ගෝඨාභයට හිට්ලර් කෙනෙක් වෙන්න කියලා මුලින්ම කිව්වේ වෙඬරුවේ උපාලි අනුනායක හිමියන්ය. උන්වහන්සේ කළ මේ ප්‍රකාශයත් එක්ක මේ රටේ සිවිල් සමාජයත්, ඒ වන විට බලයේ සිටි යහපාලන ආණ්ඩුවත් බොහෝ සේ කලබලයට පත්විය. එලෙස කලබලයට පත්වූ ඔවුන් රට පුරා විශාල කැම්පේන් එකක් කරන්න පටන් ගත්තේ මේ එන්න යන්නේ හිට්ලර් කෙනෙක් කියලාය. හිට්ලර් පන්නයේ පාලනයක් අරන් එන්න කට්ටියක් දත කනවා යැයි කියාය. හිට්ලර් නැවත ඉපදෙනවා යැයි කියාය.
ඔවුන් මෙහෙම කීවා පමණක් නොව ඒ මතය තහවුරු කිරීමට විවිධ සාධකත් එකින් එක ඉදිරිපත් කළේය. 2015ට පෙර මහින්දගේ පාලන සමයේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පුද්ගල අතුරුදන්කිරීම්, මැර ප්‍රහාර ආදී සියල්ල ගෝඨාභයගේ ගිණුමට බැර කර මේ එන්න යන්නේ අතිභයානක මිනිහෙක් බව ඔවුහු නිරතුරුවම කීහ. 2019 ජනාධිපතිවරණයේදී මේ රටේ මිනිස්සු ගෝඨාභයට ඡන්දය දාන්න ගියේ එවක ආණ්ඩුවත් සිවිල් සංවිධානත් මේ කියපු කතා ඔළුවෙ තියාගෙනය. යම් හෙයකින් ගෝඨාභය දිනුවහොත් ඔහු ඉතා දරුණු පාලකයකු වනු ඇති බවට ඔවුන්ටද සැකයක් තිබිණි. නමුත් ඊට එරෙහිව ඔවුන් විරෝධය පළ කළේවත්, වචනයක්වත් කීවේත් නැත. එසේ කළේ දැන් මේ රටට අවශ්‍ය දරුණු පන්නයේ පාලකයෙක් කියලා ඔවුන් සිතා සිටි නිසාය. උදෙන්ම ගිහින් ඡන්දය දුන්නත් මේ කවුරුවත් ගෝඨාභය කියන්නේ මොන වගේ මිනිහෙක්ද කියා හරි හැටි දැන සිටියේ නැත.
ඇත්තටම කියනවා නම් ගෝඨාභය දරුණුය. හැබැයි ඒ දරුණු නිරායුධ අහිංසක පුද්ගලයන්ට නොව, අවි ආයුධ අත දරාගත් ත්‍රස්තවාදී පන්නයේ මිනිසුන්ටය. මොකද කියනවා නම් ගෝඨාභය හැප්පුණේ ලොව අංක එකේ ගරිල්ලා ත්‍රස්ත නායකයා ලෙස විරුදාවලිය ලැබූ දරුණුතම පුද්ගලයකු ලෙස සැලකෙන ප්‍රභාකරන් එක්කය. එහෙම අයෙක් එක්ක හැප්පුණු ගෝඨාභයට මේ දේශපාලනයේ කට කැඩිච්ච කතා කියන කජු කිරි කොල්ලන්ගෙන් වැඩක් නැත. තමා මොන වගේ පුද්ගලයෙක්ද යන්න ගෝඨා ජනාධිපති වෙලා දින කිහිපයක් ඇතුළත ඔප්පු කිරීමටද සමත් වූයේය.
ගෝඨා ජනාධිපති වූ විගස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විශාල උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. හැමෝම හිතුවේ තමන්ගේ ගෙදර දොරකඩටම ඇවිත් උද්ඝෝෂණය කරන නිසා ගෝඨා පොලිසිය ලවා මේ උද්ඝෝෂකයන්ට පන්න පන්නා ගහයි කියාය. හැබැයි ගෝඨා ඒ කාටවත් ගහන්න ගියේ නැත. උද්ඝෝෂකයන්ට බයේ හැංගෙන්න ගියේත් නැත. සිය රථයෙන්ම උද්ඝෝෂකයන් මැදට ගොස් තමන් ඔවුන්ගේ ප්‍රශ්න විසඳන බව ගෝඨා ඔවුන්ට දැනුම්දී සිටියේය. එතෙක් ගෙදරට වී සිටින ලෙස ගෝඨා ඔවුන්ට කියා සිටියේය. මෙම සිද්ධියෙන් පසු ගෝඨා උද්ඝෝෂකයන්ටම උද්ඝෝෂණය කිරීමට ගෝල්ෆේස් ඉදිරිපිට වෙනම ඉඩකඩක් වෙන්කර දීමටද කටයුතු කළේය. නමුත් උද්ඝෝෂකයෝ එම ස්ථානය හෝ භාවිත නොකර රටේ හැම තැනම හිතූ හිතූ ආකාරයට උද්ඝෝෂණ කරන්නට පියවර ගත්හ.
මෑතකදී එසේ පැවැති දැවැන්ත උද්ඝෝෂණයක් වූයේ ගුරු විදුහල්පති උද්ඝෝෂණයය. මෑත කාලයේ පැවැති කිසිදු ආණ්ඩුවකට ඒ වගේ ඒකාබද්ධ ගුරු විදුහල්පති උද්ඝෝෂණයකට මුහුණ දීමට සිදුව තිබුණේ නැත. අනෙක එම ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය ගෝඨාභයගේ ආණ්ඩු සමයේ මතුව ආ එකක් නොව ආණ්ඩු ගණනාවක සිට පැවැත ආ ප්‍රශ්නයකි.
මේ තත්ත්වය යටතේ ගෝඨා ඒ ගුරු විදුහල්පතිවරුන්ට ගහන්න ගියේ නැත. රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදී සිටියදීත් ගෝඨා ගුරුවරුන්ට දීමනාවක් ලබාදීමට පියවර ගත්තේය. ඉන් අනතුරුව මෑතකදී හෙද ප්‍රශ්නය මතුවූ අවස්ථාවේදී ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමටද ගෝඨාභය එකඟතාව පළ කළේය.
‘සර් මේ විදියට ගියොත් අපිට වර්ජනවලට මුහුණ දීලා කෙළවරක් වෙන එකක් නෑ. මේවා වහාම මර්දනය කරන්න ඕනෙ.’
මේ පසුගිය සතියක පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමකදී පොලිසිය භාර අමාත්‍ය සරත් වීරසේකර, ගෝඨාභයට කර තිබූ යෝජනාවකි. එහිදී ගෝඨාභය, වීරසේකරට දී තිබුණේ අපූරු පිළිතුරකි. ගෝඨාභය කියා තිබුණේ වර්ජනය කරන අය ජනතාව බලාගනීවි යැයි කියාය.
මේ වගේ වර්ජකයන්ට හිතූ හිතූ හැටියේ වර්ජනය කරන්න නිදහස තිබුණේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක රජය යටතේ පමණි. ඉන් පසුව බලයට ආ හැම ආණ්ඩුවක්ම ජනාධිපති මන්දිරය ඉදිරිපිටට, අරලියගහ මන්දිරය ඉදිරිපිටට ආ උද්ඝෝෂකයන්ට එළව එළවා පහරදුන්හ.
‘දැන් නම් බලන් හිටියා හොඳටම ඇති. ඔබතුමා දැන් හිට්ලර් කෙනෙක් වෙන්න ඕනෙ.’
‘ඔබතුමා පොල්ල අතට ගන්න ඕනෙ.’
‘ඔබතුමා කෙවිට අතට ගන්න ඕනෙ.’
මේ, පසුගිය දින කිහිපය පුරාම මේ රටේ නමගිය හිමිවරු, මැති ඇමැතිවරු ප්‍රසිද්ධියේම ගෝඨාභයගෙන් කළ ඉල්ලීමය. ගෝඨාභය ඒ ඉල්ලීම්වලට තමන්ට සුපුරුදු සිනාව පළ කළා විනා ඒවාට කිසිදු අවස්ථාවක වචනයෙන් උත්තර දෙන්නට ගියේ නැත.
ලොව ඕනෑම තැනක හමුදාව අතරින් පාලනයට ආ නායකයන් දරුණු ගණයේ ඒකාධිපති පාලකයන් බවට ප්‍රචලිත වී තිබිණි. ඒ වගේම ගෝඨාභයත් ආවේ හමුදාව අතරිනි. ඒ නිසා බොහෝ දෙනා ගෝඨාභය ඒකාධිපති පාලකයකු වනු ඇති බවට කැට තැබූහ. නමුත් ගෝඨාභය අනාගතයයේදි ඉතිහාසගත වනු ඇත්තේ හමුදාව අතරින් බලයට ආ ලොව පළමු ප්‍රජාතන්ත්‍රවාදී නායකයා ලෙසටය.
විමලසිරි ජයලත්