21 වන සංශෝධනය ගෙන ආ සමගි ජන බලවේගය ඊට එරෙහි බවට රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ එකුමාගේ ඥාතීන්ට අයත් ලංකාදීප පුවත්පත ලවා අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටින බව චමින්ද විජේසිරි මහතා කීය.
මේවා පහත් වැඩ බවත්, සමගි ජන බලවේගය 21 වන සංශෝධනයට පක්ෂ බවත් කී ඒ මහතා රාජපක්ෂ කදවුර ආරක්ෂා කරන කිසිදු සංශෝධනයකට එකග නොවන බවත් කියා සිටියේය.
21 සංශෝධනයට සජබය එරෙහි බව ඊයේ ලංකාදීප පුවත්පත පළ කර තිබුණේ පහත ආකාරයටය. ලංකාදීප පුවත්පත යනු රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන මහතාට අයත් පුවත්පතය.
රංජිත් විජයවර්ධන මහතාගේ පුතා වන රුවන් විජයවර්ධන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට නෑකමින් මස්සිනාය. ඒ රුවන් විජයවර්ධන අද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයාද වේ.
මේ සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ඊයේ පළ කළ අදහස් මෙසේය.
සමගි ජන බලවේගය විසි එක් වෙනි සංශෝධනයට විරුද්ධ බවට ජාතික යැයි කියාගන්නා මාධ්‍යයක් විසින් අමූලික බොරුවක් ජනගත කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටට මෙන්ම පාර්ලිමේන්තුවට කාටත් පෙර ඉදිරිපත් කළේ සමගි ජන බලවේගය යැයි ප්‍රකාශ කළ විපක්ෂ නායක තුමා, එවන් විසි එකකට තමන් විරුද්ධ වන්නේ කුමක් නිසා දැයි ප්‍රශ්න කළේය. නැවත වතාවක් දහ නවවන සංශෝධනය ගෙන එන්නටත් ඊට අදාළ ප්‍රබුද්ධ යෝජනා ඉදිරිපත් කරන්නටත් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ හරහා 21වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව ද පැවසීය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම,ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයන් ශක්තිමත් කිරීම,සංවරණ හා තුලන ක්‍රමවේදය,ජාතික ආරක්ෂක කවුන්සලයක් පිහිටුවීම වැනි යෝජනා ඒ අතර වන බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ සියල්ල අමතක කොට ඇති කිසියම් මාධ්‍යයක් සහමුලින්ම බොරුව සමාජ ගත කරමින් සිටින බව පැවසීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවදුරටත් ජනාධිපති ධුරයෙ රැඳී සිටිනවාට තමන් විරුද්ධ බවත්,ජන අරගලය පාවා දෙන්නන්ට තමන් විරුද්ධ බවත්,හොර පාරෙන් පොහොට්ටුවේ පිහිටෙන් ජනාධිපතිකම් ගන්නට යන අයට වාසි වෙන විදිහට හදන ව්‍යවස්ථාවන්ට තමන් විරුද්ධ බවත් විපක්ෂ නායකතුමා පැවසීය.