මධුසමය අවසන් වී ආණ්ඩුව ඇතුළේ මේ ආකාරයට එකින් එක ප්‍රශ්න මතුවෙමින් පවතින පසුබිමක ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය නම් මේ වනවිට සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමග පැවැති ප්‍රශ්න එකින් එක විසඳාගෙන සමගියට අවශ්‍ය වටපිටාව සකසා ගනිමිනි. මේ සඳහා මූලික අඩිතාලම වැටුණේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බෝ ක්ලබ්හි සජිත් සහ එජාප නායකයන් වන රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම් හා නවීන් දිසානායක අතර පැවැති සාකච්ඡාවකිනි. ඉන් අනතුරුව එහිම සාගල රත්නායක සහ සජිත් අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. පසුව එජාපය සහ සමගි ජන බලවේගය සිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පවත්වා මේ සාකච්ඡාවල ප්‍රගතිය සිය පක්ෂවලට දැනුම් දීමටද පියවර ගෙන තිබිණි.Sri Lanka Latest News
ඉන් අනතුරුව පක්ෂ දෙකේ එකමුතුව සම්බන්ධයෙන් ලොකුවට කතා නොවුණු නිසා බොහෝ දෙනා තැන් තැන්වල ‘කෝ දැන් සාකච්ඡා ඉවරද? පක්ෂ දෙක එකතු වෙන්නේ නැද්ද? මේ පාරත් බොරුවක්ද වෙන්නේ?’ යනුවෙන් ප්‍රශ්න කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ ආකාරයට තැනින් තැන බොහෝ දෙනා ප්‍රශ්න කරද්දී පසුගිය සතියේ අප ‘මව්රට’ පුවත්පත ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ පක්ෂ දෙකේ සමගිය මුල් කරගෙන තවත් විශාල පිම්මක් පැනීමට සජිත් සූදානමින් සිටිනවා යැයි කියාය. අප එම පුවත පළකළේ තවත් සුවිශේෂ හමුවක් සම්බන්ධයෙන් ඒ වනවිටත් වටින් ගොඩින් අප වෙත තොරතුරු වාර්තා වී තිබීම නිසාය.
සජිත් මේ සාකච්ඡා ආරම්භ කොට ඉදිරියට ගෙන ගියේ ඔහුගේම ශෛලියකට අනුව මිස වෙන කාගේවත් වුවමනාවකට හෝ වෙන කාගේවත් බලපෑමකට හෝ වෙන කාගේවත් ශෛලියකට අනුව නොවේ. සාමාන්‍යයෙන් රනිල්ගේ ශෛලිය ලෙස බොහෝ දෙනා හඳුනාගෙන තිබෙන්නේ යම් ගැටලුවක් පැමිණි වහා ඊට ඉක්මන් විසඳුම් සපයනවා වෙනුවට කල් මරමින්, කමිටු පත්කරමින්, බොරු පුවත් පැළකරමින්, ගේම් ගසමින්, කකුලෙන් අදිමින් කටයුතු කරන ආකාරයකි. නමුත් සජිත් එසේ නොවේ. සජිත් කටයුතු කරන්නේ අවංකවය. ගේම් ගැසීම් සජිත්ගේ න්‍යාය පත්‍රයේ නැත. පක්ෂ දෙකේම බිම් මට්ටමේ සිටින පාක්ෂිකයන්ගේ අදහස් හොඳින් වටහා ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක වීම සජිත්ගේ සිරිතය. සජිත්ගේ ඇත්තේ සෙමින් සෙමින් පියවරෙන් පියවර ඉදිරියට යන ගමනකි.
සජිත්-තලතා හමුවක්
ඒ අනුව පසුගිය සතියේ සජිත් හිටිහැටියේම අප කළ අනාවරණයට අනුවම තවත් විශේෂ පිම්මක් පනිමින් එජාපයේ මහලේකම්වරිය වන තලතා අතුකෝරල මහත්මිය සමග හමුවක් පැවැත්වීමට කටයුතු කළාය. එයද පැවැත්වුණේ ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බෝ ක්ලබ්හිය. ඊට තලතාට අමතරව රුවන්, අකිල, සාගල සහ නවීන් සහභාගි වී සිටි අතර, සජිත්ට අමතරව ඊට සජබ මහලේකම්වරයා වන රංජිත් මද්දුමබණ්ඩාරද එක්ව සිටියහ. මෙම හමුවේ විශේෂත්වය වූයේ එවැන්නක් පවත්වන බවට පක්ෂ දෙකේම අතළොස්සක් හැරෙන්නට වෙනත් කිසිවකුත් දැන නොසිටීමය.
ඉතා සුහදශීලී ආකාරයට පක්ෂ දෙකේම මහලේකම්වරුන් සමග පැවැත්වූ මෙම හමුව ඉතා සුවිශේෂ එකක් වූ අතර අතිශය වැදගත් කාරණා රැසක්ම එහිදී සාකච්ඡාවට ගැනිණි. ඉන් ප්‍රධාන එකක් වූයේ හැකි ඉක්මනින් පක්ෂ දෙකම එකතු වී කුමක් හෝ වැදගත් අවස්ථාවක් සංවිධාන කළ යුතු බවය. ඒ සඳහා යම් යම් යෝජනාද පක්ෂ දෙකේම නියෝජිතයන්ගෙන් ඉදිරිපත් වූ ආකාරයද දැකගත හැකි විය. නමුත් මෙහිදී සජිත්ගේ ස්ථාවරය තරමක් වෙනස් එකක් විය.
‘කලබල වෙන්න එපා. අපි මේ ඔක්කොම කරන්න ඕනේ මේ පක්ෂ දෙකේ එකමුතුවට හානියක් නොවන විදියට. අපි හෙමින් හෙමින් මේ වැඩ ටික ඉස්සරහට අරගෙන යමු…’ යනුවෙන් සජිත් කියද්දී නවීන් ඉදිරි මැතිවරණයකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළේය.
‘ඡන්දයක් ආවොත් අපි දෙපැත්තෙන්ම නියෝජිතයො දාලා නොමිනේෂන් දෙන්න පුළුවන් කමිටුවක් හදන්න ඕනේ….’ යනුවෙන් නවීන් යෝජනා කරද්දී වහාම ඊට ප්‍රතිචාර දැක්වූ සජිත් නැවතත් කියා සිටියේ එවැන්නකදී බිම් මට්ටමේ යථාර්ථය තේරුම් ගෙන නාමයෝජනා සකස් කළ යුතු බවකි.
‘අපි නොමිනේෂන් ලිස්ට් හදද්දී ග්‍රවුන්ඩ් එකේ රියැලිටි එක තේරුම් ගන්න ඕනේ. පාර්ලිමේන්තු නියෝජනය දිහා බලන්න ඕනේ. ඒකට අනුව තමයි නාමයෝජනා බෙදිලා යන්න ඕනේ. හැබැයි අපි මේවට හදිසි වෙන්න ඕනෙ නෑ. මොකද තාම ඡන්දයක් ගැන කිසිම කතාවක් නෑ. අපි මුලින්ම කරන්න ඕනේ බිම් මට්ටමේ අපේ ඉන්න පාක්ෂිකයෝ එකතු කරන එක. ඔවුන්ගේ මානසික මට්ටම ජයග්‍රාහී තලයකට අරන් එන එක. ඊට පස්සේ අපිට පුළුවන් එතැනින් ඉස්සරහට යන්න…’ යනුවෙන් සජිත් කියද්දී නවීන් ඇතුළු කණ්ඩායම ඊට එකඟතාව පළ කළහ. ඒ අනුව සාකච්ඡාවේදී කතාබහට ලක්වූ කරුණුවලට සියලු දෙනාගෙන්ම යහපත් ප්‍රතිචාර ලැබුණු ආකාරයක් දැකගත හැකි විය.
මෙන්න තවත් අනාවැකියක්
ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් තවත් විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානම්ය. එනම් පක්ෂ දෙකේ සමගිය රටට පෙන්වනු වස් ඉදිරි සති දෙක, තුන තුළ දැවැන්ත එකක් නොවුණද යම් සිදුවීමක් අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිත බවය. පක්ෂ දෙකේම නියෝජිතයන් ඒකාබද්ධව යම් වැඩසටහනක් සිදුකිරීමට නියමිත නමුත් මේ අවස්ථාවේදී එය කුමක්ද යන්න කීමට දැන්ම අපට තොරතුරු නැත. එසේ වුවත් එවැනි අවස්ථාවකට දෙපාර්ශ්වයම මේ වනවිට එකඟතාව පළකොට තිබේ.
එමෙන්ම නායක මට්ටමේ සාකච්ඡා හෙට අනිද්දා පැවැත්වීමේ සූදානමක් නොමැති බවද මෙහිදී සඳහන් කළ යුතුය. එවැන්නක් සිදුවනු ඇත්තේ ආණ්ඩුව ඡන්ද සිතියම දිගහරින කාල වේලාව අනුවය. එවැනි අවස්ථාවකදී තීරණාත්මක සාකච්ඡා පක්ෂ නායකන් අතර සිදුකිරීමටත්, එජාපය සහ සජබය එක්වීමේ කලඑළි මංගල්‍යය ජයටම පැවැත්වීමටත් දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ ඇති බවක් ආරංචිය. නමුත් මෙම සම්ප්‍රදායන් නොදන්නා අතළොස්සක පිරිසක් පක්ෂ දෙකේම නැතුවා නොවේ. එම නිසා විවිධ තැන්වල එම පිරිස් විවිධ කතා කියා සිටියද, ඒවා මායිම් නොකර සිටීම පක්ෂ දෙකටම සුබය.
සූත්තර පුංචලා
අප මෙසේ කියන්නේ පක්ෂ දෙකේ මේ සමගිය, එකමුතුව නුරුස්නා කිහිපදෙනකු පමණ එජාපය ඇතුළේ මෙම සමගිය කඩාබිඳ දැමීමට මාන බලමින් සිටින නිසාය. අප ඊට උදාහරණ පසුගිය වසර ගණනාව පුරාම ඇති තරම් ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට කටයුතු කර ඇත්තෙමු. මෙවර ද මෙම සමගිය කඩාබිඳ දැමීම සඳහා එජාපයේ සිටින සූත්තර පුංචලා හතර දෙනකු පිළිබඳ අප වෙත තොරතුරු වාර්තා වී ඇතත්, මේ අවස්ථාවේදී පක්ෂ දෙකේ සමගිය පිළිබඳ දහසක් බලාපොරොත්තු තබා සිටින පාක්ෂිකයන් ගැන සිතා අපි ඔවුන් හතර දෙනා පිළිබඳ වැඩිදුර තොරතුරු මේ අවස්ථාවේ වාර්තා කිරීමට කටයුතු කරන්නේ නැත. නමුත් යම් තීරණාත්මක අවස්ථාවක් පැමිණියහොත් ඒ අවස්ථාවේදී මේ හතර දෙනාගේ නම්ගම් සහිතව ඔවුන් තැන් තැන්වල කළ කුමන්ත්‍රණ, කකුලෙන් ඇදීම්, කළ ගේම් ගැසීම් ආදී සියල්ලම එකින් එක හෙළිදරව් කිරීමට අප සූදානම්ය.
පසුගිය සතියේ සජිත් සහ තලතා අතර පැවැති සුබදායී සාකච්ඡා වටයෙන් පසු මේ එක සූත්තර පුංචෙකු පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වන නාමල් රාජපක්ෂට දුරකතන ඇමතුමක් ලබාදීමට කටයුතු කොට තිබිණි. එම දුරකතන ඇමතුමේදී මේ එජාප සූත්තර පුංචා නාමල්ට දැනුම් දී ඇත්තේ එජාපය සජබය සමග නොව එජාපය පොහොට්ටුව සමග එකතු කළ යුතු යැයි කියාය.
‘දැන් මේ එජාපයයි සජබයයි එකතු කරන්න හදනවා. මේ පක්ෂ දෙක නෙවෙයි එකතු වෙන්න ඕනේ. අපි කැමැතියි පොහොට්ටුවත් එක්ක එකතු වෙලා දේශපාලන ගමනක් යන්න. පොහොට්ටුවත් එක්ක සන්ධානගත වෙන්න.’ යනුවෙන් කියමින් මේ සූත්තර පුංචා නාමල් ඉදිරියේ දිගින් දිගටම බැගෑපත් වෙද්දී නාමල් ඔහුට දී ඇත්තේ මීට පෙරාතුව මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ දුන් පිළිතුරමය.
‘එජාපයටයි පොහොට්ටුවටයි එකතු වෙලා යන දේශපාලන ගමනක් නෑ. එජාපය එකතු වෙන්න ඕනේ සජබය එක්ක. එතකොට තමයි දෙගොල්ලන්ටම වාසි. ඒ හින්දා ඔබතුමාලයි අපියි එකතු වෙන එක නම් කීයටවත් වෙන්නේ නෑ. එහෙම එකතු වුණොත් අපේ පක්ෂ දෙකම නැති වෙනවා….’ යනුවෙන් නාමල් දී තිබූ පිළිතුරෙන් සූත්තර පුංචා ගහන්නට ගිය අලුත්ම ගේමද කඩාකප්පල් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.
මේ සූත්තර පුංචාට අමතරව එජාපයේ සිටින තවත් සූත්තර පුංචෙක්ද සජබ-එජාප එකතුව කැඩීම සඳහා එජාපය ප්රතිසංවිධාන කරන බව කියමින් ලොකු ෂෝ එකක් දමන්නට පටන්ගෙන ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. මෙම ෂෝ එක පෙන්වා මේ සූත්තර පුංචාගේද අරමුණ වී ඇත්තේ සජබ එජාප එකමුතුව කඩා එජාප සාමාජිකයන් වෙනමම තබාගැනීමය. මොහුට අමතරව තවත් දෙදෙනෙක්ද මේ එකමුතුවට අකුල් හෙළන එජාප කණ්ඩායමේ සිටී. දැනට අප මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලියන්නේ නැති වුණත්, වෙලාවක් ආ සැණින් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය.










