සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා තමන්ට සී.බී. රත්නායක මහතාගෙන් ලැබීමට නියමිත මිලියන 250ක වන්දි මුදලට සිදු කිරීමට සූදානම් වන කටයුතු පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමක් සිදුකළේය.Sri Lanka Latest News
‘‘මම දේශපාලනයට පැමිණිමට පෙර පොලිිසිය විසින් සිදුකළ වෙඩි තැබිමකදී මට 2001 දී වෙඩි වැදුණා. එහිදී මම පොලිසියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවැරුවා. එහිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තිරණාත්මක නඩු තින්දුවක් ලබා දුන්නා. එහිදි ලක්ෂ 4 කට ආසන්න වන්දි මුදලක් මට ලැබුණා. ඒ වගේම පොලිසිය අවම බලය යෙදිම සම්බන්ධයෙන් සේරසිංහට එරෙහි රජය කියන නඩු තින්දුව තමයි භාවිතා කරන්නේ. ඒ නිසා ඒ නඩුව රටේ තිරණාත්මක නඩුවක් බවට පත්වුණා. ඉන්පසුව මම 2004 දි දේශපාලනයට පැමිණි පසු ජනතාවගේ අයිතිවාසිකම් සහ රටේ සිදුවුණ වංචා දූෂණ සම්බන්ධයෙන් පෙනී සිටින්න කටයුතු කළා. එමෙන්ම කිසිදු මුදලක් අය නොකර ජනතාව වෙනුවෙන් පැවැති නඩුවලදි පවා මම නීතිඥවරයෙකු වශයෙන් පෙනි සිට තිබෙනවා.
ඒ වගේම රටේ සිදුවුණ වංචා දුෂණ සම්බන්ධයෙන් හඩ නගද්දී , වැරදි කරන දේශපාලනඥයින්ට විරුද්ධව අදහස් ප්‍රකාශ කරද්දී මාව සෘජුවම ඉලක්ක කරගෙන විවිධ මඩ ප්‍රහාර එල්ල කරමින් මගේ කීර්ති නාමය විනාශ කරන්න බොහෝ පුද්ගලයන් සහ ආයතන කටයුතු කළා. මගේ නමට හානිවන ආකාරයේ දෙයක් යම් කිසි ආයතනයක් හෝ පුද්ගලයෙක් සිදුකළහොත් ඒ වෙනුවෙන් මම අනිවාර්යෙන් සටන් කරනවා.
ඒ අනුව එක්තරා පෞද්ගලික නාළිකාවක් 2017 වසරේදී විකාශය කළ ප්‍රවෘත්තියකදී සී. බී. රත්නායක මහතා මම මහ බැංකු බැඳුම්කර පුට් නෝට් කල්ලියේ සාමාජිකයකු බවට කළ අසත්‍ය ප්‍රකාශය නිසා මට සිදුවූ අපහාසයට වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලා නඩුවක් පවරනු ලැබුවා. ඒ වගේම මගේ කිර්ති නාමයට අපහාස වන ලෙස අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයකටත් විරුද්ධම මම නඩුවන් පවරවලා තිබෙනවා. ඒ මාධ්‍ය ආයතනය ඉතාමත් ම්ලේච්ච ආකාරයට මගේ නම පලුදු කරලා තිබුනා. එම ආයතනයට සම්බන්ධ දේශපාලඥයෙක් ඉහළ නැංවිමට මගේ නම පලුදු කරන්න එම ආයතනය විශාල උත්සාහයක් දැරුවා. ඒ සම්බන්ධයෙන් තමයි මම පළමුවෙන්ම නඩුවක් පැවැරුවේ.
කෙසේ නමුත් සී. බී. රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කළා ඔහු අතින් වරදක් සිදුවුණා කියලා. ඒ වරද නිවැරදි කර ගන්න කියලා මම කිහිප වතාවක්ම සී. බී. රත්නායක ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔහු ඒ සඳහා උනන්දුවක් දැක්වූයේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශයම උසාවියට ගෙනැවිත් මෙම නඩුව විභාග කොට මිලියන 250 ක වන්දියක් ගෙවන්නැයි සී.බී. රත්නායක මහතාට උසාවි නියෝගයක් ලබාදුන්නා.
විවිධ පාර්ශ්ව බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මට විවිධ අපහාස එල්ල කළා. මම බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පොත් ලියලා , ෆුට් නොට් දාලා තිබෙනවා කියලා අසත්‍ය ප්‍රචාර සිදුකළා. නමුත් අවසානයේදී ඒ සියල්ල අසත්‍ය බව උසාවියේදී උප්පු වුණා. බැදුම්කර සිද්ධියට මම කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නැහැ. ඊට සම්බන්ධ පුද්ගලයන් නිදැල්ලේ සිටිනවා. ඔවුන්ව අත්අඩංගුවට ගන්න නිතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අපි වෝහාරික විගණනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. සුනිල් හදුන්නෙත්තිලා එහෙම ඒ අවස්ථාවේ එවැනි දෙයක් සිදුකරන ලෙස ඉල්ලා සිටියේ නෑ. එවැනි තත්ත්වයක් තුළ තමයි මට පෞද්ගලිකව විවිධ අපහාස එල්ල කරන්න විවිධ පාර්ශ්ව කටයුතු කළේ. කෙසේ නමුත් මේ සිද්ධියෙන් පසුව දේශපාලඥයින් හෝ මාධ්‍ය ආයතන අදහස් ප්‍රකාශ කිරිමේදී ප්‍රවේශම් වෙයි කියලා මම හිතනවා.
මෙම වන්දි මුදල මම මහරගම අපේක්ෂා රෝහලට ලක්ෂ 150 ක මුදලක් පරිත්‍යාග කරන්න කටයුතු කරනවා. ඒ වගේම පේරාදෙණිය රෝහලට ලක්ෂ 100 ක මුදලක් පරිත්‍යාග කරන්න කටයුතු කරනවා. ඊට අමතරව මගේ මව විසින් සිදුකරගෙන යන ළමා නිවාසයේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මුදලක් වෙන් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.










