අම්මලා තාත්තලා තමන්ගේ දරුවෙක් පාසලට, විශ්වවිද්‍යාලයට යවන්නේ කොයි තරම් විශ්වාසයක් කොයිතරම් බලාපොරොත්තුවක් හදවතේ දරාගෙනද? ඒත් අද ඇතැම් අධ්‍යාපන ආයතනවල සිදුවන කනගාටුදායක සිදුවීම් නිසා ඒ අම්මලා තාත්තලාගේ විශ්වාසය මොන තරම් පලුදු වෙලාද? Sri Lanka Latest News
පසුගිය 23 වැනිදා බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් දිවියට සමුදී තිබුණා. ගෙල වැලලාගෙන මෙලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණේ මහනුවර තෙල්දෙණිය දෙල්ගස්තැන්න ප්‍රදේශයේ පදිංචිව සිටි සංජීවනී කුමාරි නම් 23 හැවිරිදි ගුරු සිසුවියකි. ඇය දහසක් බලාපොරොත්තු තබාගෙන විද්‍යාපීඨයට පැමිණියත් අධ්‍යාපනය නිමකරන්නට මත්තෙන් ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතය හැර යන්නට තීරණය කර තිබුණා. ඇය සියලු දෙනාට රහසින් තමන්ගේ නේවාසිකාගාරය තුළ ගෙල වැලලාගෙන තිබුණා.
සංජීවනීගේ කාමරයේ නැවතී සිටින අනෙක් ගුරු මිතුරිය පැමිණ දොර විවෘත කිරීමට උත්සාහ කළද එය විවෘත කිරීමට නොහැකිවී ඇති අතර, ඒ අනුව ඇය ඒ බව අනෙක් පිරිසට දැනුම් දෙන්නට කටයුතු කර තිබුණා. අනතුරුව ඔවුන් දොර කඩා විවෘත කර බැලිමේදී ඔවුන්ට දැකගන්නට ලැබී තිබුණේ සංජීවනීගේ නිසල සිරුර බාල්කයක එල්ලෙමින් තිබෙන ආකාරයයි. ක්ෂණික ක්‍රියාත්මක වූ ඔවුන් සංජීවනීව හලාවත රෝහලට රැගෙන යන්නට කටයුතු කර තිබුණා. නමුත් ඒ වනවිටත් ඇය අකාරුණික ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් තිබුණා. පසුව බිංගිරිය පොලිසිය සිද්ධිය සිදුවූ ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ කරන්නට වුණා.
මෙම ගුරු සිසුවිය සිය දිවි නසාගෙන තිබුණේ හලාවත ප්‍රදේශයේ විදුහලක ප්‍රාථමික පන්තියක අකුරු කියාදීමේ පුහුණු වැඩසටහනකට තවත් ගුරු සිසුවියන් කිහිප දෙනෙකු සමග ගොස් නවාතැන්පොලට පැමිණීමෙන් අනතුරුවයි. මරණයට හේතුව, ඔවුන් යළි විද්‍යා පීඨයට එමින් සිටියදී ගුරුවරයෙකු විසින් අනෙක් සිසුන් ඉදිරියේ ඇයට බැණ වැදීමෙන් ඇතිවූ සිත්තැවුලක් බවටයි සැක කරන්නේ.
‘දැන් නම් ජීවිතය එපා වෙලා තියෙන්නේ. ජීවිතය නැති කරගන්න හිතෙනවා’ යනුවෙන් ඇය සිය මිතුරියක් වෙත පවසා ඇති බවද කියැවෙනවා.
කෙසේ වෙතත් සංජීවනීගේ යෙහෙළියන් මේ මරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ තැබූ සටහන බොහෝ දෙනකුගේ හදවත් කම්පනයට පත්කළා.
‘චූටි කාලේ ඉඳන් මල් වගේ අපිව හදලා විද්‍යා පීඨයට තේරිලා මගේ කෙල්ල කියලා හරි උජාරුවෙන් මේ තැනට එයාලා අපිව එවන්නේ පන්සලකට කියලා හිතලා. ඉතින් ඔව්, එහෙම තැන් වෙන්න ඕනෙ වුණත් අවාසනාවකට එහෙම වුණේ නැහැ. වචනයක් වැරදෙන තැන තනතුරු හිස් මුදුනේ තියන් මානසිකව වධ දෙනවා. අපේ කතා දන්නේ අපිමයි. තනතුරුවලට එන්න ඕනේ ජීවිතේ ඇරියස් නැති මිනිස්සු. හැඟීම් දැනෙන මිනිස්සු…’ යනුවෙන් එම ෆේස්බුක් සටහනේ සඳහන්ව තිබුණා.
මේ අතර, පසුගිය 24 වැනිදා සවස් භාගයේදී වයඹ විද්‍යා පීඨයේ සිසුවියන් පිරිසක් මෙම සිදුවීමට පාලනාධිකාරිය සහ කථිකාචාර්යවරුන් වගකිව යුතුයැයි චෝදනා කරමින් විද්‍යා පීඨය ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා. ඔවුන් පවසා සිටියේ දිවි නසා ගැනීමට තරම් සංජීවනීව මානසික පීඩාවට පත්කර ඇත්තේ එක්තරා කථිකාචාර්යවරයෙකු බවයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ අධ්‍යයන කටයුතුවලදී ආචාර්යවරුන් විසින් නිරන්තරයෙන් එල්ල කරන පීඩනය සිසුන්ට දරාගැනීමට නොහැකිව ඇති බවයි. අධ්‍යයන කටයුතු සිදුකරමින් සිටියදී මෙම අම කථිකචාර්යවරයා සංජීවනීට අනෙක් සිසුන් ඉදිරියේ ඉතා අපහාසාත්මක ලෙස බැණවැදුණු නිසා එය දරාගැනීමට නොහැකිව ඇය සියදිවි නාසාගන්නට ඇතැයිද ඔවුන් පවසනවා.
මෙම විද්‍යා පිඨයේ ඇතැම් ආචාර්යවරුන් කටයුතු කරන ආකාරය නුසුදුසු බවද, ඔවුන් අධ්‍යයන කයුතුවලට වඩා බාහිර කටයුතු වෙනුවෙන් උනන්දුවක් දක්වන බවද ගුරු සිසුන් පවසනවා. සිසුන් උද්ඝෝෂණයේ යෙදෙමින් පැවැසුවේ මෙය අධ්‍යාපන ආයතනයක් ලෙස නොව තරුණ සිරකරුවන්ගේ කඳවුරක් ලෙසට පාලනය වන බවයි. ගුරු සිසුන් එහිදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ විද්‍යා පීඨයේ පාලනාධිකාරිය යාවත්කාලීන කරන ලෙසටයි. එසේ නොවුණහොත් නුදුරේදීම මීට වඩා විනාශයක් සිදුවිය හැකි බවටද ඔවුන් අනතුරු අඟවා සිටිනවා.
මෙම විරෝධතාවයට එක්වූ සිසුන් ප්‍රදර්ශනය කළ විරෝධතා පුවරු අතර මෙවැනි සටහන්ද දැකගන්නට ලැබුණා.
‘අද සංජීවනී… හෙට අපි…’
‘ගුරු පුහුණුව කියන්නේ දක්ෂතා මනින තැනක් මිස මානසිකව වට්ටන තැනක් නෙවෙයි…’
‘ගුරු සිහිනය මරණය වෙනුවෙන්ද?’
‘කොන්ද පණ ඇති පරිපාලනයක් අවශ්‍යයි’
‘පැය 24ක් ගතවුණා. විසඳුමක් කෝ? වරදකරු සඟවලා සාධාරණය යට ගහනවා…’
විද්‍යා පීඨයේ හෝ වෙනත් තැනක ඕනෑම දෙයක් දරාගැනීමට හැකි පිරිසක් සේම දරාගැනීමට නොහැකි පිරිසක්ද සිටින බව පාලනාධිකාරිය තේරුම් නොගැනීම මෙවැනි කනගාටුදායක සිදුවීම්වලට හේතුවන බවද සිතිය හැකිය.
මේ සම්බන්ධව සිසුවියගේ මවුපියන් හෝ සිසුන් 26 වැනිදා වනතුරුම පොලිසියට පැමිණිල්ලක් කර නැති බවටයි වයඹ පළාත් භාර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කර තිබුණේ. පැමිණිල්ලක් ලැබුණහොත් ඒ සම්බන්ධව විමර්ශන සිදුකරන බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබුණා.
මේ සිදුවීම සම්බන්ධව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
‘මේක ඉතා බරපතළ තත්ත්වයක්. අධ්‍යාපන පීඨ කියන්නේ පාසල් නොවෙයි. දේශකයන් සහ කථිකාචාර්යවරුන් හිතාගෙන ඉන්නේ පාසලක ළමයි වගේ මේ අයව පාලනය කරන්න. මේක වෘත්තීය අධ්‍යාපනය දෙන තැනක්. එතකොට ඒවායේ ඉගෙන ගන්නා අයට බලපෑම් කරන එක වැරදියි. 1986 වර්ෂයේ තමයි විද්‍යා පීඨ පටන් ගත්තේ. මෙයාලා දැනගන්න ඕනේ මේවායේ ඉගෙනගන්නේ ගුරු සිසුන් කියලා. අපි කියන්නේ මේ සිදුවීම පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන්න කියලා. වර්තමාන අධ්‍යාපන ඇමැතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා විමර්ශනයක් කරන්න කියලා…’
මේ අතර, පසුගිය අප්‍රේල් 29 වැනිදා බම්බලපිටියේ ප්‍රසිද්ධ කාන්තා පාසලක 15 හැවිරිදි දිල්ෂි අම්ෂිකා දැරිය ගොඩනැගිල්ලකින් පහළට පැන ජීවිතය නැතිකරගෙන තිබුණේ එක්තරා ගුරුවරයකු නිසා ඇතිවූ ආතතිය දරාගැනීමට නොහැකිව බවටයි අනාවරණ වුණේ. ඒ, ගුරුවරයකු අතින් ඇය පන්ති කාමරයේදීම ලිංගික අතවරයට පත්ව, පසුව උපකාරක පන්තියකදී තවත් ගුරුවරයකු ඇයට මේ සම්බන්ධව විවිධ නින්දා අපහාස සිදුකිරීම නිසා එය දරාගැනීමට නොහැකිව ඇය ජීවිතය නැතිකරගන්නට තීරණය කර තිබුණා.
එසේම, පසුගිය අප්‍රියෙල් 28 වැනිදා සබරගමු සරසවියේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ චරිත් දිල්ශාන් සිසුවා ජීවිතයෙන් සමුගත්තේ සරසවිය තුළදී තමන්ට මුහුණ දීමට සිදුවූ නවකවධය දරාගැනීමට නොහැකිවයි.
ටියුෂන් යන්න බැහැ විහිළු කරලා මානසික තත්ත්වය පහළට දානවා. විශ්වවිද්‍යාලයට යන්න බැහැ කලිසම් ගලවලා රැග් කරනවා. අපේ රටේ ඇතැම් අධ්‍යාපන ආයතනවල ක්‍රියාකාරීත්වය ගැන ලොකු කනගාටුවක් දැනෙනවා මේ සිදුවීම් එක්ක.
සාරධර්මවලින් පරිපූර්ණ මානවහිතවාදී උගතෙකු සමාජයට දායාද කරන්න පුළුවන් විදියට මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. එතකොට තමයි අනාගතයේදී අනෙකාට ආදරය කරුණාව ලබාදෙන මානුෂීය ගුණධර්මවලින් යුක්ත පිරිසක් සමාජයට බිහිවෙන්නේ.
කෙසේ වෙතත් බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය ඉදිරිපිට පැවැති විරෝධතාව අතරතුර විද්‍යා පීඨයේ පීඨාධිපති ලාල් කුමාර මහතා පැමිණ සිසුන් සමග සාකච්ඡා කර තිබුණා. ඔහු එහිදී පවසා තිබුණේ මෙවැන්නකි.
‘විද්‍යා පීඨයේ සම්ප්‍රදාය අනුව ගුරුවරුන් කටයුතු කර තිබෙන බවයි පේන්නේ. ළමයි පීඩාවට පත් කිරීමක් හෝ වෙන දෙයක් මෙහි වන්නේ නැහැ. ඒ ළමයා මියයන්න සති දෙකකට කලින් ගෙදර ගියා. ජීවිතය එපාවෙලා තියෙනවා කියලා අක්කලාට කියා තියෙනවා. පීඩනයක් තියෙන බව කියා තිබෙනවා…’
විශ්වවිද්‍යාලයක් වුණත්, පාසලක් වුණත්, විද්‍යා පීඨයක් වුණත් මේ තැන්වලට එන්නේ අහිංසක දුප්පත් මවුපියන්ගේ දරුවන්. ඉතින් ඒ දරුවන්ගේ සිහින බලාපොරොත්තු බොඳ කරන්න විනාශ කරන්න හොඳ නැහැ. දරුවන්ගේ මනස තේරුම් ගන්න පුළුවන් සංවේදී ගුරුවරුන් පිරිසක් බිහිකරන්න බලධාරීන් වගබලා ගන්න ඕනේ කියලයි අවසාන වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ.

නිලන්ති රේණුකා










