ජාත්‍යන්තර පාරිභෝගික දිනය යෙදී ඇති අද දිනයේ රටේ පොදුජනතාව හාමතේ බවත් දූදරුවන්ට හරිහැටි තුන්වේල කා ජීවත් විය නොහැකි යුගයක් නිර්මාණය වී ඇති බවත් මේ නිසා රටේ ජනතාව සාප කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
රටේ හරි අඩක් දුප්පතුන් වී ඇති බවත් දුප්පත් ජනතාවට හරි අඩකට ජීවන බර ජීවන මිල දරාගත නොහැකිව පාරිභෝගික අයිතිය සම්පූර්ණයෙන්ම නැති වී ඇති බවත් ගෑස් සිලින්ඩර් පිපිරී පාරිභෝගිකයන්ගේ ජීවිත අහිමි වුවත් බාල පොහොර නිසා කෘෂි අස්වැස්න කඩා වැටී ජන ජීවිත කඩා වැටුණත් පන්ති කාමරවල දරුවන් ක්ලාන්ත වී වැටුණත් අදටත් ඒවාට කිසිදු විසඳුමක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
බඩු මිලට කවුරුත් ඇගිලි ගහන්න හොඳ නැහැ එය ඉල්ලුම සැපයුමෙන් විසඳිය යුතුය කියා සිතුවත් එය රටට උචිත නොවන ලුම්පන් ධනවාදී ක්‍රමයක් බවත් මේ ලුම්පන් ගජමිතුරු ධනවාදීන් රාජ්‍ය දේපල සම්පත් සූරා කා බඩුමිල ප්‍රශ්නය එනවිට ඒවාට අත නොගැසිය යුතුයි කියා කියන බවත් එය අමනෝඥ න්‍යායක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 123 වැනි අදියර යටතේ අද කොළඹ සීතාවක ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
පාරිභෝගික අයිතීන් ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි
කවුරුන් හෝ බඩගින්නේ සිටිනවා නම් අප ඔවුන්ව බඩගින්නෙන් තොර කිරීමට සෑම දෙනාම එක හා සමානව කටයුතු කළ යුතු වුවත් පාරිභෝගික ජනතාවගේ ජන අයිතිය අහෝසි වී විනාශ වී ඇති මොහොතක අද දවසේ පවා ජාතික දේපල හා සම්පත සූරා කෑම අල්ලස දූෂණය වංචාව ප්‍රචලිත වී ඇති බවත් මේ තත්ත්වය වළක්වා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නව සංශෝධන අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට පාලනය වන ක්‍රමය මෙන්ම පාරිභෝගික ජනතාවට කාර්යක්ෂමව අඩු මුදලකට ගුණාත්මකභාවයෙන් ඉහළ භාණ්ඩ හා සේවා දරාගත හැකි මිලකට ගත හැකි ජන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
සැප පුටුවල ඉන්න අයට ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ
එසේම බදු ගෙවන්නන්ගේ මුදලින් බඩකට පුරවා ගන්නා රජයේ ලොකුපුටුවල සිටින අයට පාරිභෝගිකයන් විඳින දුක නොතේරෙන බවත් එම නිසා ඔවුන් අසංවේදීව කටයුතු කළත් රටට අවශ්‍ය වී ඇත්තේ ජනතා දුක තේරෙන සංවේදී පාලනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
රජයේ ඩිජිටල් විප්ලවේ නමට විතරයි
ඩිජිටල් විප්ලවය ගාන කතා කළත් අප රටේ තොරතුරු තාක්ෂණය උගන්වන්නේ 6-13 දක්වා පමණක් බවත් එය විහිලුවට කරුණක් බවත් තොරතුරු තාක්ෂණ කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් 1 වසරේ සිට ඉගැන්විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
අධ්‍යාපනයේ බෙදීම නතර කළ යුතුයි
අපේ රටේ ජනතාවගෙන් 99%ක් නව තාක්ෂණය ගැන යාවත්කාලීන නොමැති බවත් අගනුවර පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල දූදරුවන්ට මෙම තාක්ෂණය ගැන දැනුමක් තිබුණත් අගනුවර රජයේ පාසල්වල දරුවන්ට පවා එවැනි දැනුමක් නොමැති බවත් රටේ අධ්‍යාපනයේ මේ බෙදීම නැති කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙකී අසාධාරණ අධ්‍යාපනයේ බෙදීම නිවැරදි කර රටේ නිදහස් අධ්‍යාපනය නවීකරණය කළ යුතු බවයි.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 85ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4142ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 123ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1232ක් වැය කර තිබේ.