉන්නවා නම් මේ රටේ දරු දැරියන්ගේ හෝමෝන වර්ධනය තමන්ගේ නීතිරීතිවලින් සීමා කරන්න පුළුවන් කියලා එහෙම එකක් නෑ. මේ හෝමෝන වර්ධනය ඊට වඩා දැඩි ලෙස ශරීරය ඇතුළේ සිද්ධ කරනවා. ඔබ පාසල ඇතුළට දාන නීතිරීතිවලට විරුද්ධව ඒ හෝමෝන ක්‍රියාත්මක වෙනවා, කෑ ගහනවා, මට ඕනේ ප්‍රේමයක්, මට ඕනේ ආලිංගනයක් කියලා. එතකොට ඒ දරුවාගේ ශරීරයට දැඩි අපහසුවක් දැනෙන්න පටන් අරගන්නවා. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න බැරි විදුහල්පතිවරයෙකුට බෑ රටක පාසලක් කරන්නවත්. ඉතින් ඒ නිසා මේ තත්ත්වය අවබෝධ කරගත යුතුයි.
ලංකාවේ අපි දන්නවා ළමා හා කාන්තා කාර්යාංශයක් තියෙනවා පොලිසිවල. ඒ වගේම පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් ඉන්නවා හැම ප්‍රදේශයකම. හැම පවුලක්ම, හැම ගෙදරක්ම ආවරණය වෙන, හැම ගෙදරකටම වගකිව යුතු පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් ලංකාවේ ඉන්නවා. ඒ වගේම අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හා කාන්තා අංශයක් තියෙනවා. මේ හැමෝටම වගකීමක් තියෙනවා. යුතුකමක් තියෙනවා මේ වගේ මෙවැනි ප්‍රශ්න ඇතිවීම වළක්වා ගැනීමට.
අඩු වයසින් ගැබ්ගැනීම නිසා ඇතිවෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. එහි එක ප්‍රතිඵලයක් තමයි අපි දැක්කේ පහුගිය දවසක වෙල්යායකින් හමුවුණු සිඟිත්තියගේ කතාව. ඇගේ අම්මා අඩු වයසින් ගැබ්ගත්තා කියනවා. අපි දන්නේ නෑ. නමුත් මේ අනවශ්‍ය ගැබ් ගැනීමක්. ඉතින් අපි පළමුව හිතනවා ලංකාවේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය දැන් ලබාදිය යුතුයි කියලා. එතකොට ඔබ හිතාවි අඩු වයසින් ගැබ්ගන්න දරුවන්ට මොකටද ලිංගික අධ්‍යාපනය කියලා. ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ ලිංගිකව හැසිරීම පිළිබඳ අධ්‍යාපනය විතරක් නෙමෙයි. ලිංගිකව හැසිරීමේදී ඇතිවෙන ගැටලු, ඒවාට මුහුණ දෙන ආකාරය, ඒවායින් ආරක්ෂා වෙන ආකාරය, ඒවායේ සත්‍ය අසත්‍යතාව, විශ්වාස, ඇදහිලි, පුද සිරිත්, චාරිත්‍ර වාරිත්‍ර සහ ඒවාට ගැළපෙන සෞඛ්‍ය, විද්‍යාව, ජීව විද්‍යාව කියන දේවල් ටික අපි මේ රටේ දරුවන්ට උගන්වන්න ඕනේ. මේක රහසක් විදිහට තියාගෙන රෝස කැලෙන් බබ්බු ගේන කතන්දරේ තවදුරටත් සමාජයට අරගෙන ගියොත් දරුවා හිතන්නෙත් එයාගේ බඩට ඇවිල්ලා තියෙන්නේ රෝස කැලෙන් ආපු බබෙක් කියලා. බඩට බබ්බු ගෙනත් දෙන්නේ කොක්කු නෙමෙයි කියන එක අපි දරුවන්ට ඉක්මනට කියලා දෙන්න ඕනේ. ලිංගික අවයව ගැන පරිණත දැනුමක් දරුවාට තියෙන්න ඕනේ. ලිංගිකව හැසිරීම ගැන පරිණත දැනුමක් දරුවාට තියෙන්න ඕනේ. ඒ වගේම ලිංගිකව හැසිරුණායින් පස්සේ කොහොමද ආරක්ෂා වෙන්නේ, ආරක්ෂා වීම සඳහා භාවිත කරන්න පුළුවන් උපක්‍රම මොනවද, ඒ සඳහා විද්‍යාත්මකව තියෙන මිලදීගත හැකි දේවල් මොනවද, මේ සියල්ල අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ මේ විදිහට දරුවෝ බිහි වුණොත්, ඒ දරුවොත්, මවුපියොත් සමාජයට මුහුණ දෙද්දී ඇතිවෙන ගැටලු. ඒ වගේම විද්‍යාත්මක ප්‍රශ්න.
දරුවෙක් අඩු වයසින් ගැබ්ගනිද්දී ඇගේ ශරීරය හෝමෝන ක්‍රියාකාරීත්වයෙන් සූදානම් වුණාට, ඇගේ ශරීරය ජීව විද්‍යාත්මකව සූදානම් නැති වෙන්න පුළුවන්. ඇගේ උකුළ, ඇගේ ළැම, ඇගේ ගර්භාෂය, ඇගේ පියයුරු මේ සඳහා නිසි සූදානමකින් තියෙන්න ඕනේ. නැති වුණොත් වෙන්නේ අඩු බර දරු උපත්, ළදරු මරණ, මාතෘ මරණ, දරුවන්ගේ උපතින් පස්සේ සංකූලතා ඇතිවීම් වගේ ප්‍රශ්න. ඉතින් මේ තත්ත්වයන් දරුවන්ට නිසි ආකාරව අවබෝධ කරලා දෙන්න පුළුවන් වැඩිහිටි පිරිසක් මේ රටේ ඇති කියලා අපි විශ්වාස කරනවා. මේක රටක් විදිහට ජාතික වැඩපිළිවෙළක් විදිහට කරගෙන යන්න ඕනේ දෙයක්.
අපි දන්නවා ලෝකේ දියුණු රටවල දරුවන්ට උපත් පාලනය පිළිබඳ පුළුල් දැනුමක් ලබාදීලා තියෙනවා. ඔබ හිතාවි අපි අපේ දරුවට උපත් පාලනය ගැන කියලා දෙන්නේ මොකටද, අපේ දරුවා හරි හොඳයිනේ කියලා. නෑ, ඔබේ දරුවා එච්චර හොඳ නෑ. දරුවෝ එහෙම හොඳ වෙන්න බෑ. මොකද ශරීරය විසින් ඔබ ඔය කියන හොඳ කියන එකට වඩා ප්‍රතිවිරුද්ධ ලෙසින් නරක දරුවාට උගන්වනවා. ඒක ලෝකෙන් ඉගෙන ගත්ත එකක් නෙමෙයි, ශරීරය විසින් කියලා දුන්න එකක්. ජීව විද්‍යාත්මකව කියලා දුන්න එකක්. වර්ගයා පවත්වා ගැනීම සඳහා ශරීරය විසින් කරන බලකිරීමක්. ඒ ගැන අනුකම්පා කරලා දරුවන්ට දරුවන් වගේ නිදහසේ ඉන්න අවශ්‍ය කරන දැනුම අපි ලබා දෙමු.
ඔය සදාචාරය, සංස්කෘතිය, අනං මනං වැදි බයිලාවලින් දැන් තවදුරටත් වැඩක් නෑ. අපි ඉන්නේ ගල් යුගයේ නෙමෙයි. අපි ඉන්නේ දැන් ඉන්ටර්නෙට් එක්ක, ටික්ටොක් එක්ක, වට්ස්ඇප් එක්ක, ලෝකෙත් එක්ක කනෙක්ට් වෙච්ච යුගයක. ඒ නිසා දරුවන්ට දැන් ලෝකේ දිහා බලන්න පුළුවන්. ලෝකේ දකින්න පුළුවන්. ලෝකේ හොයන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් මේක තිර රෙද්දකින් වහලා තියන්න පුළුවන් කතාවක් නෙමෙයි. අපි දැන් එළියට ඇවිල්ලා මේ ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා ඇමැතිතුමිය ඇතුළු ප්‍රභූ, දැනුම තියෙන, කරන්න පුළුවන් අයගෙන් අපි ඉල්ලන්නේ දැන්වත් පටන් ගමු. නැත්නම් සිද්ධ වෙන්නේ අඩු බර දරු උපත් ගැන, උපත් මරණ ගැන ඉලක්කම්වලින් ගණන් හදන්න විතරයි.

ජීවන පහන් තිළිණ










