• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපු තැනක් නෑ! ගිය තැනක් නෑ! වැඩි සද්දයක් බද්දයක් කලබලයක් නෑ! කරන්දෙණියේ PHI මරා දැමුවේ අවතාරයක්ද – සුපිරි වැඩකාරයෙක්ද? රන්තොටුවිල පාලම් පාරුවෙන් එගොඩ වූයේ ඝාතකයන් දෙන්නාද? රාජකාරිය අකුරට කරන්න ගිහින් ‌ජීවිතයෙන් වන්දි ගෙවූ නිලධාරීන්ගේ නම් ලයිස්තුව මෙන්න! I Sri Lanka Latest News

March 3, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත්ව සිටි කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාරගේ ඝාතනය තවමත් ඇත්තේ අභිරහසක් ලෙසිණි. අඩුම තරමින් මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් සොයා ගැනීමටවත් මෙතෙක් විමර්ශන කණ්ඩායම්වලට හැකියාවක් ලැබී නැත. ඒ මෙම ඝාතනය ඉතා සැලසුම් සහගතව මෙන්ම සූක්ෂ්මව සිදුකර ඇති බැවිනි.Sri Lanka Latest News

රොෂාන් කුමාර ඝාතනය වන්නේ පසුගිය 26 වෙනිදා කුරුඳුගහහැතැම්ම දිවිතුරුගම පිහිටි සිය නිවෙස තුළදීය. ඒ උදෑසන 6.50ට පමණය. ඒ වන විටත් ඔහු සූදානම් වෙමින් සිට ඇත්තේ සිය බාල දරුවා පාසලට රැගෙන යාමටය. ඒ එම දරුවාගේ පළමු පාසල් ගමන යෙදී තිබුණේ එදින වූ බැවිනි. කලිසම් ෂර්ට් හැඳ සිටි රොෂාන් කුමාර ඒ වන විටත් මේස් දෙක අතට ගෙන සිටියේ සපත්තු දෙක පැලදීමේ සූදානමිනි. නිවෙසේ ඉදිරිපස දොරට යමෙක් තට්ටු කරමින් “කවුද ඉන්නේ“ යැයි විමසන්නට වූයේ ඔය අතරතුරදීය. මේස් දෙකත් අතේ රඳවා ගෙන රොෂාන් කුමාර ඒ කවුරුන් දැයි කියා බැලුවේ ඉදිරිපස දොරින් නොව, සාලයට යාබදව ඇති සිය කාර්යාල කාමරය පැත්තෙනි. ඒ වීදුරු දොර මඳක් විවර කරමිනි.

“ඇයි“

දොරට තට්ටු කළ ආගන්තුකයාගෙන් එසේ විමසනවාත් සමඟ ඊට ඔහුට පිළිතුරු ලැබෙන්නේ වෙඩි උණ්ඩයකිනි. වෙඩි කාගෙන රොෂාන් කුමාර හැලහොල්මනක් නොමැතිව නිවෙස තුළට එන්නේ විසි වෙමිනි. ඒත් එක්කම නිවෙසට ඇතුළු වූ එම පුද්ගලයා රොෂාන් කුමාර පිටුපසින් වැඩි කලබලයකින් තොරව ඉදිරියට අඩි තබමින් ආවේ ය. දිග කලිසමක් හැඳ සපත්තු පැලඳ සිටි එම පුද්ගලයාගේ හිසේ යතුරුපැදි හෙල්මට්ටුවක් තිබුණේය. එහි වයිසරය තිබුණේ මඳක් ඉහළට ඔසවාය.

ඒ පුද්ගලයා තම අත වූ ගිනි අවියෙන් දෙවැනි හා තෙවැනි වෙඩි කිහිපය පත්තු කරනු ලබන්නේ රොෂාන් කුමාර වැනි වැනී සාලයට ආ පසුවය. එම වෙඩි දෙකම තබන්නේ ඔහුගේ පිටුපසිනි. එම වෙඩි ප්‍රහාර දෙකම සිය පුතුගේ සිරුර හරහා වැදෙන අයුරු රොෂාන්ගේ මව බලා සිටියේ හාපුරා කියා එදා පාසල් යන්නට සූදානමින් සිටි කුඩා මුනුපුරා ද තුරුලු කරගෙනය. ඒ වෙඩික්කරු සමඟ පොර බැදීමට තරම් ඇයට හයිහත්තියක් නොවූ බැවිනි.  

කපා හෙලූ කඳක් මෙන් මුනින් අතට රොෂාන් බිම ඇද වැටෙන විට විවෘතව තිබුණු ඉදිරිපස දොරින් වෙඩික්කරු පිටව යන්නේ ද වැඩි කලබලයකින් තොරවය. ඒ වන විටත් නිවෙස ඉදිරිපිට මාර්ගයේ නතර කර තිබෙන්නේ ඩියෝ වර්ගයේ යතුරුපැදියකි. එහි එන්ජිම රේස් කරමින් සිටියේ පැදිකරුය. ඔහු බලා සිටියේ වෙඩික්කරු පැමිණෙන තුරුය. පැදිකරු තරමක් කලබලයෙන් යතුරුපැදිය රේස් කරමින් සිටිය ද වෙඩික්කරුට ඒ ගැන කිසිදු ගාණක් නොවීය. වෙඩික්කරු යතුරුපැදියට ගොඩවූ සැණින් එය පවනට බඳු වේගයෙන් ධාවනය කෙරන්නේ අතුරුමාර්ග ඔස්සේ ඌරගස්මංහන්දිය දෙසටය.

මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට තුඩුදී ඇති කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ ඝාතනය සිදුවන්නේ එසේය. මෙවැනි ඝාතනයක් සිදුවී පැය 24ක් හෝ 48ක් යන්නට මත්තෙන් ඝාතනයේ අහුමුළු විමර්ශන කණ්ඩායම් වෙත ලැබුණත් අඩුම තරමින් මෙම ඝාතනය පිටුපස සිටින්නේ කවුරුන් දැයි කියාවත් තවමත් නිශ්චිත තොරතුරක් සොයා ගන්නට නැති තරම්ය.

රොෂාන් කුමාර යනු නීතිය වාසි අතට නොනමන රාජකාරිය දේවකාරියක් සේ සලකා කටයුතු කර ඇති අයෙකි. මුදලට ඇතැම් රාජ්‍ය නිලධාරීන් නැමෙන විට දහසින් බැඳි පියලි හමුවේ කාටත් නවන්නට බැරිවූ නිලධාරීයෙක් ලෙස සිය සඟයන් අතර ඔහු කිරුල දරාගෙන සිටියෙකි. ඔහු වැඩිහරියක් සටන් කළේ කුණු කෑම මහජනයාට කවන ලොකු සමාගම් සමඟිනි. සිය වෘත්තීය වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කළ රොෂාන් කුමාර ඒ නිසාම කුණු කෑම විකුණන ව්‍යාපාරිකයන්ට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පනවා තැබුණු නඩු මෙහෙයැවීමට රට පුරාම අධිකරණවලට ගියේය. ඒ කුණු කෑම මහජනතාවට කවන්නට හැදූ ව්‍යාපාරික ආයතන හා සමාගම් නීතිය හමුවේ අසරණ කරමින් තවදුරටත් එසේ මහජනතාවට කුණු කෑම කවන්නට ඉඩ නොදෙමිනි.

මේ නිසාම ඔහු සමඟ උරණ වූවෝ බොහෝය. එවන් අයකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව රොෂාන් කුමාරව මරා දැමුවේ දැයි යන සැකය මේ වන විටත් විමර්ශන නිලධාරීන් හමුවේ පැන නැඟී හමාරය. ඒ කීර්තිමත් රේගු නිලධාරියෙක් වූ සුජිත් ප්‍රසන්න පෙරේරාව මරා දැමූවේ ද එවැනි අය වූ බැවිනි.

සහකාර රේගු අධිකාරීවරයකු වූ සුජිත් ප්‍රසන්න පෙරේරා ඝාතනය වන්නේ 2001 වසරේ මාර්තු 24 වෙනිදාය. ඒ නුවර පාරේ පෑලියගොඩදීය. කිරිබත්ගොඩ සිට සිය මස්සිනා සමඟ මෝටර් රථයකින් කොළඹ දෙසට ගමන් කරමින් සිටි ඔහුට වෙඩි ඝාතනය කරනු ලබන්නේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසිනි. එදා මුළු රේගුවම නිහඬ කරවූ එම ඝාතනයට හේතුව වූයේ මෙරට ප්‍රධාන පෙලේ සමාගමක් විසින් යුරෝපීය රටවලින් සහ ඕස්ට්‍රේලියාවෙන් අහක දමන ටොෆි, චොකලට් ඇතුළු රස කැවිලි කන්ටේනර් පිටින් මෙරටට ගෙන්වා කල් ඉකුත් වන දින වෙනස් කර සුපිරි වෙළඳ සැල් හරහා අලෙවි කරන දැවැන්ත ජාවාරමකට එරෙහිව සුජිත් සටන් කිරීමය. එම සටන සුජිත් කළේ තනිවම නොව, එකල රේගු අධිකාරීවරයෙක්ව සිටි අනුර ගුණතිලක ද ඔහුගේ තනි නොතනියට සිටියේය. අවසානයේදී සිදු වන්නේ සුජිත් ප්‍රසන්න පෙරේරා මහ මග වෙඩි උණ්ඩයකට බිලිවන විට අනුර ගුණතිලකට සිය ජීවිතාරක්ෂාව පතා රටින් පලා යාමටය.

එදා සුජිත් ප්‍රසන්න මරා දැමීම පිටුපස දූෂිත රේගු නිලධාරියෙක් ද සිටියේය. ඒ සුජිත් නීතියට වැඩ කරන විට බඩේ පහර වැදුණේ එම රේගු නිලධාරියාට වූ බැවිනි. අනුර වීරවංශ නම් වූ එම රේගු නිලධාරියා අද වන විට සිටින්නේ සුජිත්ගේ ඝාතනයට අධිකරණයෙන් වරදකරු වී මරණීය දණ්ඩනයෙන් සිර දඩුවම් ලබාය. එදා සුජිත්ට වෙඩි තැබුවේ යුද හමුදාවේ සිටි සෙබළකු කුලී ඝාතකයකු සේ යොදාගෙනය. එම කුලී ඝාතකයාව පවා දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අල්ලා ගත්තේ පොම්පොමඩු කඳවුරේ රැඳී සිටියදීය. එම සෙබළාත් මේ වන විට සිටින්නේ මරණීය දණ්ඩනයෙන් දඩුවම් නියම වූ සිරකරුවෙක් ලෙස මහ උළු ගෙදර බත් පතේ රස විඳිමිනි.

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ ඝාතනය ද බැලූ බැල්මට සහකාර රේගු අධිකාරී සුජිත් ප්‍රසන්නගේ ඝාතනය හා වෙනසක් නැති තරම්ය. ඒ සුජිත් ප්‍රසන්න පෙරේරා මෙන්ම රොෂාන් කුමාර ද සටන් කර ඇත්තේ විවිධ ව්‍යාපාරික සමාගම් විසින් කුණු කෑම ජනතාවට කැවීමට එරෙහිව වන බැවිනි. ඒ අනුව බලන කල රොෂාන් කුමාරගේ ඝාතනය පිටුපස ද කුණු කෑම ජනතාවට කවන යම් ව්‍යාපාරික හිමිකරුවකුගේ හෝ ව්‍යාපාරික ප්‍රජාවකගේ සම්බන්ධයක් ඇතැම් විට මෙම ඝාතන විමර්ශන අවසානයේදී එළියට එන්නට ඇති ඉඩකඩ බොහෝය.

මහජන සුබසිද්ධිය උදෙසා වැඩ කරන්නට ගොස් පාතාලයේ වෙඩි කා මියැදුණේ සුජිත් ප්‍රසන්න හෝ රොෂාන් කුමාර පමණක් නොව, අපේ රටේ එවැනි උදවිය සම්බන්ධයෙන් උදාහරණ බොහෝය. 1997 වසරේදී දෙමටගොඩ දී මගී බස් රථයක් තුළ වෙඩි තබා බන්ධනාගාරයේ ජේලර්වරයකු වූ උපාලි තෙන්නකෝන්ව මරා දමන්නේ ද ඔහු නීතිය අකුරට ඉටු කරන්නට ගිය වරද හේතුවෙනි. එසේම 2006 වසරේ අප්‍රේල් 25 වෙනිදා අතුරුගිරිය පෝරේ ප්‍රදේශයේදී දෙමටගොඩ පොලිසියේ හිටපු දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා වූ පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් හා ඔහුගේ බිරිඳව ඝාතනය කරවන්නේ ද ඔහු කොන්ද කෙලින් තබාගෙන පොලිසියේ ලොකු උදවිය හා පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඇති සම්බන්ධකම් හෙළිකරන්නට යාමේ වරදට ලක්වය. අදටත් එම ද්විත්ව ඝාතනය ඇත්තේ හරිහැටි විමර්ශනයට ලක්නොවූ අපරාධයක් ලෙසිනි. ඊට සම්බන්ධ ඇතැම් අපරාධකරුවන් තවමත් සිටින්නේ ද නිදැල්ලේ ය.

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය වන්නේ ඩග්ලස් නිමල්ගේ ඝාතනයට වසර දෙකකට පෙරය. එනම් 2004 වසරේ නොවැම්බර් 19 වෙනිදාය. පාතාලයට එරෙහිව දැඩිව තීන්දු ලබාදීම හේතුවෙන් විනිසුරු අඹේපිටිය සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව මරා දමන්නේ පොට්ට නෞෆර් නැමැති පාතාලයේ ප්‍රබලයා විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවකටය. ඒ අපේ රටේ විනිසුරුවරයෙකු පාතාලයේ ගොදුරක් බවට පත්වූ පළමු අවස්ථාව එය ලෙස සටහන් කරමිනි. එදා එම ඝාතනයත් සමඟ පාතාලයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට සමාජ කතිකාවක් පවා ඇති වන්නේ එල්ලුම් ගහ නැවත ගෙන ආයුතු බව ද කියමිනි. එහෙත් ඒ හැම දෙයක්ම හුදු කතාබහකට පමණක් සීමා වන්නේ කාලයත් සමඟ හැම දෙයක්ම අපේ රටේ උදවියට අමතකව යන බැවිනි. අපේ රටේ වැඩියෙන්ම කරදර සිදුවන්නේ නීතිය අකුරට ඉටු කරන්නට යන නිලධාරීන්ටය. එසේත් නැති නම් අයුක්තිය අසාධාරණයට එරෙහිව කටයුතු කරන අයටය. කීර්තිමත් විගණන නිලධාරියෙක් වූ ලලිත් අඹන්වෙලට ඇසිඩ් ගසන්නේ ද ඒ නිසාමය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිදුව තිබුණු ලොකු වංචාවක් අතටම අල්ලා ගැනීමේ වරදට ලලිත් අඹන්වලට ඇසිඩ් ගසන්නේ 2002 වසරේ මැයි මාසයේදීය. මුහුණට දැඩිව හානි සිදු වූ ඔහුට එම ඇසිඩ් ප්‍රහාරයෙන් එක් ඇසක පෙනීම ද අහිමි වී ගියේය. ඒ යැයි කියා අඹන්වෙල මහතාව නිහඬ කිරීමට කිසිවකුටත් ඉඩක් නොවීය. අතිරේක විගණකාධිපති ලෙස රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන තුරුම හරි දේ වෙනුවෙන් පෙනී සිටියේ මරණ බිය ගෙන දී තමාගේ ගමන නතර කිරීමට කිසිවකුටත් ඉඩක් නැතිබව ලෝකය හමුවේ කියා පාමිනි.

මේ හැරුණු කොට ජනතා සේවයට කැපවූ දූෂණයට වංචාවට එරෙහිව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් තවත් තිදෙනෙක්ම ඝාතනය වන්නේ ඇල්පිටිය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලදීය. ඒ අතර සමාජයේ වඩාත් කථාබහකට මෙන්ම අවධානයට ලක්වූ ඝාතනයක් වූයේ හිත හොඳ දොස්තර ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි කරන්දෙණිය රෝහලේ සේවයේ නිරතව සිටි වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහගේ ඝාතනයයි. 2011 වසරේ සැප්තැම්බර් 29 වෙනිදා ඔහුව මරා දමන්නේ පාතාලයට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුවය. වෛද්‍ය ප්‍රියංකරව මරා දමන්නෙ ඔහුට අයත් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබාය. මෙම ඝාතනයට මුල වෛද්‍ය ප්‍රියංකර ඉතා අඩු ගාස්තුවක් ලබාගෙන රෝගීන්ට සේවය සැපයීම හේකුවෙන් ඒ පැත්තේ පිහිටි වෛද්‍ය රසායනාගාරයකට එල්ලවූ බලපෑමක් නිසාය. එම රසායනාගාරයේ හිමිකරු විසින් වෛද්‍ය ප්‍රියංකර ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව එදා ලබාදී තිබුණේ හමුදා සේවයේ නිරතව සිටි සෙබළකුටය.

කමාන්ඩෝ බළකායේ ඒ වන විට සේවයේ නිරතව සිටි සහෝදරයක් දෙදෙනෙක් විසින් එදා ඒ කොන්ත්‍රාත්තුව භාරගෙන වෛද්‍ය ප්‍රියංකර ප්‍රසාද් ජයසිංහව මරා දමන්නේ සේවයේ නිරතව සිටින අතරතුර කඳවුරෙන් පැන විත්ය. කරන්දෙණිය සුද්දා සහ රාජු යැයි අද වන විට පාතාලයේ කුප්‍රකට චරිත බවට පත්ව සිටින්නේ ඔවුන් දෙදෙනාය. කරන්දෙණියේ සුද්දා මේ වන විට සිටින්නේ යැයි කියනු ලබන්නේ ඩුබායිවලය. රාජු ඉන්න හිටින තැනක් ගැන පැහැදිලි නැත. කරන්දෙණියේ සුද්දාගෙන් තර්ජනයට ලක්වූ පොලිස් නිලධාරීන් ද බොහෝය. ඒ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල අපරාධ මර්දන කටයුතුවලට සක්‍රීය දායකත්වයත් ලබාදුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මප්‍රියද සිටින්නේය.

පොලිස් සේවයේන් මේ වන විට නියමිත කාලයට පෙර විශ්‍රාම ගොස් සිටින ඔහු මෙම මරණ තර්ජන නිසාම අඹු දරුවන් සමඟ සිටින්නේ විශේෂ කාර්ය බළකා කඳවුරක ආරක්ෂාවක් සහිතවය. එසේ ඔහුට අද කඳවුරක කොටුවී දිවි ගෙවන්නට සිදුවී ඇත්තේ පාතාලයට එරෙහිව සටන්කර ජනතාවට බියෙන් සැකෙන් තොර සමාජයක් ගොඩනගා දීමට කැපවීම හේතු කොටගෙනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවයේ නිරතව සිටින සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන්ද පාතාලයේ තර්ජනයන්ට ලක්ව සිටින නිලධාරියෙකි. රත්ගම පදිංචිකරුවෙක් වන මෙරිල් රන්ජන්ගේ ජීවිතයට තර්ජන එල්ලවී ඇත්තේ ද කරන්දෙණිය සුද්දා සහ පොඩි ලැසී පස්සේ පැන්නීම හේතුවෙනි. පොඩි ලැසීගේ පාතාල අධිරාජ්‍ය බිඳ දැමීමට පසුගිය කාලයේ ලොකු සේවයක් ඉටුකර තිබුණේ මෙරිල් රන්ජන්ය. පාතාලයේ තර්ජනයකට ඔහු ලක්වන්නේ එබැවිනි.

වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ලෙස සේවයේ නිරතව සිටි රුවන් තිහාර ජයරත්න ද පාතාලයේ තර්ජනයට ලක්වූවෙකි. ඒ ඔහු ගාල්ල බන්ධනාගාරයේ මෙන්ම බූස්ස බන්ධනාගාරයේ සේවයේ නිරතව සිටියදී බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ අක්‍රමිකතාවන්ට එරෙහිව කටයුතු කිරීම හේතුවෙනි. පාතාලයේ අපරාධකරුවන් සුරතලුන් බවට පත්කරගෙන සිටි බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙක් එකල රුවන් තිහාර ජයරත්න සමඟ සිට ඇත්තේ දැඩි වෛරයකිනි. ඒ එම නිලධාරියා විසින් සිදු කරන දූෂණ අක්‍රමිකතා ගැන දිගින් දිගටම රුවන් තිහාර බලධාරීන් දැනුවත් කිරීම හේතුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස රුවන් තිහාර පාතාලයේ වෙඩි උණ්ඩයකට ලක්ව අකාලයේ මියැදෙන්නේ 2019 වසරේ ජූලි 03 වෙනිදාය. ඒ අම්බලන්ගොඩ කුළීගොඩදී ය. මෙම ඝාතනය පිටුපස සිටියේ ද කරන්දෙණියේ සුද්දාය.

ඇල්පිටිය, මීටියාගොඩ, අහුංගල්ල, අම්බලන්ගොඩ හා ඒ අවට ගම්මානවල ජනතාව පාතාලයේ භීෂණයෙන් මුදාගැනීමට දැඩි සටනක නිරත වූ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ නැමැති නිලධාරියාව පසුගිය වසරේ ඔක්තෝබර් 09 වෙනිදා වෙඩි තබා මරා දැමීම පිටුපස සිටින්නේ ද කරන්දෙණියේ සුද්දාය. එම ඝාතනය සිදුවන්නේ රත්ගම පිහිටි එම නිලධාරියාගේ නිවෙස ඉදිරිපිටදීය.

කරන්දෙණිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර හැරුණු කොට මහජනතාව වෙනුවෙන් කැපවෙමින් නීතියට රජ කරවන්න කැපවූ රාජ්‍ය නිලධාරීන් තිදෙනෙක්ම දකුණු පළාත තුළ වෙඩි උණ්ඩයට ගොදුරුවී හමාරය. එම ඝාතන තුනම සිදුව ඇත්තේ කරන්දෙණිය, රත්ගම හා අම්බලන්ගොඩ ආශ්‍රතවය. එම ඝාතන තුන හා බැඳී ඇති එකම පාතාල නාමය වන්නේ කරන්දෙණියේ සුද්දාය. කොන්ත්‍රාත් මිනිස් ඝාතනවල නිරතව සිටින්නෙක් වන කරන්දෙණියේ සුද්දාට හොරා ඒ පැත්තේ කිසිදු අපරාධයක් සිදුකරන්නට බැරි තරම්ය. මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාරගේ ඝාතනය පවා සිදු වන්නේ ඔහුගේ වැයික්කියේය. එබැවින් මෙම ඝාතනයට පවා කරන්දෙණියේ සුද්දාගේ සම්බන්ධයක් නැතැයි තවමත් කියන්නට බැරිය. කරන්දෙණියේ සුද්දාගෙන් පිට අයකුට මෙසේ ඒ පැත්තේ ඝාතනයක් කරවන්නට හැකියාවක් තිබේ දැයි විමර්ශන නිලධාරීන්ට පවා ඇත්තේ ගැටලුවකි. ඒ වෙඩික්කරු මෙන්ම යතුරුපැදිකරු ඒ පැත්ත ගැන හොද අවබෝධයක් ඇති අය ලෙස හැසිරී ඇතැයි මෙතෙක් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති බැවිනි.

ආරක්ෂක කැමරා දත්ත විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ වෙඩික්කරු රැගත් යතුරුපැදිය කරක් ගසා ඇත්තේ කුරුඳුගහහැතැම්ම, ඇල්පිටිය,බටුවන්හේන සහ ඌරගස්මංහන්දිය ප්‍රදේශ ආශ්‍රිත බවය. කිලෝ මීටර් තිහක් තිස්පහක් පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි කළ ආරක්ෂක කැමරා නිරීක්ෂණයේදී මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ යතුරුපැදියේ ගමනාන්තය දැක්වෙන්නේ ඌරගස්මංහන්දිය බවය. ඒ අනුව විමර්ශන නිලධාරීන් පසුගිය දින කිහිපය තුළ මෙහෙයුමක් දියත්කරනු ලබන්නේ රොෂාන් කුමාරට වෙඩි තබා පලා ගිය යතුරුපැදිය ඒ පැත්තේ සඟවා ඇතැයි අනුමාන කරමින් එය සොයා ගැනීමටය. සැකයට ලක්වුණු නිවාස කිසිපයක් ද එහිදී පරීක්ෂාවට ලක්වන විට ඩියෝ වර්ගයේ යතුරුපැදියක් ගිනි ගෙන තිබියදී ඉකුත් 29 වෙනිදා හමුවන්නේ ඌරගස්මංහන්දිය හොරවල පාළු පාලම ප්‍රදේශයේ තිබියදීය. ගිනි ගෙන යකඩ ගොඩක් බවට ඒ වන විටත් පත්ව තිබුණු එම යතුරුපැදිය එතැනට රැගෙන විත් ගිනි තබා ඇත්තේ පෙර දින රාත්‍රී කාලයේදීය.

එම යතුරුපැදියේ චැසි අංකය මෙන්ම එන්ජින් අංකයද තිබුණේ ග්‍රයින්ඩරයකින් සූරා මකා දමාය. ඒ අනුව විමර්ශන නිලධාරීන් සැකකරනු ලබන්නේ වෙඩික්කරු පැමිණි යතුරු පැදිය බොහෝවිට මෙය විය හැකි බවය. එය නිවැරදි නම් රොෂාන් කුමාරගේ ඝාතනයට ගෑවුණු කොටස් ඌරගස්මංහන්දිය පැත්තේ සිටිය යුතුය. ඒ අය කවුරුන් දැයි නිශ්චිත ලෙස තවමත් තහවුරුවී නැතත් සැකයට ලක්වූවන්ගේ අඩුවක් ද නැති තරම්ය.

විමර්ශන නිලධාරීන් විශ්වාස කරනු ලබන්නේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු ඒ පැත්තේ පාරවල් තොටවල් ගැන හොඳ අවබෝධයක් ඇති අය බවය. ඒ බව පෙනී ගොස් ඇත්තේ පැදිකරු යතුරුපැදිය පදවා ඇති ආකාරය ගැන ආරක්ෂක කැමරාවලින් එළියට එන තොරතුරු විමර්ශනයේදීය. ඌරගස්මංහන්දියෙන් එහාට ආරක්ෂක කැමරා දර්ශනවලින් මැකී ගිය යතුරුපැදිය ගැන යම් තොරතුරක් විමර්ශන නිලධාරීන්ට ලැබුණි නම් ඒ ගිනි ගත් යතුරුපැදිය හා සම්බන්ධයෙන් පමණි.

ඒ හැරුණු කොට ඉතා වැදගත් සාක්ෂියක් විමර්ශන නිලධාරීන්ට ලැබෙන්නේ ඌරගස්මංහන්දියේ සිට කිලෝ මීටර් හතර පහක් ගිය තැන හමුවන රන්තොටුවිලින් පාලම් පාරුවක නැඟී ගමන් කළ දෙදෙනෙක් ගැනය. දිග කලිසම් හැද සපත්තු දමා පාලම් පාරුවෙන් ඔවුන් දෙදෙනා අධිවේගී මාර්ගය පැත්තට එගොඩ වන්නේ එදා රොෂාන් කුමාර ඝාතනය වූ දින උදේ වරුවේදීය. මේ දෙදෙනාව එදා පාලම් පාරුවෙන් එගොඩ වූ කිහිප දෙනෙකුගේම මතකයේ රැඳී තිබෙන්නේ ඔවුන් ඒ පැත්තට ආගන්තුකයන් වූ බැවිනි. හැඩ රුව හා ඔවුන් හැද පැලද සිටි ඇඳුම් ආයිත්තම්වලට අනුව බොහෝ විට ඒ දෙදෙනා රොෂාන් කුමාර ඝාතනය හා සම්බන්ධ වෙඩික්කරු හා යතුරුපැදි විය හැකි බව විමර්ශකයන්ගේ සැකයට මේ වන විටත් තුඩු දී හමාරය. ඒ දෙදෙනා පාලම් පාරුවෙන් එගොඩවී ගියේ කොහේටදැයි මෙතෙක් පැහැදිලි තොරතුරක් හෙළිවී නැත්තේ ඒ පැත්තේ ආරක්ෂක කැමරාවක් බෙහෙතකටවත් සොයා ගන්නට නැති බැවිනි.

මෙසේ එක් විමර්ශන කණ්ඩායමක් ආරක්ෂක කැමරා පස්සේත් ලැබෙන විවිධ තොරතුරු පස්සේත් පන්නමින් රොෂාන් කුමාර ගේ ඝාතකයන් ගැන හෝඩුවාවක් සොයා දැඩි වෙහෙසක් ගනිමින් සිටියදී තවත් විමර්ශන කණ්ඩායමක් වෙහෙසෙමින් සිටින්නේ රොෂාන් කුමාර විසින් සිය රාජකාරිය අකුරට ඉටුකිරීම හේතුවෙන් බලපෑමට ලක්ව සිටින විවිධ ව්‍යාපාර සම්බන්ධයෙනි. එම ව්‍යාපාර අතර ක්ෂණික ආහාර නිෂ්පාදන ආයතන, මත්ස්‍ය නිෂ්පාදන ආයතන, තේ ආශ්‍රිත මහා පරිමාණ නිෂ්පාදන ආයතන ද නැත්තේම නැත. මහජනතාවට පාරිභෝජනයට නුසුදුසු ආහාර මෙම ආයතනවලින් නිෂ්පාදනය කළ අවස්ථා කිහිපයකදී ඔවුන්ට එරෙහිව රොෂාන් කුමාර නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ කිසිදු බුරුල් නොදීය. එසේම ඔහු මාළු ලෑල්ලේ පටන් සුපිරි වෙළඳ සැල දක්වාමත්, ගමේ පෙට්ටිකඩේ සිට සංචාරක හෝටල්වල මුළුතැන්ගෙය දක්වාත් හැම අස්සක් මුල්ලකම රිංගා ඔහු නීතිය හැමට එක සේ ක්‍රියාත්මක කර ඇති නිලධාරියෙකි. ඒ නිසාම ඔහුට මිතුරන්ට වඩා හතුරෝ බොහෝය. රේගු නිලධාරී සුජිත් පෙරේරාට මෙන් ඒ අය අතර ද සිය වෘත්තීය සඟයන්ද නැත්තේම නැතැයි කියන්නට බැරිය.

ඒ වන විට ඔහු සිටියේ මහා පරිමාණ සමාගම් රැසක හිමිකරුවකු වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකුගේ අල්ලේ නැටවෙන රූකඩයක් ලෙසිනි. සුජිත් නීතියට වැඩ කිරීම හේතුවෙන් පහර වැදුණේ එම ව්‍යපාරිකයාට පමණක් නොව, ඔහුගෙන් යැපුණු අනුර වීරවංශයටත් එය හොඳින්ම දැනුණේය. සුජිත්ගේ ඝාතනය පිටුපස අනුර වීරවංශ ද සිටියේ එබැවිනි. රොෂාන් කුමාර ඝාතනය පිටුපස ද එවැන්නෙක් නොසිටීවි යැයි තවමත් කියන්නට බැරිය. ඒ රොෂාන් කුමාර ද සුජිත්ට නොදැවෙනි ලෙස නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්නෙක් වූ බැවිනි. අඩුම තරමේ ඔහු යටතේ සිටි කිසිඳු නිලධාරියකුට අත යට ගනුදෙනුවකට පවා කිසිදු ඉඩක් නොවීය. රට පුරා අධිකරණවල විභාග වන ආහාර සම්බන්ධයෙන් වූ නඩු විභාගවලට පවා රොෂාන් කුමාරගේ සක්‍රීය දායකත්වය ලැබීම හේතුවෙන් එම නඩු කටයුතු පවා ගොඩින් විසඳා ගන්නට නොහැකිව ඔහු කෙරෙහි වෛර බැඳ ගත්තෝ නැත්තේම නැත. රොෂාන් කුමාරගේ ඝාතනය එසේ ඔහු සමඟ වෛර බැඳගත් අයකුගේ කොන්ත්‍රාත්තුවක් මත සිදූවූවක් දැයි සැකයක් ද මතුව තිබේ. ඒ නිසාම ඔහු විසින් මෙහෙයැවූ නඩු සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානයක් මේ වන විටත් යොමුවී හමාරය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ලෙස පත්වූවත් රොෂාන් කුමාර ඝාතනය වනතුරුම එම තනතුරේ වැඩ භාරගෙන තිබුණේ නැත. ඒ ගැන ද විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමුවී හමාරය.

සිළුමිණ

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

කෝටි 200ක් වටිනා පරිගණක පාඨාමාලාවක් අවසන් කළ බුත්තල යුදගනාවේ දරුවන් 2900කට අද ධම්මික පෙරේරා සහතික පත් දෙනවා! I Sri Lanka Latest News

Next Post

නාමල් දන්නවා ජනාධිපතිවරණය තියලා මහ ඡන්දය තිබ්බොත් සුනාමියක් වගේ පොහොට්ටුව හෝදන් යනවා කියලා! ඒ නිසා දැන් මහඡන්දයක් තියන්න කියනවලු! දෙලොවක් අතර ඉන්න රනිල් ඒවට ‘යස්’ නෑ ‘නෝ’ නෑ ‘හ්ම්..’ ‘හ්ම්..’ විතරයි! අපි නොදන්න රනිල්! සජබ කවුරුවත් රනිල් ගාවට යන්නේ නෑ! රනිල් දැන් ‘එක්ස්පයර්’! මුජිබර් රනිල්ගේ ඉතිහාසයම දිගහරියි! ජවිපෙටත් බරපතළ ප්‍රහාරයක් එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.