සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව මීට පෙර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප වාර්තා කර සිටියෙමු. එහිදී අප කියා සිටියේ ඉකුත් 04 වැනිදා එසේ රාජිත ආණ්ඩුවට එක්වීමට සැලසුම් කර තිබූ බවකි. නමුත් මේ වනවිට දැනගන්නට ඇත්තේ රාජිත විසින් දිගටම සෞඛ්‍ය අමාත්‍ය ධුරය ඉල්ලා සිටීම හේතුකොට ගෙන එම ගමන පමාවී ඇති අතර රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ වන විට සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු ගැටලුවකින් තොරව සිදුකරගෙන යන බැවින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය රාජිතට ලබාදිය නොහැකි බවට ආණ්ඩුව පැත්තෙන් කළ දැනුම්දීම හේතුකොට ගෙන රාජිතගේ ආණ්ඩු ගමන ප්‍රමාද වී ඇති ආකාරයකි.Sri Lanka Latest News
අනෙක් අතට ආණ්ඩුවද රාජිතගේ සිද්ධිය මුල්කරගෙන යම් හිරවීමක සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. මන්ද යත් මීට වසර එකහමාරකට ඉහතදී පොහොට්ටුවෙන් ඇමැති ධුර හිමිවිය යුතු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ආණ්ඩුවට ලබාදී තිබීම හේතුවෙන් වෙනත් ඇමැති ධුරයක් රාජිතට ලබාදීමටද නොහැකි තත්ත්වයක් උදාවී තිබීම ඊට හේතු වී තිබේ. පොහොට්ටුව එම නම් ලැයිස්ුනේ ජොනී, එස්.බී., රෝහිත ඇතුළු මන්ත්‍රීවරුන් 12කට ඇමැති ධුර හිමිවිය යුතු බව ආණ්ඩුවට දැනුම්දී තිබිණි. ඒ අනුව මුලින්ම ඔවුන්ට ඇමැති ධුර ලබා නොදී රාජිතට ඇමැති ධුරයක් ලබාදිය නොහැකි බවට තර්කයක්ද ආණ්ඩුව පැත්තෙන් මතුව ඇති බවක් ආරංචිය.
ඒ අනුව මේ වන විට ආණ්ඩුව පැත්තෙන් රාජිත හට යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති බවක් දැනගන්නට ඇත. ඉන් පළමු යෝජනාව වී ඇත්තේ මුලින් ආණ්ඩුවට එක්වන ලෙසත්, පසුව ඇමැති ධුරයක් ලබාදීමට හැකියාව ඇති බවත්ය. දෙවැනි යෝජනාව වී ඇත්තේ රාජිතට ඊළඟ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදී රාජිතගේ පුත් චතුර සේනාරත්න හට එජාපයෙන් තරග කිරීමට අවස්ථාව ලබාදීමය. ඒ අනුව දෙවැනි යෝජනාවට රාජිතගේ වැඩි කැමැත්ත හිමිව ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව පසුගිය සතියේ රාජිත රත්නපුරේ සජබ මන්ත්‍රී කෙනකුට කතාකොට ආණ්ඩුවට එක්වීම සඳහා පිරිස සූදානම් කරගන්නා ලෙසට දැනුම්දීමක් කර තිබේ. එමෙන්ම ආණ්ඩුවේ අනුර ප්‍රියදර්ශන යාපා කණ්ඩායම සමග තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක පැවැති සාකච්ඡාවකටද රාජිත පසුගිය සතියේ එක්ව සිටියේය. මීට අමතරව පසුගිය සතියේ ස්වාධීන රූපවාහිනියේ පැවැති දේශපාලන වැඩසටහනකට සහභාගි වූ රාජිත රනිල්ගේ වැඩපිළිවෙළ මහ ඉහළින් වර්ණනා කළ ආකාරයක්ද දැකගත හැකි විය.
කෙසේ වෙතත් සජබයද දැන් කටයුතු කරන්නේ රාජිත යනුවෙන් මන්ත්‍රීවරයකු පක්ෂයේ නොමැති ගානටය. ඒ අනුව යම් හෙයකින් රාජිත ආණ්ඩුවට ගියහොත් කීර්තිමත් නමක් සහිත අයකු කළුතරට ගෙන ඒමට සජබය මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට අවසානය. ඒ සම්බන්ධයෙන් සජබ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකු පසුගිය සතියේ එම පුද්ගලයා සමග සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගෙන තිබිණි. අවසානයේදී හෙතෙම රාජිත ආණ්ඩුවට ගොස් දින දෙක තුනක් ඇතුළත සජබයෙන් කළුතර දිස්ත්‍රික්කය බාරගැනීමට එකඟතාව පළකළේය. සජිත් ඒ වන විට යාපනයේ සිටි බැවින් සජිත්ට කතාකොට මෙම පණිවුඩය දැනුම් දීමටද එම ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා කටයුතු කොට තිබිණි.