කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය මූලික කරගෙන පවත්වාගෙන ගිය තිකෝ ව්‍යාපාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂිකා තිලිණි ප්‍රියමාලි විසින් සිදු කරන ලද බව කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම ව්‍යාපාරයේ ආයෝජනය කළ ආයෝජකයන් ගණනාවක් පැමිණිලි කිරීමට පැමිණෙන බවට වාර්තා වුවද ඔවුන් මේ පිළිබඳ රහස් පොලිසියේ පැමිණිලි කිරීම දිනෙන් දින කල් දමමින් සිටින බව විමර්ශන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ තත්ත්වය මත ඇය සම්බන්ධයෙන් ගොනු වන චෝදනා දැනට ලැබී ඇති පැමිණිලි කිහිපය මත පමණක් ගොනුකිරීමට සිදුවනු ඇතැයි මෙම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
පොලිස් තොරතුරුවලට අනුව මෙතෙක් මේ සම්බන්ධයෙන් ලැබී ඇත්තේ පැමිණිලි අටක් වන අතර, එම පැමිණිලි අනුව මෙම කාන්තාව අයථා ලෙස පරිහරණය කර ඇති මුදල රුපියල් මිලියන 2,500කට ආසන්න වේ.
එසේ වුවද තවත් ප්‍රකට දේශපාලකයන් දෙදෙනකු, වෛද්‍යවරයකු ඇතුළු විවිධ ව්‍යාපාරවලට සම්බන්ධ පුද්ගලයන් ගණනාවක් ඇයගේ සමාගමෙහි ආයෝජනය කර ඇති බවට සඳහන්ව ඇතත් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම සඳහා මෙතෙක් පැමිණ නැත.
එසේ නොපැමිණීමට බොහෝ විට හේතු වී ඇත්තේ උපයාගත් ආකාරය තහවුරු කිරීමට නොහැකි කළු සල්ලි මේ ව්‍යාපාරය තුළ ආයෝජනය කර ඇති නිසා බවට විමර්ශකයෝ විශ්වාස කරති.
කෙසේ වුවද මෙම ආයතනය සතුව පවතින පරිගණක මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන අංශය විසින් පරීක්ෂාවට ලක්කෙරෙන අතර එමගින් තවත් බොහෝ තෙරතුරු අනාවරණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.










