පාර්ලිමේන්තු ගිණුම් කාරකසභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක, හිටපු විගණකාධිපති, වරලත් ගණකාධිකාරී සරත් මායාදුන්නේ මහතා සිරස රූපවාහිනියේ පැතිකඩ සංවාදයට එක්වෙමින් පළකළ අදහස් පහත පළවේ. (Sri Lanka Latest News)
ලංකාවේ අපි අමාරු තැනක ඉන්නේ ආර්ථිකමය වශයෙන්. මේ නිසාම අපිට ආධාර ලැබෙනවා. උදාහරණයක් හැටියට ඊයේ ප්‍රකාශයට පත්වුණා ලෝක බැංකුව අපිට ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණ කටයුතු දියුණු කරගැනීම සඳහා ඇ.ඩො. මිලියන 150ක මුදලක් දීලා තියෙනවා රටක් හැටියට ලංකාවට. මේ වගේ ලැබෙන සහනාධාර හරි තැනට යනවද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පහුගිය දවසක තමන්ගේ දෙවැනි සමාලෝචනයෙන් පස්සේ තුන්වැනි ණය වාරිකය නිකුත් කරන්න පෙර ඒ අය ප්‍රකාශයට පත් කළා අපේ සමාජ සුබසාධන කටයුතුවලට විශේෂයෙන්ම ඉතා අසීරු තැනදී සමාජ ආරක්ෂණ වියදම්වලට ලබාදීලා තියෙන මුදල් බෙදීයෑම ඇතුළු කරුණු ගැන ඔවුන් ඒ තරම්ම සතුටු නොවන බව ප්‍රකාශයට පත්වුණා. මේවා නිසි පරිදි වෙන එක තහවුරු කරන ප්රමුඛ යාන්ත්‍රණයක් තමයි අපේ විගණනය. ඒ ඔස්සේ අඩුපාඩු නොවී නිසි අයට නිසි වෙලාවට නිසි විදියට නිසි ප්‍රමාණයෙන් ලැබෙන එක තහවුරු කරන්න පුළුවන්. ඇයි මේවා නොවෙන්නේ? විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයක් ඉස්සරහට එන මොහොතේ අපි මේක තේරුම් ගන්න ඕනේ. ඒ නිසාම අද අපි ‘පැතිකඩ’ වැඩසටහනට ආරාධනා කළා පාර්ලිමේන්තුවේ ගිණුම් කාරකසභාවේ සහ පොදු ව්‍යාපාර කාරකසභාවේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක, හිටපු විගණකාධිපති, සරත් මායාදුන්නේ මහත්මයාට.
2018දී හුඟක් සාකච්ඡා කරලා ඔබතුමාලත් දායක වෙලා 2018 අංක 19 දරන ජාතික විගණන පනත සම්මත කරගත්තා. ඊට පස්සේ මේ පනතෙන් විගණනය සම්බන්ධයෙන් අපිට තිබුණු බොහෝ රෝග සුව වෙයි කියලා තමයි බලාපොරොත්තු වුණේ. හැබැයි එහෙම වුණේ නෑ. මේ පනතත් ඒ තරම් සක්‍රීය මට්ටමක නැතුව නේද ඉස්සරහට ගියේ?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවෙදී විගණන කොමිසම කියන කාරණය මේ විෂය අපේ ව්‍යවස්ථාවේ 153 යටතේ ‘ඒ’ අකුරේ ඉඳලා ‘එච්’ අකුර දක්වා කාරණාවල් තියෙන මේක ඉවත් කළා. මේ හේතුව නිසා විගණන පනතේ ප්‍රධානම කුලුනක් වෙන විගණන කොමිසම අහෝසි වුණා. එතකොට පනත ඉස්සරහට යන්න විශාල ගැටලුවක් මතු වුණා. 2018 දී 2020දී අහෝසි වුණා. එතකොට යළිත් මේක බලාත්මක වෙලා තියෙනවා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක. දැන් වැඩ කෙරීගෙන යනවා. නමුත් කැඩිච්ච කොටස නිසා ඒ බාධකය නිසා මේ විගණන පනත ගැන ජනතාවට, රාජ්‍ය නිලධාරීන්ට, විගණන නිලධාරීන්ට වුණත් යම් මානසික පසුබෑමක් වුණා.
මේ විගණනය කොච්චර ඉහළ තැනක තියෙනවද කියනවා නම් විගණන කොමිසමේ සාමාජිකයෝ සහ විගණනකාධිපතිවරයා කියන මේ දෙකම ව්‍යවස්ථාදායක සභාව හරහා ජනාධිපතිවරයා විසින් පත්කරන තැන තමයි තියලා තියෙන්නේ. මේකෙන් අපි බලාපොරොත්තු වූ තැනට යන්න පුළුවන් වුණාද?
මම හිතන හැටියට යම් බාධා ඇතිවුණා. නමුත් මේ කාරණයෙන් විශාල පාලනයක් ඇතිවුණා. අපි 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීපු අවස්ථාවේ ඉඳලම ජනාධිපතිවරයාට තිබුණා අභිමතානුසාරී බලයක් යම් යම් කාරණා කිරීම සඳහා. මේක පිළිබඳ මතුවෙච්ච ප්‍රායෝගික ගැටලු නිසා 2001දී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය එනවා. ඊට පස්සේ 18න් මේ කොමිෂන් සභා පිළිබඳ තිබිච්ච කාර්යයේ විශාල වෙනසක් සිදුවෙනවා. ආපහු ඒක 19න් එනවා. 20න් කැඩෙනවා. දැන් 21න් ආපහු අර මුල් 17 වැනි සංශෝධනයට තරමක් කිට්ටු ආකාරයකට ඇදිලා ගිහින් තියෙනවා. මේ කාරණාවලදී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ඇතිවෙච්ච ගමනේ විශාල අඩාළ වීමක් වෙනවා වරින් වර සිදුවෙච්ච උඩුයටිකුරු මාරුවීම නිසා.
ලංකාවේ ජනාධිපති පත්කරනකොට ඒගොල්ලන්ට අලුතෙන්ම ව්‍යවස්ථා සංශෝධනයකුත් කරනවා. ඔබ කලින් කියපු උදාහරණ දෙකෙන්ම පේන්නේ මේ සම්ප්රදාය අහිතකර ලෙස බලපාන බව නේද?
ඒ කාරණයට අමතරව ඊට වඩා බරපතළ කාරණයක් තමයි සාමාන්‍යයෙන් රටක ප්‍රතිපත්තිමය කාරණාවල යම් යම් සුළු සංශෝධනයක් සිදුවීම. මෙතැනදී සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කෙරෙන්නේ කොහොමද? මෙහෙම වෙනකොට තියෙන විශාල ගැටලුව තමයි මේකට පක්ෂව ඡන්දය දෙනවා සංඛ්‍යාව 17ට 18දී ඒගොල්ලෝ ඉන්නවා අනිත් පැත්තටත්. ඒ කණ්ඩායම ආයේ සැරයක් අනෙක් පැත්තට 21 දක්වා එනකොට තට්ටු මාරු ක්‍රමයකට වගේ වෙනස් වෙනවා. හැබැයි ජනතාව තමයි පරමාධිපත්‍යය තියෙන කණ්ඩායම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ක්‍රියා කළ යුතු. ඒගොල්ලන්ගේ වරම උඩ තමයි ජනතා නියෝජිතයෝ එන්නේ. එතකොට ව්‍යවස්ථාදායක කියලා අපි කියන පාර්ලිමේන්තුවට තමයි මේ බලය ලැබෙන්නේ එතකොට කොහෙමද පාර්ලිමේන්තුවේ බොහෝ දුරට අමාත්‍ය මණ්ඩලය දිහා බැලුවාම එකම අමාත්‍යවරයා මේ පහටම අත උස්සපු අය හිටියා. මේක වෙන්නේ කොහොමද? මම හිතන්නේ මේක අපේ දේශපාලන සවිඥානකත්වය පිළිබඳ තියෙන යම් නොමේරූ ගතියක්.
අපේද? දේශපාලන නායකයන්ගේද?
අපේ කියන්නේ රටේ.
පහුගිය කාලේ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ආවාම රාජ්‍ය නිලධාරීන් අමාරු තැනකට ගිහිල්ලා තියෙන බව අපිට ඒ කමිටුවල වීඩියෝ දර්ශන දකිද්දී පේනවා. නිලධාරීන්ගේ පැත්තෙනුත් කතාකරනකොට කියන එකක් තමයි අයියෝ මේ ඔඩිට් කට්ටිය එක්ක මේක කරන්න බෑ කියලා. ඇත්තටම එහෙම කරන්න බැරිකමක් තියෙනවද?
මේ ප්‍රශ්නෙ දෙපැත්තක් තියෙනවා. නිලධාරීන්ගේ අඩුපාඩු තියෙනවද කියන එක එකක්. අනෙක් පැත්තෙන් මේ අඩුපාඩු නිසා ඇතිවෙන ප්‍රතිරූපය නිලධාරීන් මත අයහපත් වුණාම කාර්යසාධනයට ඒක බලපානවා. මෙතැනදී වියයුතු දේ තමයි මේ සියලු දේවල් අපි ධනාත්මක තත්ත්වයකට යන්න ඕනේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු කාරකසභාවල අරමුණ වෙන්නේ මෙහෙම සාකච්ඡාවට කැඳවන නිලධාරීන්ව අමාරුවේ දැමීම, අසීරුතාවකට පත්කිරීම නෙවෙයි. මේ හැම අඩුපාඩුවක්ම නිවැරැදි කිරීම සඳහා. මොකද මේ කමිටු දෙකටමත්, ඒ වගේම බොහෝ කමිටුවලටත් තියෙන බල වරම නියෝග දීමක් නෙවෙයි. වාර්ෂිකව, කාලීනව මේ කමිටුවක් මොකක්ද කළේ, මේ කාරකසභාවක් මොකක්ද කළේ, මොනවද නිර්දේශ, මොනවද කරන්න ඕනේ වෙනස්කම් ආදිය කියලා පාර්ලිමේන්තුවට වාර්තා කරනවා. පාර්ලිමේන්තුව මේ පිළිබඳ සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්නවා. මෙතැනදී මේ කමිටුවේ නිර්දේශ වෙන්න ඕනේ මේ මේ අඩුපාඩු නිවැරැදි කිරීමට මෙන්න මේ සංශෝධන අවශ්‍ය වෙනවා අපේ නීති පද්ධතියට කියන එක. නිලධාරීන් වැරැද්දක් කරලා තියෙනවා නම් ඔවුන්ට ඒවට උත්තර දෙන්න සිදුවෙනවා. හැබැයි මේ ප්‍රශ්නවලට මැදිවෙන නිලධාරීන් බොහෝ අවස්ථාවලදී ඒ ප්‍රශ්නවලට මැදිහත් වෙලා තියෙන්නේ බහුතරයක් අය වංචනිකයෝ නිසා නෙවෙයි. එහෙම නැත්නම් දූෂිතයන් නිසා නෙවෙයි. දූෂිත අයත් ඉන්න පුළුවන්. හැබැයි බැලූ බැල්මට හිතෙනවා මේ ඔක්කොම හොරු කියලා. නමුත් ඒක යථාර්ථය නෙවෙයි. නිලධාරීන් බොහෝ දෙනෙක් පෞද්ගලිකව ගන්නවා නම් පුළුවන් තරම් හොඳින් කටයුතු කරනවා. අපේ සමස්ත රාජ්‍ය ව්‍යුහය තුළ තියෙන දූෂණය, අවපාලනය දිහා බැලුවාම මට පෞද්ගලිකව මගේ අත්දැකීමේ හැටියට නිලධාරීන්ගේ ඉහළ මට්ටමෙන් යම් දායකත්වයක් තිබිලා තියෙනවා. හැබැයි සමස්ත ක්‍රියාකාරීත්වයේදී ඇතිවෙලා තියෙන දූෂණයට අපේ සමස්ත නිලධාරීන්ගේ දායකත්වය ඉතා සුළු අගයක් කියලයි මට පේන්නේ. බලා ඉන්න කෙනකුට තේරෙන්නේ අපි මේ ඔක්කොම හොරු කියලා. නමුත් යථාර්ථය ඒක නෙවෙයි.
ඒ නිලධාරීන් පටන්ගන්නෙම ‘මම ඒ කාලේ හිටියේ නෑ. මම මේ තනතුරට පත්වුණේ අහවල් දවසේ, ඔය සිද්ධිය වෙලා තියෙන්නේ ඊට පෙර’ කියලා. එතකොට කලින් එක්කෙනාගේ වැරැදිවලට දැන් ඒ තනතුර දරන කෙනා වගකිව යුතු නැද්ද?
මේවායේ තියෙන්නේ යම් පරම්පරාගතව යන වගවීම, වගකීම දිගට පැවැත්මක්. ඒක ඇත්ත. හැබැයි තමන් භාරගන්න අවස්ථාවේදී පෙර නිලධාරීන්ගේ වැරැදි පිළිබඳ අවබෝධයක්ද අවශ්‍ය වෙනවා. ඒ වගේම යම් කාලයක් තුළ ඒවා අවබෝධ වෙනකොට ඔවුන්ට බලය තියෙනවා මේ පිළිබඳ වාර්තා කරලා ඒ නිලධාරීන්ගේ වැරැදි පිළිබඳ පැමිණිලි කරලා විභාග පවත්වලා තමන්ගේ අත් දෙක හෝදගන්න. එහෙම නැතුව ඉන්නවා නම් තමන් ඒ වගකීම භාරගන්න වෙනවා. මට කියන්න පුළුවන්කමක් නෑ මම වැඩ බාරගන්න අවස්ථාවේ යම් අඩුපාඩු තිබුණේ පරණ අයගෙන් කියලා. තමන් රාජකාරි කරන වෙලාවේ තමන් ඒ වැරැදි දිකිනකොට ඒ පිළිබඳ ඉහළට වාර්තා කරලා පියවර ගන්න දැනගන්න ඕනේ. මම ඒකෙන් අදහස් කළේ නෑ සියලු ඒවායේදී නිලධාරීන්ගේ කාරණාව ඉතා සුළුයි කියලා. හැබැයි මේකට වැදගත් වෙනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ බලාත්මක කරපු එක කාරණාවක්. ඒක තමයි ව්‍යවස්ථාවේ තියෙන 52/2 කියන ව්‍යවස්ථාව. ඒකෙන් කියන්නේ අමාත්‍යාංශයට ලේකම්වරයෙක් වන්නේය, ඒ ලේකම්වරයා තම අමාත්‍යාංශය සහ ඒ යටතේ තියෙන ආයතන පිළිබඳ තමන්ගේ පාලනයට යටත් කරලා, අධීක්ෂණයට යටත් කරලා එයා තමයි මෙහෙයවන්නේ. එතකොට ලේකම්වරයාට පැවරෙන්නේ කුමක්ද? ඒ පනතෙන් දෙන බලය යටතේ මේ නිලධාරියා බැඳෙනවා. කවුද මේ නිලධාරියා කියන්නේ? සමස්ත නිලධාරී කණ්ඩායමේම නායකත්වය දරන පුද්ගලයා තමයි අමාත්‍යාංශ ලේකම්වරයා. දැන් අමාත්‍යාංශයේ ලේකම්වරයාව දණගස්සලා තියෙන්නේ කොතැනද? අමාත්‍යවරයා ඉස්සරහා. මේකේ හොඳ පැත්තක් සහ නරක පැත්තක් තියෙනවා.
ඔබ හිටියා කෝප්, කෝපා කමිටු දෙකේම උපදේශකයෙක් ලෙස. මේ කමිටුවලට නිලධාරීන් ඇවිල්ලා ටිකක් අසීරුතාවන්ට පත්වෙලා ඉන්නවා මාධ්‍යවලිනුත් පේනවා. හැබැයි සමාජයේ තියෙන චෝදනාව තමයි ඒවා නාටකීයයි, මුකුත් වෙන්නේ නෑ කියලා. ඩ්‍රාමා එකක් විතරයි කියලා. මේ කතාව ඇත්තද?
මේ චෝදනාවේ යම් පැතිකඩක් තියෙනවා. මේ කාරකසභාව, විගණකාධිපතිවරයාට දඬුවම් දීමේ බලයක් තියෙනවා කියලා පොදු විශ්වාසයක් තියෙනවා. නමුත් එහෙම දෙයක් නෑ. මේ කාරකසභාවලට තියෙන බලය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිළිබඳ බලයයි. විගණකාධිපතිවරයාට තියෙන බලය පාර්ලිමේන්තුවට වාර්තා කරනවා, පාර්ලිමේන්තුව වෙනුවෙන් මේ කාරකසභා මේවා පරීක්ෂා කරනවා, කාරකසභා නිරීක්ෂණ කරකසභාව විසින් පාර්ලිමේන්තුවට වාර්තා කරනවා, පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් කරන දේ මේ වාර්තාවලට බොහොම හොඳයි කියලා අගය කරලා පුස්තකාලයට යවනවා. අනෙක් රටවල එහෙම නෙවෙයි වෙන්නේ. මේ කාරණාවලට උත්තර දීම පිළිබඳ විධායකය වගකියන්න ඕනේ. විධායකයේ තියෙනවා ප්‍රධාන ස්ථර 3ක්. ජනාධිපතිතුමා, අමාත්‍ය මණ්ඩලය, නිලධාරීන්. දැන් අපි අහන්නේ නිලධාරීන්ගේ උත්තර විතරයි මෙතැනදී. පාර්ලිමේන්තුව හැබැයි සභාගර්භයේදී අමාත්‍යවරුන්ගෙන් උත්තර ඉල්ලන්න ඕනේ. අපේ අතීතය දිහා බැලුවාම වෙලා තියෙන්නේ මේ ආණ්ඩු පක්ෂය බහුතරය වශයෙන් කරන අවස්ථාවේදී නාටකීය ස්වභාවය තියෙන්නේ එතැන තමයි. අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරනවා නෙවෙයි දූෂිත කටයුතුවලට සම්බන්ධ වෙච්ච අමාත්‍යවරු බේරාදීම සඳහා විශාල ක්රියාකාරීත්වයක් සිදුවෙනවා. රාජ්‍ය මූල්‍ය පිළිබඳ ස්වාධීනත්වය දිහා බලන්න. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 කියන්නේ මොකක්ද? පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පැවැත්විය යුත්තේය. එතකොට මේක 148 – 149 – 150න් සම්පූර්ණ ආදායම එකතු කිරීම, මේ පිළිබඳ රැස්කිරීම, ඊට පස්සේ වැයකිරීම පිළිබඳ පාර්ලිමේන්තුවට විශාල බලයක් තියෙනවා. හැබැයි මේක පාර්ලිමේන්තුවටම අයිති කාරණයක් වෙන්නේ නැතුව යනවා. මොකද මේ කියන කාරණය ආපහු හැරවීමක් වෙනවා 152 ව්‍යවස්ථාව යටතේ. ඒකෙන් කියන්නේ පාර්ලිමේන්තුවට මුදල් හා සම්බන්ධ යෝජනාවක් කෙටුම්පතක් ගේන්න බලය තියෙන්නේ අමාත්‍ය මණ්ඩලයට විතරයි. වෙන කාටවත් බෑ. එතකොට අමාත්‍ය මණ්ඩලයට තියෙන කාර්යයටත් කොන්දේසි 3ක් තියෙනවා. එකක් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ අමාත්‍යවරයෙක් විසින්මයි. අනෙක් කාරණය ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දීලා තියෙන්න ඕනේ. ඊළඟ කාරණය ඒ අමාත්‍ය මණ්ඩලය අනුමත කරපු ආකාරයට විතරයි ඒක ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක සම්පූර්ණ රාජ්‍ය මූල්‍ය පිළිබඳ විශාලම කාර්යභාරය විධායකය මම කියපු දෙවැනි කණ්ඩායම වන අමාත්‍යවරු මත රඳවලා තියෙනවා.
ඔබතුමාත් හිටියානේ පාර්ලිමේන්තුවේ ගිණුම් කාරකසභාවේ, පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාවේ උපදේශකවරයෙක් විදියට. ඒ උපදේශකවරු හැටියට කටයුතු කරද්දී මේක පාර්ලිමේන්තුව තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරගන්න අපිට වැඩපිළිවෙළක් හදාගන්න බැරිවුණාද?
මේ පිළිබඳ 2003-2004 විතර ලෝක බැංකුව මැදිහත් වෙලා රාජ්‍ය විගණනය හා ගිණුම්කරණය ශක්තිමත් කිරීම සඳහා විශාල ව්‍යාපෘති ගෙනාවා. අපි ඒ කාරණය ආරම්භ කරලා කරගෙන ගියා. මීට අමතරව 2007-2008 වෙනකොට ලෝක බැංකුව විශාල ආධාරයක් දෙමින් මේ අධීක්ෂණ කාරකසභාවල ධාරිතා වර්ධනය සඳහා ව්‍යාපෘතියක් කළා. මමත් ඒ කාලේ හිටියා. ඒ ව්‍යාපෘති යටතේ විශාල යෝජනා ගණනාවක් ගෙනාවා මේ ධාරිතා වර්ධනය සඳහා. හැබැයි මම කාටවත් චෝදනා කරනවා නෙවෙයි. මේකට එරෙහි වුණේ අපි පෞද්ගලිකව හඳුනන ප්‍රධාන දූෂිතයෝ තමයි. මේක හමස් පෙට්ටියට යැව්වා. මම උපදේශක කාර්යයෙන් ඉවත් වෙන කාලය වෙනකොටත් මේක හමස් පෙට්ටියට තල්ලු කරලා ඉවරයි. ඒ කියන්නේ මේ ආධාර රට යහපත් කිරීම සඳහා, අධීක්ෂණය යහපත් කිරීම සඳහා කරන කාරණා, ජනතාව ඡන්ද බලයෙන් තෝරලා තියෙන ජනතා නියෝජිතයෝ දූෂිත නම් අපි කාටද කියන්නේ? ඒගොල්ලෝ හැදීමට මේ ගිණුම් කාරකසභාවටවත්, එහෙම නැත්නම් පොදු ව්‍යාපාර කාරකසභාවටවත් පුළුවන්කමක් නෑ. ප්‍රධාන වශයෙන්ම ඒවා තීරණය කරන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය. එතකොට මොකද වෙන්නේ?
අපි ඉන්නේ ප්රජාතන්ත්රවාදී රාමුවක් ඇතුළේ. නියෝජිත ප්රජාතන්ත්රවාදය තමයි අපි පාවිච්චි කරන මොඩලය. මේ මොඩලය තියෙන රටවල විගණනය නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා ඒ යාන්ත්‍රණය නඩත්තු කිරීම සාර්ථකව කරන රටවල් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් වෙන්නයි, අපිට බැරි වෙන්නයි හේතුව මොකක්ද?
ජනතා පරමාධිපත්‍යය දීලා තියෙන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි ව්‍යවස්ථාවෙන් ජනතාවට. ඒක හොඳයි. හැබැයි ජනතාවට දීපු මේ බලය ක්‍රියාත්මක කිරීම සඳහා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 අ, ආ, ඇ යටතේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය, ජනතාවගේ විධායක බලය, ජනතාවගේ අධිකරණ බලය කියන කොටස් තුන පාලන බලතල යටතේ පෙන්වන්නේ. එතකොට මේකේ ව්‍යවස්ථාදායක බලයත්, අධිකරණ බලයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාරදෙන්නේ කාටද? ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට. එතකොට විධායක බලය බාරදීලා තියෙන ජනතාව විසින් තෝරා පත්කරනු ලබන ජනාධිපතිවරයාට. අපි ගන්න මේ මූලික අවබෝධය, එහෙම නැත්නම් බැඳීම සම්පූර්ණයෙන්ම දේශපාලන සාක්ෂරතාවයේ තියෙන දුර්වලතාව නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. ඒ කියන්නේ ජනතාව ඉල්ලනවා නම් අවපාලනය අවශ්‍යයි කියලා, එහෙම නැත්නම් තමන් තෝරන්නේ අවපාලනය නියෝජනය කරන දූෂිතයන් නම් මේ රට බේරගන්න පුළුවන්ද? බේරගන්න බෑ. හේතුව තමයි ජනතා පරමාධිපත්‍යයෙන් පත්කරලා තියෙන්නේ කවුද මේ කාරණාවලට? නොම්මර එකේ නමගිය හොරු. මිනිස්සු නොදැන නෙවෙයි මේවා කරන්නේ.
අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා. ඉතිහාසයෙත් ඔය විදියට තෝරගත්තා, පත්කරගත්තා?
ඔබතුමා හිතනවද පාඩමක් ඉගෙනගත්තා කියලා?
මම හිතනවා දැන් ජනතාව පාඩම ඉගෙනගෙන තියෙන්නේ කියලා. මොකද මේකෙන් ජනතාවට දැනෙන පාඩමක් ආවනේ. විදුලි බලය නැතිවුණා, ගෑස් නැතිවුණා. ඉහළ බදු පැනවීම්. ඒ නිසාමයි මම අහන්නේ අපි බදු රැස් කරගන්නවනේ. අපිට අලුත් බදු දානවා. මෙහෙම රැස් කරගන්න බදු හරි විදියට වියදම් කරන එක තහවුරු කරගන්න විගණනය තුළ තියෙන යාන්ත්‍රණය මොකක්ද?
මේ පිළිබඳ තමයි විගණනය මූලික අවධානයක් යොමුකරන්නේ. විගණකාධිපතිවරයාගේ කාර්යභාරය තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම විධායකය හරියට තමන්ගේ කාර්යභාරය කරනවද කියලා බලලා පාර්ලිමේන්තුවට වාර්තා කරන්න. මේ කාරණය විගණනයෙන් කෙරෙනවා. පහුගිය කාලෙත් දිගටම කෙරුණා. මේකෙදී භාණ්ඩාගාරය වශයෙන් තමයි මේ රාජ්‍ය මූල්‍ය හැසිරවීමේ මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන්නේ. එතකොට මුදල් අමාත්‍යාංශයේ තියෙන මහා භාණ්ඩාගාරයේ තමයි දිවයිනටම අදාළ ගිණුම් සකස් කරලා විගණනයට ඉදිරිපත් කරන්නේ. විගණකාධිපතිවරයා වසර ගණනාවක්ම කිව්වා මේ තොරතුරු ගැන සනාථ කරන්න ප්‍රමාණවත් තොරතුරු ඉදිරිපත් කෙරෙන්නේ නෑ කියලා. මේ පිළිබඳ මට මතයක් ප්‍රකාශ කළ නොහැකියි කියලා කියලා තියෙනවා. මෙහෙම තත්ත්වයක් ලෝකෙ අනෙක් රටවල නෑ. විගණකාධිපතිවරයාට විගණන මතයක් ප්‍රකාශ කරන්න බැරි තරමට දූෂිත තත්ත්වයක් රටේ තියෙනවා නම් මේ පිළිබඳ පාර්ලිමේන්තුව ඉන්නේ නිහඬව නම්, අමාත්‍ය මණ්ඩලය ඉන්නේ නිහඬව නම්, විගණකාධිපතිට තනි අතින් මේ වැඩේ කරන්න බෑනේ.
මේ ඉතාම අසීරු තත්ත්වයෙන් එළියට එන්න කරන්න තියෙන ක්රියාදාමයේ මුල්ම එක මොකක්ද?
පළමු එක තමයි ජනතාව දේශපාලන සාක්ෂරතාවයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ පරිසරය, අපි ඉන්න රටේ ලෝකයේ මොකක්ද වුණේ, මොකක්ද වෙමින් තියෙන්නේ, එහෙනම් මොකක්ද වෙන්න ඕනේ කියන එක පිළිබඳ අවබෝධය. මේ අවබෝධය නැතුව අපි හිතමු හාල් කිලෝ 10ක් දෙනවා කියලා. ඡන්දේ දෙන්නේ ඒක බලාගෙන නම් එතැන තියෙනවද දේශපාලන සාක්ෂරතාවක්? මේ විනාශයට එක අතකින් බලපාපු පහුගිය අවුරුදු 10-15 දිහා බැලුවාම මේවායේ හිටපු විධායකයේ අමාත්‍යවරුන් දැන් කතාකරන්නේ සම්පූර්ණයෙන්ම නින්දෙන් ඇහුරුණා වගේ. මේවා එකක්වත් පාර්ලිමේන්තුවේ අනුමත කරන්න පුළුවන්ද මම ඉස්සෙල්ලා කියපු විදියට 152 යටතේ අමාත්‍යවරු වශයෙන් හිටපු කට්ටිය ‘මෙහෙම කරන්න බෑ ජනාධිපතිතුමනි’ කියලා කිව්වා නම්. පාර්ලිමේන්තුවේ මේවා ගැන කතා කළාද? නෑ. එතකන් ප්රශස්ති ගීත ගය ගයා ඉඳලා දැන් කියනවා නෑ, අන්න අහවල් පවුල තමයි මේවා කළේ කියලා. තනි පවුලකට රටක් විනාශ කරන්න බෑ. මේ බලය ජනතාව සතු කරලා තියෙන්නේ සමස්ත ව්‍යවස්ථාදායකය සහ සමස්ත විධායක මත. එතකොට මේ අවබෝධය නැතුව අපි ඡන්දය පාවිච්චි කරනවා නම් ඔබතුමා හිතනවද අපිට ගොඩයන්න පුළුවන් කියලා. ඒ නිසා දේශපාලන සාක්ෂරතාව තමයි මේකේ හරය.