කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙතෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත අද (20 වැනිදා) දැනුම් දුන්නේය.Sri Lanka Latest News
අදාළ ඝාතනය සිදුකළ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු අධිකරණයට දන්වා සිටියහ.
ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අගතියට පත් පාර්ශ්වය නියෝජනය කරමින් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු ඉදිරිපත් කරමින්, දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වීමට පෙර ව්‍යාපාර කටයුතු සඳහා භාවිත කළ ජංගම දුරකථන අංකය දැක්වෙන සිම්පත හෝ නව සිම්පතක් ඔහුගේ බිරිඳට ලබාගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටියේය.
එම සිම්පත ලබාදීමට හැකිද? නැද්ද යන්න සම්බන්ධයෙන් ඊළඟ නඩු වාරයේදී කරුණු ඉදිරිපත් කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියම කළේය.
ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් භාවිත කළ ජංගම දුරකථනය ඇතුළු විද්‍යුත් උපාංග සම්බන්ධයෙන් වන රජයේ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙස දන්වා අතරේක මහෙස්ත්‍රාත්වරයා, රජයේ රස පරීක්ෂකවරයාට සිහි කැඳවීමක්ද නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාළ නඩුව ලබන මැයි 14 වැනිදා යළි කැඳවීමට නියමිතය.