2008 නොවැම්බර් 27 වැනි දින ප්‍රභාකරන් විසින් කරන ලද කතාව ඔහුගේ ජීවිතයේ අවසාන කතාව ලෙස සැලකේ. ඔහුගේ ජීවිතය මාස කිහිපයකින් අවසන් වන බව කිසිවකු දැන සිටියේ නැත, නමුත් ඔහුගේ ජීවිතයේ අවසාන මොහොත දක්වාම ඔහුගේ ආකල්පය වෙනස් වූයේ නැත.Sri Lanka Latest News
1975 වසරේදී යාපනයේ එවක සිටි නගරාධිපතිවරයා ඝාතනය කර වසරකට පසුව එල්ටීටීඊය ආරම්භ කළද, ප්‍රභාකරන් දිගු කලක් ලෝකය වැඩි දෙනකු නොදන්නා චරිතයක් ලෙස සිටියේය.
1982 මැයි මාසයේදී මදුරාසියේදී පළමු හා අවසාන වරට ඔහු අල්ලා ගන්නා විට, ඉන්දීය පරිපාලනය ඔහු කෙරෙහි එතරම් අවධානයක් යොමු නොකළ අතර, පසුව ඉන්දීය පරිපාලනය ප්‍රභාකරන් සුළු අපරාධකරුවකු ලෙස සැලකීය.
1983 දී, සිංහල සොල්දාදුවන් 13 දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විට, රට තුළ සුළුතරය වූ දෙමළ ප්‍රජාවට එරෙහි විරෝධයක් නිර්මාණය වූ අතර, එය ලංකාවේ ඉරණම සදහටම වෙනස් කළේය. එතෙක්, ශ්‍රී ලංකාව ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබුණේ, එහි වැඩෙන තේ සහ ආකර්ෂණීය දර්ශන සම්බන්ධයෙන් පමණි.
ප්‍රභාකරන්ගේ වැඩ කිරීමේ විලාසය
වසර හතරක් ඇතුළත ඔහුගේ බලපෑම සහ විශ්වාසය කෙතරම් ඉහළ ගියාද කියතහොත්, ඉන්දියාවේ හමුදා බලයට පවා අභියෝග කිරීමට ප්‍රභාකරන් කිසිදු පැකිලීමක් දැක්වූයේ නැත. ශ්‍රී ලංකාවේ අනුරාධපුර ශුද්ධ නගරයේ සිංහල බෞද්ධයන් ඝාතනය කිරීමෙන් පසු ප්‍රභාකරන් දැඩි ආන්දෝලනයකට ලක්විය.
ඉන්පසු, එල්ටීටීඊ සංවිධානයට ප්‍රතිවාදී ශ්‍රී ලංකාවේ දෙමළ සංවිධානවල නායකයන් ඝාතනය කිරීම ආරම්භ වූ අතර, මෙය දෙමළ ජනතාවගේ එකම නායකයා වීමේ උත්සාහයක් ලෙස සිදුවූ බවට විශ්වාස කෙරිණි.
ප්‍රකට මාධ්‍යවේදී එම්.ආර්. නාරායන් ස්වාමි ඔහුගේ ඔයැ ඍදමඑ දf ඡර්ඉය්න්ර්බ ග්‍රන්ථයේ මෙසේ ලියා තිබේ. ‘ප්‍රභාකරන්ගේ සෑම වචනයක්ම නීතියක් විය. ඔහුට අභියෝග කළ නොහැකි විය. ඔබ ඔහු ඉදිරියේ හිස නමා ඔහු පැවසූ සියල්ල සමග එකඟ වුවහොත් පමණක්, ඔබට දෙමළ ඊළම වෙනුවෙන් සටන් කළ හැකිය.’
‘ඔහු සමග එකඟ නොවන්නේ නම්, එල්ටීටීඊ සංවිධානයෙන් හෝ ලෝකයෙන්ම ඉවත් වීමට සිදුවිය. ඔහුට විරුද්ධ වූ ඕනෑම අයකු ‘ද්‍රෝහියකු’ ලෙස ප්‍රකාශයට පත්කරන ලද අතර හිටපු සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් ඔහුගේ විරුද්ධවාදීන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයටම ඔහුත් ක්‍රියා කළේය.’
දීර්ඝ ඝාතන මාලාවක්
ප්‍රභාකරන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කර ගත්තේය. ඇතැම් විට ඔහුට හෝ එල්ටීටීඊයට උදව් කළ අය පවා ඉලක්ක විය.
ප්‍රසිද්ධ මාධ්‍යවේදිනියක සහ කතුවරියක වන අනීතා ප්‍රතාප් ඇගේ ෂික්බා දf ඊකදදා නම් කෘතියේ මෙසේ ලියා තිබේ, ‘ප්‍රභාකරන්ගේ මුල් ජීවිතය ගැන පොතක් ලිවීමට සැලසුම් කරමින් සිටි පුද්ගලයකු පැරීසියේ ඔහුගේ නිවස ඉදිරිපිටදී වෙඩිතබා ඝාතනය කරන ලදී.’
‘ශ්‍රී ලංකාවේ නැගෙනහිර සහ උතුරු ප්‍රදේශවල දුප්පත් පවුල්වල දෙමළ දරුවන්ට ඔවුන්ගේ මවුපියන්ගේ කැමැත්තට එරෙහිව එල්ටීටීඊය වෙනුවෙන් සටන් කිරීමට බලකෙරුණු අතර, ප්‍රභාකරන් ඔහුගේම දරුවන් තිදෙනාට ආදරය, සෙල්ලම් බඩු සහ සාපේක්ෂව සතුටුදායක ජීවිතයක් ලබාදුන්නේය. ඉන්දියාව වෙනුවෙන් ඔත්තු බලන බවට සැකය මත ඔහු තම පැරණි සහකරු මරාදැමීය.’
ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යවරයකු තම කාර්යාලයට යමින් සිටියදී ඝාතනය කරන ලදී. දෙමළ විදේශ අමාත්‍යවරයකු පිහිනුම් තටාකයක පිහිනමින් සිටියදී ඝාතනය කරන ලදී. දැවැන්ත මැයි දින රැලියක් අමතමින් සිටියදී ජනාධිපතිවරයකු ඝාතනය කරන ලදී.
ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිද තමිල්නාඩුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක් විය.
ප්‍රභාකරන්ගේ පාලනය හැකිළීම
සුළු කාරණා සම්බන්ධයෙන් ප්‍රචණ්ඩත්වයට යොමුවීම යම් දිනක ඔහුගේ වැටීමට හේතුවන බව ප්‍රභාකරන් කිසි විටෙකත් වටහාගෙන සිටියේ නැත.
ශ්‍රී ලංකාවෙන් තුනෙන් එකක් පමණ පාලනය කළ ප්‍රභාකරන්ගේ භූමි ප්‍රමාණය පාපන්දු පිටියකට සමාන වූ අවකාශයක් දක්වා කුඩා වූ කාලයක් උදාවිය.
‘පළමු වතාවට මම එල්ටීටීඊ සටන්කරුවන්ගේ ඇස්වලින් බිය දුටුවා. වසර ගණනාවක් තිස්සේ එල්ටීටීඊය සමීපව නිරීක්ෂණය කළ මා වැනි කෙනකුට මෙය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක්’ නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් සිහිපත් කළේය.
‘තමන් යුද පිටියෙන් පලා නොයන බවත්, අවි බිම තබන්නේ නැති බවත්, නමුත් සටනින් ඉවත් වීමට අවශ්‍ය ඕනෑම අයකුට එසේ කිරීමට නිදහස ඇති බවත්, සිවිල් වැසියන් සමග එක් වීමට කැමැති අයට තම ආයුධ අතහැර එහි යාහැකි බවත්, සතුරාගේ අතට පත්වීමෙන් වැළකී සිටීමට මියයාමට කැමැති අයට සයනයිඩ් කරල් ලබාගත හැකි බවත් මැයි 17 වැනි දින ප්‍රභාකරන් ඔහුගේ සමීප සහායකයන්ට පැවැසීය.’
සූර්ය දෙවියන්ගේ අවතාරයක් ලෙස අනුගාමිකයන් හැඳින්වූ, එමෙන්ම, කිසිදා පරාජය කළ නොහැකි යැයි විශ්වාස කළ මිනිසෙකුට එය කනගාටුදායක සමුගැනීමක් විය.
ප්‍රභාකරන් සහ අංක 8
ප්‍රභාකරන් තමාට කීමට අවශ්‍ය ඕනෑම දෙයක් පැවැසීමට මැයි 17 වැනි දින තෝරාගැනීම අහම්බයක් නොවේ.
දැන් රාඝවන් ලෙස හඳුන්වන, ප්‍රභාකරන්ගේ පැරණි සහායකයකු වූ රාජේෂ් කුමාර් මේ වනවිට බි්‍රතාන්‍යයේ වාසය කරයි.
‘ප්‍රභාකරන් 8 වැනි අංකය ඔහුගේ අවාසනාවන්ත අංකය ලෙස සැලකුවා. අනාගතයේදී කරදර ඇති කළ හැකි කිසිදු වැඩක් 8, 17 සහ 26 යන දිනවල ප්‍රභාකරන් කිරීමෙන් වැළකී සිටියා. ඔහුගේ මිථ්‍යා විශ්වාසය කොතරම් ප්‍රබලද කියනවා නම්, ඒ දිනවල ඔහු මුළු දවසම තම සැඟවුම් ස්ථානයේ හැංගිලා ඉඳලා එළියට ආවෙ ඊළඟ දවසේ’ ඔහු පැවැසීය.
‘1980 ගණන්වල තමිල්නාඩුවේ එල්ටීටීඊ පුහුණු කඳවුරු දහයක් සංවිධානය කළත්, ඇත්තටම, අටවැනි පුහුණු කඳවුර හිතාමතාම සංවිධානය නොකළ නිසා පුහුණු කඳවුරු නවයක් පමණක් සංවිධාන කර තිබුණේ මේ නිසා වෙන්න පුළුවන්’ රාඝවන් පැහැදිලි කරයි.
අඛණ්ඩ පරාජයන් නිසා චිත්ත ධෛර්යය පහත වැටෙයි
2008 අප්‍රේල් මාසයේදී, මන්නාරම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා හමුදාවේ පාලනය යටතට පත්විය. මෙයින් පසු, නොවැම්බර් මාසයේදී, දෙමළ කැරලිකරුවන්ට උපායමාර්ගිකව වැදගත් ස්ථාන වන පූනරින් සහ මාන්කුලම් හැර යාමට සිදුවිය.
2008 මැයි මාසයේදී එල්ටීටීඊ සංවිධානයේ වැඩිම පළපුරුද්දක් සහිත හමුදා නායක කන්දියා බාලසේකරන් හෙවත් බාල්රාජ් හෘදයාබාධයකින් මියයාමෙන් ප්‍රභාකරන්ට දැඩි පහරක් එල්ල විය.
බාලසේකරන් වෙනුවෙන් එල්ටීටීඊය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබිණි. බොහෝ හිටපු දෙමළ කොටි සටන්කරුවන් විශ්වාස කරන්නේ බාල්රාජ් මිය නොගියේ නම්, ශ්‍රී ලංකා හමුදාව සමග පැවැති ඔවුන්ගේ සටනේ ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබූ බවය.
2009 වනවිට, ප්‍රභාකරන් තවත් පසුබෑම්වලට මුහුණ දීමට පටන් ගත්තේය. රජයේ හමුදා පළමුව පරන්තන් අල්ලා ගත් අතර, පසුව එල්ටීටීඊ පරිපාලන ප්‍රදේශයේ අගනුවර ලෙස සැලකෙන අසල පිහිටි කිලිනොච්චිය අල්ලා ගත්තේය.
දෙමළ කොටි නායකත්වය විදේශීය අමුත්තන් හමුවූ ස්ථානය මෙය වූ අතර, 2002 අප්‍රේල් මාසයේදී ප්‍රභාකරන් සිය අවසන් මාධ්‍ය හමුව ඇමතූ ස්ථානය ද මෙය විය. කිලිනොච්චියේ පරාජය එල්ටීටීඊ සාමාජිකයන්ගේ චිත්ත ධෛර්යයට දැඩි ලෙස බලපෑවේය.
යුද්ධය අවසන් කරන ලෙසට ශ්‍රී ලංකාවට බලපෑම්
ප්‍රභාකරන්ගේ කතා පරිවර්තනය කළ ඔවුන්ගේ ඉහළ පෙළේ මාධ්‍ය සම්බන්ධීකාරක දයා මාස්ටර් හෙවත් වේලායුදන් දයානිධි සහ ජෝර්ජ් හෙවත් කුමාර් පංචරත්නම් යුද පෙරමුණේදී ශ්‍රී ලංකා හමුදාවට යටත් වූ විට එල්ටීටීඊයට විශාල නින්දාවක් අත්විඳීමට සිදුවිය.
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ ඒ වනවිට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වූ අතර එල්ටීටීඊයට එරෙහි හමුදා මෙහෙයුමට නායකත්වය දෙමින් සිටියේය.
‘සටන් වහාම අවසන් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දැඩි පීඩනයක් එල්ල විය. ඇමෙරිකානු පුරවැසිභාවය ද දැරූ රාජපක්ෂ, එක්සත් ජනපද සාකච්ඡාකරුවන්ට කිසිදු සහතිකයක් ලබානොදුන් නමුත් මැයි 14 වැනි දින ඔහුගේ හමුදාපතිවරුන් සමග සිය ගැටලු ගැන සාකච්ඡා කළේය’ එම්.ආර්. නාරායන් ස්වාමි ලියා තිබේ.
‘ඔහු ඔවුන්ගෙන් ඇහුවා මේ යුද්ධය කොච්චර කල් යයිද කියලා? මේ යුද්ධය ඉක්මනින් ජයග්‍රහණයෙන් අවසන් විය යුතුයි, නැතිනම් ඇමෙරිකානු පීඩනයට ඔරොත්තු දීම දුෂ්කර වනු ඇති බව ඔහු පැවසුවා.’
සටන අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රභාකරන් තීරණය කරයි
2008 මැයි 16 වැනි දින, ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊයේ අවසාන ආරක්ෂක වළල්ල විනාශ කළේය.
මෙම පුවත ඇසූ වහාම, ජී-11 සමුළුවට සහභාගි වී සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ, එල්ටීටීඊ සංවිධානයට එරෙහිව හමුදා ජයග්‍රහණයක් ලබාගත් බව කලින්ම ප්‍රකාශ කළේය.
එල්ටීටීඊ ජාත්‍යන්තර කටයුතු ප්‍රධානී කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන් එදිනම ක්වාලාලම්පූර්හිදී නිවේදනය කළේ, ‘සටන අවසන් අදියරට පැමිණ ඇත. අපි අපේ තුවක්කු බිම තැබීමට තීරණය කර ඇත්තෙමු’ යනුවෙනි.
මහින්ද සහ කේපී දෙදෙනාම කඩිමුඩියේ කතා කළේ, බොහෝ විට පැති තුනකින් වටවී සිටි ප්‍රභාකරන් සටන දිගටම කරගෙන යාමට තීරණය කර තිබූ නිසා විය හැකිය.
සටන් කොතරම් දරුණු ද යත් දෙමළ කොටින් දින ගණනාවක් ස්නානය කර නොතිබිණි. ඔවුන්ගේ ආහාර සැපයුම් ද අවසන් වීමට ආසන්නව පැවතිණි. ශ්‍රී ලංකා සොල්දාදුවන්ට හසු නොවන පරිදි සමහර දෙමළ ගරිල්ලෝ සියදිවි නසාගත්හ.
මැයි 17 අවසන් වරට ජීවතුන් අතර දක්නට ලැබීම
මැයි 17 වැනි දින රාත්‍රියේ, ශ්‍රී ලංකා සොල්දාදුවෝ අවසන් කොටි කණ්ඩායම වර්ග මීටර් 1600ක ප්‍රදේශයකට සීමා කළහ. ඔවුන් තුන් පැත්තකින් වට කර තිබිණි. සිවුවැනි පැත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව මුර කරමින් සිටි නන්දිකඩාල් කළපුව විය.
මැයි 17 වැනි දින එල්ටීටීඊයට ඉතා අවාසනාවන්ත දිනයක් බව ඔප්පු විය. මන්ද එදින ඔවුන්ගේ සටන්කරුවන් 150කට වැඩි පිරිසක් මියගිය අතර, ඒ අතර ඔවුන්ගේ අණදෙන නිලධාරීන් බොහෝ දෙනෙක් ද වූහ.
එස්.කේ. නම් එල්ටීටීඊ ගරිල්ලා සාමාජිකයෙක් පසුව සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පැවැසීය, ‘ප්‍රභාකරන් අවසන් වරට ජීවතුන් අතර සිටිනු දුටුවේ මැයි 17 වැනි දින උදෑසනයි. මම ප්‍රභාකරන් සිටි ස්ථානයට සවස 6ට ළඟාවුණා. අපේ කෑම බීම ඔක්කොම ඉවර වෙලා තිබුණා.’
‘විශ්වාස කළත් නැතත් ප්‍රභාකරන් සම්පූර්ණයෙන්ම සාමාන්‍ය පරිදි ඉන්න බවක් පෙනුණා, දෙමළ ඊළම නිර්මාණය කිරීමේ ඔහුගේ සිහිනය බිඳවැටීමට ආසන්න බව ඔහුට වැටහී තිබුණා.’
ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුත්‍රයාගේ මරණය
ඊළඟ දවසේ ඉතිරි වී සිටි කොටි සාමාජිකයෝ හමුදා වටලෑම බිඳදැමීමට උත්සාහ කළහ. ඔවුන් එය සාර්ථක කරගත් නමුත් මිනිත්තු 30ක් ඇතුළත ශ්‍රී ලංකා සොල්දාදුවෝ නැවත එක්රැස් වූහ.
මෙවර ඔවුන් දියත් කළ ප්‍රතිප්‍රහාරයේදී බොහෝ එල්ටීටීඊ අණදෙන නිලධාරීන් සහ ප්‍රභාකරන්ගේ 24 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා වූ පුත් චාල්ස් ඇන්තනී ද මියගියේය. ශ්‍රී ලංකා සොල්දාදුවන් ඇන්තනීගේ මළසිරුර පරීක්ෂා කළ විට, ඔහු සතුව ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 23ක මුදලක් සොයාගන්නා ලදී.
53 වැනි සේනාංකයේ අණදෙන නිලධාරී කමල් ගුණරත්න පිළිගත්තේ ඒ වනවිට ප්‍රභාකරන්, පොට්ටු අම්මාන් සහ සූසෙයි හැර කොටි සංවිධානයේ ඉහළම නායකත්වය විනාශ කර තිබූ බවය.
ප්‍රභාකරන් පිළිබඳ කිසියම් ආරංචියක් ලැබෙන තුරු සටන අඛණ්ඩව පවත්වාගෙන යන බව ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රධානී ජෙනරල් සරත් ෆොන්සේකා පැහැදිලිව කියා තිබිණි.
ප්‍රභාකරන්ගේ මරණය පිළිබඳ පුවත කමල් ගුණරත්න වෙත මැයි 19 වැනි දින උදෑසන වන තෙක් ප්‍රභාකරන් සිටින ස්ථානය පිළිබඳ මේජර් ගුණරත්නට කිසිදු හෝඩුවාවක් නොතිබිණි. එවිට ඔහුගේ කනිෂ්ඨ නිලධාරියකු ඔහුට දැනුම් දුන්නේ නන්දිකඩාල් ප්‍රදේශයේ මඩ සහ ලුණු සහිත ජලයේ දරුණු සටනක් ඇති වූ බවය. බොහෝ එල්ටීටීඊ සටන්කරුවෝ එහි සිරවී සිටියහ. ඔවුන්ගෙන් කිසිවෙක් ආයුධ බිම තැබීමට සූදානම් නොවූහ. අවසානයේ, සටන අවසන් වී පැයකට පසු, ගුණරත්නට ඔහු බලාසිටි පුවත ලැබිණි.
ගෝර්ඩන් වයිස් ඔහුගේ ඔයැ ක්‍්ටැල ඔයැ ත්‍සටයඑ දෙර ීරස ඛ්බන් ්බා එයැ ඛ්ිඑ ෘ්හි දf එයැ ඕපසක ඔසටැරි නම් පොතේ මෙසේ ලියා ඇත. ‘කර්නල් රවිප්‍රිය මේජර් ජෙනරල් ගුණරත්නට ‘සර්, අපි ප්‍රභාකරන්ව මැරුවා’ කියා පැවසුවා.’
පුදුමයට පත් ගුණරත්න ඇසුවේ, ‘ඔබට විශ්වාස ද?’ කර්නල් රවිප්‍රිය පිළිතුරු දුන්නේ, ‘ඔව්, ඉරහඳ වගේ විශ්වාසයි සර්’ කියායි.
නමුත් ගුණරත්නට නිසැකවම ඒ බව දැනගැනීමට අවශ්‍ය වූ නිසා ඔහු කර්නල් ලලින්ත ගමගේව එම ස්ථානයට යැවීය. මිනිත්තු කිහිපයක් ඇතුළත ගමගේගේ කෑගසන හඬ හමුදා දුරකතනයේ දෝංකාර දුන්නේය. ‘සර්, යුරේකා. සර් ඒක හරි. ඒ ප්‍රභාකරන්’.
ප්‍රභාකරන්ගේ සිරුර හමුවෙයි
සම්පූර්ණයෙන්ම තහවුරු වීමෙන් පසු, ගුණරත්න හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකාට මෙම පුවත දැනුම් දුන්නේය. මෙයට පෙර ඔහු තම සොල්දාදුවන්ගෙන් ප්‍රභාකරන්ගේ දේහය තමා වෙත ගෙන එන ලෙස ඉල්ලා සිට තිබිණි.
එම්.ආර්. නාරායන් ස්වාමි ඒ ගැන ලියා තිබුණේ මෙසේය. ‘ඒ වනවිට ශ්‍රී ලංකා සොල්දාදුවන් තුන් දහසක් පමණ ප්‍රභාකරන්ගේ දේහය තිබූ ස්ථානයේ රැස්ව සිටියහ. සොල්දාදුවන් පිරිසක් අපිරිසිදු නොගැඹුරු ජලයට පැන මළ සිරුර රැගෙන ආහ.’
‘ප්‍රභාකරන්ගේ සිරුර දුටු විගස සොල්දාදුවෝ අහසට වෙඩි තැබීමට පටන් ගත්හ. නිලධාරියකු එම සොල්දාදුවන් හික්මවීමට උත්සාහ කළ නමුත් ඔහුගේ වචන කිසිවකුට බලපෑමක් ඇති කළේ නැත.’
මෙම පුවත ලැබෙන විට ජෙනරල් සරත් ෆොන්සේකා සිටියේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේය. ෆොන්සේකාට දුරකතනයෙන් ගුණරත්න සිංහලෙන් පැවසුවේ, ‘මහ එකා ඉවරයි’ යන්නය.
හැඳුනුම්පතේ අනුක්‍රමික අංකය 001
ප්‍රභාකරන් මියයන විට ඔහුගේ වයස අවුරුදු 54කි. එම්.ආර්. නාරායන ස්වාමි මෙසේ ලියා තිබේ. ‘ඔහුගේ නළලේ විශාල තුවාලයක් තිබූ අතර ඉන් ඔහුගේ හිස කොටස් දෙකකට බෙදී තිබිණි. ඔහුගේ මුඛය විවෘතව තිබූ අතර ඔහුගේ දෑස් ඉහළට බලා සිටියේ ගොළු වූවාක් මෙනි. ඔහුගේ රැවුල සුදු පැහැති විය.’
‘මේජර් ජෙනරල් ගුණරත්න ඔහුගේ සිරුර ස්පර්ශ කරන විටත් එය උණුසුම්ව පැවැතිණි. ඔහුගේ නළලේ තිබූ තුවාලය හැර ඔහුගේ සිරුරේ වෙනත් කිසිදු වෙඩි උණ්ඩ ප්‍රහාරයක් නොතිබිණි. ප්‍රභාකරන් හමුදා නිල ඇඳුමක් ඇඳ සිටියේය. ඔහුගේ සාක්කු පරීක්ෂා කරන විට, අනුක්‍රමික අංක 001 සහිත එල්ටීටීඊ හැඳුනුම්පතක් හමුවූ අතර, එය 2007 ජනවාරි 01 වැනි දින නිකුත් කරන ලද්දකි.’
මේ හැරුණු විට ඔහු සතුව දියවැඩියා ඖෂධ කිහිපයක් ද තිබී ඇත. සිංගප්පූරුවෙන් මිලදීගත් මිදි සුවඳැති අත් ආලේපනයක් ද ඔහු සතුව තිබී හමු විය. ඔහුගේ හිසෙහි ගැඹුරු තුවාලය නිල් පැහැති රෙද්දකින් ආවරණය කර තිබිණි.
ගෝර්ඩ්න් වෙයිස් මෙසේ ලියා තිබිණි, ‘ප්‍රභාකරන් 12.7 මි.මී. උණ්ඩයකින් මියගිය බව හමුදා නිලධාරියක් මට කිව්වා.’
ශ්‍රී ලංකා හමුදා ප්‍රධානී ජෙනරල් ෆොන්සේකා ප්‍රභාකරන්ගේ නිල ඇඳුම ඉවත් කරන ලෙස නියෝග කළේය. ඔහුගේ තර්කය වූයේ, ශ්‍රී ලංකා සොල්දාදුවන් හැර වෙනත් කිසිවකුට හමුදා නිල ඇඳුම ඇඳීමට අයිතියක් නොමැති බවය.
ප්‍රභාකරන්ගේ දේහය හඳුනාගැනීම
‘ප්‍රභාකරන්ගේ දේහය හඳුනා ගැනීම සඳහා හිටපු එල්ටීටීඊ නායකයන් දෙදෙනකු වන කර්නල් කරුණා සහ දයා මාස්ටර් එහි යවන බව ෆොන්සේකා, ගුණරත්නට පැවැසීය’ යනුවෙන් නාරායන ස්වාමි ලියා තිබේ.
‘හිටපු කොටි සාමාජිකයන් දෙදෙනාවම හමුදා ගුවන් යානයකින් එතනට රැගෙන ආවේය. ප්‍රාණය නිරුද්ධ දේහය හඳුනාගැනීමට ඔවුන්ට තත්පරයක්වත් ගතවුණේ නැහැ.’
ප්‍රභාකරන්ගේ මරණයත් සමග, ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ පැවැති දෙමළ ඊළාම් සන්නද්ධ ව්‍යාපාරය සහ ලේ වැකි සිවිල් යුද්ධය අවසන් විය.
බීබීසී සිංහල










