මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන්නා වන වනිඳු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට එම කණ්ඩායම තීරණය කර ඇති බව espncricinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.Sri Lanka Latest News
ඒ අනුව, ලක්නව් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි පැය 24ත් 48ත් අතර කාලය තුළ මෙම ආදේශක ක්‍රීඩකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.
වනිඳු වෙනුවට දකුණු අප්‍රිකානු වමත් දඟපන්දු යවන ක්‍රීඩක ජෝර්ජ් ලින්ඩේ (George Linde) කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට වැඩි ඉඩක් පවතින බවත්, ඔහු මීට පෙර කිසිදු IPL තරඟාවලියකට සහභාගී වී නොමැති ක්‍රීඩකයෙක් බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.
පසුගිය පෙබරවාරි මාසයේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී වනිඳුගේ වම් පාදයේ මස්පිඬු ආබාධයකට (Hamstring) ලක් වූ අතර, ඔහු තවමත් පූර්ණ සුවය ලබා නැහැ.
එමෙන්ම, IPL තරඟාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය වන නිල අවසර පත්‍රය (NOC) ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පැවැත්විය යුතු අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට වනිඳු පෙනී නොසිටි බවද වාර්තා වුණා.
පසුගිය වෙන්දේසියේදී ලක්නව් කණ්ඩායම විසින් වනිඳු හසරංගව ඉන්දීය රුපියල් කෝටි 2ක (ඇමරිකානු ඩොලර් 222,000 කට ආසන්න) මුදලකට මිලදී ගෙන තිබුණා.










