කලකට පෙර මිනිසකු නොව වන සතෙකුවත් පය ගැසීමට බියවූ මෙන්ම මරණයේ බිම ලෙසින් හැඳින්වූ බිම් අද සාමයේ සොඳුරු දූසුන්වලින් පිරිපුන්ය. එදා මරණයේ බිම් ලෙස හැඳින්වූ බිම්කඩවලින් රන් අස්වනු නෙළන යුගය දැන් උදාවී ඇත. එය රටේ ජාතික ආර්ථිකයට මහත් ශක්තියකි. එදා මරණයේ සෙවණැලිවලින් පමණක් පිරී තිබූ බිම්වල අද ඇසෙන්නේ කුඩා දරුවන්ගේ සිනා හඬයි. එය අනාගත සමාජ සංවර්ධනයේ සුබ ලකුණකි. එදා බෝම්බ හඬ පමණක්ම රැව් පිළිරුව් දුන් බිම්වල අද රැව් පිළිරැව් දෙන්නේ පන්සල්වල, කෝවිල්වල, පල්ලිවල ඝණ්ටාර හෝ සීනු හඬයි. එය ආගමික සශ්‍රීකත්වයේ සුබ ලකුණයි. මේ සුරක්ෂිත දේශයක අනාගත සුබ ලකුණයි.Sri Lanka Latest News
එදා යුද්ධයේ ගිනි දැල්වලින් දැවී අළුවී ගිය බිම් ආදරයේ මිහිරි හඬින් ගිගුම් දෙන්නේ ඒ වෙනුවෙන් අනේකවිධ කැපකිරීම් කළාවූ අතිවිශාල පිරිසකගේ ලේ කඳුළු මතින් බව අද වනවිට බොහෝ දෙනකුට අමතකය. නමුත් එදා යුද්ධයේ අවසාන මොහොත දක්වා අතිවිශාල කැපකිරීම් රාශියක් කළා වූ ශ්‍රී ලංකා යුද හමුදාව අදටත් උතුරේ මෙන්ම නැගෙනහිරත් මුළු දිවයිනේත් සිය මෙහෙවර දශමයකිනුදු අඩු නොකර ඉටුකරමින් සිටී. ඔවුන් ඒ දේ තම මවුබිමට ඉටු කරන්නේ හුදු පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොවේ.
ඒ වෙනුවෙන් ඔවුන් ආපිට කිසිවක් බලාපොරොත්තු වන්නේ නැත. අතීතයේදී මෙන්ම වර්තමානයේදීත් හදිසි අවශ්‍යතාවක්, ස්වභාවික උපද්‍රවයක් හෝ ඕනෑම විපතකදී අන් කවරකුටත් කලින් පෙරට එන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ඒ ඔවුන් ජාතියට සේවය කිරීම වෙනුවෙන් සැදීපැහැදී සිටින නිසාවෙන්ය. මෙලෙස සෑම කටයුත්තකදීම පෙරට එන ශ්‍රී ලංකා යුද හමුදාව ජාතීන් අතර සමගිය වර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරමින් සිටී. එයද අතීතයේ වර්තමානයේ හෝ අනාගතයේදීද අඩු වන්නේ නැත.
උතුරේ කොට්ටකිලංගු දකුණේ මීකිරි සමග පෑහෙන යුගයක් ආරම්භ කිරීමේ මානුෂීය මෙහවරේ සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ ශ්‍රී ලංකා යුද හමුදාව සිය 76 වැනි සංවත්සරය සමරන්නේ ජාතියේ ආරක්ෂකයා ලෙස තවත් සියවස් ගණනාවක් මාතෘභූමිය ආරක්ෂා කිරීම වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ යුද හමුදාවක් වෙනුවෙන් පියවර තබමිනි.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ මූලික රාජකාරියෙන් ඔබ්බට ගොස් සෞඛ්‍ය සේවා, යටිතල පහසුකම් දියුණු කිරීම, අධ්‍යාපන පහසුකම් සැපයීම්, කෘෂිකාර්මික කටයුතු, ආගමික සහ සංස්කෘතික සහජීවන වැඩසටහන් විනෝදාස්වාද කටයුතු, ආදිය සිදුකරමින් ජාතිය ගොඩනැගීමේ කටයුතුවලදීද පෙරමුණ ගත්හ.
ඕනෑම ශක්තිමත් සංවිධානයක සාර්ථකත්වය රඳාපවතින්නේ අතීතයෙන් ඉගෙන ගනිමින්, වර්තමානයට අනුවර්තනය වෙමින් සහ අනාගතය සඳහා සූදානම් වීමෙනි. මෙම ත්‍රිකෝණාකාර ගමන, අභියෝග ජය ගනිමින්, නවෝත්පාදනයන් වැලඳ ගනිමින් සහ මූලික අරමුණු නොසැලී පවත්වා ගනිමින් ඉදිරියට යාමට ශක්තිය සපයයි. ඒ වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් අනුව, ආරක්ෂක නියෝජ්‍යය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් ආරම්භ කර ඇත.
අතීතයේ සිට අද දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරුණේ ජාතිය ආරක්ෂා කිරීමත් මවුබිමේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමත් වෙනුවෙන් වූ මෙහෙවරයි. එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන ශක්තීන් වූයේ කැපවීම, විනය සහ අප්‍රතිහත ධෛර්යයයි. සම්පත් සීමා සහිත වුවද, යුද හමුදා සාමාජිකයන්ගේ කැපවීම සහ සාමූහිකත්වය තුළින් බොහෝ බාධක ජයගැනීමට හැකි වූ බවට ඉතිහාසය විසින් සාක්ෂි දරයි. එල්ටීටීඊ සංවිධානයට එරෙහි තිස් අවුරුදු යුද්ධය නිමාකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව පෙන්නුම් කළේ අඛණ්ඩවූත් ස්ථාවරවූත් අධිෂ්ඨානයකි. ජයග්‍රහණය යනු හුදෙක් ගිනි බලය පමණක් නොවන බව සාක්ෂි යුද හමුදා ඉතිහාසයේ ඕනෑ තරම් උදාහරණ පවතී.
යුද හමුදාව නවීකරණය කිරීමේ ක්‍රියාවලිය තුළදී කිසිදු අවස්ථාවක යුද හමුදාව මානුෂීය මෙහෙයුමේදී ජීවිත පූජාකළ, තුවාල ලැබූ සහ රණක්‍ෂිතයටපත් රණවිරුවන් පසෙකට දමා කටයුතු කිරීමට සූදානම් නැත. යුද හමුදා රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ඒ වෙනුවෙන් රණවිරු සෙවණ, අභිමංසල, මිහිඳු සෙත් මැඳුර ඇතුළු රණවිරු සුවතා මධ්‍යස්ථාන, රණවිරු බහුවිධ කඳවුරු වැනි සුවිශේෂ ව්‍යාපෘති රැසක්ම ක්‍රියාත්මක වේ.
එසේම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් වර්ෂ 2000 ඔක්තෝබර් මස 31 දින සම්මත කළ කාන්තාව, සාමය සහ ආරක්ෂාව පිළිබඳ යෝජනාවෙහි එන සහභාගීත්වය, ආරක්ෂාව, වැළැක්වීම, සහන ලබාදීම සහ හානිපූරණය යන කුලුණු මත හිඳිමින් කාන්තාව සවිබල ගැන්වීමේ කාර්යයේ නිරතව සිටී. විශේෂයෙන්ම කාන්තාව සවිබල ගැන්වීම සහ ස්ත්‍රී- පුරුෂ සමානත්වය ප්‍රවර්ධනය කිරීමෙහිලා සුවිශේෂ දායකත්වයක් යුද හමුදාව විසින් ඉටුකරනු ලබයි.
එසේම මෙරටට ඔලිම්පික් පදක්කම් දිනා දුන් ඩන්කන් වයිට්, සුසන්තිකා ජයසිංහ පවා ජාතියට දායාද කළේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. එතැන් සිට ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමෙන් ශ්‍රී ලංකාවට දිනාදුන් පදක්කම් බහුතරයක් දිනා දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන්ය. එනයින් බලන කල මෙරට ක්‍රීඩාවේ හදවත ශ්‍රී ලංකා යුද හමුදාවයි.
වර්තමාන ගෝලීය ආරක්ෂාව පවතින්නේ සයිබර් ආරක්ෂණය ඇතුළු තාක්ෂණය පදනම් කරගත් ප්‍රවේශයකිනි. අප නවීන තාක්ෂණයෙන් සන්නද්ධ වූ සොල්දාදුවකු සූදානම් කළ යුතුවන්නේ එබැවිනි. වර්තමානයේ යුද හමුදාව මෙම යථාර්ථයන්ට අනුවර්තනය වෙමින් සිටී.
වර්තමානයවන විට ශ්‍රී ලංකා යුද හමුදාව නව තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති අතර, එහිදී නවීන මෙහෙයුම් මූලධර්මයන්ට අනුව යුද හමුදාව යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙයි.
එහිදී අනාගත අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි සුහුරු මෙවලම්, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩ්‍රෝන යානා, උසස් සන්නිවේදන පද්ධති, සහ දත්ත විශ්ලේෂණය වැනි නවීන දිශානතීන්වලට අවධානය යොමුකර ඇත.
ඒ අනුව යුද හමුදාවේ අනාගතය නවෝත්පාදනය, අනුවර්තනය සහ ආරක්ෂාව සඳහා වූ පූර්ව-ක්‍රියාකාරී ප්‍රවේශයකින් නිර්වචනය වනු ඇත. මේ නව ප්‍රවේශය තුළින් හෙට දවසේ යුද හමුදා සොල්දාදුවා සටන් හා තාක්ෂණය යන දෙකෙහිම දක්ෂ, බහුවිධ කුසලතා ඇති වෘත්තිකයකු බවට පත්වීම නිසැකය. ඔහු අනාගත ලෝකයේ තාක්ෂණය පදනම් කරගත් අර්බුදවලදීද ප්‍රවීණයකු, දක්ෂ සයිබර් ආරක්ෂකයකු, සහ දයානුකම්පිත සාමසාධකයකු ලෙසින් අනුවර්තනය වනු ඇත. මෙම අනාගතය සඳහා සූදානම් වීමට, යුද හමුදාව ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමුකර ඇත.
විශේෂයෙන්ම අතිනවීන තාක්‍ෂණයන් ලබාගැනීමට සහ ඒකාබද්ධ කිරීමට පර්යේෂණ සහ සංවර්ධනය සඳහා යුද හමුදාව මේ වනවිට දැඩි අවධානයක් යොමුකරමින් ඊට අවශ්‍ය පියවර ගෙන ඇත. ඒ ගෝලීය හමුදා දියුණුව සමග යාවත්කාලීව වීම සහ විශේෂිත, තීරණාත්මක ක්ෂේත්‍රවල පෙරමුණ ගැනීම වෙනුවෙනි.
වර්තමාන තොරතුරු යුගය තුළ අසත්‍ය තොරතුරු සමාජය තුළ සංසරණය වන්නේ විදුලි වේගයෙනි. ඒ නිසා නිවැරදි තොරතුරු සහ ඒවා සමාජගත කිරීම යුද පිටිය පාලනය කිරීම තරමටම වැදගත් වේ. එහිදී වැරදි තොරතුරුවලට එරෙහි වීම සහ ඊට අදාළ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවයෙන් යුතු සොල්දාදුවා නිර්මාණය කිරීම මේ වනවිට යුද හමුදාව ආරම්භ කර ඇත. එය අනාගත ලෝකයට සුවිශාල ආයෝජනයකි.
යුද හමුදාව සතු ශ්‍රේෂ්ඨතම සම්පත මානව සම්පතයි. ඔවුන් අඛණ්ඩ පුහුණු සඳහා යොමු කිරීමට පුහුණු වැඩසටහන් නවීන ගෝලීය ආරක්ෂණ සන්දර්භයට උචිත අයුරින් මේවන විට යාවත්කාලීන කර ඇත. ඒ තුළින් නවීන ලෝකයට ගැළපෙන නවීන දැනුමෙන් පරිපූර්ණ යුද හමුදා සොල්දාදුවකු නිර්මාණය කිරීම මූලික වූ පරමාර්ථය වී ඇත.
එපමණක්ද නොව අනාගත තර්ජන සඳහා සමස්ත රජයේ ප්‍රවේශයන් ඒකාබද්ධ වීමේ අවශ්‍යතාව පවතින අතර ඒ වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ආපදා සහන සැලසීම, පරිසර ආරක්ෂණය, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍යාරක්ෂාව ආදී වූ ජාතික ආරක්ෂාව කෙරෙහි ඍජුවම බලපාන කාරණාවලදී යුද හමුදාව සිවිල් ආයතන, නීති බලාත්මක කිරීමේ ආයතන, සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග බාධාවකින් තොරව කටයුතු කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගෙන ඇත.
වර්තමානය තුළ නිර්මාණය වෙමින් පවතින ගෝලීය ආරක්ෂක සංදර්භය අනුව ඉදිරි අනාගතය සුමට නොවනු ඇත. නමුත් ඒ වෙනුවෙන් ධෛර්යයෙන් හා දැක්මකින් යුතුව ප්‍රවේශ වීම ජාතික අවශ්‍යතාවකි. අතීතයට ගරු කිරීමෙන්, ඒ අනුව වර්තමානයට අනුවර්තනය වීම සහ අනාගතය සඳහා නව්‍යකරණය කිරීමෙන්, ශ්‍රී ලංකා යුද හමුදාව ජාතියේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව තවත් පරම්පරා ගණනාවක් පුරා සුරක්ෂිත කරන බලවත් හා ගෞරවනීය බලවේගයක් ලෙසත් ජාතියේ ආරක්ෂකයා ලෙසත් අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේදීද කටයුතු කරනු ඇත.
දිලංක ගුණතිලක










