නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ පෞද්ගලික නිවසේ දොර ජනේලවලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගත් සැකකරුව දෙහිවලදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු “සුදූ” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු එලෙස සොරා ගෙන තිබුණේ රුපියල් 64,000ක් වටිනා සරනේරු තොගයකි.
නාවික හමුදාපතිවරයා පවුලේ සාමාජිකයන් සමඟ නිල නිවසේ පදිංචිව සිටින අතර ඉඳහිට පොල්ගස්ඕවිට, හොරේතුඩුව, දෙල්ගහවත්ත ප්‍රදේශයේ ඇති මෙම නිවසට පැමිණෙන බව පොලීසිය පවසයි.
ඉකුත් අප්‍රේල් මස 2 වැනි දින සහ 17 වැනි දින අතර මෙම සොරකම සිදු වී තිබුණි.
අත්අඩංගුවට ගත් එම සැකකරු එම නිවසේ සියලුම දොර ජනෙල්වලට සවිකර තිබූ පිත්තල සරනේරු සොරාගෙන ගොස් බෝකුන්දර ප්‍රදේශයේ යකඩ බඩු අලෙවි කරන වෙළෙඳ සැළකට රුපියල් 5,600ක මුදලකට විකුණා මුදල් ලබාගෙන හෙරොයින් මත්කුඩු මිලදී ගෙන පානය කර තිබූ බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලීසිය පවසයි.
සැකකරු නාවික හමුදාපතිවරයාගේ නිවසින් වෙනත් කිසිදු දේපලක් සොරා ගෙන නොමැති අතර මීට පෙර මේ ආකාරයෙන් කැස්බෑව පොලිස් බලප්‍රදේශයේ නිවාස තුනකින් ද සරනේරු පමණක් ගලවාගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.










