‘ඉන්දියාවේ පැවති මිශ්‍ර බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම සහ ප්‍රථම ස්ථානය දිනාගත් මුලතිව් මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි ජෙගතීස්වරන් විජිතා යළි නිවෙසට පැමිණි අවස්ථාවේදී ගම්වාසීන් විසින් උත්තමාචාර දැක්වීය.
ජයග්රහණයෙන් අනතුරුව ඉන්දියාවේ සිට මාන්කුලම් වෙත පැමිණි ඇය පෙරහැරකින් කැඳවාගෙන යාමට පෙර මාන්කුලම් පිල්ලයාර් කෝවිල අසලදී පිළිගනු ලැබීය.
මුලතිව් දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය මෙම උත්සවය සංවිධාන කර තිබූ අතර මෙම අවස්ථාවට ජෙගතීස්වරන්ගේ උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් සහ බොක්සිං ක්‍රීඩිකාවගේ දෙමාපියන් එක්ව සිටියහ.’
මේ අපේ වෙබ් අඩවියේ පළවුණු ප්රවෘත්තියකි. මේක පළවෙන්නේ පහුගිය සතියෙ මුල. මේ වගේ කෙල්ලෙක් ගැන කවුරුවත් අහලා එහෙම තියෙනවද?
ඉන්දියාව කියන්නෙ ලෝක බොක්සිං වළල්ලේ ලොකුවට සෙල්ලම් දාන රටක්. සාමාන්‍යයෙන් ඉන්දියන් තරගාවලියකදී ඉන්දියානු ක්‍රීඩිකාවො පරද්දලා දිනිල්ල ලේසි වැඩක් නෙවෙයි. ඒත් ඈ ඒක කරලා. ඒත් තවමත් ජෙගතීස්වරන් විජිතා කියන්නෙ වීරවරියක් නෙවෙයි. ඈ වෙනුවෙන් අප්පුඩි ගහන්නෙ ගමේ මිනිස්සු විතරයි. හරි නම් රටේ ඔක්කොම ඈ ගැන කතාකරන්න ඕනෙ. මේ තමයි අපේ අනාගතය. විජිතා එයාර්පෝට් එකෙන් බැහැලා යන්න ඇත්තෙ ඉන්දියාවෙ ගිහිල්ලා ආපු සාමාන්‍ය තරුණියක් වගේ, ඈට ලැබුණු පදක්කම් ටිකත් මල්ලක දාගෙන. සමහර විට ඈට හිතෙන්න ඇති ලෝකෙ රටවලට ගිහිල්ලා පදක්කම් අරගෙන ආපු කොළඹ කොල්ලො කෙල්ලො උජාරුවට ඇවිදින රතු පලස කොහෙද බලන්න. ඒත් ඒක එදාට විජිතා වෙනුවෙන් දිගහරින්න කෙනෙක් නෑ. විශේෂම දේ කියන්නෙ විජිතා මේ ගැන මැසිවිලි කිව්වෙ නෑ.
සමහර විට විජිතට මේ පංගුපේරුව ගැන දැනිලා ඇඬෙන්න ඇති තනියම. අම්මලා තාත්තලා එක්ක ඕනෑ තරම් කියවන්න ඇති. ඒත් එයා ලංකාවෙ සමහර ක්‍රීඩිකාවො වගේ ප්‍රසිද්ධියෙ කාවවත් විවේචනය කළේ නෑ. අරවා දුන්නෙ නෑ, මේවා දුන්නෙ නෑ කියලා කාටවත්ම කිව්වෙ නෑ.
ඒත් මේ විදියෙ කොල්ලො කෙල්ලො දහස් ගානක් යාපනේ අර්ධද්වීපයෙ ඉන්නවා. මේ ළමයින්ට ක්‍රීඩා කරන්න ඕනෙ ක්‍රීඩාංගණ ටිකවත් හරියට නෑ. වවුනියාවෙ බොක්සිං වළල්ලක්වත් නැතිව බොක්සිං ගහන කොල්ලො කෙල්ලො ගැන ප්‍රවෘත්තියක් පහුගිය සතිවල එළියට ආවා. ඒත් ඒ කොල්ලො කෙල්ලො තමන්ගෙ පාඩුවෙ ඉලක්කවලට යනවා. අවුරුදු තිස්දෙකක් තිස්සෙ අපිට උන්ව මඟ හැරුණා. අපිට උන්ගෙ හයිය නැති වුණා. ඔලිම්පික් පදක්කමක් දිනන්න තරම් හයියක්, ආත්මශක්තියක් තිබුණු කොල්ලො කෙල්ලො ටිකක් යුද්ධයටම සින්නක්කර අයිති වුණා. උතුරෙ විතරක් නෙවෙයි, දකුණෙත් එහෙමයි. වීරයො සියදහස් ගානක් මියගියා. ඒ අපේ රටට ඔලිම්පික් පදක්කම් දාස් ගානක් ගේන්න හිටපු එවුන්.
ඒ නිසා දැන් අපි පටන් ගමු. විජිතලව අපේ කරගමු. උතුරෙ නෙවෙයි, දකුණෙත් උන් වෙනුවෙන් තොරණ හදමු. උතුරෙ වීරයන්ටත් අත්පුඩි ගහමු. හැමෝම එකතුවෙලා රට දිනවමු. ඔලිම්පික් පදක්කමක් හීනයක් වුණු රටකට ඕනෙ අන්න ඒ ආදරේ. ඒ ආදරේ උතුරන දවසට අපිට පුළුවන් වෙයි ලෝකෙත් එක්ක සටන් කරන්න. ජාතියකට ආගමකට නොබෙදී ‘ශ්‍රී ලාංකික’ ජාතියක් විදියට එමු පෙරමුණටම. දිනමු අපි ලෝකය. එතෙක් ‘ජෙගතීස්වරන් විජිතා’ ක්‍රීඩිකාවට අපි මුළු ජාතියේම උත්තමාචාරය පුදකරමු.
ඔලිම්පික් වළල්ලෙ ඉහළට අත් උස්සලා ජාතික කොඩිය වැලඳගන්න ලස්සන දවසක් වෙනුවෙන් අපි හීන දකිනවා. එදාට සිංහ කොඩිය අහසට එසවෙයි. ජාතික ගීය ඇහෙයි. ලෝකෙ කවුරුවත් ඔයාගෙන් අහන එකක් නෑ, ‘උතුරෙද? දකුණෙද?’ කියලා. අපි කාටවත්ම ඕක මතක තියෙන එකක් නෑ. උතුරෙද දකුණෙද කියලා. එදාට ඒක කියන්නෙ ‘රන් පදක්කම ශ්‍රී ලංකාවට’ කියලා විතරයි. ‘ජෙගතීස්වරන් විජිතා ශ්‍රී ලංකා’ කියලා විතරයි නම ලියැවෙන්නෙ. එදාට මේ රටේ ඉන්න හැම එකාටම පංගුපේරු නැතුව එකම සතුටක් එකම මොහොතක විඳින්න පුළුවන්.

ජීවන පහන් තිළිණ










