‘අද අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමාගේ ජන්ම දිනය. අප හැම එතුමන්ට සුබ පතමු. නිවාස නොමැති ජනතාව වෙත නිවහනක අයිතිය ලබාදෙමින් සිය උපන්දිනය සැමරීම විරල වූ, අගය කළ යුතු ජාතික නායකත්ව ගුණාංගයක්….’ 1987 ජාත්‍යන්තර නිවාස වසර සමරමින් කතරගම පැවැති ගම්උදාව ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගි වූ, එක්සත් ජාතීන්ගේ ජනාවාස කොමිසමේ (UNCHS) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආර්කොට් රාමචන්ද්‍ර මහතා මෙම අදහස පළ කළේය.Sri Lanka Latest News
ජන්ම දිනට සමගාමී උදාගම් ව්‍යාපාරය
ජුනි මස 23 දින ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනයයි. පසුගිය ජුනි 23 දින ප්‍රේමදාස මහතාගේ 101 වැනි ජන්ම දින සැමරුම සිදුවිය. 1978 වසරේ සිට ප්‍රේමදාස මහතා සිය ජන්ම දින සැමරුම සිදුකරනු ලැබුවේ නිවාස හිමිකම ජනගත කළ උදාගම් ව්‍යාපාරය පෝෂණය කරමිනි. එදා අද කාලය තුළ මෙරට ක්‍රියාත්මක වූ සාර්ථකම මෙම ජනාවාස සංවර්ධන වැඩසටහන ලෙසින් උදාගම් ව්‍යාපාරය පිළිබඳ දෙස් විදෙස් ඇගයුම් බොහෝය. විශේෂයෙන් එහි වාර්ෂික ප්‍රදර්ශන දැක්මක් ලෙසින් පැවැති ගම්උදාව ප්‍රදර්ශනය පිළිබඳ මෙවන් අදහසක් විශ්ව කීර්තිධර විද්වතකු වූ ආචාර්ය ආතර් සී. කලාක් මහතා විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත.
‘ජාතික ප්‍රදර්ශනාත්මක දැක්මක් තුළින් ජනතාවට සිය සංවර්ධන ක්‍රියාදාමය පිළිබඳ නිවැරදි පැතිකඩ දෘශ්‍යගත කළ යුතුය. මා සැබැවින් නොදුටු නමුත්, අන්තර්ජාලයේ තොරතුරු හැදෑරූ ගම්උදාව ප්‍රදර්ශනය, එවන් අර්ථ දැක්මක් පැවතීම තුළ මා එය අගයමි’.
ආචාර්ය ආතර් සී. කලාක් මහතා මෙම අදහස පළ කළේ, 1987 ජගත් නිවාස වසර ලේකම් කාර්යාලය වෙතින් ප්‍රකාශිත විශේෂ ප්‍රකාශනයක් සඳහා අදහස් දක්වමිනි.
ඉහතින් අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආර්කොට් රාමචන්ද්‍ර මහතා, ජගත් නිවාස වසර යෝජනාව ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීමට කෘතවේදීත්වය දක්වමින්, 1987 වසරේ කතරගම පැවැති ගම්උදාව ප්‍රදර්ශනයේ සමාරම්භක දිනයේ ප්‍රධාන අමුත්තා ලෙසින් සහභාගි විය.
ප්‍රදර්ශනය නැරඹූ ආචාර්ය ආර්කොට් රාමචන්ද්‍ර, ‘මමත් ඔබ අසල්වැසි ඉන්දියාවේ පුරවැසියෙක්. අප රටවල සාමාන්‍ය පුරවැසියන්ට සංවර්ධිත ලෝකයේ වැඩිදියුණුව මෙලෙසින් ප්‍රදර්ශනාත්මකව දැකබලා ගැනීමට ලැබීම ඇත්තෙන්ම අගය කළ යුතුයි’ යනුවෙන් පැවැසීය.
79 ජුනි 23 ඇරඹි ගම්උදා දැක්ම
ගතවූ ජුනි මස 23 දිනත් සමගින්, ගම්උදාව ප්‍රදර්ශන දැක්මට වසර 46ක් සම්පූර්ණ වේ. 1979 වසරේ ජුනි මස 23 දින අනුරාධපුරයෙන් ඇරඹි, ගම්උදාව ප්‍රදර්ශනය 1992 වසරේ ජූලි මස 03 දින දක්වා වාර්ෂික ප්‍රදර්ශන දැක්මක් ලෙසින්, දිවයිනේ කිසියම් වූ ප්‍රදේශයක ජුනි මස 23 දින සිට ජූලි මස 03 දින දක්වා මහජන දැක්මක් ලෙසින් පැවැත්විණි.
ගම්උදාව සංකල්පය මෙන්ම එහි ප්‍රදර්ශනාත්මක ඉදිරිපත් කිරීම පිළිබඳ විවිධ වූ අදහස් වේ. විවිධ වූ අත්දැකීම් සමගින් මෙරට සංවර්ධන ක්‍රියාදාමයට නව ප්‍රවේශයක් එක්කළ බව ඇතැමෙක් පවසති. එමෙන්ම එහි පවත්නා සමාජයීය හරයේ අගය පිළිබඳ පර්යේෂණාත්මකව ඒ පිළිබඳ කරුණු හැදෑරූ අය පෙන්වා දේ. එමෙන්ම එමගින් ප්‍රතිලාභ ලැබූ දහස් සංඛ්‍යාත ජනතාව එවන් වූ සංවර්ධන වැඩසටහනක් වත්මනේ නොමැතිකම පිළිබඳ සුසුම්ලති.
මේ සියලු අදහස් දැක්වීම් සමගින් මෙම ක්‍රියාදාමය මෙරට සම්පත් නාස්තියක්, වැරදි සංවර්ධන ප්‍රවේශයකට ප්‍රවිෂ්ට වීමක් ලෙසින් අර්ථ දක්වන්නන්ද වේ. මෙවන් වූ විවිධ මතිමතාන්තර රැසක් සමගින් මුසුවූ ගම්උදාව ප්‍රදර්ශනයේ ආරම්භය 1979 ජූනි මස 23 දිනත් සමගින් ඓතිහාසික අනුරාධපුර භූමියේදී සිදුවිය.
ඉතාමත් සරල වූ ප්‍රදර්ශන අත්දැකීමක් සමගින් ඇරඹි 79 ගම්උදාව සංවත්සරය, එවර මුල්තැනක් දුන්නේ නිවාස සංවර්ධන ව්‍යාපෘතීන් සඳහාය. 1978 වසරේ ජුනි මස 23 දින යාපහුව උදාගම උදාවී වසරක් සැමරීම නිමිතිකොට පැවැති මෙම ගම්උදාව ප්‍රථම සංවත්සර සැමරුම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ කොට්ඨාස ආවරණය වන අයුරින් ආදර්ශ ගම්මාන 16ක් නිර්මාණය විය. නව නිවාස සමගින් අභ්‍යන්තර මාර්ග හා සෙසු යටිතල පහසුකම්වලින් සමන්විත වූ මෙකී ගම්මාන සියල්ල ජනතා අයිතියට පත්කිරීම 1979 වසරේ ජුනි මස 24 දින සිදුවිය. එකම දිනකදී වැඩිම උදාගම් ප්‍රමාණයක් ජනතා අයිතියට පත් වූ දිනය ලෙසින් 1979 ජුනි මස 24 දිනය ඉතිහාසයට එක්වේ.
ගම්උදාව ප්‍රදර්ශනය සමගින් එක්වූ හෝරා ස්ථම්භය සැබෑ ලෙසින්ම ගම්උදාව වැඩසටහන සඳහා ප්‍රදර්ශනීය අදහසක් එක්වූයේ 1980 වසරේ දිගාමඬුල්ල දිසාවේදීය. එහි ප්‍රතිඵලයක් ලෙසින්, අම්පාර නගරාසන්නයේ ඇති ක්‍රීඩාංගණයක් ආශ්‍රිතව ගම්උදාව ප්‍රදර්ශනය ජනතා දැක්ම සඳහා සූදානම් විය. මෙයට අමතරව අම්පාර නගර මධ්‍යයේ ඉදිවූ ගම්උදාව හෝරා ස්ථම්භය පසුකාලීන ගම්උදාව ප්‍රදර්ශන රැසකම වඩාත් කැපීපෙනෙන මතක සටහනක් විය. මෙවර පැවැති ගම්උදාව ප්‍රදර්ශන දෙවැනි සංවත්සරය නිමිත්තෙන් දිගාමඬුල්ල දිසාවේ නව ආදර්ශ ගම්මාන රැසක් උදාවිය.
උදාගම් ව්‍යාපාරයේ 55 වැනි ආදර්ශ ගම්මානය ලෙසින් අම්පාර ප්‍රාදේශිකයේ උදා වූ ‘මංගල ගම’ අගමැති ආර්. ප්‍රේමදාස මහතා විසින් නිවාසලාභී ජනතා අයිතියට පත්කරනු ලැබුවේ, 1980 ජුනි මස 21 දාය. එහි රැස්ව සිටි ජනතාව ඇමතූ ප්‍රේමදාස මහතා ගම්උදාව ප්‍රදර්ශනය පිළිබඳ මෙවන් අදහසක් ප්‍රකාශ කළේය.
‘ගම්උදාව දෙවැනි සැමරුම සඳහා දිගාමඬුල්ල ජනතාව වෙත නව සංවර්ධන උපාංග කිහිපයක් අප එක්කළා. මෙතෙක් උදාගම් ප්‍රවේශය සමගින් නිවාස සංවර්ධනයේ ප්‍රතිලාභ හිමිවූ තමුන්නාන්සේලාට, පළමු වරට එකී වැඩසටහනේ ප්‍රගතිය සමගින් වූ ප්‍රදර්ශන අත්දැකීමක් අත්විඳීමට අවස්ථාව හිමිවනවා. ඒ අනුව එළඹෙන ජුනි මස 23 දින සිට පුරා දින දහයක් ඔබට මේ ප්‍රදර්ශන අත්දැකීම අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා.’
‘එයට අමතරව අම්පාර නගර මධ්‍යයේ, මෙවර ගම්උදාව මහෝත්සවය නිමිත්තෙන් හෝරා ස්ථම්භයක් ඉදිකළා. නගරයට පැමිණෙන්න තමුන්නාන්සේලා හැම දෙනකුට හෝරා ස්ථම්භය ඇස ගැටෙන වාරයකදී අම්පාර දිස්ත්‍රික් ගම්උදා නවෝදය මතකයට නැගෙනු ඇති…’ යි පැවැසීය.
නව සංවර්ධන ප්‍රවේශයකට යොමුවක්
ගම්උදාව සංවත්සර වාර්ෂික ප්‍රදර්ශනය පියවරින් පියවර දිවයිනේ සංවර්ධන අවශ්‍යතා පවත්නා දිස්ත්‍රික්ක සොයා ගියේය. එහිදී එහි මෙහෙවර මූලික වශයෙන් යොමුවූයේ දුප්පත්කමින් වඩාත් අසරණභාවයට පත්වූ නිවාස අපේක්ෂිත ජනතාව සඳහා උදාගම් ව්‍යාපාරය යටතේ නිවාස පහසුකම් සැපයීමටය. එයට සමගාමීව උදාගම් සංවත්සර ප්‍රදේශයේ සෙසු සංවර්ධන අවශ්‍යතාවන් සපුරාලීමටද මෙම වැඩපිළිවෙළ යොමුවිය.
1981 තිස්සමහාරාම ප්‍රදේශය මුල්කොට පැවැති ගම්උදාව වාර්ෂික දැක්ම තුළින්, මෙම කාර්යය ක්‍රියාත්මක වීම ඇරඹිණි. තිස්සමහාරාම හා ඒ අවට මුල්ගිරිගල, බෙලිඅත්ත සහ තංගල්ල ප්‍රදේශ අශ්‍රිතව නව නිවාස සමගින් උදාගම් සංවර්ධනයට අමතරව මෙකී ප්‍රදේශයන්හි කෘෂිකාර්මික, සුළු වාරිමාර්ග හා තිස්සමහාරාම විහාරස්ථානය වැනි ඓතිහාසික වටිනාකමකින් යුතු ප්‍රදේශ පිළිසකර කිරීම තිස්සමහාරාම ගම්උදාව සංවත්සර සංවර්ධන කාර්යන් තුළින් සිදුවිය.
දඹුලු ගමෙන් ඇරඹි ගම්උදා දැක්ම
1982 ගම්උදාව සංවත්සර සංවර්ධන ක්‍රියාවලිය යොමුවූයේ දඹුල්ල ප්‍රාදේශිකය වෙතයි. එසේ වුවද එහිලා ක්‍රියාත්මක වූ නිවාස සංවර්ධන ක්‍රියාපිළිවෙතේ දායකත්වය සමස්ත මාතලේ දිස්ත්‍රික්කය පුරා විහිදී ගියේය. ඒ අනුව 82 ගම්උදාව සැමරුම නිමිතෙන් මාතලේ, රත්තොට, ලග්ගල සහ දඹුල්ල යන සියලු ප්‍රාදේශිකයන් ආවරණය වන අයුරින් උදාගම් නිර්මාණය විය. එවන් වූ සමස්ත දිස්ත්‍රික්කය ආවරණය වන අයුරින් උදාගම් නිවාස සංවර්ධනය සිදුවූ මුල්ම අවස්ථාව ලෙසින් 82 දඹුලු ගම්උදාව හඳුන්වාදිය හැකිවේ. දඹුලු ගම්උදාව උදාගම් සංවත්සර වැඩසටහන සඳහා තවත් නව අංග රැසක් එක්විය. එවර ගම්උදාව ප්‍රදර්ශන භූමිය සඳහා දඹුල්ල නගරාසන්නයේ මිරිස් ගෝනිය හන්දිය ලෙසින් සුපතළ භූමිය ආසන්නයේ වූ පහත් බිම් ප්‍රදේශයක් තෝරා, එකී භූමිය සංවර්ධනය කොට එහි නව නිවාස 38ක් ඉදිකරුණු ලැබීය. නව ජනාවාසයක් සඳහා අවශ්‍ය සියලු උපාංග මෙයට එක්වූ අතර, 1982 වසරේ ගම්උදාව ප්‍රදර්ශනය සඳහා මෙම නිවාස ගොඩනැගිලි භාවිත කළ අතර, ප්‍රදර්ශනය නිමාවීමෙන් පසු නිවාසලාභීන් පදිංචි වූ උදාගමක් බවට එය පත්විය.
නමින් ‘දඹුලුගම’ ලෙසින් හැඳින්වූ ගම්උදාව ප්‍රදර්ශනය 1982 ජූනි මස 23 දින අගමැති ප්‍රේමදාස මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කළ අතර, ප්‍රදර්ශනය දින දහයක් පුරා පැවැත්විණි. පසුකාලීනව දඹුලු නගර සංවර්ධනය සඳහා දඹුලු ගම, සංවර්ධිත ජනාවාසය බොහෝ දුරට බලපෑ අතර, දඹුලු නගරය ව්‍යාප්ත කිරීමේදී මෙන්ම අනුරාධපුර, පොළොන්නරුව සහ කොළඹ මාර්ග සම්බන්ධීකරණයේදී, එදා දඹුලු ගම්උදාව සංවර්ධන ක්‍රියාදාමය බෙහෙවින් ඉවහල් විය.
ඒකාබද්ධ සංවර්ධනයක් සඳහා මුල්තැනක් දුන් වන්නිගම උදාව
1983 ගම්උදාව සංවත්සර ප්‍රදර්ශනය යොමුවූයේ, අවම සංවර්ධනයක් සිදුකෙරුණු නිකවැරටිය ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් අරමුණු කොටය. නිවාස සංවර්ධනය මුල්කොටගත් නිකවැරටිය ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩිදියුණුවට මුල්තැනක් දෙමින් ඇරඹි ගම්උදාව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන හේතුවෙන්, අදාළ ප්‍රදේශයේ සංවර්ධනයේ ප්‍රතිලාභී සියලු ජනතාව සඳහා තමන් වෙනුවෙන් ක්‍රියාත්මක සියලු සංවර්ධන කාර්යයන් සඳහා වඩාත් සක්‍රීය ලෙසින් දායක වීමට අවස්ථාව හිමිවිය. නිකවැරටිය ගම්උදාව නිමිති කොට සමස්ත කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ උදාගම් දොළහක් නිර්මාණය වූ අතර, එවර ගම්උදාව ප්‍රදර්ශනය පැවැති, ‘වන්නිගම’ ආදර්ශ ගම්මානය ජුනි මස 23 දින අගමැති ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත්කරන ලදී. නව නිවාස 59කින් යුත් උදාගම් ව්‍යාපාරයේ 227 වැනි ගම්මානය ලෙසින් මෙම ගම්මානය සටහන් වේ.
නිවාස දසලක්ෂය වැඩසටහනේ සමාරම්භක අනුරාධපුර ගම්උදාව
1984 වසර මෙරට නිවාස හා ජනාවාස සංවර්ධන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ වසරකි. ලොවටම ආදර්ශයක් වූ නිවාස දසලක්ෂයක් ජනතා සහභාගීත්වයෙන් ඉදිකරලීමේ ජාතික නිවාස වැඩසටහන මෙම වසරත් සමගින් ඇරඹිණි. එකී වැඩසටහනේ නිල ආරම්භ කිරීම ඓතිහාසික අනුරාධපුර පුරවරයෙන් සිදුවූ හෙයින් එවර ගම්උදාව සංවත්සර සැමරුම අනුරාධපුර නගර සංවර්ධනය මුල්කොට පැවැත්වීමට තීරණය විය. සැලසුම්ගත අනුරාධපුර නව නගරය මෙන්ම අනුරාධපුර පූජා නගර ක්‍රියාවලිය වඩාත් විධිමත්ව සිදුකිරීම එවර ගම්උදාව සංවත්සර සැමරුම සමගින් සිදුවිය.
වසර පහක් (1984-1989) නිවාස දසලක්ෂයක් ජනතා සහභාගීත්වයෙන් ඉදිකරලීමේ ජාතික නිවාස වැඩසටහන මෙමගින් ආරම්භ විය. එකී ජනසහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන තුළින් බිහිවූ නිවාස ව්‍යාපෘතීන් ‘උදාකළ ගම්මාන’ ලෙසින් හැඳින්වීය. එවර ගම්උදාව සංවත්සර වැඩසටහන යටතේ, මෙවන්වූ උදාකළ ගම්මාන 07ක් සමගින් සමස්ත ගම්මාන 15ක් ජනතා අයිතියට පත්කළ අතර, එවර ගම්උදාව ප්‍රදර්ශනය පවත්වනු ලැබූවේ නව නිවාස 60කින් යුතුව අනුරාධපුර නගරාසන්නයේ ඉදිවූ ‘පණ්ඩුලගම’ නිවාස ව්‍යාපෘතියේය.
1985 වසර ගම්උදාව සංවත්සර වැඩසටහන සුපුරුදු විලසින් ජාතික සංවර්ධන ක්‍රියාදාමය සඳහා නවාංග රැසක් එක්කළ වැඩසටහනක් විය. මෙතෙක් ගම්උදාව ප්‍රදර්ශන භූමිය එකී ප්‍රදර්ශන කාර්යයන් නිමවීමෙන් පසු නිවාස සපිරි දර්ශනීය නිවාස ව්‍යාපෘතියක් විය.
උදාගම් ප්‍රදර්ශන භූමිය ජගත් තරුණ පුහුණු මධ්‍යස්ථානයක් වේ
එනමුත් 1985 වසරේ ඇඹිලිපිටිය ප්‍රදේශය මුල්කොටගත් රත්නපුර දිස්ත්‍රික්කය ආවරණය වන අයුරින් ක්‍රියාත්මකවූ ගම්උදාව සංවර්ධන ක්‍රියාවලියේදී සංවර්ධනය සඳහා තරුණ දායකත්වය තේමාකොට ගත්තේය. එපමණකින් සීමා නොවූ ප්‍රේමදාස මහතාගේ අදහස වූයේ එවර ගම්උදාව සංවත්සර ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත වූ ඇඹිලිපිටිය යෝධගම ආදර්ශ ගම්මානය සැලසුම් කරන අවස්ථාවේ සිටම එය ජාත්‍යන්තර තරුණ පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් සැලසුම් කිරීමයි. නව නිවාස 61කින් සමන්විතව ඉදිවූ මෙම ආදර්ශ ගම්මාන ප්‍රවිෂ්ටය ප්‍රදර්ශනය නිමාවීමෙන් අනතුරුව මෙරට තරුණ පිරිස් ගෝලීය සංවර්ධන අවශ්‍යතාවට ගැළපෙන ශ්‍රමිකයන් ලෙසින් සන්නද්ධ කිරීමට සුදුසු අයුරින් සූදානම් කරන ලදී. මෙම මධ්‍යස්ථාන වගකීම් පවරමින්, එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා පත්කරනු ලැබුවේ කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වූ කර්නල් ජී.ඩබ්ලිව්. රාජපක්ෂ මහතාය.
තාරුණ්‍යයේ අනාගත අභිවෘද්ධිය සඳහා මෙවන් වූ මෙහෙවරක් ඉටුවූ ඇඹිලිපිටිය ගම්උදාව වැඩසටහන මුල්කොටගත් එවර ගම්උදාව සංවත්සර වැඩසටහන, එයට අමතරව බොදු දහමේ උන්නතිය උදෙසා නව දාගැබ් සමගින් වූ විහාරස්ථාන නිර්මාණය කිරීමේ කාර්යයක්ද ආරම්භ කළ අතර, ඇඹිලිපිටිය ගම්උදාව සංවත්සරයේ සිට ඉදිරියට ක්‍රියාත්මක වූ සෑම ගම්උදාව ප්‍රදර්ශනයක් ඇසුරේ මෙලෙසින් චෛත්‍ය නිර්මාණය සිදුවිය. මෙහි ආරම්භක පියවර ලෙසින් ඇඹිලිපිටිය ගම්උදාව ප්‍රදර්ශන භූමිය ඇසුරේ ‘දුටුගැමුණු සෑය’ නිර්මාණය.
හිඟුරක්ගොඩින් දිස්ත්‍රික් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක්
දැඩි ලෙසින් සංවර්ධන අවශ්‍යතා පවත්නා ප්‍රාදේශිකයක් ඇසුරේ ගම්උදාව ප්‍රදර්ශන භූමිය නිර්මාණය කොට, ඉන් අනතුරුව එම භූමිය පිහිටි දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ සංවර්ධන කාර්යයන් සඳහා දායක වූ මෙම ඒකාබද්ධ සංවර්ධනය ක්‍රියාවලිය සංවර්ධන අවශ්‍යතා පවත්නා දිස්ත්‍රික්ක කිහිපයක ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අගමැති ප්‍රේමදාස මහතාට අවශ්‍ය විය. එකී අපේක්ෂාව සාක්ෂාත් වූයේ 1986 වසරේ හිඟුරක්ගොඩ ගම්උදාව සංවර්ධන වැඩසටහන සමගිනි. ඒ අනුව එවර ගම්උදාව සංවත්සර සංවර්ධන වැඩසටහන හිඟුරක්ගොඩ අවට පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කාර්යයනට සමගාමීව, ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්ක ඇසුරේ ඒකාබද්ධ වූ සංවර්ධන වැඩසටහනක් ලෙසින් දියත් විය.
එම වසර ආරම්භයේදී හිඟුරක්ගොඩ ප්‍රදේශය මුල්කොටගත් පොළොන්නරුව, මාතලේ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි සැබෑ ලෙසින්ම සිදුකළ යුතු සංවර්ධන කාර්යයන් හඳුනාගැනීම එකී සංවර්ධන වගකීම් දරන නිලධාරීන් හමුවී තීරණය කරන ලදී. එකී තීරණයනට අනුගත වෙමින් 1986 වසර පුරා ක්‍රියාත්මක කිරීමට හඳුනාගත් සංවර්ධන කාර්යයන් මෙකී දිස්ත්‍රික් තුළ ක්‍රියාත්මක විය. මේ සියලු සංවර්ධන කාර්යයන් සැලසුම් කළ පරිදි එම සංවර්ධන කාර්යය ඉලක්ක කොටගත් දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක වූ අතර, එවර ගම්උදාව සංවත්සර ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත වූ හිඟුරක්ගොඩ පුලතිසිගම ආදර්ශ ගම්මානය නව නිවාස 62කින් සමන්විතව සූදානම් විය.
කන්තලේ වැව් බැම්ම හානියෙන් අනාථ වූවනට පිහිටක්
මේ සියලු කාර්යයන් විධිමත්ව සිදුව ගම්උදාව සංවත්සර ප්‍රදර්ශනය සඳහා දෙමසක කාලයක් තිබියදී එළඹි 1986 අප්‍රේල් මස 20 දා කන්තලේ වැව් බැම්මට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙන්, සිදුවූ අනපේක්ෂිත ජල පහරට හසුවී පුද්ගලයන් 126 දෙනකු ජීවතක්ෂයට පත්විය. එම ඛේදවාචකය හේතුවෙන් හානි වූ නිවාස ප්‍රමාණය 1600කි. මේ ජාතික විපත දැනගත් විගස එම විපත් පෙදෙස වෙත ගිය ප්‍රේමදාස මහතා, විපතින් අනාථ වූවන් සඳහා සහන සැලසීමට වහා පියවර ගත්තේය.
එමෙන්ම නොබෝ දිනකින් හිඟුරක්ගොඩදී පැවැත්වෙන උදාගම් ප්‍රදර්ශනයේ උත්සව ස්වරූපය නතර කොට, එහි පැවැත්වීමට නියමිත වූ, සංගීත සංදර්ශන හා විනෝදාත්මකම වැඩසටහන් සියල්ල අවලංගු කිරීමට පියවර ගත්තේය. එලෙසින්ම ජනතාව සඳහා නොමිලේ ප්‍රවේශ විය හැකි ගම්උදාව ප්‍රදර්ශනයක් බවට හිඟුරක්ගොඩ ගම්උදාව ප්‍රදර්ශනය පත්කරන ලදී. එමෙන්ම මෙම විපතින් හානි වූ සියලු නිවාස කෙටි කලක් තුළදී සෙවණ අරමුදලේ දායකත්වයෙන් පිළිසකර කිරීමට පියවර ගත්තේය.
ජගත් නිවාස වසර වැඩසටහන සවිමත් කළ කතරගම ගම්උදාව
1987 වසර ශ්‍රී ලාංකික අගමැති ප්‍රේමදාස මහතා විසින් ලොවට යෝජිත ‘ජාත්‍යන්තර නිවාස වසර’ යෝජනාව ක්‍රියාත්මක වූ වර්ෂයයි. එවර ගම්උදාව ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා තෝරගනු ලැබුවේ ඓතිහාසික කතරගම පුරවරයයි. කතරගම අයත් වූ මොනරාගල දිස්ත්‍රික්කය සමගින් ඒ ආශ්‍රිතව පිහිටි හම්බන්තොට දිස්ත්‍රික්කය එවර සංවර්ධන වැඩසටහන දියත් කිරීමට තෝරාගත් කලාප විය. අවශ්‍යයෙන්ම සැලසුම්ගත සංවර්ධනයක දැඩි අවශ්‍යතාවක් පැවැති කතරගම ප්‍රදේශය සඳහා පැමිණෙන දහස්සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය පහසුකම්වලින් සමන්විත පූජා නගරයක් බිහිකිරීමට සමගාමීව වැඩි නාගරික පහසුකම්වලින් සමන්විත නව නගරයක් උදාකරලීම කතරගම ගම්උදාව සංවර්ධන සැලැස්මේ මූලික අපේක්ෂාව විය.
මෙයට අමතරව නිවාස සංවර්ධනය මුල්කොටගත් මූලික ජනතා පහසුකම් සමගින් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්ක ආශ්‍රිතව මෙම සංවර්ධන කාලපරිච්ඡේදය තුළදී සිදුවිය. එවර ගම්උදාව ප්‍රදර්ශනය ජාත්‍යන්තර නිවාස වසරට සමගාමීව ජාත්‍යන්තර ප්‍රදර්ශන දැක්මක් ප්‍රදර්ශන නරඹන්නන් සඳහා ලබාදීම අවශ්‍ය වූ අතර, කතරගම ‘කඳසුරිඳුගම’ ප්‍රදර්ශන භූමියේ සියලු යටිතල පහසුකම් සමගින් පසුකාලීනව නිවාස බවට පත්වූ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනික දායකත්ව ප්‍රදර්ශන කුටි හැමෙකක්ම ජාත්‍යන්තර ප්‍රදර්ශන ස්වරූපයෙන් නිර්මාණය විය. මෙහිදී දැකිය හැකි වූ විශේෂ ලක්ෂණය වූයේ ජාත්‍යන්තර නිවාස වසරට සැලසුම් දක්වමින් මෙරට සියලු තානාපති කාර්යාල තම රටවල සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට පිළිබිඹු වන අයුරින් සිය ප්‍රදර්ශනාගාර සැලසුම් කර තිබීමයි.
නිවාසකරණයෙන් දුප්පත්කම දුරුකරලීමේ සාර්ථක උත්සාහය
1988 වසර ගම්උදාව සංවත්සර වැඩසටහන සඳහා තෝරගනු ලැබුවේ, එවක දැඩි සංවර්ධන අවශ්‍යතාවක් පැවැති පුත්තලම දිස්ත්‍රික්කයේ වඩාත් වැඩි දියුණුවක් බලාපොරොත්තු වූ ආණමඩුව ප්‍රදේශයයි. එවක මෙරට දරිද්‍රතාවයෙන් වඩාත් පීඩාවිඳි ජනතාවගෙන් බහුතරය දුගී ජනකොටස් ලෙසින් නම්විය. මොවුන් බහුතරය පැල්පත් හා තාවකාලික නිවාසවල ජීවත් විය. ආණමඩුව ප්‍රාදේශිකය මුල්කොට සමස්ත පුත්තලම දිස්ත්‍රික්කයේ දුප්පතුන් සඳහා ස්ථිර නිවසක හිමිකම ලබාදීම ආණමඩුව ගම්උදාව සංවත්සර සංවර්ධන වැඩසටහනේ මූලික අපේක්ෂාව විය.
පුත්තලම දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් උදාකළ ගම්මාන හෝ උදාගම් පහ බැගින් නිර්මාණය කොට, නිවාසකරණය සඳහා නිවාසලාභීන්ගේ උනන්දුව ඇතිකරලීම මෙහිදී අපේක්ෂා කළේය. මෙම වැඩසටහනේ උපරිම සාර්ථකත්වයට ළඟා වූයේ නව නිවාස 64කින් සමන්විත ‘තම්මැන්නාගම’ අගමැති ප්‍රේමදාස මහතා විසින් 1988 ජූනි මස 23 දින නිවාසලාභීන්ගේ අයිතියට පත්කිරීමත් සමගිනි.
ජනපති ප්‍රේමදාස වෙතින් නොකඩවා ඉටුවූ ගම්උදාව මෙහෙවර
1989 වසරත් සමගින් රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට ජනාධිපති ධුරයේ රාජකාරි ඇරඹීමෙන් පසු, ඔහු විසින් ළෙන්ගතුව දියත් කළ නිවාස සංවර්ධන වැඩසටහනින් මෙන්ම ගම්උදාව ප්‍රදර්ශන කාර්යයන් වෙතින් කිසියම් දුරස් වීමක් සිදුවෙතැයි අයෙකුන් සිතුවද එවැන්නක් සිදු නොවුණු අතර, සුපුරුදු ලෙසින් එම කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් කටයුතු කළේය. එම කාලපරිච්ඡේයේදී මෙරට උතුරු හා නැගෙනහිර ප්‍රදේශයේ මෙන්ම රටේ සෙසු ප්‍රදේශ ආශ්‍රිතවද ත්‍රස්තවාදී අභියෝග පැවැතිණි. ජාතික ආරක්ෂාවට මෙවන් වූ අභියෝගයක් පවතිද්දී 1989 ගම්උදාව සංවත්සර ප්‍රදර්ශනය මහියංගනය ප්‍රාදේශිකය මුල්කොට බදුල්ල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පැවැත්වීමට ජනපති ප්‍රේමදාස මහතා තීරණය කරන ලදී. මහියංගනය හා මුතියංගන විහාරස්ථාන මුල්කොටගත් මහියංගන නගර සංවර්ධනයට මුල්තැනක් දෙමින් එවර ගම්උදාව සංවත්සර සංවර්ධන වැඩසටහන දියත් විය.
එකී සංවර්ධන ක්‍රියාවලිය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අයුරින් ආදර්ශ ගම්මාන 15ක් නිර්මාණය වූ අතර, කවර අභියෝග පැමිණියද ඒ සියලු ගම්මාන ජනතා අයිතියට පත්කිරීම ජනාධිපති ප්‍රේමදාස මහතා සිදුකරන ලදී. මෙවර මහියංගනය ගම්උදාව වැඩසටහන යටතේ ප්‍රදර්ශන භූමිය ඉදිවූ ‘මියුගුණගම’ ආදර්ශ ගම්මානය 1989 ජුනි මස 23 දින ජනාධිපති ප්‍රේමදාස මහතා ජනතා අයිතියට පත්කරන ලදී. එවර ගම්උදාව ප්‍රදර්ශන සමාප්ති දිනය වූ ජූලි මස 03 දින එහි උත්සව නිමාවට සුළු වේලාවකට ප්‍රථම ප්‍රදර්ශන භූමියේ බෝම්බ පිපුරුමක් සිදුවී කිහිප අයෙකුට තුවාල සිදුවූ අතර, මෙම සමස්ත ගම්උදාව ඉතිහාසයේ බිහිසුණුම අත්දැකීම වන්නේ එයයි.
මහනුවර නගරය සැලසුම්ගත කළ පල්ලෙකැලේ ගම්උදාව
1990 වසර ගම්උදාව සංවත්සර වැඩසටහන පල්ලෙකැලේ ප්‍රාදේශය මුල්කොටගත් මහනුවර දිස්ත්‍රික්කය මෙන්ම එහි දෙපස වූ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි ඒකාබද්ධ සංවර්ධනය වසරක කාලයක් තුළදී උපරීම වශයෙන් සිදුකිරීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක විය.
● මෙම දිස්ත්‍රික් තුළ වඩාත් සැලසුම්ගත අයුරින් දුපත්කම දුරුකරලීමේ ජනසවිය වැඩසටහන දියත්කොට කෙටිකලක් තුළදී ජන ජීවිතය නගාසිටුවීම.
● අදාළ දිස්ත්‍රික් තුන තුළ පවුල් 25,000ක් සඳහා නිවාස පහසුකම් සහිතව උදාකළ ගම්මාන සහ උදාගම්මාන ඉදිකිරීම.
● ඉහත දිස්ත්‍රික්ක සියල්ලේ මාර්ග ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම එවර ගම්උදාව ඒකාබද්ධ සංවර්ධන ක්‍රියාදාමයේ සුවිශේෂ ලක්ෂණයන් විය.
මහනුවර නගරයේ පැවැති භූගෝලීය පිහිටීමට අනුව නගරය වඩාත් ව්‍යාප්තකොට සංවර්ධනය කිරීම ගැටලුවක් වූ අතර, එයට විසඳුමක් ලෙසින් මහනුවර නගරය පල්ලෙකැලේ ප්‍රදේශය දක්වා ව්‍යාප්ත කිරීමට මෙන්ම එහි මාර්ග පද්ධතිය ගැටඹේ ප්‍රදේශය දක්වා පුළුල් කිරීම සිදුවිය. මහනුවර නගරයට ප්‍රවිෂ්ට වීම සඳහා ගැටඹේ සිට මහනුවර නගරය දක්වා රජ මාවත ඉදිවූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එමෙන්ම මෙයට සමගාමීව පල්ලෙකැලේ ප්‍රදේශය දක්වා සැලසුම්ගත සංවර්ධනයක් සිදුකොට නගරය නවීන පහසුකම් සහිතව ව්‍යාප්ත කිරීම මෙමගින් සිදුවිය.
එකී ක්‍රියාවන් හේතුවෙන් මහනුවර ප්‍රදේශයේ සැලසුම්ගත පරිපාලන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සුදුසු අයුරින් පල්ලෙකැලේ ප්‍රදේශය සියලු ගොඩනැගිලි හා යටිතල පහසුකම් වැඩිදියුණු වූ අතර, එවක ගම්උදාව ප්‍රදර්ශනය නිමාවේ මහනුවර නගරයේ සියලු ප්‍රාදේශීය මධ්‍යස්ථාන හා මධ්‍යම පළාත් පරිශීලන මධ්‍යස්ථාන මෙහි ස්ථාපිත විය. මෙලෙසින් සැලසුම්ගත සංවර්ධනයකට වැඩි අවධානයක් යොමුකළ මහනුවර ගම්උදාව සංවත්සර ප්‍රදර්ශනය පල්ලෙකැලේ ‘ජනසවිගම’ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
ප්‍රාදේශිය සංවර්ධනය සාර්ථක ප්‍රතිඵල ගැන්වූ කඹුරුපිටිය ගම්උදාව
1991 වසර වනවිට ලොව විවිධවූ අභියෝග තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් කිසියම් වූ අභියෝගයකට මුහුණ දුනි. එවන් වූ තත්ත්වයක් යටතේ අවශ්‍යයෙන්ම සිදුකළ යුතු සංවර්ධන කාර්යයන් දේශීය සංවර්ධන උපක්‍රම දායකත්වයෙන් සිදුකළ යුතු වූ අතර, ඒ සඳහා ගම්උදාව සංවර්ධන වැඩසටනේ වඩාත් උච්චතම අවස්ථාව විය.
මේ අනුව එවර ගම්උදාව සංවර්ධන ක්‍රියාවලියේ අවධානය කඹුරුපිටිය ප්‍රදේශය මුල්කොටගත් මාතර දිස්ත්‍රික්කයට යොමුවිය. මෙම සංවර්ධන ක්‍රියාදාමය තුළින් මාතර දිස්ත්‍රික්කයේ පවුල් දසදහසකට නිවාස පහසුකම් සහිතව ආදර්ශ ගම්මාන සමූහයක උදාව සිදුවූ අතර, මෙහිදී මාතර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශිකයක්ම ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් යටතේ වැඩිදියුණු කිරීමේ ‘ප්‍රාදේශීය ගම්උදාව’ සංකල්පය වඩාත් සාර්ථකව මෙවර ගම්උදාව සංවර්ධන වැඩසටහන සමගින් දියත් විය. එයට සමගාමීව කඹුරුපිටිය ප්‍රදේශයේ සෞඛ්‍ය අවශ්‍යතාවන් සපුරාලීම සඳහා පහසුකම් සහිත රෝහලක අවශ්‍යතාව දැඩි ලෙසින් පැවැතීම හේතුවෙන් එවර ගම්උදාව ප්‍රදර්ශනය පැවැත්වූ ‘රුහුණුගම’ නිර්මාණය වූයේ ප්‍රදර්ශන නිමාවෙන් පසු ආරෝග්‍යශාලාවකට සුදුසු අයුරිනි.
මෙලෙසින් පුරා දශකයක් ඉක්මයන තුරු මෙරට සංවර්ධනයේ අවශ්‍යතාවන්ට මුල් තැනක් දෙමින් ක්‍රියාත්මක වූ ගම්උදාව වාර්ෂික සංවත්සර වැඩසටහනේ 14 වැනි සැමරුම 1992 වසරේදී බුත්තල ප්‍රාදේශිකය මුල්කොටගත් මොනරාගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව ක්‍රියාත්මක විය. ශිල්ප පුහුණුවට මුල්තැනක් දුන් බුත්තල ගම්උදාව සමස්ත මොනරාගල දිස්ත්‍රික්කයේ නිවාස සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් දියත්වූ මෙම සංවර්ධන ක්‍රියාවලයේදී තාරුණ්‍යය මෙරට සංවර්ධන කාර්යයන් සඳහා දායක කරගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමුවිය. ශිල්ප සවිය නමින් වූ තරුණ පිරිස් නිසි පුහුණුවකින් පසු සිය නිවාස ඉදිකිරීමට මෙන්ම ඔවුන්ගේ සේවා අත්දැකීම් සමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දෙස් විදෙස් රැකියා සඳහා යොමුකිරීම සිදුවිය.
බුත්තල ගම්උදාව නිමිත්තෙන් දිස්ත්‍රික්කයේ තරුණයන් 5000ක් මෙම ශිල්ප සවිය පුහුණු වැඩසටහන සඳහා තෝරාගැනිණි. බුත්තල ගම්උදාව ප්‍රදර්ශන භූමිය ‘වෙල්ලස්ස ගම’ ආදර්ශ ගම්මානය ලෙසින් නම්වී, ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් ජනතා අයිතියට පත්කිරීම 1992 ජුනි මස 23 දින සිදුවිය. එවර ගම්උදාව ප්‍රදර්ශනය නිමාවීමෙන් පසු, එම භූමිය සිවිල් ආරක්ෂක බළකායට අනුයුක්ත කොට එහි තරුණු පුහුණුව වඩාත් විධිමත්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් විය.
නොපැවැත්වූ ගම්උදාවෙන් බිහිවුණු රජරට සරසවිය
ඓතිහාසික මිහින්තලය පුරවරය සමගින් අනුරාධපුර දිස්ත්‍රික්කය සමගින් පොළොන්නරුව සහ වව්නියාව දිස්ත්‍රික්ක ආශ්‍රිත ඒකාබද්ධ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනක් දියත් කිරීම 1993 මිහින්තලය ගම්උදාව සංවත්සර සංවර්ධන වැඩසටහන සැලසුම් විය. එමෙන්ම ජනාධිපති ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාව වූයේ මිහින්තලය ගම්උදාව ප්‍රදර්ශන භූමිය රජරට විශ්වවිද්‍යාලයට අවැසි ගොඩනැගිලි හා අනෙකුත් යටිතල පහසුකම් සමගින් නිර්මාණය කිරීමයි. එයට අමතරව මිහින්තලය පූජා බිම ඇසුරේ අනුබුදු හිමි මහා සෑය ඉදිකිරීම සහ එවක ප්‍රතිසංස්කරණ කාර්යයන් සිදුවූ මිරිසවැටි සෑයේ එකී ඉදිකිරීම් කාර්යයන් නිමාකොට සසුන්ගත කිරීමයි.
එවන් වූ සැලසුමක් සාර්ථකව ක්‍රියාත්මක වුවද, උදාගම් සැමරුම සඳහා සති කිහිපයක කාලපරිච්ඡේදයක් තිබියදී ජනාධිපති ප්‍රේමදාස මහතාගේ හදිසි වියෝව සිදුවිය. ඒ හේතුවෙන් එවර ගම්උදාව ප්‍රදර්ශනය නොපැත්විණි. එනමුත් සැලසුම් කළ පරිදි මිරිසවැටි සෑය පිළිසකර කාර්යයන් නිමාකොට සසුන්ගත කිරීම පසුකාලීනව සිදුවිය. එමෙන්ම ප්‍රේමදාස මහතා අපේක්ෂා කළ රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය ගම්උදාව භූමියේ ඉදිවූ ගොඩනැගිලි ඇසුරේ ස්ථාපනය විය.

ලක්විජය සාගර පලන්සූරිය










