රට දැවැන්ත ආර්ථික පරිහානියට පත් කළ පුද්ගලයන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල්, එස්. ආර්. ආටිගල, ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, පී. බී. ජයසුන්දර, සමන්ත කුමාරසිංහ යන අය නම් කර ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබා දී මාස 2ක් ගත වුවත් ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව විසින් එම ආර්ථික ඝාතකයන්ට විරුද්ධව පියවර ගැනීමට කටයුතු කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (10) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න නගමිනි.
මේ සම්බන්ධයෙන් මීට පෙර පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ලෙස තමා ප්‍රශ්න කරන විට එම ලිපිගොනුව සොරා ගනිමින් රජයේ අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ නොසන්සුන් ලෙස හැසිරුණු බවත් මේ සම්බන්ධයෙන් රජය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විපක්ෂය මෙන්ම ලක්ෂ 220 ජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම පුද්ගලයන්ට එරෙහිව විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර පරීක්ෂණ පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය අදහස් නොකරන්නේ ඇයිද කියා ප්‍රශ්න කර සිටින බවත් එම පුද්ගලයන් රට බංකොලොත් කිරීම තුළින් පෞද්ගලික ප්‍රතිලාභ ලබා ගෙන ඇත්ද කියා ගැටලු සහගත බැවින් මේ සම්බන්ධයෙන් රජය සෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දීමෙන් පසු ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වුව හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අධිකරණ ඇමතිවරයා පවා ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 56ක මුදලක් විදේශ බැංකුවල තැන්පත් කර රටට අහිමි කර ඇති බවත් මෙම මුදල් නැවත ලබා ගැනීමට හැකි නම් වැට් වැඩි කිරීමක් අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
නැනෝ පොහොර වංචාවෙනුත් විශාල පාඩුවක් සිදු වුණා
එසේම අනාගතයේදී මෙවැනි සිදුවීම් හරහා ආර්ථිකයට සිදුවන හානි වැළැක්වීමට ගන්නා පියවර සම්බන්ධයෙන් විමසා සිටි විපක්ෂ නායකවරයා කියා සිටියේ කාබනික පොහොර වංචාව නිසා රුපියල් මිලියන 711.8ක් රටට අහිමි වී ඇති බවත් අත්දැකීම් රහිත සාර්ථක නොවූ මෙම සමාගම ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහය පවා උල්ලංඝනය කර ඇති බවත් සැපයුම්කරු වෙත අත්පිට මුදල් ලෙස මිලියන 711ක් ගෙවා ඇති බවත් මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමටත් පෙර හෝ අනුමැතිය ලද දිනම පොහොර තොගය ගුවන්ගත කිරිම අසාමාන්‍ය කරුණක් බවත් පොහොර තොග වරින් වර ගෙන්වීමට එකඟව තිබියදී මුළු තොග වටිනාකම සදහා එක් ණයවර ලිපියක් විවෘත කිරිම නිසා රජයට ලක්ෂ 99ක් අනාර්ථක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගෑස් වංචාව නිසා සිදු වූ පාඩුව ඊටත් වැඩියි
එසේම අඩු මිලට ගෑස් ලබා දීමට සියාම් ගෑස් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන එකඟ වී ඇති නමුත් එම සමාගමේ ඉල්ලීමට ඉඩ නොදී එම කොන්දේසි යටතේම ඕකියු ට්‍රේඩින් ලිමිටඩ් වෙතින් ඉහළ මිලකට ලබා ගැනීම නිසා මිලියන 1138ක් අලාභයක් සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම ලිට්රෝ ගෑස් සමාගම වෙත එකඟ වූ ඇ. ඩොලර් මිලියන 120ක ප්‍රමාණය භාවිත නොකිරිම නිසා රට තුළ ගෑස් හිගයකට වූ විකල්ප විසදුමක් නොසලකා හැර ඇති බවත් නිසි මුදල් ප්‍රවාහ ඇස්තමේන්තුවකින් හෝ අරමුදල් සම්පාදනය පිළිබඳ තහවුරුවකින් තොරව ගෑස් නැව් ඇනවුම් කිරීම නිසා රුපියල් මිලියන 210ක් නැව් පමා කුලී ලෙස ගෙවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට බංකොලොත් කළ කණ්ඩායම පවා නම් කර ඇති මොහොතක ගෑස්, නැනෝ පොහොරවලින් විශාල මුදලක් වංචා කල බවත් භාවිත නොකළ නැනෝ පොහොරවලට පවා මුදල් වෙන්කර ඇති බවත් මෙම කරුණු ලබා ගත්තේ සභාගත වූ විගණන වාර්තාවකින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රට බංකොලොත් කළ පුද්ගලයන් ඇයි රජයෙන් ඉවත් කරන්න බැරි
පාස්කු ප්‍රහාරය පිළිබඳ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වීම හරහා හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරින්ට වන්දි ගෙවීමට සිදුවූ බවත් ඒ අනුව රට බංකොලොත් කළ පුද්ගලයන් කවුරුන්ද කියා අනාවරණය කළ නඩු තීන්දුව හරහා රටේ ලක්ෂ 220 ජනතාවට වන්දි ඉල්ලා නඩු පැවරිය හැකි බවත් පැවසීය.
මෙසේ නම් කළ රට බංකොලොත් කළ පිරිස පොහොට්ටුවෙන් හෝ රජයෙන් ඉවත් කරන ලෙසත් එය සිදු කරන තෙක් රටම බලා සිටින බවත් එවැනි දෙයක් සිදු නොකර එහි වන්දි ගෙවිමට ලක්ෂ 220ක් වූ ජනතාවට ලබා දීම වැරදි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.










