රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ තිරය පිටුපස දේශපාලන රහස් කිහිපයක් හෙළිකිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා කටයුතු කළා. සිය යූටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ගම්මන්පිල මහතා දැක්වූ එම අදහස් දැක්වීම පහත පළකරමු. Sri Lanka Latest News
මේ සතිය උණුසුම් කරපු මාතෘකාවක් තමයි ඔන්ලයින් ව්‍යාපාර සිදුකරන අයට අලුතෙන් බද්දක් පැනවීම. මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද?
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තමයි 2022 ඉඳන් මේ ආණ්ඩුව බලයට ගේන්න දැවැන්ත කාර්යභාරයක් කළේ. ඒ නිසා ඒ අයට හොඳට කළගුණ සලකලා කියලා මේ දවස්වල සමාජ මාධ්‍යවල පළවෙනවා. එහෙම නැතත් දැනට ලංකාවේ නිල ගිණුම්වලට එන මේ ඩොලර් අපේ බැංකු ක්‍රමයෙන් බැහැරව නැවත උන්ඩියල් වැනි ක්‍රමවලට තල්ලු වීමක් මේ හරහා වෙයි කියලා බියක් ආර්ථික විද්‍යාඥයන් පළකරලා තියෙනවා. මේ බද්ද අපේ දැවැන්ත විදේශ විනිමය කළු වෙළෙඳ පළක් තියෙන රටක් විදියට මෙය ප්‍රඥා ගෝචර තීන්දුවක් නොවෙයි කියන එක තමයි මේ වනවිට බොහෝ විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ. හැබැයි ඔය බද්දත් එක්ක මම වෙන දෙයක් දැක්කා. සුනිල් හඳුන්නෙත්ති ඇමැතිතුමා කියනවා මම මේ බද්දට විරුද්ධයි කියලා. මේක පළමු අවස්ථාව නෙවෙයි. මීට කලිනුත් දෙවතාවක් හඳුන්නෙත්ති ඇමැතිතුමා මුදල් අමාත්‍යාංශය විවේචනය කරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය තියෙන්නේ ජනාධිපතිතුමා යටතේ. ඒ කියන්නේ මේක ඍජුවම ජනාධිපතිවරයා විවේචනය කිරීමක්.
ඒ කාලේ හඳුන්නෙත්තිව හැමෝම හැඳින්නුවේ ‘මාලිමා ආණ්ඩුවේ වෙන්න මුදල් ඇමැති’ කියලා. අනුර ජනපති වුණා. විජිත විදේශ ඇමැති වුණා. ඒ වගේමයි කිව්වේ හඳුන්නෙත්ති මුදල් ඇමැති කියලා. හැබැයි ඒක වුණේ නෑ. මට ආරංචි විදියට නම් හඳුන්නෙත්ති තමයි මේ අයගේ තෝරාගැනීම වුණේ. ඔහු කෝප් කමිටුවේ සභාපති වුණා. අයවැය ගැන ජවිපෙ මතය ගැන රටට කියන්නේ හඳුන්නෙත්ති. එහෙම කෙනාට මුදල් ඇමැතිකම නොදුන්නේ ඇයි? අපි දැක්කා ඔහු අන්තිම කාලේ බරපතළ කටවරද්දා ගැනීම් ටිකක් කළා නේ. අයි.එම්.එෆ්. ණය සම්බන්ධයෙන්. ණය ගෙවාගන්න බැරිවුණොත් අපි ගිහිල්ලා කියනවා මචං ගෙවාගන්න විදියක් නෑ කියලා. එතකොට ඒගොල්ලෝ පිටට තට්ටුවක් එහෙම දාලා හරි මචං ඕවා ගණන් ගන්න එපා වගේ කතා ටිකක් කිව්වනේ. බලයට ආපු ගමන් පෙට්‍රල් ඩීසල් රුපියල් 150ට දෙනවා කිව්වා. මේ වගේ කට වරද්දාගැනීම් නිසා මාලිමාව පැත්තෙන් ආවා පීඩනයක් සුනිල් හඳුන්නෙත්තිට මුදල් අමාත්‍යාංශය දෙන්න එපා කියලා. ඔහු පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨයෙක් නිසා ඔහුට ඒක දෙන්නේ නැත්නම් ඒක වෙන කෙනකුට දෙන්න විදියකුත් නෑ. ඒ නිසා තමයි ජනාධිපතිවරයා ගාව ඒක තියාගත්තේ. එතකොට හඳුන්නෙත්තිගේ සිත් රිදීම නැතිවෙයි කියලා. නමුත් දැන් මුදල් අමාත්‍යාංශයට එල්ල කරන ප්‍රහාරයත් එක්ක නම් පේන්නේ සිත රිදවීමක් නැතිවෙයි කියලා හිතුවට බරපතළ සිත් රිදවීමක ඉන්න බව.
ඒ වගේමයි ලාල්කාන්ත ඇමැතිමා. එතුමා අනුර, විජිත දෙන්නටත් වඩා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක්. හැබැයි බිමල් රත්නායක සභානායක වෙනවා. 2015දී පළමු වතාවට පාර්ලිමේන්තුවට ආපු නලින්ද ජයතිස්ස ඇමැතිතුමාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කරනවා. හැබැයි ජ්‍යෙෂ්ඨ ලාල්ට මොනවත් නෑ.
ලාල් ඇමැතිතුමා උත්සව අවස්ථාවලත් වැඩිය දකින්න නෑ. නිදහස් දින උත්සවයෙදිත් එතුමාව දකින්න ලැබුණේ නෑ?
හරියටම හරි. මමත් ඒක නිරීක්ෂණය කළා. නිදහස් උත්සවයට ඉස්සර බැසිල් රාජපක්ෂ මහත්තයත් යන්නේ නෑ. මොකද, එතැන ප්‍රොටකෝල් එකක් (ධුරාවලියක්) තියෙනවනේ. ජ්‍යෙෂ්ඨයා වෙන්නේ ජනාධිපති, අගමැති, සභානයක. හැබැයි සභානායක වෙන්නේ ලාල්ට වඩා කනිෂ්ඨ බිමල්. ඊට පස්සේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක. ඊටත් පස්සේ තමයි අනිත් ඇමැතිවරු වාඩිවෙන්නේ. තමන් එතකොට කැපිලා කියලා ප්‍රදර්ශනය වෙන නිසා තමයි ලාල් ඇමැතිතුමා ඒකට ආවේ නැත්තේ. ඒ නිසා ලාල් ඇමැතිතුමත් ඉන්නේ අසහනයෙන්. ඒ අසහනයත් හිටපු ගමන් පිටවෙනවා අපි දකිනවා.
හරිනි අගමැතිතුමිය ප්‍රමුඛ මාලිමාව සහ අනුර ජනාධිපතිතුමා ප්‍රමුඛ ජවිපෙ අතර ගැටුමක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. ජවිපෙ ඇතුළෙත් ගැටුමක් තියෙනවා කියලා ඔබතුමා හිතනවද?
මේක එළියට ආපු නැති කතාවක්. ජවිපෙ ඇතුළේ ගැටුම තියෙනවා. හැබැයි ඔබ කියනවා වගේ ඊට වඩා උග්‍ර ගැටුමක් තියෙනවා ජවිපෙ සහ මාලිමාව අතර. අගමැතිනිය හිතනවා එක පැත්තකින් ‘මම ආචාර්ය හරිනි අමරසූරිය. විශ්වවිද්‍යාලවල මගෙන් ඉගෙනගත්ත ගෝලයෝ තමයි ඉන්නේ. මුන් එනවා මට කියලා දෙන්න…’ කියලා. ඇයි අගමැතිතුමිය කියලා නෑ, අගමැතිතුමියගේ මාධ්‍ය නිවේදන පැලවත්තෙන් අනුමත කරගත යුතුයි කියලා නීතියක් දැම්මනේ. එතකොට අගමැතිනිය හිතනවා ‘මම රටේ දෙවැනි පුරවැසියා. පැලවත්තේ ඉන්න නන්නාඳුනන එකෙක්කේ අනුමැතියකින් තොරව මට මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න බෑ’ කියලා. කොට්ටහච්චි මන්ත්‍රීතුමිය කිව්වා, අගමැතිතුමිය එහෙම නොකිව්වට එතුමිය දැන් ඉන්නේ අර්බුදයක. ඇමෙරිකාව මේ මාලිමා ආණ්ඩුව බලයට ගේන්න මේ තරම් කැපවීමක් කළේ ටිල්වින් සිල්වා වැනි චරිත, බිමල් වැනි චරිත චීනයත් එක්ක ප්‍රබලව බැඳීසිටියදී මේ අය බර තැබුවේ ‘අවුරුදු 20ක් විතර අපෙන් අරමුදල් ගත්ත අපි සිතන පතන දේ හොඳට දන්න, අපිට ඕනේ විදියට සුවච කීකරුව වැඩකරන හරිනි අපේ එකී, එයා අගමැති නිසා මේ ආණ්ඩුව අපිට හොඳයි’ කියලා. හැබැයි දැන් බලාගෙන යනකොට ‘අපේ එකී’ රටේ දෙවැනියා වුණාට අඩුම ගානේ මාධ්‍යයට තමන් කැමැති දෙයක් කියාගන්නවත් නිදහසක් අවසරයක් නෑ. ඒ නිසා අද ඇමෙරිකාවත් අසතුටින්. හරිනි අගමැතිතුමියත් අසතුටින්. ලාල් හඳුන්ලත් අසතුටින්. ජනාධිපතිතුමාවත් සතුටින් ඉන්නවද දන්නේ නෑ.
මේ ඔන්ලයින් බද්ද එකපාරටම කොහෙන්ද ආවේ? අයවැය කතාවෙදිවත් මෙහෙම දෙයක් කියනවා ඇහුණේ නෑනේ?
බි්‍රතාන්‍යයේ හිටපු අගමැතිවරයෙක් මීට අවුරුදු 160කට කලින් කියලා තියෙනවා සංඛ්‍යාලේඛනවලින් තරම් වෙන කිසිම දේකින් මිනිස්සු රවට්ටන්න බෑ කියලා. මේ අයවැය කළෙත් එහෙමයි. සාම්ප්‍රදායිකව නම් අයවැය කතාවක, විසර්ජන පනතේ පළමු කියවීම කියන්නේ ආදායම මෙච්චරයි, වියදම මෙච්චරයි, පරතරය මෙච්චයි කියලා කියන එක. ඒ පරතරය පියවාගන්න ආණ්ඩුව ඉදිරිපත් කරන ආදායම් යෝජනාවලට තමයි අයවැය කතාව කියලා කියන්නේ. ඒ කාලේ රොනී ද මැල් මැතිතුමා අයවැය කියවද්දී මුළු රටම වැඩ නතර කරලා රූපවාහිනී, ගුවන් විදුලිය ගාවට එනවා. මොකද මොන බදුද වැඩිවෙන්නේ, මොන බදුද අඩුවෙන්නේ කියලා දැනගන්න. ඒ අවුරුද්දටම එච්චර තමයි. ආයෙත් අවුරුද්ද ඇතුළත් වෙනස් වෙන්නේ නෑ. දැන් මෙදාපාර ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට, මම හිතන විදියට ලෝක ඉතිහාසයෙත් ප්‍රථම වතාවට මුදල් ඇමැතිවරයෙක් තමන්ගේ අයවැයක් ඉදිරිපත් කරනවා, මේ පරතරය පියවන විදිය ගැන කිසිම යෝජනාවක් ඉදිරිපත් නොකර. හරියට මනමාලි නැති මඟුල් ගෙයක් වගේ. මොකද අයවැය යෝජනා එකක්වත් තිබුණේ නෑ.
හැබැයි එතැන කළා කපටි වැඩක්. මෙවර අයවැයේදී රුපියල් බිලියන 900කින් ආදායම වැඩිවෙනවා කියනවා. දැවැන්ත ඉලක්කයක්. ටි්‍රලියන 4ට තිබ්බ එක ටි්‍රලියන 4.9 දක්වා වැඩිවෙනවා කියලා පෙන්නුම් කරලා තියෙනවා. හැබැයි වැඩිවෙන්නේ කෙසේද කියලා කිව්වේ නෑ. හැබැයි අයවැය කතාවත් එක්ක තියෙනවා ඇමුණුම් තොගයක්. ඒකේ ගොඩක් වෙලාවට තියෙන්නේ අයවැය යෝජනාවක් ඉදිරිපත් කළාම ඒකේ ආදායම වැඩිවෙන විදිය ගණන් හදලා පෙන්වනවා. මෙතැන වැඩිවෙන බදු ටික තිබ්බේ ඇමුණුම්වල. ඇමුණුම් කියවන්නේ නෑනේ. ඇමුණුම් සභාගත කරනවා, අනුමත වෙනවා. හැබැයි මේ ඔන්ලයින් බද්ද ඇතුළු ඔය තිබ්බ ආදායම් යෝජනා ටික දැන් පනත් විදියට එළියට එනවා.
පෙබරවාරි 21 වැනිදා ගැසට් මගින් ප්‍රසිද්ධ කරලා තියෙනවා අලුත් පනත් දෙකක්. එක පනතක් තමයි දෙශීය ආදායම් සංශෝධන පනත. ඒ පනතෙන් තමයි 15% ඔන්ලයින් බද්ද පනවලා තියෙන්නේ. ඒ වගේම තව පනතක් ගෙනල්ලා තියෙනවා එකතු කළ අගය මත බදු පනත කියලා. මේ පනතින් ලංකාවේ ජීවත් නොවන පුද්ගලයෙක් ලංකාවට ඇවිල්ලා මොකක් හරි සේවාවක් සැපයුවොත් දැනට වැට් බද්දෙන් නිදහස්. එතකොට ආණ්ඩුව ඡන්දේ කාලේ නම් කිව්වේ වැට් බදු අඩුකරනවා කියලා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ ආහාර මත තියෙන වැට් බදු අඩුකරනවා කියලා. නමුත් කිසිම වැට් බද්දක් අඩු කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ ජීවත් නොවෙන පුද්ගලයෙක් ලංකාවට ඇවිල්ලා යම් සේවාවක් සපයනවා නම් එයාගේ සේවාවට දෙන මිලට 18%ක වැට් බද්දක් එකතු කළ යුතුයි කියලත් යෝජනා කරලා තියෙනවා. මේ නීති දෙකම ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ සම්මත වීමට නියමිතයි.
මේ විදියේ සැඟවුණු පනත් ඉදිරියේදී තවත් එන්න පුළුවන්කම තියෙනවා නේද?
අනිවාර්යයෙන්ම. වාහන ආනයනය පිළිබඳ මේ වනවිට තිබෙන තොරතුර තමයි, වාහන මිල දැඩි ලෙස ඉහළ යෑමෙන් බලාපොරොත්තු වෙච්ච ඉල්ලුම වාහනවලට ඇතිවෙලා නෑ. එතකොට ඒ ආදායම සපුරා ගන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා අලුත් බදු හඳුන්වා දෙන්න. මේ වාහන ආනයනය හරහා ඩොලර් බිලියන 1.2ක් රටෙන් පිටතට යෑම, ඒ කියන්නේ රුපියල් බිලියන 300කට මඳක් වැඩි ප්‍රමාණක්. ඒ නිසාම රුපියල් බිලියන 600ක දැවැන්ත බදු ආදායමක් මේ හරහා ආණ්ඩුවට ලැබේවි කියලා ඔවුන් පුරෝකථනය කරලා තිබුණා. නමුත් වාහනවල මිල දැවැන්ත ලෙස ඉහළ යෑම නිසා අද බොහෝ දෙනකුට අලුත් වාහනයක් මිලදී ගැනීමේ සිහිනය බොඳවෙලා තියෙනවා. ඒ නිසා මේ ඉල්ලුම බලාපොරොත්තු වුණු ආකාරයට සිදු නොවුණොත් ආණ්ඩුවට අලුත් බදු හඳුන්වා දීලා තමන්ගේ ආදායම් ඉලක්ක සපුරාගන්න සිදුවේවි. මොකද අයි.එම්.එෆ්. වැඩසටහන යටතේ තවදුරටත් ණය ගන්න බැරි නිසා අනිවාර්යයෙන්ම මේ අයට සිද්ධ වෙනවා අලුත් බදු හඳුන්වාදෙන්න. තාම කල් වැඩියි වාහන මිලදී ගැනීම හරහා කෙතරම් බදු ආදායමක් ලබයිද කියලා කියන්න. මොකද තාම ඒක පටන්ගත්තා විතරනේ. දැන් තියෙන තත්ත්වය නම් ආණ්ඩුවට එච්චර හොඳ මදි.
ඔබතුමා බෞද්ධ නායකයෙක් විදියට ප්‍රසිද්ධියක් උසුලන කෙනෙක්. බෞද්ධ නායකයෙක් විදියට ඔබට සතුටුවෙන්න පුළුවන්ද ජනාධිපතිතුමා දළදා ප්‍රදර්ශනයක් සංවිධාන කිරීම ගැන?
වසර 16කට පසු දළදා ප්‍රදර්ශනයක් සිදුවීම සතුටුයි. ඒ පින්කම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි එතුමා ප්‍රකාශයක් කළා මතක ඇති ‘තක්කඩියාගේ අවසාන නවාතැන්පළ ආගමයි’ කියලා. එහෙව් ජනාධිපතිතුමා දළදා ප්‍රදර්ශනයක් ඉල්ලා සිටියේ ඇයි. ඔය පරණ ප්‍රකාශවලට වඩා මේකේ යටි අරමුණක් තියෙනවා. අපේ රට දැවැන්ත නියඟයකට මුහුණපාලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔනෙම අවුරුද්දක ජනවාරි, පෙබරවාරි, මාර්තු කියන්නේ පායන කාලයක්. ගෝඨාභය ජනාධිපතිතුමාට බලශක්ති අර්බුදයට මුහුණ දීලා ගෙදර යන්න වුණේ පායන කාලේ විදුලිය ලබාදීමට බැරිවීම නිසානේ. එතකොට ඔය පෑවිල්ල බක්මහෙන් අවසන් වෙනවා. නමුත් මෙවර ඒක අප්‍රේල් අග දක්වාම යාවි කියලා කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළකරලා තියෙනවා. ඒ වගේම අවුවේ තියෙන සැර නිසාම ජලාශ වේගයෙන් හිඳිලා විදුලි බිල වැඩිකිරීමට සිදුවෙන මට්ටමක් තියෙනවා. එතකොට විදුලි බිල වැඩිවෙනකොට රටේ ඇතිවෙනවා අරගලයක් මේක ශාපයක්, මෙහෙම නියඟයක් ආවේ රජාගේ අභාග්‍යය නිසා කියලා. ඒ නිසා ඒකෙන් ගැළවෙන්න තමයි මහානායක ස්වාමින්වහන්සේලා හමුවෙලා දළදා ප්‍රදර්ශනයක් පවත්වන්න කියන ඉල්ලීම එතුමා කළේ. මොකද අපේ රටේ ජනතාවගේ විශ්වාසයක් තියෙනවා දළදා ප්‍රදර්ශනයක් පැවැත්වුවොත් අනිවාර්යයෙන් වහිනවාම තමයි කියලා. ඒ ගැන මටත් අත්දැකීමක් තියෙනවා.
2009 යුද ජයග්‍රහණයෙන් පස්සේ පැවැත්වුණු දළදා ප්‍රදර්ශනය වෙලාවේ ලංකාවේ හිටියා නෝර්වේ තානාපතිවරයෙක් ටෝර් කියලා. එදා උදේ දළදා උදේ දළදා ප්‍රදර්ශනයට සහභාගි වෙලා එන ගමන් නෝර්වේ තානාපතිවරයාට චම්පික රණවක ඇමැතිතුමා කියලා තිබුණා අද අනිවාර්යයෙන් වහිනවා කියලා. එතකොට දීර්ඝ කාලයක් තිස්සේ වියළි කාලගුණයක් රටේ තිබුණේ. තානාපතිවරයා ඒකට හිනාවෙලා කියලා තියෙනවා ඔබේ රටේ තියෙන මිථ්‍යා විශ්වාස ගැන පුදුමයි කියලා. හැබැයි එදා උදෑසන දළදා ප්‍රදර්ශනය බලලා, චම්පික ඇමැතිතුමා කොළඹ ආවා. තානාපතිවරයා එදා නුවර නතර වුණා. හවස් වෙනකොට දැවැන්ත වර්ෂාවක් ඇතිවුණා දීර්ඝ කාලයක් පැවැති නියඟය නිමා කරමින්. එතකොට හවස චම්පික ඇමැතිතුමයි මමයි සාකච්ඡාවක ඉන්න අතරේ ටෝර්, ඇමැතිතුමාට දුරකතනයෙන් කතා කරලා කිව්වා ‘මම වැරැදියි, ඔබ හරි, මෙන්න දැන් නුවරට වහිනවා, මම ක්වීන්ස් හෝටලයේ ඉඳන් වැස්ස දිහා බලාගෙන තමයි ඔබට මේ කතාකරන්නේ’ කියලා. දුරකතන ඇමතුම අවසන් වෙලා චම්පික ඇමැතිතුමා ඔය සිදුවීම මට කිව්වා.
ජනාධිපතිවරණයට කලින් අනුර දිසානායක මහත්තයා ජනතාවට පොරොන්දුවක් දුන්නා බලයට ආපු ගමන්ම මහබැංකු වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන්ව කුදලගෙන ලංකාවට අරගෙන එනවා කියලා. හැබැයි දැන් කියනවා ඔහුව ගේන්න විදියක් නෑ කියලා. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ, ඔහුව ගෙන්නලා දෙන්න ඕනේ කියලා? ඇයි මේ වගේ කතා කියන්නේ?
හිටපු ජනාධිපතිව ගෙදර යවලා බලය අරගෙන, ගෙදර ගිය එක්කෙනාට කතාකරලා කියනවා ඔයාගේ තමයි මේ වගකීම කියලා. දැන් මේ අය කියන්නේ සිංගප්පූරුවයි අපියි අතර ද්විපාර්ශ්වික උදර්පන ගිවිසුමක් නෑ කියලා.
‘උදර්පනය’ කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද?
සරලව කිව්වොත් උදර්පනය කරනවා කියන්නේ පුද්ගලයෙක් මේ රටෙන් වෙන රටකට නෙරපා හරිනවා, බාරදෙනවා කියන එක. ඒකට සිංහලෙන් කියන වචනය තමයි උදර්පනය කියන්නේ. ලෝකයේ බොහෝ රටවල් ද්විපාර්ශ්වික ගිවිසුම් අස්සන් කරලා තියෙනවා ‘ඔබේ රටේ අපරාධකරුවෙක් අපේ රටේ සිටීනම් ඔබ ඔහුව ඉල්ලූ විට අපි බාරදෙන්නම්, අපේ රටේ අපරාධකරුවෙක් ඔබේ රටේ සිටීනම් ඔහුවත් අපිට බාරදෙන්න’ කියන එකඟතාව. ඒක තමයි ද්විපාර්ශ්වික උදර්පන නීතිය. ලංකාව රටවල් ගණනාවක් එක්ක එවැනි ගිවිසුම් ගණ නාවක් අස්සන් කරලා තියෙනවා. නමුත් සිංගප්පූරුවත් එක්ක අස්සන් කරලා නෑ. එහෙම අස්සන් නොකළේ අස්සන් කිරීමේ අවශ්‍යතාවක් නැති නිසා. ඇයි? ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයීය රටක්. ඒ වගේම සිංගප්පූරුවත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රටක්. අපේ රටේ 1977 අංක 08 දරන උදර්පන පනතෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටක අපරාධකරුවෙක් සැකරුවෙක් ලංකාවේ සිටීනම් ඒ රට ඉල්ලා සිටියොත්, ඒ රටට බාරදෙන්න නීතිය සම්මත කරගෙන තිබෙනවා. හැබැයි දැන් මෙතැන වැදගත් වෙන්නේ ලංකාවේ නීතිය නෙවෙයි සිංගප්පූරුවේ නීතිය. ඇයි? සැකකරු සිටින්නේ සිංගප්පූරුවේ.
සිංගප්පූරුව අපිට අවුරුදු 9කට කලින්, 1968 උදර්පන පනතක් සම්මත කරගත්තා. ඒ පනතේ කියනවා යම් යම් කොන්දේසිවලට යටත්ව තමයි එහෙම දෙන්නේ, සමහර අයව නම් අපට නොදී ඉන්න පුළුවන් කියලා. මොනවද? ඉල්ලන පුද්ගලයා අපේ රටේ ඒ වරදට දඬුවම් ලබපු කෙනෙක් නම්. උදචාහරණයක් විදියට, සිංගප්පූරු ජාතිකයෙක් සිංගප්පූරුවට ගිය ලංකාවේ කෙනෙක්ව එහෙදී මරනවා. අපේ කෙනෙක්ව මරපු නිසා අපි ඉල්ලනවා ලංකාවේ නඩු අහන්න ඕනේ කියලා. එහෙදී නඩුව අහලා දඬුවමක් දීලා නම් හෝ ඔහුව නිදොස් කොට නිදහස් කරලා නම් හෝ ආයෙත් ඔහුව මෙහෙට දෙන්නේ නෑ. ඒ වගේම ඉල්ලන වරද සිංගප්පූරුවේ වරදක් වුණත්, ලංකාවේ වරදක් නෙවෙයි නම් ඒත් ඔහුව දෙන්නේ නෑ. ඒ වගේම දේශපාලන දඩයමටයි මේ පුද්ගලයාව ඉල්ලන්නේ කියලා සෑහීමකට පත්වෙන්න කරුණු තිබෙනවා නම් ඒ දෙන්නෙත් නෑ. ඒ වගේම මේ පුද්ගලයා වරදකට සිරදඬුවම් විඳින කෙනෙක් නම් ඒත් ඔහුව දෙන්නේ නෑ. ඒ වගේම සිංගප්පූරුවේ අහන නඩුවක සැකකරුවෙක් වෙලා දැනට ඇප පිට නම් ඔහු ඉන්නේ ඔහුව ලංකාවට එවන්නේ නෑ. අර නඩු කටයුත්තට බාධා වෙන නිසා. අර්ජුන මහේන්ද්‍රන් අයත් වන්නේ මේ කාරණා පහෙන් මොන කාරණාවටද? එහෙම නැත්නම් අපි නොදන්න වෙනත් කරුණු තිබෙන්න පුළුවන්. ඒ නිසා ආණ්ඩුව අර්ජුන මහේන්ද්‍රන් බේරාගැනීමට නෙවෙයි නම් මේ මතය කියන්නේ මොන නීතිමය හේතු මතද සිංගප්පූරුව අර්ජුන මහේන්ද්‍රන්ව අපිට ලබාදීම ප්‍රතික්ෂේප කළේ කියන එක නලින්ද ජයතිස්ස ඇමැතිතුමා රටට කිව යුතුයි. නැත්නම් අපට සැක හිතෙනවා. ඒ දවස්වල අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා අර්ජුන් ඇලෝසියස් චෙක්පත් ලියලා දීලා ඇතැම් දේශපාලකයන්ට ඡන්දවලට උදව් කළා කියලා කතාවක් ප්‍රසිද්ධ වුණා. නමුත් නලින්ද ජයතිස්ස ඇමැතිතුමා එහෙම කෙනෙක් නෙවෙයි කියලා අපි හිතනවා. ඒ නිසා එතුමා ගැන අපි තියාගෙන ඉන්න ඒ විශ්වාසය තහවුරු කිරීමේ වගකීම තියෙන්නේ එතුමා අතේ.
Udaya Gammanpila යූටියුබ් නාලිකාවෙනි










