බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු ශල්‍යකර්මයකින් අනතුරුව මුස්ලිම් ජාතික දරුවකු මියයාමත්, මරණ පරීක්ෂණයේදී එම දරුවාගේ වම් වකුගඩුව අතුරුදන් වී ඇති බවට අනාවරණය වීමත් සම්බන්ධ සිදුවීම මනුෂ්‍ය ඝාතනයක් බවත් වගකිවයුතු සෞඛ්‍ය සේවකයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් කොළඹ අධිකරණය නියෝගයක් ලබාදී තිබියදී මේ දක්වා නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිදැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අදාළ විමර්ශනය සිදුකළ පොලිස් අංශවලින් ප්‍රශ්න කරයි.
2023 වසරේ ජූලි මාසයේදී වම් වකුගඩුව ආශ්‍රිත ශල්‍යකර්මයකට භාජනය කරන ලද කොළඹ කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි හම්ඩි ෆස්ලීම් නමැති අවුරුදු තුනක් පමණ වයසැති දරුවා ශල්‍යකර්මයෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම වසරේ ජූලි මස 28 වැනි දින මියගියේය. පසුව කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වූයේ එම දරුවාගේ නිරෝගී දකුණු වකුගඩුවද අතුරුදන්ව ඇති බවයි.
මේ සම්බන්ධව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෛද්‍ය නොසැලකිල්ල මත මරණය සිදුවූ බවට විමර්ශන ආරම්භ වූ අතර, බොරැල්ල ලේඩි රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කමකින් පසු හම්ඩි බිලිඳාගේ මරණයට වගකිව යුතු සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත්වරයා බොරැල්ල පොලිසියට නියෝග කළේය.
හම්ඩිගේ මරණයට වගකිව යුතු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට මහෙස්ත්‍රාත් හර්ෂණ කකුලවෙල පොලිසියට නියෝග කළේය.
මියගිය දරුවාගේ අගතියට පත් මවුපියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනීසිටි නීතිඥ වයි.එල්.එම්. යූසුෆ් (ඔහු ඇලෝපති වෛද්‍යවරයෙකි) මහතාගේ ඉදිරිපත් කිරීම් සැලකිල්ලට ගනිමින් සහ බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ හෙළිකරන ලද කරුණු සහ අධිකරණයේ මෙතෙක් ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා සහ සාක්ෂි මත පදනම්ව මහෙස්ත්‍රාත්වරයා බොරැල්ල පොලිසියට මෙම නියෝගය කළේය.
පශ්චාත් මරණ පරීක්ෂණවලදී හෙළිවූයේ දරුවාගේ වකුගඩු අසාමාන්‍ය ලෙස පිහිටා ඇති බවට වෛද්‍යවරයා කළ ප්‍රකාශ තිබියදීත්, වාර්තා, පරීක්ෂණ සහ සිදුකරන ලද ස්කෑන් වාර්තාවලින් හෙළිවී ඇත්තේ වකුගඩු දෙක ව්‍යුහ විද්‍යාත්මකව නිවැරදි ස්ථානවල පිහිටා ඇති බවයි.
උපතින් මාස නවයකට පසු හම්ඩි ෆස්ලීම්ගේ මුත්‍රා පද්ධතියේ සංකූලතා ඇති වූ අතර, ඒ සඳහා ඔහුව ලේඩි රිජ්වේ රෝහලේ වෛද්‍යවරයකු වෙත යොමුකරන ලදී. ස්කෑන් පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමෙන් පසු වෛද්‍යවරු කුඩා හම්ඩිගේ වම් වකුගඩුව ක්‍රියා විරහිත බව හඳුනාගෙන එය ඉවත් කිරීමට නිර්දේශ කළහ.
2022 දෙසැම්බර් 24 වැනි දින වෛද්‍ය නවීන් විජේකෝන් විසින් ලේඩි රිජ්වේ රෝහලේදී අවුරුදු තුනක් වයසැති හම්ඩි ෆස්ලීම්ට වකුගඩු සැත්කමක් සිදුකරන ලදී. සැත්කමෙන් දින තුනකට පසු ෘීඵ් පරීක්ෂණයක් සිදුකරන ලද අතර දින දෙකකට පසුව තවත් සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සිදුකරන ලද අතර හම්ඩිගේ වකුගඩු දෙකම අතුරුදහන් වී ඇති බව වෛද්‍යවරු අනාවරණ කළහ. කෙසේ වෙතත්, ජීවිතය වෙනුවෙන් සටන් කරමින් මාස හතකට පසු, කුඩා හම්ඩි 2023 ජූලි 28 වැනි දින අවසන් හුස්ම හෙළුවේය.
ශල්‍යකර්මයෙන් පසු නොසැලකිලිමත් ලෙස වකුගඩු දෙකම ඉවත් කිරීමෙන් දරුවාගේ මරණය සිදුවී ඇතැයි විශ්වාස කෙරේ. පසුව වෛද්‍යවරයා කියා සිටියේ දරුවා දුර්ලභ රෝගයකින් පෙළෙන බවත්, එම නිසා ඔහුගේ වකුගඩු අසාමාන්‍ය ලෙස පිහිටා ඇති බවත්ය.










