පරාක්‍රම සමුද්‍රය වටේ ජොගින් පාත් එක හදලා ඉවරද? ඒ ගැන ආරංචිද? එක එක කතන්දර නම් තැන් තැන්වල ඕනෙ තරම්. සමහරු කියනවා මේක හදන්නම ඕනෙ කියලා. තව සමහරු කියනවා හදන්න දෙන්නෙම නෑ කියලා. ඇත්තටම හදන්න ඕනෙ කියන කට්ටියයි, හදන්න දෙන්නෙ නෑ කියන කට්ටියයි දෙගොල්ලොම කරන්නේ දේශපාලනයක් කියලා අපට හිතෙනවා. සමහර වෙලාවට අපි වැරැදි ඇති. අපි වැරැදි වුණත් අපි හරි වුණත් පරාක්‍රම සමුද්‍රයෙ ජොගින් පාත් එක හදන එක හරිද වැරැදිද කියන එක සම්බන්ධව මේ කියවන ඔබට අදහසක් ඇති. ඒ කියන්නේ සමහර විට ඔබට මේ දෙපැත්තෙන් එක පැත්තක් ගන්න හිතිලා ඇති. සමහර විට ඔබ ජොගින් පාත් එක හදනවට කැමැති කණ්ඩායමේ කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔබ ජොගින් පාත් එක හදන එක නතර කරනවට කැමැති කණ්ඩායමේ කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ කොයි එකකට හරි ඔබේ දේශපාලනය සම්බන්ධයි නම් මේ ලිපිය මෙතැනින් එහාට කියවන්න එපා. මොකද හේතුව ඔබ දේශපාලනය කරේ තියාගෙන පාට කණ්ණාඩියකින් අපේ අකුරු කියවන කෙනෙක් නම්, මේ ලිපිය කියවලා ඉවර වෙනකොට ඔබ කවුරු වුණත් ඔබට අපිව එපාවෙයි. හැබැයි පාට කණ්ණාඩි නොදා ඇත්තටම පොළොන්නරුවට හරි පරාක්‍රම සමුද්‍රයට හරි ආදරේ කරන කෙනෙක් විදියට ඔබ ජොගින් පාත් එක හදන එකට විරුද්ධයි නම් ඔබ මේ ලිපිය කියවන්න.
සමහර විට ඔබට ශරීර සෞඛ්‍ය ගැන තියෙන උනන්දුව ගැන නිසා, මිනිස්සු සෞඛ්‍ය සම්පන්න විය යුතුයි කියලා හිතන නිසා ජොගින් පාත් එක හදනවට ඔබ කැමැති නම් මේ ලිපිය කියවන්න. මොකද ඒ දෙගොල්ලොම වෙනුවෙන් මේ ලිපිය ලියන්න ඕනෙ කියලා අපි තීරණය කළේ. ඇත්තටම ජොගින් පාත් එකක් කියලා කියන්නේ මොකක්ද? ජොගින් පාත් එකක් කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නයට අපි දන්නවා පොළොන්නරුවෙ ගොවියො වැඩි පිරිසකට උත්තරයක් නෑ. ඒකට හේතුව ඒ මිනිස්සු මෝඩයි කියන එක නෙවෙයි. ඒකට හේතුව ඒ මිනිසුන්ට ජොගින් පාත් ඕනෙ නෑ කියන එක. මොකද ජොගින් පාත් එකක් කියලා කියන්නේ මිනිසුන්ට තමන්ගෙ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා ඇවිදීමට සකස් කරපු මං තීරුවක්. මේ විදියට ඇවිදීම සඳහා සැකසූ ස්ථාන රැසක් ඔබ කොළඹ නගරයට එන යන කෙනෙක් නම් ඔබට දකින්න ලැබෙනවා. සමහර ඒවා තියෙන්නේ ප්‍රධාන මාර්ගය අසල. සමහර ඒවා තියෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් ඈත. බොහෝ විට රාජකාරිවල නිරත වෙලා ඉන්න අය තමන් පුටුවලට වෙලා නැත්නම් තමන්ගෙ වාහනයෙ ආසනයට වෙලා ගතකරන කාලය වැඩියි කියලා දැනුණට පස්සේ ශරීරයේ තියෙන මේද දහනය කරගැනීමට අවශ්‍ය ශක්තිය වැය කරන්න තමයි මේ ස්ථාන පාවිච්චි කරන්නේ. ඒක සරලව කියනවා නම් අපේ රටේ ඉන්න වැඩි ප්‍රමාණයක් දැන් ඉන්නේ කන්තෝරුවලට වෙලා පුටුවල ඉඳගෙන ඉන්න කට්ටිය. ඒගොල්ලන්ට කන්තෝරුවට යන්න එන්න සුවපහසු වාහන තියෙනවා. ගෙදර වැඩ රාජකාරි ටික කරන්නත් දැසිදස්සො ඉන්නවා. එහෙම නැත්නම් ගෙදර වැඩ රාජකාරි ටික කරගන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ටික ගෙදර තියෙනවා. ඒ නිසා ඉස්සර වගේ කළෙන් වතුර ගේන්නයි, වංගෙඩියෙ කොටන්නයි, එහෙම නැත්නම් කඩේට පිලට පයින් දුවගෙන යන්නයි ඒගොල්ලන්ට සිද්ධ වෙන්නෙ නෑ. එහෙම සිද්ධ වෙන්නෙ නැති අයට තමන්ගෙ ශරීරය තරබාරු වෙන එක දරාගන්න බැරුව ගියාම, තමන්ගෙ ශරීරයෙ හැඩය පවත්වාගැනීමේ ප්‍රශ්න ඇති වුණාම, ඒ වගේම ශරීර සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න ඇති වුණාම ඒගොල්ලො උපක්‍රමයක් විදියට කරන්න ගත්ත දේ තමයි ඇවිදින එක. නැත්නම් දුවන එක.
මේ විදියට ඇවිදින්න දුවන්න ගැළපෙන තැන් කොළඹ නගරය වටේම තිබුණා. සමහර කාලවල එහෙම තැන් නැති වෙනකොට මිනිස්සු කළේ මූදු වෙරළේ එහෙම නැත්නම් ප්‍රධාන වීදි දිගේ දුවපු එක. මේක එක්කො මිනිසුන්ට කරදරයක් වෙච්ච නිසා, එහෙම නැත්නම් මේ ස්ථානවලට කරදරයක් වෙච්ච නිසා මේ විදියට ජොගින් පාත් නිර්මාණය කිරිල්ල පටන් ගත්තා. ඒක කරන්න ගත්තේ කවුද, ඒකට මූලිකත්වය ගත්තෙ කවුද කියන එක ගැන අපි දන්නෙ නෑ. මේක ඇත්තටම එහෙම දේවල් හොයලා ලියන ලිපියකුත් නෙවෙයි. කොහොම නමුත් ලංකාවෙ ජොගින් පාත් කිහිපයක් තියෙනවා ප්‍රසිද්ධම ඒවා. ටවුන්හෝල් එක පැත්තෙ තියෙන, නිදහස් චතුරස්‍රය වටේ තියෙන ජොගින් පාත් එකට අපි දැකල තියෙනවා බොහෝ දෙනෙක් ඇවිදින්න එනවා. ඒ වගේම තවත් ස්ථානයක් තමයි පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක වටේ තියෙන ජොගින් පාත් එක. මේ විදියට ජොගින් පාත් ප්‍රධාන නගරය වෙච්ච කොළඹින් පිටස්තරවත් අද වෙනකොට ඉදිවෙලා තියෙනවා. එහෙම ඒවා ගම්පහ, මහනුවර, කුරුණෑගල වගේ ස්ථාන රැසක තියෙනවා කියලා අපි අහලා තියෙනවා. හැබැයි මේ තැන් ඉදිවෙලා තියෙන්නේ අත්‍යාවශ්‍ය කාරණාවක් හින්දද, එහෙම නැත්නම් මොකක් හරි දේශපාලන උපක්‍රමයක් හින්දද කියන එක ගැන විවිධ කතන්දර තියෙනවා. සමහර මිනිස්සු කියන්නේ ඒ ස්ථානයෙ තිබුණු පුරාවිද්‍යා වටිනාකම්වලට අදාළ සිහිවටන ගෙදර ගෙනියන්න ඕනෙ නිසා දේශපාලකයො මේ වැඩේ කළා කියලා. තවත් අය කියනවා වැඩේ කළාට පස්සේ තමයි කොන්ත්‍රාත් හරහා දේශපාලකයන්ට, ආයතන කිහිපයකට සල්ලි හම්බවෙන්නෙ කියලා දන්න නිසා ඒගොල්ලො මේවට අවසර දුන්නා කියන එක. කොහොම නමුත් මේ කතාවල අවසන් ප්‍රතිඵලය බවට පත්වුණේ පරාක්‍රම සමුද්‍රයේ රළපනාවෙ ඉදිවෙන්න යන මේ ජොගින් පාත් එක. ඇත්තටම මේ ජොගින් ට්‍රැක් එක හදන්නේ අත්‍යාවශ්‍ය කාරණාවකටද කියන එක අපටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව පොළොන්නරුව වගේ විශාල නගරයක ඒ වගේම විශාල ඉඩකඩම් තියෙන ප්‍රදේශයක නාගරීකරණයට දැඩිව ලක් නොවුණු ප්‍රදේශයක මිනිසුන්ට ඇත්තටම ඇවිදීම පිළිබඳ ප්‍රශ්න තියෙනවද කියන එක ගැන අපට නිකමට හිතෙනවා. අපි හිතමු එහෙම තියෙනවාය කියලා.
බොහෝ විට අපි විශ්වාස කරනවා පොළොන්නරුව, අනුරාධපුරය වගේ ප්‍රධාන නගරවලත් අද වෙනකොට මේ අපි කියපු ජාතියෙ කොළඹ නගරයේ ඉන්න විදියේ තමන්ගෙ රාජකාරි සියල්ලම වාහනෙන් ගිහිල්ලා කරගන්න, පුටුවල ඉඳගෙන රාජකාරි කරන මහත්තුරු නෝනලා ඕනෙ තරම් ඉන්නවා. එහෙම නෝනලාට එහෙම මහත්තුරුන්ට ඇවිදින්න අවශ්‍ය කරන තැනක් හදන්න ඕනෑය කියන එක සම්බන්ධව කාට හරි හිතුණා නම් ඒකෙ වරදක් නෑ. හැබැයි පොළොන්නරුවෙ ඉන්න ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් දෙනා මේ ඇවිදලා තමන්ගෙ ශරීරයේ තියෙන තෙල් බස්සා ගැනීමට අවශ්‍ය අය නෙවෙයි. ඒ මිනිස්සු ගොඩ දෙනෙක් වෙහෙස වෙන අය. පොළොන්නරුවෙ වැඩි ප්‍රමාණයක් ඉන්නෙ ගොවියො. මේ ගොවියන්ට ජොගින් පාත්වල ඇවිදින්න අවශ්‍යතාවක් නෑ. හේනෙ කුඹුරෙ ඕවිටේ දෙණිපතේ තමන්ගෙ දවස ගතකරන මිනිසුන්ට තමන්ගෙ ශරීර සෞඛ්‍යය ආරක්ෂා කරගන්න අමතරව දුවන්න පනින්න ඇවිදින්න උවමනා වෙන්නෙ නෑ. ඒගොල්ලො තමන්ගෙ ගම්තුලානවල ජීවිතය ගතකරන්නේම ශරීර සෞඛ්‍යයට ගැළපෙන විදියට. ඒ මිනිස්සු හරි වාසනාවන්තයි කියලා කියන ගමන් මේ ලිපියෙදි අපි කියනවා එහෙම මිනිස්සුන්ට මේ ජොගින් පාත් එකෙන් වැඩක් නෑ. හැබැයි එහෙම මිනිසුන්ට පරාක්‍රම සමුද්‍රයෙන් වැඩක් තියෙනවා. ඒ මොකද ඒ? පරාක්‍රම සමුද්‍රයෙ වතුර රැස් කළේ මිනිසුන්ට ඇවිදින ගමන් බොන්න නෙවෙයි. මිනිසුන්ගෙ ශරීර සෞඛ්‍යය ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි බත බුලත. බතට බුලතට වතුර දෙන්නයි අපේ රටේ රජවරු මේ වැව් බැන්දේ. මේ වැව්වලින් අදත් වතුර අරගෙන හේන කුඹුර ආරක්ෂා කරගන්න මිනිස්සු ලක්ෂ ගානක් ලංකාවෙ ඉන්නවා. ඒ මිනිසුන්ගෙ හේනෙ කුඹුරෙ වී ටිකෙන් බත සපයාගන්න මිනිස්සු තමයි ලංකාවෙ ඉන්න කෝටි දෙකම. ඒ නිසා බත් කන මිනිසුන්ට කිසිම අයිතියක් නෑ මේ ගොවියන්ගෙ දුකට කඳුළට ඔච්චම් කරන්න. ඒ නිසා අපි හිතනවා වැවට හානියක් වෙනවා නම් කවුරු කළත් කොහොම කළත් මේ සෙල්ලම ඉතා භයානකයි කියලා. වැවට හානියක් නොවෙනවා නම් අපිට එහෙම හිතෙන්නෙ නෑ. හැබැයි යම් විදියකින් මේ හරහා වැවට හානියක් වෙනවා නම් ඒ සම්බන්ධව බලධාරීන් ඇස් කන් පියාගෙන ඉන්න එපා. මොකද හේතුව අපිට රැකගන්න ඕනෙ වැව. අපිට රැකගන්න ඕනෙ ඒ ගමේ ඉන්න මිනිසුන්ගෙ ශරීර සෞඛ්‍ය නෙවෙයි. මේක කිව්වට පස්සෙ කෙනෙක් හිතයි මේක මහ අසාධාරණ කතාවක් කියලා. ඔව්, මේක අසාධාරණ කතාවක්.
මිනිසුන් දහස් ගානකගෙ බඩ වියත රකින කුඹුරු යායවල් අස්වද්දන පරාක්‍රම සමුද්‍රය රැකගන්න තීරණය කරපු අපි තීරණය කරලා තියෙනවා එහෙ ඉන්න තමන්ගෙ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමට විදියක් නැති දුවන්න පනින්න තැනක් නැති මිනිසුන්ගේ ශරීර සෞඛ්‍ය පැත්තකට දාලා වැව බේරගන්න. අපේ මිනිස්සු වැව් බේරගන්න තමන්ගෙ ජීවිත පවා කැප කළා. සමහර විට ඔබ ඒ කතන්දර අහලා ඇති. මේක ඒ කතන්දර කියන්න වෙලාව නොවන නිසා මම ඒ ගැන කියන්න යන්නෙ නෑ. මේ වැව් හැදුවෙ මිනිසුන්ගෙ දාඩිය මහන්සියෙන්. ලක්ෂ ගානක් මිනිස්සු මේ වෙනුවෙන් දවස කැප කළා. වෙහෙසුණා. මේවා අති විශිෂ්ට නිර්මාණය. මුළු ලෝකයක් පුදුමකරවන තරමේ නිර්මාණ. එහෙම නිර්මාණත් එක්ක මෙහෙම සෙල්ලම් කරනවා නම් ඒ මහත්තුරුන්ට කියන්න තියෙන්නෙ ඔබේ උවමනාවල් ඔබේ ආශාවල් ඔබේ කොහේ හරි තැනක තියාගන්න. එහෙම තියාගෙන ඔබට රටක් ලැබුණු දාට ඔබේ රටේ ඔබ ඒවා කරන්න. අපේ රටේ සෙල්ලම් කරන්න හිතන්න එපා. බිලියන දෙකක් මේ වෙනවිට වැව් වටේ මේ විදියට ජොගින් පාත් හදන්න වෙන් කරලාලු.
මේ බිලියන දෙකක් වෙන්කරන්නෙ රටේ සල්ලි තියෙන කාලෙක මුළු රටම සුඛිත මුදිත වුණු කාලෙක නෙවෙයි. මේක රට බරපතළ ප්‍රශ්නෙක තියෙන කාලයක්. මිනිසුන්ට සල්ලි නෑ. රටටත් සල්ලි නෑ. මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. රටටත් ප්‍රශ්න තියෙනවා. රටට විතරක් නෙවෙයි ලෝකෙටම ප්‍රශ්න තියෙනවා. ලෝකෙම ඉන්නෙ ආර්ථික අවපාතයක. එහෙම කාලෙක වැව් වටේ ජොගින් පාත් හදනවට වඩා ඕනෙ තරම් වැඩ මේ රටේ කරන්න තියෙනවා. හුස්මගන්න විදියක් නැතිව මිනිස්සු මැරෙනකොට, මිනිසුන්ට අවශ්‍ය කරන දැඩි සත්කාර ඇඳන් නැතිකොට අපි ඇඳන් නැති වුණාම ඇඳන් නෑ කියනවා මිසක් මේ යම් ප්‍රමාණයක සහනයක් ලැබුණු ගමන් ඒ තිබුණු ශක්තිය මුදාහැරලා අපි නිදහසේ ඉන්න පටන් අරගන්නවා. ඇඳන් නැත්නම් ඔය බිලියන ගාන වියදම් කරලා අයි.සී.යූ. ඇඳන් ටිකක් අරගෙන දෙන්න. ඔක්සිජන් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන දෙන්න. මේවා සකස් කරනවා නම් ඇත්තටම මේ රටේ තියෙන අවශ්‍යතාවල් ඒවා. අපේ රටේ අද තියෙන අලි වැටවල් ප්‍රමාණය සියලු ප්‍රමාණය ඉදිකර අවසන් කරන්නත් බිලියන තුනක විතර මුදලක් තමයි වියදම් වෙනවා කියන්නේ. අලි වැටවල් හදන එකට වඩා ජොගින් පාත් හදන එක වැදගත් වුණේ කොහොමද කියන එක අපි බලධාරීන්ගෙන් අහනවා. හැමදාම මිනිසුන්ට අලි ගහනවා. ගම්මානවල මිනිස්සු දහස් ගානක් මේ වෙනකොට අලින්ට යටවෙලා මියගිහිල්ලා. අලිත් විශාල ප්‍රමාණයක් මිනිසුන්ගෙ අඩන්තේට්ටම් නිසා ජීවිතක්ෂයට පත්වෙලා. අලියි, මිනිස්සුයි හැමදාම ගැටෙනවා. මේවා ඒ ගම්වල ඉන්න පුංචි මිනිසුන්ට විසඳගන්න දීලා ඒ ගම්වලින් දේශපාලනය කරන්න පාර්ලිමේන්තු ආපු දේශපාලකයො කොළඹට වෙලා මාදිවෙලට වෙලා තමන්ගෙ ජීවිතයෙ සැප විඳිනවා. ඒ නිසා මිනිසුන්ට අලි ගහන එක නතර කරන්න අලින්ව මනිස්සු මරන එක නතර කරන්න, අලි වැට ගහන්න බිලියන තුනක් වෙන් නොකර, මේ ජොගින් පාත්වලට බිලියන දෙකක් වෙන් කළේ කාගෙ උවමනාවටද, කාගෙ ආසාවටද කියලා අපිට නම් තවම හිතාගන්නවත් බෑ.
මේ විදියෙ ජොගින් පාත් 26ක් විතර හදන්න මේ වෙද්දි සැලසුම් සකස් කරලා. ඒවා හදලා තියෙන්නේ වැව් පිටි වටේට. වැවේ වෑකන්ද, රළපනාව, බිසෝකොටුව මේ සියල්ලම ප්‍රමිතියකින් යුක්තව ඉතා ක්‍රමවත්ව නිර්මාණය කරපු දේවල්. අපි අහලා තියෙනවා යෝධ ඇළේ බැස්ම සැතපමුට අඟලක් වෙන විදියට සකස් කරලා තිබුණාය කියලා. මේවා ක්‍රමවේදයක් අනුව සකස් කරන්නේ ඉස්සර මිනිසුන්ගෙ දැනුමෙන්. එදා ඒ මිනිස්සු මේ වෑකන්ද වටේට සක්මන් මළු නොහැදුවෙ මොකක් හෝ අවශ්‍යතාවක් හින්දයි. ඉතින් එහෙම අවශ්‍යතාවක් තියෙනවා නම් ජොගින් පාත් හදන්න මීට වඩා තැන් පොළොන්නරුවෙ, අනුරාධපුරේ, මහනුවර, කුරුණෑගල නෑ කියලා අපි හිතන්නෙ නෑ.
ඒ නිසා බලධාරිනි, මිනිසුන්ගෙ උවමනාවට කන් දෙන්න. ඒවාගේම මේ වෙලාවෙ ජොගින් පාත් එක හදන්න අවශ්‍යයිම නම් ඒක හදන එකට විරුද්ධව කරන දේශපාලනික අරගල නතර කරන්න. තමන්ගෙ පොළොන්නරු ලැයිස්තුවෙ අංක එකට පැමිණීමේ සිහිනය සැබෑ කරගන්න රටක් වටින, ජාතියකට උරුම වෙච්ච පොළොන්නරුවෙ පැරකුම් සමුද්‍රය වගේ එකක් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි ඔය කොයි කොයි දේශපාලන අමාරුකාරයන්ගෙනුත් ඉතා ආදරෙන් ඉල්ලනවා. මොකද අපි දන්නවා පොළොන්නරුවෙ තියෙන්නේ දේශපාලන අරගලයක්. පොළොන්නරුවෙ තියෙන්නෙ ලැයිස්තුවෙ එක වීමේ අරගලයක්. තමන්ගෙ දේශපාලන හිතමිතුරන් එක්ක මේ විදියට කාකොටා වැටෙන දේශපාලනයේදී ලැයිස්තුවෙ එක වීම සිහිනය කරගත්තු ජඩ මෝඩයන් පාර්ලිමේන්තුට එවන්න එපා කියලා අපි පොළොන්නරුවෙ මිනිසුන්ගෙන් ඉතාමත් ආදරයෙන් මේ මොහොතේ ඉල්ලා සිටිනවා. මොකද පොළොන්නරුවෙ පැරකුම් සමුද්‍රයත් එක්ක මේ නටන නාඩගම පොළොන්නරුවෙ මිනිසුන්ගෙ ජීවිතත් එක්ක නටන නාඩගමක් කියලයි අපට හිතෙන්නෙ. ඇත්තටම මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජොගින් පාත් හදාගෙන ඇවිදින්න කාලය වෙන් කරන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි මහත්වරුනි. අපි මේ ඉන්නෙ ජීවිතේ පරිස්සම් කරගන්න විදියක් නැතිව. ඒ නිසා ඔයාලගෙ ජොගින් පාත් ඔයාලා තියාගන්න. අපේ බත බුලත රකින පැරකුම් සමුද්‍රය අපට පරිස්සම් කරලා දෙන්න. පින් සිද්ධ වෙයි…
ජීවන පහන් තිළිණ










