පාර්ලිමේන්තුව තුළ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල්තැබීය.Sri Lanka Latest News
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බවට ඊයේ (10) දිනයේ දී කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.
එයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ස්ථාවර නියෝග යටතේ පවසා සිටියේ, අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසය.
කෙසේවෙතත් අද දිනයේ දී ද මෙම විශ්වාසභංග යෝජනාවට කථානායකවරයා පිළිනොගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිය විරෝධය පළ කර සිටියේය.
එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කර සිටියේ, විශ්වාසභංග යෝජනාව ගෙනඒමට නොහැකි යැයි පැවසීම පදනම් විරහිත ප්‍රකාශයක් බවය.
“එතුමන්ලාට 159ක බහුතරයක් තියෙනවා. අපි විශ්වාසභාංගය ජයග්‍රහණය කරා කියලා එතුමාගේ තනතුර අහෝසි වෙන්නේ නෑ. එතුමාගේ තනතුර අහෝසි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. ඒ නිසා මෙතෙන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එතුමා දරපු තනතුරේ කරුණු කාරණා හෙළිදරව් වෙන නිසා තමුන්නාන්සේ දේශපාලන තීන්දුවක් අරන් තියෙනවා. මේක නොදී ඉන්න. එහෙම කරන්න එපා. ඒක වැරදියි.”










