යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2017 වසරේදී පොලිස් අත්අඩංගුවට ගත් මිහින්තලය ප්‍රදේශයේ තරුණයකු තේක්ක ගසක එල්ලා අමානුෂික අන්දමින් පහර දුන් බව කියන සිද්ධියෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩී වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය , ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් පහර කෑමට ලක්වූ තරුණයාට සිය පෞද්ගලික මුදලින් ගෙවන්නැයි පහර දීම සිදු කළ අනුරාධපුර සංචාරක අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පොලිස් සැරයන්වරයෙකුට හා පොලිස් කොස්තාපල්වරයකුට නියෝග කලේය.
මීට අමතරව රුපියල් විසි පන්දහස බැගින් වූ නඩු ගාස්තු අදාළ තරුණයාට ගෙවන ලෙසද එම නිලධාරීන් දෙදෙනාට නියෝග කෙරිණි.
පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන සහ පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන නැමැත්තන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග ලබා දෙන ලදී.
එහිදී පහර කෑමට ලක් වූ තරුණයා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දු ව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ මෙම නියෝගය කලේය.
විජිත් මළල්ගොඩ , මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරේරාජා මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයන් සිරිසේනගේ ප්‍රියදර්ශන , පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.එම් .නිලන්ත ප්‍රියදර්ශන ඇතුළු 12 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.
සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් සැලකීමට පොලිස් නිලධාරීන් බැඳී සිටින බවත් ,මහජනතාව සමඟ කටයුතු කිරීමේදී පොලිස් නිලධාරීන් සෑම විටම පොදු ආචාරශීලී භාවය අපේක්ෂා කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි සදහන් කර ඇත.
නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම යන රාජකාරීන්හි නියුතු පොලිස් නිලධාරින්ට මෙම අයිතිවාසිකම්වලට ගරු කිරීම, ආරක්‍ෂා කිරීම හා ඉදිරියට ගෙන යාම සඳහා ඉහළම වගකීමක් පැවරී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැවත නැවතත් තහවුරු කරන බවද අදාළ තීන්දුවේ වැඩිදුරටත් සදහන්ය ඇත.










