වසර කිහිපයකින් කල්දැමුණු පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ නැවත වතාවක් රැස්වීමට සූදානම්ය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ කොමිසම රැස්වී මැතිවරණ දිනය තීරණය කිරීමට සැලසුම් කර තිබුණද එදින එම තීන්දුව ඔවුන් ගෙන තිබුණේ නැත. ඒ අනුව ලබන සතියේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට කොමිසම සූදානමින් සිටින බව දැනගන්නට ඇත.Sri Lanka Latest News
කෙසේ වෙතත් සියලු පක්ෂ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කොට ඇති බවක් මේ වනවිට දැකගන්නට පුළුවන. විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය වශයෙන් සජබය දැනටමත් නාමයෝජනා මණ්ඩල කැඳවා ඒ ඒ දිස්ත්‍රික්කවල පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු සිදුකොට අවසානය. එමෙන්ම විපක්ෂ නායක සජිත් සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දැනටමත් රට වටා යමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කොට ඇති බවක් දැකගන්නට පුළුවන. එමෙන්ම පසුගිය සතියේ සජිත් පළාත් පාලන මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ට දින දෙකක වැඩමුළුවක් පැවැත්වීමට පියවර ගත්තේය.
නමුත් මෙහිදී දැකගන්නට ඇති විශේෂ සිදුවීම වන්නේ එක්සත් ජාතික පක්ෂය විශාල ගැටලුවකට මුහුණ දී තිබීමය. ඒ, ඔවුන්ට එජාපයෙන් ගමට ඉදිරිපත් කිරීමට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති නිසාය. මේ බව කල් තියාම වටහාගෙන සිටි රනිල් සැලසුම් කොට තිබුණේ කෙසේ හෝ සජබය සමග සාකච්ඡා ආරම්භ කොට පක්ෂ දෙක එකට ගැටගසා එජාප අපේක්ෂකයන්ද සජබ ලැයිස්තුවෙන්ම පුංචි ඡන්දයට ඉදිරිපත් කිරීමටය. ඒ හරහා එජාපයට ගමේ අපේක්ෂකයන් හොයාගැනීමේ නොහැකියාව වසාගැනීම රනිල්ගේ සැලසුම වී තිබිණි. නමුත් මේ වනවිට සජබය සහ එජාපය එක්ව තරගවදින සැලැස්ම අවසන් වී ගොස් සජබය තනිවම පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට තීන්දු කොට අවසානය. ඒ අනුව මේ වනවිට එජාපය සිටින්නේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි තත්ත්වයකය.
අනෙක් අතට මෙවර මැතිවරණයට අපේක්ෂකයන් තේරීමද ලේසි පහසු නැත. එහි යම් කෝටාවක් අනිවාර්යයෙන්ම කාන්තාවන්ට වෙන්කළ යුතුය. තරුණයන්ට වෙන්කළ යුතුය. සජබයට එහි ප්‍රශ්නයක් නැති වුවත් ගමේ ඉන්න තරුණයන් හෝ කාන්තාවන් එජාපයෙන් නාමයෝජනා ඉල්ලන පාටක් හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් හෝ පවතින ආකාරයක් දක්නට නැත. මේ හේතුව මත එජාප සජබ සාම සාකච්ඡා කමිටුවල සිටි ඇතැම් එජාප ප්‍රධානීන් සජබ මන්ත්‍රීවරුන්ට දිගට හරහට මේ දිනවල දුරකතන ඇමතුම් දෙමින් යළි එකතු වීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටින ආකාරයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමෙන්ම බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇති එජාපයේ යම් යම් පුද්ගලයන් මේ දිනවල සාම නියෝජිතයන්ට ඇඳ සජබ ඔස්තාර්ලාගේ නිවෙස්වලට යමින් මධුවිත තොලගාමින් යම් යම් සාකච්ඡා සිදුකරන බවත් අපට ආරංචිය. ඔවුන්ගේ එකම ඉල්ලීම වී ඇත්තේ කුමක් හෝ සිදුකොට මේ පක්ෂ දෙක යළි එකතු කරන ලෙසත්, එසේ නොවුණහොත් එජාපයේ අවසානය සනිටුහන් වීම වැළැක්විය නොහැකි බවත්ය. එමෙන්ම රනිල්ද පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස එජාප සභාපති වජිරට දැනුම් දී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.










