උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවලින් 5000 ක නියැදියක් තෝරාගෙන සිදුකළ ස්වාධින සමීක්ෂණයකින් සමගි ජන සන්ධානයට සියයට 39 ක ප්‍රතිශතයක් තිබෙන බව තහවුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවැසීය.Sri Lanka Latest News
අද (20) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමනි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මේ බව සඳහන් කළේය.
එම සමීක්ෂණයේදී ජාතික ජන බලවේගයට සියයට 20 ක ප්‍රතිශයක් , පොදුජන පෙරමුණට සියයට 9 ක ප්‍රතිශතයක් , එක්සත් ජාතික පක්ෂයට සියයට 5 ක ප්‍රතිශතයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 5 ප්‍රතිශතයක් තිබෙන බවද හෙළි වී ඇති බව අශෝක් අබේසිංහ මහතා හෙතෙම පැවැසීය.
උතුරු නැගෙනහිර ඡන්ද කිසිසේත් පොදුජන පෙරමුණට සහ ජාතික ජනබලවේගයට ලැබෙන්නෙත් නැති බවත් ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා සියයට 11 ක පමණ ප්‍රතිශතයක් සමගි ජනබලවේගයට අවශ්‍ය වී ඇති බවත් සමගි ජනබලවේගයට පහසුවෙන් එම ප්‍රතිශතයට ලගාවිය හැකි බවත් අබේසිංහ මහතා කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක් අබේසිංහ මහතා මෙසේද පැවැසීය.
‘‘නව ජනාධිපතිවරයෙක් නොවැම්බර් 17 ට පෙර පත්විය යුතුයි. ජුලි මාසය අවසානයේ ජනාධිපතිවරය කැඳවීමේ නිවේදනය නිකුත් කරලා සති දෙකකට පසු නාම යෝජනා කැඳවලා පසුව සති 4 ත් 6 ත් අතර කාලයක් තුළ මැතිවරණය පැවැත්විය යුතුයි. 2024 ඔක්තොම්බර් මාසයේ 17 ට පෙර නව ජනාධිපතිවරයා පත් කරගත යුතුයි. වසර දෙක හමාරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 113 දෙනෙකු යෝජනාවක් සම්මත කර ගත්තොත් එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය ලබාදීලා තිබෙනවා.
මෙවැනි තත්ත්වයක බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ මහ මැතිවරණයක් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනාධිපතිවරණය මුලින් පවත්වන්නත් මහ මැතිවරණය සඳහා නව මැතිවරණ ක්‍රමයක් හදුන්වා දෙන්නත් කැබිනට් මණ්ඩලය තීරණය කරලා තිබෙනවා. මහ මැතිවරණය කල් යන බවට ඉඟියක් ආණ්ඩුව එම ප්‍රකාශයෙන් ලබාදෙනවා. ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් කුමන තීරණයක් ගනීවිද කියලා විශ්වාස කරන්න බෑ. පැමිණෙන ඕනෑම මැතිවරණයටක මුහුණ දෙන්න සමගි ජනබලවේගය සුදානම්. ඒ වගේම ඕනෑම මැතිවරණයක් ජයග්‍රහනය කිරිමේ ශක්තිය සමගි ජනබලවේගය සතුව තිබෙනවා.
උතුරු නැගෙනහිර හැර අනෙකුත් ප්‍රදේශවල 5000 ක නියැදියක් තෝරාගෙන සිදුකළ සමීක්ෂණයකින් සමගි ජන සන්ධානයට සියයට 39 ක ප්‍රතිශතයක් සහ ජාතික ජන බලවේගයට සියයට 20 ප්‍රතිශයක් සහ පොදුජන පෙරමුණට සියයට 9 ක ප්‍රතිශතයක් සහ එක්සත් ජාතික පක්ෂයට සියයට 5 ක ප්‍රතිශතයක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 5 ප්‍රතිශතයක් තිබෙන බව සිදුකළ ස්වාධීන සමීක්ෂණයකින් තහවුරු වෙලා තිබෙනවා. උතුරු නැගෙනහිර ඡන්ද කිසිසේත් පොදුජන පෙරමුණට ලැබෙන්නෙත් නෑ. ජාතික ජනබලවේගයට ලැබෙන්නෙත් නෑ. ජනාධිපතිවරණය ජය ගැනිම සඳහා සියයට 11 ක වගේ ප්‍රමාණයක් තමයි සමගි ජනබලවේගයට අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඒ සියයට 11 ක ප්‍රතිශයත් සමගි ජනබලවේගයට පහසුවෙන් ලබාගැනීමට හැකියි.
2019 දී පැවැති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ලක්ෂ 69 ක් , සජිත් ප්‍රේමදාස ලක්ෂ 55 ක් , අනුර කුමාර දිසානායක ලක්ෂ 4 කට ආසන්න ප්‍රමාණයක් ඡන්ද ලබා ගත්තා. 2019 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 165 ක්. ඡන්දය ප්‍රකාශ කරලා තිබුණේ ලක්ෂ 135 යි. 2024 ජනාධිපතිවරණයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 175 ක්. ඡන්දය ප්‍රකාශ කරන්නේ ලක්ෂ 140 ක් බව අපි උපකල්පනය කරලා තිබෙනවා. ජනාධිපතිවරණය ජය ගන්න ලක්ෂ 70 ක් ඡන්ද ලබා ගත යුතුයි. මේ වනවිට පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රමාණය කෑඩි ගොස් තිබෙනවා. බැසිල්ගේ , ලන්සගේ , ඩලස්ගේ , විමල්ගේ , මෛත්‍රීපාල , අනුර යාපාගේ , දයාසිරිගේ , රොෂාන්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් ලෙස පොදුජන පෙරමුණ කණ්ඩායම් 8 ක කැඩි ගොස් තිබෙනවා. පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයේදී ලක්ෂ 70 ක් ඡන්ද ලබාගන්න කොහොමත් බෑ.
සියයට 3.6 ද සියයට 50 වෙන්න ලේසි , සියයට 45 ද සියයට 50 වෙන්න ලේසි කියලා ජනතාව කල්පනා කරලා බැලිය යුතුයි. ලක්ෂ 55 ක් ගත්ත පුද්ගලයාටද ජනාධිපති වෙන්න ලේසි , ලක්ෂ 4 ක් ගත්ත පුද්ගලයාටද ජනාධිපති වෙන්න ලේසි මේක සාමාන්‍ය දැනුම. ඒ වගේම ආණ්ඩුවක් පිහිටුවන්න 113 ක් අවශ්‍ය වෙනවා. සමීක්ෂණ වාර්තා අනුව පොදුජන පෙරමුණට ආණ්ඩුවක් කිසි ලෙසකින් පිහිටුවන්න බෑ. මාලිමාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නේ 3 දෙනෙයි. ඒ මන්ත්‍රිධුර 3 මන්ත්‍රීධුර 113 ක් කරන්න අපහසුයි. සමගි ජනබලවේගයට මන්ත්‍රීධුර 50 ක් තිබෙනවා. මන්ත්‍රීධුර 113 ක් ගන්න පහසුම කණ්ඩායම සමගි ජන බලවේගය පමණයි.
ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව ව්‍යාපෘති ලබාදීම සහ ව්‍යාපෘතිවලින් සොරකම් කිරිම තවම සිදුකරගෙන යනවා. ඔට්ටමාවඩිවල ඉදිකිරීමට නියමිත සුළං විදුලි බලාගාරය සඳහා
ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදීමට සැලසුම් කරලා තිබෙනවා.
තාක්ෂණික ඇගයීම් කමිටුව එක විදුලි ඒකකයක් රුපියල් 21 කට ලබාගත යුතු බව තීරණය කරද්දි වෙනත් කමිටුවක් හරහා විදුලි ඒකකයක් රුපියල් 27 ක් දක්වා ගණන් වැඩි කරගෙන තිබෙනවා.
මේ කටයුතු දෙස රටේ ජනතාව විමසිල්ලෙන් සිටිනවා. ඉදිරි මැතිවරණයකදී මේවාට පිළිතුරු දෙන්න ජනතාව බලාගෙන සිටිනවා.
කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩාවකට පත් වෙලා සිටියා. ඒ හරහා දෙලක්ෂ හැටපන්දහසක් පමණ වුණ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වැසී යන තත්ත්වයකට පත් වුණා. එයින් එක්ලක්ෂ හැට පන්දහසක පමණ පිරිසකගේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම වසා දෑමීමට සිදුවී තිබෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර කරන 27,000 ක් පමණ කාන්තා ව්‍යවසායකයන් ප්‍රමාණයක් සිටිනවා. කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවල සේවය කරන ලක්ෂ 26 කගේ පමණ වන පිරිසගෙන් ලක්ෂ 3 කගේ පමණ රැකියා අහිමිවෙලා තිබෙනවා.
මොවුන් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී කතා කළා. ඒ අනුව පරාටේ නීතිය කල් දැමීමට රජය කටයුතු කළා.
ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ව දෙවතාවක් විපක්ෂ නායක කාර්යාලයේදී මුණ ගැසුණා. එම අවස්ථාවේදී කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ට ඩොලර් මිලියන 100 ක ණයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සහතික වෙලා තිබුණා. දැන් එම ණය මුදල ලබාදීලා තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ට ආසියානු සංවර්ධන බැංකුව හරහා ණයක් ලබාදීමට මුලිකත්වය ගැනීම සම්බන්ධයෙන් අපි විපක්ෂ නායකවරයාට ස්තුතිවන්ත වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර නගා සිටුවීමට මෙම මුදල් ප්‍රමාණය විශාල පිටුවහලක්.










