“1505 දී ගෙරි හම්කඩක ඉඩක්, කඳවුරක් ඉදිකරන්න පෘතුගීසින්ට ලබාදීමේ ගිවිසුමට වඩාත්, 1580 දී දොන් ජුවන් ධර්මපාල රජු කෝට්ටේ රාජ්‍යය පෘතුගීසින්ට පැවරීමට වඩාත්, 1815 දී ඉංග්‍රීසින් එක්ක අස්සන් කළ උඩරට ගිවිසුමට වඩාත් ඵක්‍ක්’ගිවිසුම භයානකයි.
කිසිම දේශපාලන පක්ෂයක් එක්ක සම්බන්ධයක් නැති, කිසිම දවසක දේශපාලනයට ඇවිත් නැති පූජනීය උඩුදුම්බර කස්සප හාමුදුරුවන් මාරාන්තික උපවාසයකට වාඩි වෙන්නේ ඇයි?’මේ රටට ආදරය කරන කිසිම කෙනකුට මේ පාවාදීම ඉදිරියේ ඇස් කන් පියාගෙන බලාඉන්න බැරි නිසා.
ඉදිරියේදී රටට ආදරය කරන හැමෝම පූජනීය උඩුදුම්බර කස්සප ස්වාමින්වහන්සේගේ පිටුපසින් සිටගෙන මේ ගිවිසුම අහෝසි කරන තෙක් සටන් කරාවි කියලා විශ්වාසය අපට තියෙනවා…”
(උදය ගම්මංපිල 2019/11/05)
“මේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ දැන් පවුල් පිටින් ඇවිත් ශ්‍රී ලංකාවේ පදිංචි වී සිටිනවා. ඔවුනගේ දරුවන් මේ රටේ පාසල්වලට ඇතුළත් කරලා. මේක ස්ථිරව කෙරෙන දෙයක් බව ඔවුනට විශ්වාස නිසයි එහෙම කර ඇත්තේ. මේ ආණ්ඩුව සහ ඇමෙරිකාව අතර එකඟතාවද කෙසේ හෝ මේ ගිවිසුම අස්සන් තැබීමයි. මේක ‘ඉන්දියානු සාගර කලාපයේ ඔටුන්න ශ්‍රී ලංකාව’ ඔවුන්ගේ ආධිපත්‍යයට නතුකර ගැනීමේ උගුලක්….”
(විමල් වීරවංශ STOP USA)
මව්බිමේ සුරක්‍ෂිතතාව උදෙසා ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුව – 2019/11/09)
“අපේ කාලයේ මේ වගේ රට පාවාදෙන ගිවිසුම් ගැහුවේ නෑ. අපි ගිවිසුමක් ගැහුවා නම් ඒක රටට හිතකර ගිවිසුමක්. නමුත් අද මුළු රටම පිට රටට සින්නක්කරේට විකුණලා…”
(මහින්ද රාජපක්ෂ)
යහපාලන ආණ්ඩුව ගෙදර යවන්න පොහොට්ටුව රට ඉදිරියේ ප්‍රධාන කරුණු තුනක් ගෙන හැර පෑවේය.
1.මහබැංකු හොරකම
2.පාස්කු ප්‍රහාරය
3.එම්.සී.සී ගිවිසුම
යහපාලන ආණ්ඩුව ගෙදර ගියේ වෙන කිසිවක් නිසා නොව යට කී කාරණා තුන නිසාය. ජාතික ආරක්ෂාව, විනයගරුක රට, විනිවිද පාලනය කියන සටන් පාඨ අරගෙන පොහොට්ටුව මැතිවරණ මෙහෙයුම ගෙන ගියේය.
එහෙත් අද ඒ සටන් පාඨ තුනම ‘අලියා ගිල්ල දිවුලක්’ වී හමාරය. මහබැංකු හොරකම වේදිකා නාට්‍යයකි. පාස්කු ප්‍රහාරය ටෙලි නාට්‍යයකි. එම්.සී.සී. ගිවිසුම චිත්‍රපටයකි.
‘කෝ අර දවස්වල කෑ ගහපු දේශප්‍රේමීයෝ…?’ සමහරු අසයි.
‘කෝ ආණ්ඩුව ගෙනාව මිනිස්සු…?’
තව සමහරු අසයි.
සියලු දෙනා සිටිති. එහෙත් මේ සිද්ධවෙන දේවල් ගැන හිතාගන්න බැරිව ඔවුන් අසරණව සිටී. වෙනකක් නිසා නොව, තමන් පත්කළ ආණ්ඩුව යන්නේ වෙන ගමනකි.
‘මෛත්‍රීට, රනිල්ට, යහපාලනේට මිනිස්සු ගැහුවේ අවුරුදු දෙකක්වත් යන්න ඇරලා. උන් දින සීයට අවුරුදු පහක වැඩ කළා. හැබැයි මුන් මොනවද කළේ?කොවිඩ් 19 වෙනුවට ව්‍යවස්ථා 19 පරද්දන්න ඕනෙ වුණා. පාස්කු විසිඑක වෙනුවට විසිවැනි සංශෝධනය ලොකු වුණා. මේ එකක්වත් කළේ මිනිස්සු වෙනුවෙන් නෙවේ කියලා නොදන්න කෙනෙක් නෑ.’
එහෙම කියන්නේ අපක්ෂපාතී මාධ්‍යවේදියෙකි.
අද වන විට ලංකාව සහමුලින්ම කඩාවැටුණු රටක් වී අවසන්ය. සැත්කමක් කළ විට මසන්නට අවශ්‍ය කරන නූල්පටවත් නැති රටක් බවට ලංකාව පත්ව තිබේ. පාසල් දරුවකු පාසලට රැගෙන යන කෑම පෙට්ටියේ ඇති දෑ දකින විට ඇඟ හිරිවැටෙනසුලුය. තව දුරටත් අපේ රට පෙරදිග ලෝකයේ මුතු ඇටයක් හෝ ධාන්‍යාගාරයක් නොවේ. එය වෙනිසියුලාවටත් වඩා බරපතළ අගාධයකට තල්ලු වී හමාරය.
මේ අගාධයට රට තල්ලු වෙමින් තිබුණේ අදක ඊයේක සිට නොවේ. අදූරදර්ශී උද්දච්ච ජනාධිපතිවරයා මේ රට ඛේදවාචකයේ දොරටුවෙන් ඇතුළට තල්ලු කළ බව ඇත්තය. මේ මහා ව්‍යසනයේ ප්‍රධානම චූදිතයා ඔහු බවද ඇත්තය. එහෙත් ඊට ගොඩනැඟුණු පසුබිමක්ද තිබේ. ඒ, යටිබිම්ගත කතාවේ මහා උරුමක්කාරයා මහින්ද රාජපක්ෂගේ අදූරදර්ශී පාලන සමය බව නොරහසකි.
වසර නවයට මහින්ද චින්තනයෙන් ආරම්භ කළ ලංකාවට 100%ක් අයත් එකදු මහා ව්‍යාපාරයක් නැත. ඔහුගේ වසර නවය තුළ සිදුවූ ආර්ථික විනාශය තුළ සිදුවී ඇත්තේ දේශීය ව්‍යාපාර නමට පමණක් බෝඩ් ලෑලි තිබීමය. බණ්ඩාරනායක’1956 ආරම්භ කළ ටෝච් බැටරි සමාගමක්වූ ‘එලිෆන්ට් ලයිට්’ සමාගම ජේ.ආර්. ජයවර්ධන සමයේදී ලක්ෂපාන නමින් ප්‍රචලිත විය. එය හැඳින්වූයේ ‘ලක්ෂපාන අපේ දෙයක්’ ලෙසයි. එහෙත් මහින්ද ‘අපේ දේ’ සමතලා කළේය. මහින්ද චින්තනය තුළ බැටරි නිෂ්පාදනය කරන්නේ චීනයේය.’ලංකාවේ වාහන එකලස් කරනවා යැයි උදම් ඇනූ මයික්‍රෝ සමාගම සිදුකරන්නේ චීනයෙන් ගෙන්වන වාහන කැබලි එකතු කිරීමය. ඇත්තෙන්ම සමහර වාහනවල එකලස් කරන්නේ ටයර් සහ සීට් පමණි. එවක ලොක්කන්ට කොමිස් ලද බැවින් මෙම චීන වාහනවලට විශාල බදු සහන ලැබෙන්නේය. මුල් පෙළේ සමාගම්වල විදුලි උපකරණ එන්නේ චීනෙන්ය. ලංකාවේ අපනයනවලින් 75%ක් යවන්නේ බටහිර ලෝකයට බව නොදත් අට පාස් වාචාලයෝ ‘බටහිර කුමන්ත්‍රණ’ මවති.
‘ඉරණවිලට එන්නේ ඒරියා 51 වගේ අබිරහස් කලාපයක්. මුළු රටම ඉවරයි. අපි ඇමෙරිකාවේ යටත් විජිතයක් වෙලා ඉවරයි…’
ඉරණවිල ඇමෙරිකන් හඬ ගුවන්විදුලිය ආරම්භ කරන්න යනකොට සමහරු කීවේ එහෙමය. ඇමෙරිකන් හඬ හෙවත්, Voice of America නිසා එවක රජයට විශාල මුදලක් ලැබිණි. එම ස්ථානය පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම හේතුවෙන් ඔවුන් විශාල බදු මුදලක් රජයට සපයනු ලැබූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක ප්‍රමුඛ ආණ්ඩුව බලයට එන්නට මේ ඉරණවිල විරෝධයද හේතු විය.
වමේ පක්ෂ කරේ තියාගෙන ගිය ‘ඇමෙරිකන් හඬ’ට එරෙහි සටන පොදු පෙරමුණ හමාර කරතැයි බොහෝ දෙනා සිතූහ. නමුත් එහෙම වුණේ නැත. ඇමෙරිකන් හඬ එහෙමම ඉදිරියට ගියේය.
1985 දී පටන්ගත් ‘ඇමෙරිකන් හඬ’ කරළියට ගෙනාවේ අවුරුදු 9කට පස්සේය. ඒ කියන්නේ 94දීය. ඡන්දේ කිට්ටු වෙනකොට ‘රත් වූ තැටියේ රොටි පුච්චන්න’ මෙහේ අය බොහොම සමත්ය. වැඩේ ටක්කෙටම හරි ගියේය. රැල්ල අනෙක් පැත්ත ගැසුවේය. චන්ද්‍රිකා ආණ්ඩුව බලයට ආවේය. හැබැයි ආවට පස්සේ යූ.එන්.පී. ආණ්ඩුවට වඩා හොඳට ඇමෙරිකාව එක්ක වැඩ කළේය. ඉරණවිල පළමු බිල්ල සිදුවන්නේ පොදු පෙරමුණ ආවාමය. පුදුමය කියන්නේ ඉරණවිල නවත්වන්න ආ පොදු පෙරමුණ යටතේ ඉරණවිල උද්ඝෝෂණයකදී පුද්ගලයෙක් මියයාමය. කාලයාගේ ඇවෑමෙන් කෙටි තරංගවලට පවත්නා ඉල්ලුම අවම විය. ඇමෙරිකන් හඬ ඇමෙරිකාවට එපා විය. ගිවිසුමේ කාලය අවසන් වීමට පෙර එකී ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරය වසාදමා එම සම්ප්‍රේෂණාගාරය පිහිටි ඉඩම සහ එම පරිශ්‍රයේ පිහිටි අනෙකුත් වත්කම්/දේපළ ශ්‍රී ලංකා රජය වෙත භාරදීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දෙනු ලැබීය.
කණ්ඩලම හෝටලය තනන්නට යද්දීත් බොහෝ දෙනා එය දේශපාලන සටනක් කරගෙන බිල්ලෙක් මැවීය. එදා වැව් තාවුල්ලේ ගිනිතියාගෙන නිවන් දකින්නට සමහරු වෑයම් කළහ. අද කණ්ඩලම හෝටලය ලංකාවේ ඇති සුන්දරම හා හොඳම හෝටලයය. ලාංකිකයෝද කිසිම අඩුවක් නැතිව පැමිණෙන අතර පරිසරයට කිසිදු අතුරු ආන්තරාවක් වී නැත. ජෙෆ්‍රි බාවා නම් අපූරු ගෘහ නිර්මාණ ශිල්පියා ඉදිකළ පරිසරහිතකාමී හෝටලය නිසා, රටට ලැබෙන ආදායම විශාලය. රැකියාවේ නියුතුව සිටින්නේ ගම්වාසීන්ය.
නොරච්චෝලේ බලාගාරය ඉදිකරන කාලයේ නව ආරක විරෝධයක් ආවේය. ‘ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ල කන්න එන්නේ. මේක රටට මහා විනාශයක්. මුළු රටම ඉවරයි. ඒ විතරක් නෙවේ, මේකෙන් ශ්‍රී මහා බෝධියත් විනාශ වෙනවා…’
සමහර අවස්ථාවාදීහු එහෙම බිල්ලෝ මැවූහ. අද ජාතික විදුලිබල නිෂ්පාදනයේ වැඩි පංගුවක් දෙන්නේ නොරොච්චෝලේය.
මහවැලිය හදන විට කීවේ මේ මහා ජලාශ නිසා කඳු නායයාමට ලක්විය හැකි බවය. ‘මේක ජාතියේ බොටුව හිරකරන වැඩක්. මුළු කඳුකරයම ඉවරයි. මහවැලිය නිසා පන්සල් යටවෙනවා. මේක මහා පාපයක්….’ කියා ඒ කාලයේ සමහරු චෝදනා කළහ.
‘ඕකට බි්‍රතාන්‍යය ආධාර කරන්නේ නිකන් නෙවේ. අපි දෙවැනි වතාවට සුද්දට යටත් කරන ගිවිසුමක් ඕක. එහෙම නැතිව රැජින ඕකට උදව් කරන්නේ නෑ…’ ඒ, තවත් අය කී කතාය. අද මහවැලිය තරම් යෝධ ව්‍යාපෘතියක් හිතාගන්නටවත් බැරිය. බහුකාර්ය සහ දිගුකාලීන මහවැලි සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමයයි. ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා බි්‍රතාන්‍යය, ජර්මනිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවලින් ආධාර හිමිවිය. මහවැලි ගඟත්, එහි අතු ගංගාත් මාදුරුඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39%ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇතිකිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමගින් නව රැකියා අවස්ථා ලබාදීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීනරණය වීම, සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය. එය අතිමහත් පංගුවකින් සාර්ථක විය.
ප්‍රේමදාස නිවාස වැඩපිළිවෙළ කරගෙන ගියේ අනේක විධ පීඩා මැදය. අයවැයෙන් සත පහක් මේ වැඩේට වෙන් නොකරන විට ප්‍රේමදාස ලෝකෙ පුරා ගොස් මේ වැඩේට උදව් ඉල්ලුවේය. කවුරුවත් උපකාර කළේ නැත. පිට රටවල් එක්ක ගිවිසුම් ගහන්න හදද්දීත් සමහරු කකුලෙන් ඇද්දේය. අන්තිමට ඔහු ‘සෙවණ’ කියා ලොතරැයියක් පවා නිකුත් කළේය. ‘ලොතරැයි විකුණලා ගෙවල් හදන්න පුළුවන්ද?’ සමහරු උපහාසයෙන් ඇසීය. හැබැයි ප්‍රේමදාස වැඩේ කළේය. ඔහුගේ කකුලෙන් ඇද්ද, ඔහුට සිනාසුණු සමහරු ඒවා විවෘත කරද්දී නම් මූණු දාගන්න පැමිණියහ.
අන්තිමට ප්‍රේමදාස ඉන්දියාවේත් ගෙවල් හැදුවේය.
‘ප්‍රේමදාස ඉන්දියාවට ගෙවල් හදා දෙනවා…’ සමහරු එහෙම කීවේ ප්‍රේමදාස ඉන්දියානු හිතවාදියෙක් බව පෙන්වන්නය. හැබැයි ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වුණේත්, ඉන්දීය හමුදාව පිටමං කළේත් ඒ කියන ප්‍රේමදාසමය.
විවෘත ආර්ථිකයෙන් පස්සේ ලංකාවට ඇඟලුම් කර්මාන්තය ආවාම එවක විපක්ෂය හිනා වුණේ සුද්දන්ට ජංගි මහනවා කියලාය. එහෙත් ප්‍රේමදාස ඇඟලුම් කම්හල් 200ක් ඉදිකිරීම මගින් ගමේ වෙසෙන තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කළේය. මෙතෙක් කල් සිදුවූයේ ගමෙන් නගරයට පැමිණ රැකියා කිරීමය. එම ක්‍රමයට තිත තබමින් ගම තුළ ඇඟලුම් කම්හල් ඉදිකර ඊට අවශ්‍ය ශ්‍රමය ගම තුළින්ම ලබාගත්තේය. ඉන් ගමට මුදල් ගලා ආවේය. ඇඟලුම් කම්හලක් ගම තුළ ඉදිකර නැවතුණේ නැත. ඊට සමගාමීව ඔරලෝසු කණුවක්‌ද ගම තුළ ඉදිවිය.
යහපාලන ආණ්ඩුව කළ අනගිතම පින්කම කුමක්ද කියා ඇසුවොත් දෙන්න තිබෙන පළමු පිළිතුර වන්නේ ‘සුව සැරිය’ ව්‍යාපෘතිය කියාය. එය ගම් නියම්ගම් සිසාරා අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක සේවාවකි. එහෙත් මේ ගිලන් රථ සේවාව හඳුන්වා දෙන විට වාචාල විමල් කීවේ කුමක්ද?
‘මේ ගිලන් රථ සේවාව ඉන්දියාවෙන් ගෙනල්ලා, ඒ එක්කම රෝ ඔත්තු සේවයේ අය මෙහෙ වැඩට එන්න යන්නේ….’ ඊට කිට්ටුවෙන් යන කතාව කීවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයය. ඔවුන් කීවේ ‘මේ අවදානම් ගිලන් රථවලට නගින්න එපා…’ කියාය.
අද සිදුව තිබෙන්නේ කුමක්ද?
‘මේ ගිලන් රථ සේවයෙන් කරපු පින්කමම ඇති නිවන් දකින්න…’ එහෙම කියන්නේ අහිංසක ජනතාවය.
‘රටටම හොරෙන් ඇමෙරිකාව සමග අස්සන් කළ ගිවිසුම මෙන්න’ කියා අද්මිරාල් සරත් වීරසේකර පහුගිය’ ආණ්ඩුවට එවක චෝදනා කළේය. එහෙත් ඒ ගිවිසුම’ ගැසූ’ අය කවුද?
2007 දී අස්සන් කරන ලද ‘අත්පත් කරගැනීම සහ අන්තර් සේවා පිළිබඳ ගිවිසුම’ අස්සන් කළේ ඇමෙරිකන් ජාතික රොබර්ට් ඕ. බ්ලේක්ය. අනෙකා ගෝඨාභය රාජපක්ෂය.
ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවේදී වෛi නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා මේ ගිවිසුම ගැන කතාකර තිබිණි. එම අවස්ථාවේදී වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා නැගී සිට මෙසේ කියා තිබිණි.
‘අපි මේ පිළිබඳ එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලිඛිතව ලියලා ඇහුවා කොහොමද මේක වෙන්නෙ කියලා. එතුමා මට දුන්න උත්තරය තමයි මම ජනාධිපති. තානාපති කෙනෙකුයි අමාත්‍යාංශ ලේකම් කෙනෙකුයි අස්සන් කරපු ගිවිසුමක් වලංගු නැහැ කියලා….’
විමල්ලා කියන විදියට ලංකාව ගිලින්න බලාගෙන ඉන්න ඇමෙරිකාව එක්ක තීරණාත්මක ගිවිසුම ගැහුවේ මහින්දගේ ආණ්ඩුවය. ඒ ගිවිසුම ගැන’ එදා කැබිනට් මණ්ඩලයවත් දැනගෙන හිටියේ නැත.’
රාජපක්ෂ යුගයේ’එක් අතෙකින් ගෙවාගත නොහැකි ණය ගනිමින්, වෙනම භූමිභාග සින්නක්කරවම ලබාදෙමින් රට චීනයට ගොදුරු කරන ලද අතර, අනෙක් අතින් මෙවන් ගිවිසුමකින් ඇමෙරිකාවටද ඕනෑම අවශ්‍ය අවස්ථාවක රටේ භූමිය තම යුද කටයුතු සඳහා භාවිත කිරීමටද අවස්ථාව සලසාදී තිබීමෙන් ශ්‍රී ලංකාව නමැති මාතෘ භූමිය මහ බලවතුන්ගේ පන්දු පිටියක් බවට පත් කරන ලදී. ඉන් නොනැවතී මුස්ලිම් අන්තවාදී තව්හිද් ජමාද්ටද, බෞද්ධ අන්තවාදී බොදුබල සේනාවටද, හින්දු අන්තවාදී ශිවසේනාටද එකම රහස්‍ය ගිණුමකින් මුදල් ආධාර ලබාදෙමින් රටේ අන්තවාදය ආරම්භ කරමින් පෝෂණය කළෝය.
ඒ විතරක් නොවේ එදා ශ්‍රී ලංකා-ඇමෙරිකා ආරක්ෂක ගිවිසුමට අස්සන් කළ රොබර්ට් ඕ. බ්ලේක් ඊට ටික දිනකට පස්සේ 2012 පෙබරවාරි 14 වැනිදා කීවේ ‘ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇමෙරිකාව සහය දක්‌වනවා’ කියාය. තුන්කල් දකිනවාය කී මහා දේශප්‍රේමීන්ගේ වස්ත්‍ර ගැලවුණේ එහෙමය.
කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට අත තිබ්බේ චීනයයි. වැඩේ ආරම්භ කළේ උත්සවශ්‍රීයෙන්ය. දැන්වීම්වලින් කියැවුණේ ලොව මහා විස්මය කොළඹ සිදුවන බවකි. ‘රටට අලුත් දිවයිනක්’, ‘ශ්‍රී ලාංකිකයන්ට උරුමයෙන් විවර වුණු පුරවරය’, ‘කොළොම් තොටේ අසිරි පුරයක් – අභිමන් දේශයක ආශ්චර්ය’, ‘සංවර්ධනයේ සුවිසල් කඩඉම ඇරැඹේ’, ‘විදෙස් ධනය උපදන මහා ධන උල්පත නව රැකියා තෝතැන්නක්’, ‘කලාපයේ වාණිජ කෙන්ද්‍රස්ථානය’ ආදී ආලවට්ටම් දැමූ වචනවලින් ඒ දැන්වීම් හැඩවැඩ විය.
චීන වෑයම ආර්ථිකය ඔස්සේ චීන නව යටත් විජිතවාදය ස්ථාපිත කිරීමය. ඔවුන් ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වූ ජෙනරල් මෝටර්ස් සමාගම 2010.11.18 දින ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට මිලට ගත් අතර ජී.එම්. ග්ලෝබල් ස්ටීරින්ග් සමාගමද 2010.07.07 දින ඇමෙරිකානු ඩොලර් මිලියන 450කට මිලට ගත්තේය. ඇමෙරිකාවේ අභ්‍යවකාශ විද්‍යා සමාගමක් වූ ටි්‍රපල් එච් කෝල් සමාගමද 2012.03.12 දින ඇමෙරිකානු ඩොලර් මිලියන 541කට මිලට ගත්තේය.
දැවැන්ත සමාගම් වූ බලශක්ති ක්ෂේත්‍රයේද ඒ.ඊ.එස්. කෝපරේෂන් සමාගම ඩොලර් බිලියන 1,581කටද, ඔයිල් ඇන්ඩ් ගෑස් ඇසට් සමාගම ඩොලර් බිලියන 2.2කටද, මූල්‍ය අංශයේ මෝගන් ස්ටැන්ලි සමාගම ඩොලර් බිලියන 5579කට ද, ඉන්ටර්නැෂනල් ලීස් ෆිනෑන්ස් කෝපරේෂන් සමාගම ඩොලර් බිලියන 4,229කටද, ආහාර අංශයේ ස්මිත් ෆීල්ඩ් ෆුඩ්ස් සමාගම ඩොලර් බිලියන 7,099කටද, තාක්ෂණික අංශයේ අයි.බී.එම්. සමාගම ඩොලර් බිලියන 1.75කටද චීන්නු මිලට ගත්හ. 1996 සිට 2014 දක්වා මෙලෙස විශාල ඇමෙරිකානු සමාගම් 51ක් චීනය සතු කොට ගෙන ඇත. ඒවා දැන් හැමෝටම අමතක වෙලාය.
ඊට පස්සේ ඒ ආණ්ඩුව බැස්සේ ‘ෂැන්ග්‍රිලා හෝටෙල් ව්‍යාපෘතිය’ටය. රුපියල් මිලියන 44,880ක ව්‍යාපෘතියක් ලෙස ඇස්තමේන්තු කර තිබූ එයට විදේශ සේවකයන් 30 දෙනකුට හා දේශීය සේවකයන් 432 දෙනකුට රැකියා ලබාදෙන්නට සැලසුම් කොට තිබුණේය. ෂැන්ග්‍රිලා ගනුදෙනුවට ඍජුවම සම්බන්ධ වෙන්නේ රජය වෙනුවෙන් ආණ්ඩුවය. සාමාන්‍යයෙන් නීතිය වන්නේ මෙවැනි ව්‍යාපෘති අස්සන් කරන්නේ ආයෝජන මණ්ඩලය සමග වීමය. එහෙත් ඉඩම් සින්නක්කරේට තබා බද්දටවත් දෙන්න අයිතියක් ආයෝජන මණ්ඩලයට නැති නිසා ෂැන්ග්‍රිලා විකුණන්නේ රජය විසින්ය.’ එහෙත් සේරම කුණු බේරුවල බොක්කට කීවා වගේ මඩ වැදුණේ යහපාලන ආණ්ඩුවටය. එදා මෝදි එනකොට විමල්ලා ගම්මංපිලලා කළු කොඩි දාන්න කතා කළහ. මෝදි එන්නේ වෙසක් බලන්න නෙවේ කීය.
දැන් චීන්නුත්, ඇමෙරිකන්කාරයෝත්, ඉන්දියන්කාරයෝත් තරගෙට අඩයාලම් අල්ලති. දේශප්‍රේමියෝ බෙහෙතකට නැත. ගිය ආණ්ඩුව කාලයේ හොරු මාරුවිය. දැන් දේශප්‍රේමියෝ’ මාරු වෙලාය.
අද වන විට මුළු රටම වැටී ඇති බරපතළ අගාධය බිය උපදවන සුලුය. නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම, ගජමිතුරුවාදය වැනි පටු කාරණා හේතුකොට ගෙන රටක් සහමුලින්ම ඛේදවාචකයක් වෙත තල්ලු වී අවසන්ය. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමූ ආණ්ඩුව නැවත අශ්වයා නොයන බවට තීන්දු කොට ඉස්තාලය කඩා බිඳ දමා අවසන්ය.
ආණ්ඩුව ලබාගැනීමට පෙර ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියේ මොනවද? ‘අපිට විධායක ජනාධිපති ධුරය ලබා දෙන්න’ පොහොට්ටුව ඉල්ලා සිටියහ. ජනතාව හිසටත් උඩින් ජනවරමක් ලබාදී එය ඉටු කළෝය. ‘අපිට තුනෙන් දෙකේ ආණ්ඩුවක් දෙන්න’ පොහොට්ටුව ඉල්ලා සිටියහ. ජනතාව එක පයින් කැමැති වී ඊට ඉඩ දුන්හ. ජනාධිපතිට වැඩ කරන්න මීට වඩා බලයක් දෙන්න. ජනතාව එකඟ වී විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට අවසර දුන්හ.
එහෙම බැලුවාම ජනතාව ආණ්ඩුවට හැමදේම දී තිබේ. එහෙත් ආණ්ඩුව ජනතාවට දී ඇත්තේ මොනවාද? ආණ්ඩුව ජනතාවට දී ඇත්තේ දින තුන හතර ඉන්නට හැකි පෝලිම්ය. ආණ්ඩුව ජනතාවට දී ඇත්තේ බෙහෙතක් හොයාගන්නට බැරි සෞඛ්‍යයක්ය. ආණ්ඩුව ජනතාවට දී ඇත්තේ එදාවේලවත් කන්න බැරි ආර්ථිකයක්ය. ආණ්ඩුව ජනතාවට දී ඇත්තේ බංකොලොත් රටක්ය.
මේ මොහොතේ මෙහෙම කතාවක් සිහිපත්වේ.
“සමහර විට මේ ඛේදවාචකය ඔබට තවම දැනෙන්නේ නැත. එහෙත් ඔබේ හිසට ඉහළින් අකුණු පුපුරන විට ඔබට එය දැනෙනු ඇත. ඔව්, ඔබේ හිසට ඉහළින් අකුණු පිපිරීමට නියමිතයි…”

රංජිත් කුමාර සමරකෝන්










