පසුගිය දිනවල පැවැති අධික වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 5ක පවුල් 131ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. Sri Lanka Latest News
නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය තවදුරටත් සක්‍රීයව පවතින බැවින් මෙම ආපදා තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවත් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ වාර්තා අනුව පෙනීයන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඉකුත් දිනවල අධික වැසි සමග පැතිර ගිය තද සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩාවැටීම්, නායයෑම් යනාදී හේතු කරණ කොටගෙන මෙම ආපදා තත්ත්වය මතුව ඇතැයි ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරු තම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම් දී ඇතැයි එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවැසීය.
මෙම ආපදා තත්ත්වය හේතුකොටගෙන නිවාස 125කට අර්ධ හානි සිදුව ඇති බවද, ඒ හැර නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති බවද එම ප්‍රකාශකවරයා කීවේය.
ඉහත දිස්ත්‍රික්ක අතරින් වැඩිම ආපදා තත්ත්වයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් බව පැවැසූ එම ප්‍රකාශකයා, මෙකී දිස්ත්‍රික්කයේ පවුල් 76ක පුද්ගලයන් 276 දෙනකු පීඩාවට පත්ව ඇතැයි කීවේය.
ඒ හැර ගාල්ල, හම්බන්තොට, රත්නපුර සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවලටද වැස්සෙන් බලපෑම් එල්ල වී ඇති බවද හෙතෙම කීය.
නන්දන ශ්‍රී දොරකුඹුර










