සමගි ජන බලවේග රජයක් තුළ ලබන ජනවාරියේ සිට 24%කින් වැටුප් වැඩි කිරීමත් මෙන් ම ජීවන වියදම් දීමනාව රු. 25000ක් සහ අවම වැටුප රු. 57500ක් බවට පත් කරන බවත් රාජ්‍ය සේවයත් මධ්‍යම පන්තියත් ආණ්ඩුවේ බදු මර උගුලට යටවී ඇති නිසා 6% සිට 36% දක්වා වු බදු සූත්‍රය 1% සිට 24% දක්වා පහළ හෙළන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
ඊට අමතරව වැඩිහිටියන්ගේ ඉතුරු කිරීම් සඳහා 15% පොලියත් විශ්‍රාම වැටුපත් වරමත් නිවැරදිව ලබා දෙන බවත් ආරක්ෂක අංශ සඳහා ද දිමනා සහ උසස්වීම් ආදිය නිවැරදිව ලබා දෙන බවත් පොලිසිය සදහා වත්මන් රජය මාස 3ක කාලයක් සඳහා ලබා දුන් බටා එක ඉදිරියේ දී දිගටම ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 30 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (2) මුලතිව් නගරයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.
අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය ද සුහුරු කරන බවත් විපක්ෂයේ සිට සක්වල හා හුස්ම හරහා රු. බිලියනයක වැඩ රටේ සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටු කළ බවත් තමා කරන දේ කියන මෙන්ම කියන දේ කරන පුද්ගලයකු නිසා ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු සියලු කරුණු මහපොළොවේ සත්‍යයක් යථාර්ථයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ගම්උදා යුගයකට නැවතත් යමු
කාන්තා ගෘහ මූලික පවුල් ඒකකවලට විශේෂ ජීවනෝපාය වැඩසටහනක් ආරම්භ කරන බවත් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ආර්ථික දියුණුවේ කොටස්කරුවන් කරන්න දැවැන්ත වැඩසටහනක් දියත් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය නතර කළ නිවාස ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවත් ඉඩම් නොමැති නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ගම්උදා යුගය නැවත වරක් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම රටේ බොහෝ පළාත්වල ඉඩම් ගැටලු ඇති බවත් ඉඩම් නොමැති ඉඩම් අහිමි වූ මෙන්ම ඔප්පු නැති ඉඩම් සහිත ජනතාව සිටින බවත් මේ සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක් ඇති කරන බවත් ඒ තුළින් ඉඩමට ඇති අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බලය ඉල්ලන විකල්ප අයයි ජනාධිපතියි රටට කළ දෙයක් නැහැ
මෙවර ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා පවා රට ගොඩනගන සැලසුම් ඉදිරිපත් කර ඇති බවත් රටේ ජනාධිපති සිදු කළ යුත්තේ සැලසුම් ඉදිරිපත් කිරීම නොව වැඩ කිරීම බවත් වත්මන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තම ධුර කාලය තුළ කිසිදු කර්මාන්තශාලාවක් ඇති නොකළ බවත් සමහර බලය ඉල්ලන විකල්ප අයට පුරුදු කර්මාන්තශාලා ඇති කිරීම නොව ඒවා පුච්චා දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවනවා
සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කිරිමට අපේක්ෂිත ජාත්‍යන්තර ආධාරක සමුළුව හරහා මෙම ව්‍යාපෘතිවලට විදේශ ආධාර ගෙන වැඩිම විදේශ ආධාර ප්‍රමාණයක් අප රටට ලබා ගත් යුගය බිහි කරන බවත් ඒ තුළින් රට වටේම සංවර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ධීවර ක්ෂේත්‍රයටත් සහන රැසක්
ධීවර කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන බවත් වරායවල්, නැංගුරම් පොළවල් විදේශ ආධාර කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක කරන බවත් ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය ශක්තිමත් කරනවා සේම පර්යේෂණ හා සංවර්ධන ක්ෂේත්‍රය හරහා ධීවර කර්මාන්තය ඉහළටම සංවර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තිරසර බලශක්තියට මුල් තැන
සූර්ය බලය මෙන්ම සුනිත්‍ය බල ශක්ති ක්‍රමවේද ඇති කර තිරසර බලශක්තියට මුල් තැන ලබා දී රැකියා ප්‍රවර්ධනය කරන බවත් ආර්ථික සංවර්ධනය උදෙසා මංකුලම් ප්‍රදේශයේ ආර්ථික සංවර්ධන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරනවා සේම ගෘහ ආර්ථිකය පවා වැඩිදියුණු කරන බවත් රැකියා විරහිත තරුණයන් වෙනුවෙන් කර්මාන්ත ශාලා ඇති කර සෘජු විදේශ ආයෝජන ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වනජිවී සංචාරක කර්මාන්තයට යොමු වෙනවා
කෘෂිකර්මාන්තය මෙන්ම සංචාරක කර්මාන්තය ද දියුණු කරන බවත් වනජීවී ප්‍රදේශ සම්පත් බවට පත් කර වනජීවී කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය නව ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර සංචාරක නගර බිහි කරන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
දූෂණ විරෝධී වැඩපිළිවෙළ දිගටම
දූෂණ විරෝධී වැඩපිළිවෙළ ශක්තිමත්ව ක්‍රියාත්මක කර රටෙන් සොරා ගත් සියලු දේපල මුදල් නැවත වරක් රටට ලබා ගන්නා බවත් සෘජු විදේශ ආයෝජන රටට ලබා ගැනීමට විදේශයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පහසු ක්‍රමවේද ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.





















