පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් පුද්ගල මරණ හයක් වාර්තා වූ බව පහුගිය දිනවල මාධ්‍ය වාර්තා කළා. මෙම සිදුවීමෙන් මියගොස් තිබුණේ කඩේට අදාළ පුද්ගලයන් දෙදෙනෙකුත්, ඒකට කිසිසේත්ම අදාළ නැති, මේ ස්ථානය හරහා යමින් සිටි තවත් පුද්ගලයන් හතර දෙනෙකුත්. ඒ නිසාම මේ අනතුර අතිශය තීරණාත්මක අනතුරක් බවට පත්වෙනවා. මෙම ස්ථානයේ නායයෑමේ අවදානම පිළිබඳ මීට පෙර කියා තිබුණා යැයි ඇතැම් තැන්වල වාර්තා වෙනවා. ඉතින් මේ සම්බන්ධව බොහෝ දෙනෙක් බොහෝ කතා කිව්වත්, ඇත්තටම අපිට මේක නම් කරන්න පුළුවන් වෙන්නේ ඛේදවාචකයක් විදිහට.Sri Lanka Latest News
මේ ඛේදවාචකය එක ඛේදවාචකයක් වුණත්, මේ ඛේදවාචක පෙළක අලුත්ම ඛේදවාචකය විදිහටයි අපිට හඳුන්වා දෙන්න සිද්ධ වෙන්නේ. මේ විදිහට මධ්‍යම කඳුකරය ආශ්‍රිතව තියෙන නගරවල, ගම්මානවල, ප්‍රදේශවල සිදුවෙන නායයෑම් වාර්තා වෙන්නේ ප්‍රථම වතාවට නෙමෙයි. මේ විදිහටම, මේ සිදුවීමට ඉතාම ආසන්න ස්ථානයක සිද්ධ වෙච්ච බරපතළ නායයෑමකින් පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මියගිය බව අපිට මතකයි. ඒ තමයි අරණායක සාමසර කන්ද නායයෑමේ සිදුවීම. එම සිදුවීමෙන් මියගිය ප්‍රමාණය විදිහට අපට වාර්තා වෙලා තිබුණේ කුමන ප්‍රමාණයක් වුණත්, ඇත්තටම එම නායයෑම දුටු, එම නායයෑමේ අවස්ථාවේ ඒ ස්ථානයට ගිය කෙනෙක් විදිහට, ලියුම්කරුට කියන්න සිද්ධ වෙන්නේ, ඇත්තටම අප දන්නා ප්‍රමාණයට වඩා බොහෝ ප්‍රමාණයක් එම නායයෑමෙන් මියයන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන් බව.
මෘත ශරීර සොයාගැනීම් සිද්ධ වුණේ යම් ප්‍රමාණයක් බව අප දන්නවා. ඒකට හේතුව තමයි එම නායයෑමේ තිබිච්ච බරපතළකම. එම නායයෑම අතිශය තීරණාත්මක සිදුවීමක් බවට පත්වුණා. 2016 මැයි මාසේ 17 වැනිදා තමයි මෙම නායයෑමේ සිදුවීම සිද්ධ වුණේ. මෙම අවස්ථාවේ දින 15ක් තිස්සේ අතුරුදන් පිරිස් හොයමින් මෙහෙයුම් කළා හමුදාව විසින්. නමුත් අපට දැනගන්න ලැබුණේ හමුවූ මළ සිරුරු සංඛ්‍යාව 27ක් පමණ කියලයි. මියගිය සංඛ්‍යාව 123ක් පමණ බව සඳහන් කරලා තිබුණා. ඒ අතරින් බොහෝ දෙනකුගේ මළ සිරුරු අතුරුදන් වූවන් ලෙස පොළොවේ සැඟවී තිබෙන බව තමයි දැනගන්න තියෙන්නේ. මේ නායයෑමෙන් නිවාස 72ක්, ඒ වගේම පවුල් 571ක් අසරණ වුණු බව තමයි අපිට කියන්න තියෙන්නේ.
මේ විදිහට ශ්‍රී ලංකාවේ නායයෑම් විශාල ප්‍රමාණයක් අපි දන්නවා වාර්තා වෙලා තියෙන බව. විශේෂයෙන්ම මැයි මාසේ අග, අප්‍රේල් මාසේ මුල පටන් ගන්නා වැස්සත් එක්ක විශාල නායයෑම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. ඊට අමතරව මේ විදිහට වසරේ විවිධ අවස්ථාවලත් බොහෝ නායයෑම් අපට හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් අපි දන්න විදිහට ඉතිහාසයේ විශාලතම නායයෑම විදිහට අපි සලකන්නේ මේ අරණායක සාමසර කන්දේ නායයෑම.
ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ සිද්ධ වෙච්ච විශාලතම නායයෑම අපිට මතකයි. නායකන්ද ප්‍රදේශයේ සිදුවෙච්ච නායයෑම. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ මේ විදිහට නායයෑම් එකක් දෙකක් නෙමෙයි, විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මහනුවර ප්‍රදේශයේ නායයෑම් සිද්ධ වෙන්න පුළුවන් බව අපි දන්නවා බොහෝ වෙලාවට බොහෝ වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. 2017 වර්ෂයේදී අධි අවදානම් කලාපවල පවුල් 14,860ක් ජීවත් වෙන බවත්, 2019 වර්ෂයේදී අධි අවදානම් කලාපවල පවුල් 15,025ක් ජීවත් වෙන බවත් නිල වශයෙන් වාර්තා කරලා තිබුණා. ඒ වගේම මේ තත්ත්වයත් එක්ක ඔවුන්ගේ ජීවිතවලට බරපතළ අවදානමක් එල්ල වෙලා තියෙනවා කියලත් වාර්තා වෙලා තියෙනවා.
ඇත්තටම ලංකාවේ මේ විදිහට නායයෑම් වාර්තා වෙලා තියෙන අවස්ථාවලත්, ඒ සම්බන්ධව කලින් වාර්තා කරලා තිබුණා කියලත් අපි දන්නවා. සාමසර කන්දේ වගේම මීරියබැද්දෙත් එහෙම තමයි. මීරියබැද්දේ මරණ 37ක්, සාමසර කන්දේ මරණ 130කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඒ ඒ සම්බන්ධයෙන් මේ විදිහට නිල විගණන වාර්තාවක් පවා ශ්‍රී ලංකාවේ නිකුත් කරලා තියෙනවා, නායයෑම් සහ නායයෑම් සිදුවිය හැකි අවදානම් කලාප සහ නායයෑම් සිදුවීම් සම්බන්ධව. නායයෑම් සිදුවිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවා මහනුවර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම නම් කරලා තියෙනවා. ඒ සම්බන්ධව නිලධාරීන් පත්කරලා තියෙනවා. ඒ සියල්ලම ඒ විදිහට තියෙනවා. නමුත් අවාසනාවකට මේ සියල්ලම මේ විදිහට තියෙද්දි තමයි ලංකාවේ මේ තරම් නායයෑම් වාර්තා වෙන්නේ. එතකොට අපි දැක්කා සමහර අය වාර්තා කරලා තියෙනවා, මිනිස්සුන්ට යන්න තැනක් නෑ, මිනිස්සුන්ට යන්න කිව්වට ඒ මිනිස්සු එකපාරට මිනිස්සුන්ට පිටත්වෙලා යන්න බෑ, ඒක තමයි තත්ත්වය කියලා. ඇත්තටම අපි දන්නවා ඒක තමයි ඇත්ත. නමුත්, හැබෑ තත්ත්වය තමයි, නායයෑමේ අධි අවදානමක් සහිතයි නම්, ඒ ස්ථානයෙන් ඉවත් වෙලා යන එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් නායයෑමේ අවදානම සහිත ප්‍රදේශ හඳුනාගෙන, ඒ ප්‍රදේශවල පුද්ගලයන් ඉවත් කිරීම් ශ්‍රී ලංකා රජය යටතේ නිල වශයෙන් ඕන තරම් සිද්ධ වෙලා තියෙනවා. අපි ඒක එහෙම නෑ කියලා කියන්න බෑ. කෙනකුට කියන්න බැහැ නායයෑමේ අවදානමෙන් කොහොම මිදෙන්න වෙයිද, කවදා මිදෙන්න වෙයිද කියලා. ඒ තත්ත්වය නිවැරදිව හඳුනා ගැනීමට පුළුවන් කෙනෙක් ඇත්තටම නැහැ. ඒ නිසා නායයෑමේ තත්ත්වයෙන් තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීම තමයි සිද්ධ කරන්න ඕනේ. කොහොම වුණත් මේ හයදෙනෙක් මියගිය ඛේදවාචකයෙන් මේ වෙනකොටත් මාවනැල්ල මූලික රෝහලේ හත්වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා තවත් කණ්ඩායමක්. මේ විදිහට මියයන්නේ මෙම ආපනශාලාවේ හිමිකරුගේ බිරිඳ නිශාන්තිනී කරුණාකරන්. ඒ වගේම එහි හිමිකරු වෙච්ච පුලමේන්ද්‍රන්ගේ පියා මිරාසලිංගම් කරුණාකරන්. ඒ වගේම මේ ස්ථානයට යමින් ඉඳලා, මේ කඩේ තේ බොන්න නතර වෙච්ච ලහිරු මධුසංඛ සමරකෝන්. ඔහු වැලිගල්ල පාර, ගල්අමුණ ලිපිනයේ පදිංචිකරුවෙක්. ඒ වගේම කඩුගන්නාව බලවතගම, ලින්ටන් ජානක කුමාර ජයසිංහ. ඔහුට අවුරුදු 60යි. ඇඹිලිපිටිය නවනගරයේ පදිංචි රුවන් කුමාර අබේසිරි සමරනායක. ගම්පොළ හීරන්දෙණියේ පදිංචි ගුණරත්න මුදියන්සේලාගේ පුලස්ති බණ්ඩාර කියන අය තමයි මේ විදිහට මියයන්නේ.
ඊට අමතරව තුවාල ලබලා තියෙන්නේ ආපනශාලාවේ සේවකයෙක් වන සම්පත් බණ්ඩාර. ඒ වගේම පිළිමතලාවේ පදිංචි ලහිරු රුමේෂ් රත්නායක. ඒ වගේම පිළිමතලාවේ පදිංචි රුචිර තිලාන් මුණසිංහ සහ දන්තුරේ පදිංචි චන්ද්‍රිකා නිශාන්තිනී කියන අය. මෙම සිදුවීම සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධව බොහෝ දෙනෙක් දැන් කතා කරනවා. නමුත් ඇත්ත කතාව තමයි, මධ්‍යම කඳුකරයේ තියෙන ඉදිකිරීම්වල තියෙන සාර්ථකත්වය පිළිබඳ බොහෝ වෙලාවට දැන් දෙවැනි, තුන්වැනි වතාවට හිතන්න සිද්ධ වෙනවා.
මේ ව්‍යසනයෙන් පස්සේ අපි දැක්කා ප්‍රදේශවාසීන් සහ පොලීසිය, යුද හමුදාව, ගිනි නිවන භටයෝ අඛණ්ඩව පැය විස්සක විතර දැඩි පරිශ්‍රමයක් දැරුවා මහ වැහි මැද මේ සියලු දෙනාම මුදාගන්නට. තාක්ෂණය පවා යොදාගත්තා. නමුත් අපි ප්‍රශ්න කරන්නේ නිලධාරීන්ගෙන් ඔබ නිදාගෙනද හිටියේ මේ ගොඩනැගිලි හදනකන්? ඒ වගේම මේ ගොඩනැගිලිවල අනාරක්ෂිත බව ගැන ඔබ දැනුවත් කිරීම කළ යුත්තේ නිකන් ගෙදර ඇවිල්ලා මේ පණිවුඩයක් කියලා යනවා වගේ නෙමෙයි. ඉවත් නොවෙනවා නම් ඒ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නවත් නිලධාරීන්ට මීට වඩා වගකීමක් තියෙන්න ඕනේ.
මේක ගැන කතාකරද්දි බොහෝ දෙනෙක් කියයි, අපි යන්න කිව්වා, නිවේදන නිකුත් කළා කියලා. දැන් ඇත්තටම මෙතැන තියෙන භයානකකම තමයි, ගමනක් ගිහිල්ලා ගෙදර එන අපි දන්නේ නැහැ පාරේ තියෙන කඩේක අවදානම් ස්වභාවය ගැන. පාරේ කඩවල් දාන්න, මහජනතාවත් එක්ක ගනුදෙනු කරන්න, මහජනතාව කැඳවාගන්න, මහජනතාව රැස්කරගන්න යම්කිසි කෙනෙක් පියවර ගන්නවා නම්, ඒ ස්ථානය අධි අවදානම් කලාපයක නම් තියෙන්නේ, එයට විරුද්ධව පියවරගෙන, එහි එවැනි ලෙස ජනතාව රැස්වීම නතර කරන්න පියවරක් ගන්න අදාළ බලධාරීන්ට පුළුවන් වෙන්න ඕනේ.
ඒ වගේම ගොඩනැගිලි පර්යේෂණ නිලධාරීන්, ඒ වගේම වීදිරේඛා සහතික නිකුත් කරන්නන්, ගොඩනැගිලි සම්බන්ධව අනුමත සහතික ලබාදෙන්නන්, ගොඩනැගිලි පර්යේෂණ ආයතන, මේ සියලු දෙනාටම මේ වගකීමෙන් කොටසක් බැගින් ලැබෙනවා. මේ ගොඩනැගිල්ල මෙතෙන්ට ආවේ අහසින් නෙමෙයි. 2015 මේ ගොඩනැගිල්ල තිබුණේ නැහැ කියලා අපි දැක්කා සමාජ මාධ්‍යවල සඳහන් වෙලා තියෙනවා. මේ ගොඩනැගිල්ල මේ ස්ථානයේ හදන්නේ දවසෙන් නෙමෙයි, දෙකෙන් නෙමෙයි. මේ වගේ ගොඩනැගිල්ලක් මෙතැන හදන්න මාස කීපයක් ගතවෙනවා, නිශ්චිත කාලයක් යනවා. ඒ කාලය ඇතුළේ මේකට විරුද්ධ වෙන්න, මේක නතර කරන්න කෙනෙක් නොහිඳීම තමයි අපි විශ්වාස කරන්නේ මේ සිදුවීමට බලපාපු ප්‍රධානතම කාරණය. ඒ නිසා වගකීම දරන්න ඕනේ මේ මරණවල, මේ සම්බන්ධව, මේ ගොඩනැගිල්ල ඉදිකරන්න අවසර දුන්න අය සහ මේ තරම් අවදානම් කලාපයක මේ විදිහට කඩයක් පවත්වාගෙන යන්න අවසර දුන්නු අය.
දැන් පහළ කඩුගන්නාවේ කඩවල් ටික අයින් කරලා පාර වහලා මේ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කළාට වැඩක් නෑ. පහළ කඩුගන්නාව විතරක් නෙමෙයි, මේ විදිහට කඳු මුදුන්වල, නායයෑමේ අවදානම් ප්‍රදේශවල, මහජනතාව රැස්වෙන ආකාරයේ ගොඩනැගිලි, කඩවල්, හෝටල් තව තියෙනවා නම් ඒවා කරුණාකරලා ඉවත් කරන්න. මොකද, අපි දන්නේ නැහැ අපි නතර වෙන හෝටලේ තියෙන්නේ අධි අවදානම් කලාපයකද කියලා. මොකද අධි අවදානම් කලාපයක බවට සහතික බිත්තියේ අලවලා තියාගන්නේ නෑ. හැබැයි හිමිකරුවන්ට තමයි දැනුම් දෙන්නේ. දැන් මේ ස්ථානයේදී හිමිකරුවා මේ ස්ථානයේ, හිමිකරුවාගේ දරුවෝ නෑ. නමුත් මියගිහිල්ලා තියෙන්නේ පාරේ යන මිනිස්සු. ඒ නිසා මේ සම්බන්ධව පියවර නොගත්ත නිලධාරී මේ වගකීම ගන්න ඕනේ.
ඒ වගේම හෙටත් මෙවැනි සිදුවීමක් නොවෙන්න වගබලාගන්න ඕනේ. අපිට පැහැදිලිව තේරෙනවා දැන් මධ්‍යම කඳුකරයේ බොහෝ තැන් අවදානම් කලාප බවට පත්වෙමින් තියෙනවා. මධ්‍යම කඳුකරයට ගමන් කරන මාර්ගය අවදානම් තැනක් බවට පත්වෙලා තියෙනවා. මධ්‍යම කඳුකරයට අයිති වෙච්ච මහනුවර නගරය, නුවරඑළිය, බොහෝ ප්‍රදේශවල අස්ථාවර බිම්වල ස්ථාවර ගොඩනැගිලි හදලා තියෙනවා. අස්ථාවර බිම්වල හදපු ස්ථාවර ගොඩනැගිලි මත සතියෙන්, දෙකෙන්, මාසෙන් ඔහේ හදන ඉදිකිරීම්, තට්ටු ගොඩනැගිලි නිර්මාණය වෙමින් තියෙනවා. මේවා ගැන තව පාරක් හිතුවේ නැත්නම්, අපිට ආයෙත් සිද්ධ වෙන්නේ මෘත ශරීර ගණින්න කියන එක. ලියුම්කරු මේ කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නායයෑම් කීපය දෑසින් දැකපු කෙනෙක් විදිහට.
තවත් මෙවැනි දේවල් සිදු නොවිය යුතුයි කියන විශ්වාසයෙන් යුතුව මේ ලිපිය ලියන්නේ. ඒ සඳහා බලධාරීන් අවශ්‍ය පියවර නොගත්තොත්, ආයෙත් අපිට මෙවැනි සිදුවීමක් වාර්තා වෙයි. ඒක වෙන්නේ කොහෙද, කොතැනද, කවද්ද කියන එක අපි දන්නේ නෑ. නමුත් දැන් බලධාරීන්ට වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා. ඒගොල්ලන්ට වගවීමක් තියෙන්න ඕනේ මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවෙන්න.

ජීවන පහන් තිළිණ










