සාමාන්‍ය ලෙස ගත් කල බොහෝ මිනිසුන් විවිධාකාර වූ සිහින තුළ දවස ගෙවන්නේය. සීත රටක පදිංචියට යෑමේ ආශාවෙන් සිහින දකින කොටසක් එහි එක් පසෙකින් වෙති. තවත් පිරිසක් පොත පත සමග ගැටෙමින් මහා උගත්තු වීමේ සිහිනයක කල් ගෙවති. ජනප්‍රිය නළුවකු හෝ නිළියක වීමේ සිහින දකින අයද අතරින් පතර එතැන සිටිති. ඔය කී සියලු දෙනා අතර කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස ධනවත්කමේ කන්ද මුදුනටම ගිහින් කොඩිය ගසන්නට පෙරුම්පුරන්නෝද වැඩි හරියක් සිටිති.
කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස ජීවිතය දිනන්නට නම් යම් මිනිසකුට කරුණු කාරණා කිහිපයක්ම අවශ්‍ය වේ. ඒ එකක් වන්නේ මවුපිය උරුමයෙන් ලැබෙන ධනයක හෝ දේපළක අයිතියය. අහඹු වාසනාවක් ලෙස ඇදෙන ලොතරැයියක් හරහාද හිටි අඩියේම මිනිසුන් කෝටිපති ව්‍යාපාරිකයන් වෙයි. උට්ඨාන වීර්යය සහ ඉලක්ක හඹායෑමේ පිපාසය තුළින්ද කෝටිපති ව්‍යාපාරිකයන් වූ මිනිසුන් ඕනෑ තරම්ය. එහෙම මිනිසුන් ලොතරැයි දිනුමක් නැතිවම උත්සාහය සහ නොසිතූ වාසනා මහිමයන් හරහාද කෝටිපති ව්‍යාපාරිකයන් ලෙස ලොව දිනූ අවස්ථා වේ. මැදවච්චිය ප්‍රදේශයෙන් පැමිණි නන්දන ලොකුවිතානද (Nandana Lokuwithana) එවැන්නෙකි.
තවත් විදියකට කියනවා නම් ලෝකය හමුවේ තම තමන්ගේ නම් රැන්දූ බිස්නස්කාරයෝ දන්නා විදියට මැදවච්චියෙන් කොළඹට පැමිණ රට රටවල් පුරා ටයර් බෙදාහරින ලොකුවිතානද එහෙම මිනිහෙකි. ලොකුවිතාන දිහා බලන කෙනකුට වාගෙම ඔහු ගැන කතන්දරය මුල සිට කියවන කෙනකුට ඔහුගේ දියුණුව ගැන යම් පුදුමයක් ඇතිවේ නම් එය පුදුමයක් නොවේය.
එහෙම කියන්නේ ඇයි?
එහෙම කියන්නේ ලොකුවිතානගේ අදහන්නට බැරි දියුණුව අහම්බයක් නිසාය. ඒ අහම්බය තුළ කෙනකුට විශ්වාස කරන්නට බැරි අරුමපුදුම වාසනාවක් තියෙන නිසාය.
එතැන අදහස ලොකුවිතාන ඩබල්ගේම්කාරයෙක් හෝ හොර ජාවාරම්කරායකු කියන එකද?
කීයටවත් එහෙම අදහසක් ගැන ඉඟියක් එතැන නැත. පැහැදිලිවම කියනවා නම් අරුම පුදුම වාසනා මහිමයක් අතේ ගුළිකරගෙන පැමිණෙන අතළොස්සක් වූ මිනිසුන් අතර ලොකුවිතානද එක් අයෙකි. ලොකුවිතාන එන්නේ මැදවච්චිය නම් නගරයෙන් බොහොම ඈතට ගිය ගමක ඉඳලාය. මැදවච්චිය කිව්වට ලොකුවිතාන ඉපදිලා තියෙන්නේ මැදවච්චියටත් කිලෝමීටර් කිහිපයක්ම එහායින් වූ කැබිතිගොල්ලෑවේය. කොළඹ කට්ටිය හඳුන්වන විදියට නම් ඔහු ගොඩේ මිනිහෙකි. එහෙම නැත්නම් ගමේ බයියෙකි. හැබැයි මේ ගමේ බයියාට කාටත් ලෙහෙසියෙන් පිහිටන්නේ නැති සූර බුද්ධියක් තිබුණා. සමහර විට විශ්වවිද්‍යාල හතක අටක ගිය උගතකුටවත් එකී සූර බුද්ධිය පිහිටන්නේ නැත.
සූර බුද්ධියක් තිබුණාට හැමෝටම මේ තරමට දියුණු වෙන්න පුළුවන්ද?
ඔව්. ඒක හොඳ තර්කයකි. කොයි තරම් මොළේ තිබුණත් බිස්නස් එකක් හරියන්න වාසනා මහිමයද ඕනෑය. දෛවය හෝ විශ්වකර්මය විසින් එය ලොකුවිතානට එපා නොකියන තරමට දී තිබිණි. පුදුමය කියන්නේ වාසනාව දෝතින් ගෙන ආ මේ ලක්කාරයාට කිසි විටෙක බිඳවැටෙන්නේ නැති උත්සාහවන්තකම සමග ඉලක්ක පසුපස යෑමේ තණ්හාවද ඇතිවෙන්න තිබිණි. මේ වාගේ අරුමපුදුම මිනිසුන් දෙවියන් විසින් නිතර මවන්නේ නැත. එය ලක් බයි චාන්ස් එකකි. එහෙම නැත්නම් කැබිතිගොල්ලෑව නම් දූවිලි පිරුණු ගමකින් එන සෑම මිනිහාටම මෙච්චර සුපිරි මිනිහෙක් වන්නට බැරිය. විශේෂයෙන්ම හරකාබාන වතුපිටි, අම්මගේ තාත්තගේ උරුමයෙන් ලැබුණේ නැති කෙනකුට මේ වාගේ ව්‍යාපාරික දියුණුවක් කොහොමටත් ලබන්නට බැරිය. ලැබුණාද ඒ 1%ක් නොවේ. දාහකට එකකි.

දැන් පොඩ්ඩකට මේ දාහකින් එකාගේ අතීතයට එබී බලමු.
අටුවා ටීකා නැතුව කෙටියෙන් කියනවා නම් නන්දන ලොකුවිතාන ඉපදුණේ 1969 වසරේය. කොල්ලෝම පස්දෙනකු ලොවට ජාතක කරපු තාත්තා කෙනකුගේ වැඩිමහල් පුතා ලොකුවිතානය. අම්මා ගුරුවරියක් වූ අතර තාත්තා විදුහල්පති කෙනෙක්. උගතුන් වූ මවුපියෝ තම දරුවෝද උගත්තු කිරීමේ වුවමනාවෙන් පෙළුණු නිසා මල්ලිලාට ආදර්ශයක් වන්නට ලොකු කොල්ලා වූ නන්දනට පොතපත ගැන ඇල්මක් ඇති කළහ. පහේ ශිෂ්‍යත්වය සමත්වූ නන්දන තාත්තාගේ ආශාව ඉටුකරමින් ඕලෙවල් විභාගය හොඳින් සමත් වුවද කැම්පස් යන්න තරම් ඒ ලෙවල් හරියකට කරගන්නට සමත් වූයේ නැත.
‘ආයෙ විභාගෙ ගනින් ලොකු පුතේ…’
හැම තාත්තාම වගේ නන්දනගේ තාත්තා ඔහුට කීවේය.
හිතුවක්කාර නැති හොඳ පුතෙකු වුවද ඒ ඉල්ලීම ඉටුකරන්නට නන්දසේනට නොහැකි වූයේ හැම ගැටවර වියේ කොල්ලකුට අවුරුදු දහඅටේදී දහනවයේදී එන සල්ලි කීයක් හරි අතමිට මොළවාගැනීමේ ආශාව හෝ උණ ඔහුටද දැනුණු නිසාය.
අපි බොහොම අඩු වැයකින් ජීවත් වුණු මිනිස්සු. තාත්තට තව දුරටත් බරක් නොවී හරිහම්බු කරගෙන මිනිහෙක් වෙන්න වාගෙම කාටවත් යැපෙන්නෙක් නොවී ජීවත් වෙන වුවමනාව මට එදා තදින්ම දැනුණා.
මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට ආවාම නන්දන ලොකුවිතාන ඒ වචන පෙළ කියන්නේමය. ඒ කියූ ලෙසම ඔහු කළේය. ගණිත අංශයෙන් උගත් දැනුම භාවිතයට අරන් ඔහු ගෙවල් ගානේ ගිහින් දරුවන්ට ටියුෂන් දුන්නේය. ඒ කැබිතිගොල්ලෑවේ නොව කොළඹය. කොළඹ ඇවිදින් මිනිහෙක් වෙන්න බොහෝ ගමේ ගැටයන්ට එන අමුතු ආශාව නන්දනගේ හිතටද රිංගා තිබීම ඒ ටියුෂන් කෙරිල්ලට හේතු විය. ටියුෂන් පන්ති හරහා කඳවිලවත්ත ගාමන්ට් ජොබ් එකකටත්, මහරගම හයිඩ්‍රාමනී ආයතනයටත් ඔහුගේ ගමන දිගු විය.
නන්දනට මැදපෙරදිග යන උමතුවක් තිබුණා. මැදපෙරදිගට නන්දන ආවේ මැදපෙරදිග යන මේනියාවට නෙවෙයි. එය සිදුවූයේ ඔහු සේවය කළ හයිඩ්‍රාමනී ආයතනය හරහාය. හයිඩ්‍රාමනියට අයත් ඩුබායිවල පිහිටි විශාල සමාගමක නන්දන වැඩට එනකොට වයස අවුරුදු 20 පිරුණා විතරය. එයට වසරක් දෙකක් ගෙවෙන කොට නන්දන එම ආයතනයෙන් පනිනවා ඩුබායිවලට වෙනත් ලොකු සමාගම් තනතුරකට. එතැනින්ද වෙනත් ආයතනයකට සම්බන්ධ වෙනවා. ඇමෙරිකානු කොම්පැනියකට. එක තැනක ඉන්න බැරි මේ අරුමපුදම මිනිහා එකතු වෙන්නේ කළමනාකාර තනතුරක් සඳහායි.
‘ඉක්මන් ගමනක් කැබිතිගොල්ලෑවෙන් පැමිණි ගමේ කොල්ලෙකුට වසය අවුරුදු 25 පිරෙන්නත් කලින් ඇමෙරිකානු සමාගමක කළමනාකාර තනතුරක්…’
ඔව්. පුදුමයි. ඒත් ඇත්තයි. ඒ හින්දා තමයි මුළු ලෝකයම ජය අරගෙන ව්‍යාපාරික ප්‍රජාවේ කන්ද මුදුනටම ගිහින් කොඩිය දැම්ම නන්දන ලොකුවිතාන ගමේ කොල්ලන්ට මසුරං පණිවුඩයක් දෙන්නේ.
‘මොකක්ද ඒ මසුරං පණිවුඩේ…?’
ගමේ ගොඩේ දුප්පත් පවුලකින් එන කෙනකුට සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න අමාරුය කියන කියමන මම පහසුවෙන්ම බොරු කළා.
තරුණයන්ට මම කියනවා අඩු සම්පත් හරහා ජීවිතය ජයගන්න නම් උත්සාහය, කැපකිරීම වාගෙම ඉවසීම, දරාගැනීම කියන හොඳ ගතිපැවතුම්ද ඔබ තුළ ඇතිකර ගන්න ඉලක්ක හඹායනකොට පුහු මත මනසින් අයින් කරන්න.
නන්දන ලොකුවිතාන හැම තැනකම ඒ කතාව කියනවා. මොන තරම් බණ දෙසුවත් ලේසියකට කෙනකුට පිහිටන්නේ නැති ලක් එකක් නන්දසේනට තිබුණා. ඒකත් ඔහුගෙ දියුණුවට හේතුවක්.
සත්තකින්ම එය බොරු කරන්න බැහැ. ඇමෙරිකානු සමාගමේ කළමනාකාර ධුරයෙන් පසු එදා නන්දන අද මේ සිටින තැන ආවේය. නන්දනගේ මේ ආ මඟ එතැනින් වෙනස් මඟකට සේන්දු වෙනවා. කළමනාකාර රස්සාවෙන් කොහේකටවත් පනින්නේ නැතුව අවුරුදු ගානක්ම සේවය කරලා අතමිට සරුකර ගන්නවා. ඉන් පස්සේ තමයි ඇඟලුම් නිෂ්පාදනවලට අත ගහලා ව්‍යාපාරික ලෝකයට පය තියන්නේ. එක තැනක රස්සාව කරන පුරුද්ද නොතිබුණු එකත් නන්දසේනට වාසනා අරන් ආවා. බොහෝ විට ඒ නිගමනය හරි. එක තැනක ඉන්න බැරි සමහර මිනිස්සු ඒ අමුතු ආබාධය නිසා දියුණුවෙන් දියුණුවට පත්වෙනවා.
දියුණුවේ හිණිපෙත්තටම ගිය නන්දනගේ කතාව එතැනින් ඉවරයිද?
ඒ කිව්වේ නන්දසේනගේ යටගියාව සහ ආරම්භයය. ඔහු ගැන තව කතා තියෙනවා. මහාපාරිමාණයේ මුදල් වංචනිකයකු ලෙස නන්දන ලොකුවිතාන කළු පැල්ලමක් එක්කර ගත්තේ යහපාලන
ආණ්ඩුව කාලයේදීය. ලොකුවිතාන ගැන මේ විදියට ලියන්නට ගත්තේද ඔහුගේ ව්‍යාපාරික ජීවිතයට එක්වූ කළු පැල්ලම ගැන කියන්නටය.
ඒ කියන්නේ කතාවේ හොඳම හරිය එන්නේ දැන්ද?
හොඳම හරිය කිව්වට ඒක මෙහෙමය. පමණට වැඩිය හිටි අඩියේ දියුණුවට පත්වන නන්දන ලොකුවිතාන වැනි මිනිසුන්ට එකී දියුණුව ගැන පටලැවෙන කතා එමටය. කෙනකු හිතාගන්නට බැරි විදියට දියුණුවෙන් දියුණුවට පත්වන විට ඔහුව ස්මග්ලර් කෙනකු කරන්නට සමාජයේ ඇතැමුන් වෙර දරයි. සමහර විට නන්දන වටා ඇති අභූත චෝදනාද එවැන්නක් විය හැකිය.
නන්දනගේ චෝදනා මොනවාද?
එක් චෝදනාවක් වන්නේ ඩුබායිවල ඔහුට අයත් බැරියට් හෝටලය ගැනය.
කලකට ඉහත රන්ජන් රාමනායක කතා කළ මැරියට් හෝටලය ගැනද ඔය කියන්නෙ?
ඔව. රන්ජන් ඒ ගැන දිගින් දිගට ඒ දවස්වල කතාබහට ගත්තා. රන්ජන් කීවේ මැරියට් හෝටලය රාජපක්ෂ පවුලේ හවුලක් කියලාය. පැහැදිලිව කියනවා නම් නන්දන ඩුබායිවල මැරියට් හෝටලය මිලදීගත් මහා ධනස්කන්ධය ඔහුගේ නොව මහින්ද රාජපක්ෂගේ මුදල් යැයි යන චෝදනාව රන්ජන් විසින් නන්දනට ඉදිරිපත් කර තිබිණි.
එලෙසම එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ ‘බ්ලැක් මනී’ ගනුදෙනුවට සුදු හුනු ගෑ ලංකාවේ සිටින සුප්‍රකට ඩුබායි ව්‍යාපාරිකයා නන්දන බව රන්ජන් රාමනායක පුන පුනා කීවේය.
එකී චෝදනාව මත යහපාලන ආණ්ඩුව යටතේ නන්දන විසිඅට වාරයක් පමණ සී.අයි.ඩී. එක විසින් ප්‍රශ්න කිරීම්වලට ගෙන ගොස් ඇත. එතැනින් නොනැවතී ජනාධිපති කොමිසම සහ අල්ලස් හෝ දූෂණ කොමිසම විසින්ද ප්‍රශ්න කිරීම්වලට බඳුන් කළ වාර ගණන අපමණය.
වංචනිකයායි ලේබලය ගැසී ඇත්තේ නන්දසේනගේ ඩුබායිවල මැරියට් හෝටල් ව්‍යාපාරයට විතරද?
නැහැ. රාජපක්ෂලා සමග සමීපව හිතවත්කම් පාන නන්දන ලංකා වානේ සංස්ථාව, හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව සහ කොළඹ ටයර් කර්මාන්ත ශාලාවද මිලට ගෙන ඇත්තේ රාජපක්ෂලාගේ මුදල්වලින් බවට නරක ආරංචි දසත පැතිර ගොස් ඇත.
එතකොට නන්දන අඩු සම්පත් හරහායි මේ තරම් ධනවතකු වූයේ කියන කතාවේ පසුබිම රාජපක්ෂලාගේ කළු සල්ලිද?
ඔහුට පැමිණි චෝදනාව එය වේ. නන්දසේන ඒ ගැන කියන කතාව.
‘ඔය චෝදනාවට මා පිළිතුරු දී ඇති වාර අනන්තයි අප්‍රමාණයි. එෆ්.සී.අයි.ඩී.ය මාව කීපාරක් නම් ප්‍රශ්න කරන්න ඇතිද? අන්තිමට ඔවුන්ටම තේරුම් ගියා සියල්ල අවසානයේ මම නිදොස්ය කියා. ඒ නිසා තමයි සියලු චෝදනාවලින් මාව නිදොස්කොට නිදහස් කර දැමුවේ…’
ඒ නනන්දන තම චෝදනා ගැන මාධ්‍යයට දෙන පිළිතුරය.
විසිපස් වතාවක් එෆ්.සී.අයි.ඩී. එකට ගෙන්වා ප්‍රශ්න කළ නන්දන වැනි සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයෙක් තමාට නිකරුණේ අපහාස කළ හතුරන්ට විරුද්ධව නඩු දැමුවේ නැද්ද?
නැහැ. ඔහු කිසි විටෙක එවැනි පියවරකට ගිහින් නැහැ.
එය සැක සහිත නොවන්නේද?
නන්දන පවසා ඇත්තේ නඩු යන්නෝ වැනසෙන්නෝ යන තියරියට අනුව තමා හිස් මිනිසුන් සමග ගැටෙන්නට නොයන වගය. තමාට නඩු යන්නට කාල වේලාවක් නොමැති වගත්, කාලය තත්පරය යනු තමාට රන් හා සමාන දෙයක් නිසා තමා ඔවුනට නිදහසේ යන්නට දුන් බවද පවසා තිබිණි.
තමා වංචනික ලෙස රාජපක්ෂලාගේ කළු සල්ලි සුදු කළා යන චෝදනාවෙන් නන්දසේන එච්චර පහසුවෙන් ලිස්සා ගියාද?
එය කිසිවකුගේ මුදල් නොවෙයි. මම සාධාරණව හොයපු මුදල්. අනික මැරියට් හෝටලය ඉදිකිරීම වැනි ව්‍යාපාරයක් මහින්ද මහත්තයගේ සල්ලිවලින් මට කරන්න පුළුවන්ද?
‘ඒවා හරිම හිස් කතා. ඒ අය මෙවැනි සුවිසල් ව්‍යාපාරයකට කෙනකු මැදිවීමේදී ආයෝජකයකු තෝරාගැනීමේදී අත්තා මුත්තා කාලේ සිට අදාළ පුද්ගලයාගේ විස්තර සොයා බලනවා. ගිණුම් සියල්ල පරීක්ෂා කරනවා. නීත්‍යනුකූල නැති පසුබිමක සිට කාගෙවත් කළු සල්ලි සුදු කිරීම සඳහා ජාත්‍යන්තර ව්‍යාපාරයකට අවසර ලැබුණාය කියා අහන එකත් විහිළුවක්.’
මාධ්‍ය හමුවේ දිගින් දිගට නන්දන ලොකුවිතාන තමා නිදොස් බව ප්‍රකාශ කරමින් කතා කළේ එහෙමය.
‘ඔබලා මේ අහන හිස් ප්‍රශ්නවලට උත්තර දීමට මම කිසිසේත්ම බැඳී නැහැ. මොකද මම ඔය කියන සියලු චෝදනා හමුවේ නිදොස් කොට නිදහස් කර අවසානයි. කරුණාකර මතක තියාගන්න මම මේ විදියට නිහතමානීව උත්තර බඳින්නේ මාධ්‍යයට ගරු කරන නිසා සහ මෙය කියවන පාඨකයන්ගේ දැනගැනීම පිණිසයි…’
මුද්‍රිත මාධ්‍යයක් හමුමේ නන්දන ලොකුවිතාන එහෙම කීවේ පසුගිය වසරේ මුල් භාගයේ පැවැති කතිකාවකදීය.
එතකොට රන්ජන් කී කතා බොරුද? ඔහු කියා සිටියා මැරියට් හෝටලය රාජපක්ෂලාගේ කළු සල්ලි මත ඉදිවූවක් යැයි Seit ආයතනය විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කර තිබෙනවා කියා.
‘ඕනෑ කෙනකුට අද වුවද පුළුවන මට විරුද්ධව නඩු දමන්න. චෝදනා කරන්න. මගෙන් ප්‍රශ්න අහන්න වුණත් එන්න ඕනෑම වෙලාවක මගේ ව්‍යාපාර අයතන හෝ නිවෙස විවෘතයි. ප්‍රශ්නවලට මම බය නැහැ. උත්තර දෙන්න පැකිලෙන්නෙත් නැහැ. මොකද මම නිර්දෝෂී මිනිහෙක්. අඩු සම්පත් හරහා මෙතැනට ආ ගමේ මිනිහෙක්. ඒ නිසා මම චෝදනාවලට බය නැහැ.’
ඒ නන්දන ලොකුවිතානගේ ගාම්භීර හඬය. එහි ඇත්තේ නිර්ව්‍යාජ බවද? නැත්නම් මවාපෑමද?
නන්දන කියා ඇති තවත් කතාවක් වන්නේ හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව, කොළඹ රෙන්ටිනෝ ටයර් කර්මාන්ත ශාලාව ඇතුළු ව්‍යාපාර කිහිපය තමා ඉදිකරන්නට ගත්තේ යහපාලන ආණ්ඩුව සමයේ බවය. යහපාලන ආණ්ඩුව යටතේ රාජපක්ෂ මහත්වරුන්ගේ කළු සල්ලි සුදු කරන වරම තමාට කෙසේ ලැබෙන්නදැයි නන්දන වතාවක් කිසිවකුගෙන් ප්‍රශ්න කර තිබිණි.
ඔබ මහින්ද රාජපක්ෂ මහතාගේ හොඳ සමීපතමයෙක්. ඒ, පසුගිය වසර මුල් භාගයේ ඉහත දැක්වූ මාධ්‍යකරු නන්දනගෙන් ඇසූ එක් ප්‍රශ්නයකි.
‘ඔව් අපි හොඳ මිතුරන්. නිතර මමත් එතුමත් දුරකතනයෙන් කතාබහ කරනවා. මම එය කොතැනකවත් පැවසීමට තිගැස්සීමක් ඇතිකර ගන්නෙ නැහැ. මොකද අප මිතුරන් මිසක කළු සල්ලි ගනුදෙනුකරුවන් නෙමේ නිසා…’ නන්දන එලෙස පිළිතුරු දී තිබිණි.
සුවිසල් මහාපරිමාණයේ ධනස්කන්ධයකට හිමිකම් කියන මේ ව්‍යාපාරිකයා පවසන සියල්ල සත්‍යයක් විය හැකිය. එසේත් නැත්නම් අදහන්නට බැරි මුසාවක්ද විය හැකිය.
ඇත්ත නැත්ත දන්නේ නොපෙනෙනා දෙවියන් සහ ඔහුගේම හෘද සාක්ෂිය පමණය.
– දමයන්ති රේණුකා ප්‍රනාන්දු










