විපක්ෂය බලය අල්ලයි
පසුගිය සතියේ පාර්ලිමේන්තු සභා වාරය සම්පූර්ණයෙන්ම සජබය ප්‍රධාන විපක්ෂය විසින් අත්පත් කරගත්තා යැයි කිවහොත් එහි කිසිදු වැරැද්දක් නැත. ඊට හේතු වී තිබුණේ තුනෙන් දෙකක විශේෂ බහුතර බලයකින් සහ ජනතා රැල්ලකින් බලයට පැමිණි ආණ්ඩුවක් අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත තනි සිද්ධියක් මුල්කරගෙන මුළු ආණ්ඩුවම එක මිටට ගැනීමට විපක්ෂය සමත් වී තිබීමය. ඒ තනි සිද්ධිය වූයේ වෙන කිසිවක් නොව රටට බාල ගල්අඟුරු ගෙන්වීම හරහා දැවැන්ත පාඩුවක් රටට සිදු කොට ඇති බවට සජබය සිදුකළ චෝදනාවය. ඒ හරහා ආණ්ඩුව පසුගිය සතිය වනවිට දේශපාලනික වශයෙන් අකර්මණ්‍ය කිරීමටත්, අඩි ගණනාවක් පසුපසට ඇදදැමීමටත් විපක්ෂය සමත්ව තිබිණි.Sri Lanka Latest News
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ සිටින සීමිත මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉතා සාර්ථකව ගල්අඟුරු චෝදනාව මුල්කරගෙන පාර්ලිමේන්තුව තුළදීත්, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ආණ්ඩුව ‘චෙක්මේට්‘ කිරීමට සමත්ව තිබීම විශේෂ සිදුවීමක් විය. පළමුව මෙම බාල ගල්අඟුරු ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී රටට අනාවරණ කිරීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. එකල සජිත් මුල් වරට පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ අදහස් දක්වද්දී ආණ්ඩු පක්ෂය ඊට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළා පමණක් නොව, සජිත්ට අපහාස උපහාස කිරීමටද කටයුතු කළේය. නමුත් දිනෙන් දින මේ පිළිබඳ නවතම තොරතුරු රැගෙන එමින් බාල ගල්අඟුරු ලංකාවට ගෙන්වීම හරහා රජයට දැවැන්ත පාඩුවක් සිදුකොට ඇති බවත්, ඒ හරහා දැවැන්ත වංචාවක් සිදුව ඇති බවත් සජිත් දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී ලිපිලේඛනද ඉදිරිපත් කරමින් කියා සිටියේය. එය තවදුරටත් තහවුරු කිරීමට සජිත්ට සහාය වූයේ විදුලිබල හා බලශක්ති ආංශික අධීක්ෂණ කාරකසභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන එස්.එම්. මරික්කාර් මහතාත්, සජබ මන්ත්‍රී කණ්ඩායමේ සිටින දක්ෂ නීතිඥවරයකු වන අජිත් පී. පෙරේරා මහතාත්ය. පාර්ලිමේන්තුවේ පැවැති ආංශික අධීක්ෂණ කාරකසභා රැස්වීම්වලදී විදුලිබල මණ්ඩලයේ බලධාරීන් සහ ලංකා ගල්අඟුරු සමාගමේ බලධාරීන් කැඳවීම හරහා ක්‍රමානුකූලව, පියවරෙන් පියවර ගල්අඟුරු ගෙන්වීම හරහා සිදුකොට ඇති වංචාව එළියට ගැනීමට මරික්කාර් සමත්ව තිබිණි. හෙතෙම වරින් වර පාර්ලිමේන්තුවේදීද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලුත්ම තොරතුරු රටට අනාවරණ කිරීමටද පියවර ගෙන තිබිණි.
එමෙන්ම මෙම සියලු තොරතුරු තර්කානුකූලව විපක්ෂයේ අනෙකුත් පක්ෂවලටද තොරතුරු ගලා යන පරිදි වැඩේ ඉදිරියට අරගෙන ගියේ වෙන කවුරුවත් නොව අජිත් පී. පෙරේරාය. ඒ අනුව, පාර්ලිමේන්තුවෙන් පිටත පොදු අපේක්ෂකයන් සොයමින් වෙන වෙන මාතෘකා ඔස්සේ ගමන් කරමින් සිටි විපක්ෂයේ අවශේෂ පක්ෂද බාල ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් කතාකරන තැනට රැගෙන ආවේ වෙන කවුරුවත් නොව, සජිත්, අජිත්, මරික්කාර් යන තිදෙනාය. මෙම වංචාව සම්බන්ධයෙන් කෙතරම් ප්‍රබලව ඔවුන් කරුණු රට හමුවේ තැබුවාද කියනවා නම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය පවා එම තොරතුරු දිගින් දිගටම වාර්තා කිරීමට කටයුතු කිරීම හරහා ආණ්ඩුවට පවා එය මහත් හිසරදයක් බවට පත්වන ලකුණු පහළ කොට තිබිණි. ඒ අනුව වසර එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම විවිධ ක්ෂේත්‍රවල ජනතාව පවා බාල ගල්අඟුරු ගෙන්වීමෙන් දැවැන්ත වංචාවක් සිදුකොට ඇති බවට දන්නා තරමට වැඩේ ගම් ඇතුළටම යෑම මේ හරහා සිදුව තිබිණ.
විගණකාධිපති නාටකය
මේ ආකාරයටම 2015දී එවකට බලයට පත්වූ යහපාලන ආණ්ඩුව වසර එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම පාහේ සියතට ගැනීමට එදා ඒකාබද්ධ විපක්ෂය කටයුතු කොට තිබිණි. ඒ, මහබැංකු බැඳුම්කර වංචාව රටට අනාවරණ කිරීම හරහාය. එවකදීද විපක්ෂයේ මන්ත්‍රීවරුන් 40ක පමණ කණ්ඩායමක් යහපාලන ආණ්ඩුවට එරෙහිව බැඳුම්කර චෝදනාව එල්ල කළ අතර, එය ඉතාමත්ම කෙටි කාලයකින් මුළු රටම දැනගන්නා ආකාරයේ මාතෘකාවක් බවට පත්කිරීමට විපක්ෂය සමත්ව තිබිණි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ යහපාලන ආණ්ඩුව දෙකඩ වීමට බැඳුම්කර වංචාව සමත් වීමත්, ආණ්ඩුව පෙරළී යාමේ ප්‍රධාන සංසිද්ධියක් බවට එය පත්වීමත්ය.
මෙම ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් සජිත් ප්‍රමුඛ විපක්ෂය දිගින් දිගටම චෝදනා කරද්දී ඒ හා බැඳී ඇති බවට සැක කළ හැකි තවත් විශේෂ සිදුවීමක්ද මීට වසරකට පමණ ඉහතදී සිදුව තිබිණි. ඒ, විගණකාධිපතිවරයා පත්කිරීම දිගින් දිගටම කල්දැමීමට ආණ්ඩුව කටයුතු කිරීමය. එවක විගණකාධිපතිවරයා වශයෙන් කටයුතු කළ සී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා එම තනතුරට පත්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි කියාය. නමුත් පුදුමයකට මෙන් ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට නම්කොට එවා තිබුණේ ධර්මපාල ගම්මන්පිල මහතාගේ නම නොව, වෙනත් අයකුගේ නමකි. විපක්ෂය එහිදී චෝදනා කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා ඉතිහාසයේ පළමු වරට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු නොවන පිටස්තර, තමන්ට හිතවත් අයකු එම තනතුරට පත්කිරීමට සූදානම් වන බවත්, එය පසුපස කුමක් හෝ විශාල අබිරහසක් තිබිය හැකි බවත්ය.
ඒ අනුව ආණ්ඩුවට එල්ල වූ මෙම ප්‍රබල චෝදනාව හේතුකොට ගෙන අවසානයේදී ජනාධිපතිවරයාගේ මෙම නාමයෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේදී විපක්ෂ නායකවරයාත්, විපක්ෂය නියෝජනය කළ අජිත් පී. පෙරේරා මහතාත්, සිවිල් නියෝජිතයන් තිදෙනාත් සිය විරෝධතාව ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයාගේ යෝජනාව මුල් අවස්ථාවේදීම ව්‍යවස්ථාදායක සභාවේදී පරාජයට පත්විය. මේ ආකාරයට ජනාධිපතිවරයා අවස්ථා හතරකදීම විවිධ අයගේ නම් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කිරීමට කටයුතු කර තිබුණද, ඒ සෑම අවස්ථාවකදීම ව්‍යවස්ථාදායක සභාව එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කිරීම විශේෂ සිදුවීමක් විය. ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මාස 8කට අධික කාලයක් විගණකාධිපති ධුරය හිස්ව තිබූ අතර, එහි වැඩ බැලීම සඳහා දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ධර්මපාල ගම්මන්පිල මහතා දිගින් දිගටම පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි. ධර්මපාල මහතා විගණකාධිපතිවරයා වශයෙන් පත්කරන ලෙස මල්වතු-අස්ගිරි මහානාහිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ලිපියක් මාර්ගයෙන් ජනාධිපතිවරයාට දැනුම්දි තිබුණත් ජනාධිපතිවරයා එය පිළිගත් බවක් එහිදී දැකගන්නට ලැබුණේ නැත.
ගහන්න ගිය ගේම
විපක්ෂය මෙහිදී දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා කරමින් කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ සිවිල් නියෝජිතයන් තිදෙනාගේ නිල කාලය ජනවාරි මාසයේ අවසන් වීමට නියමිතව ඇති බැවින් තමන්ට හිතවත් සහ ආණ්ඩුවත් සමග කටයුතු කළ හැකි සිවිල් නියෝජිතයන් තිදෙනකු පත්කර ගැනීම හරහා තමන්ට අවශ්‍ය විගණකාධිපතිවරයකු පත්කර ගැනීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටිනවා යැයි කියාය.
ඒ අනුව, පසුගිය ජනවාරියේ ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනාගේ ධුර කාලය අවසන් වීමත් සමග නව සාමාජිකයන් පත්කර ගැනීම සඳහා අගමැතිවරිය හා විපක්ෂ නායකවරයා අතර විශේෂ සාකච්ඡා වට කීපයක්ම පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙහිදී ඇත්ත වශයෙන්ම ආණ්ඩුව සැලසුම් කර තිබුණේ තමන්ට හිතවත් සිවිල් නියෝජිතයන් තිදෙනකු පත්කර ගැනීම හරහා මෙම ප්‍රශ්නය අවසන් කරගැනීමටය. නමුත් එය ආණ්ඩුව සිතූ තරම් පහසුවෙන් සිදුකර ගැනීමට නොහැකි වූයේ එක් සිවිල් නියෝජිතයකු විපක්ෂ නායකවරයාගේ එකඟතාවයෙන් යුක්තව පත්කරගත යුතු බවට වගන්තියක් ව්‍යවස්ථාවේ ඇතුළත්ව තිබීම නිසාය. ඒ අනුව අවස්ථා දෙකකදීම අගමැතිවරිය ඉදිරිපත් කළ නාමයෝජනාවකට සිය විරෝධය පළකිරීමට සජිත් කටයුතු කොට තිබිණි. ඒ අනුව රැස්වීම් දෙකක්ම කිසිදු අවසන් එකඟතාවකින් තොරව නිමා වූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම දෙවැනි රැස්වීමට කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවා එක්ව සිටි අතර, සජිත් ඊටද විරෝධය පළකරමින් දැනුම් දී තිබුණේ කතානායකවරයාට එම සාකච්ඡාවට සහභාගි වීමේ පදනමක් නොමැති බවත්, අදාළ නාමයෝජනාව අගමැතිවරියගේ පමණක් නොව තමන්ගේද එකඟතාව මත සිදුකිරීමට කටයුතු කළ යුතු බවත්ය. අවසානයේ එවැනි නාමයෝජනාවක් පැමිණියේ තුන්වැනි සාකච්ඡා වටයේදීය. ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය සකස් කරගැනීමට අගමැතිවරියටත්, සජිත්ටත් සාකච්ඡා වට තුනක් පැවැත්වීමට සිදුව තිබිණි.
කෙසේ වෙතත් එම නාමයෝජනාවට එකඟතාව පළකිරීම සම්බන්ධයෙන් සජබයේ ඇතැමුන්ගෙන් පවා ප්‍රබල විවේචන සජිත්ට ඉදිරිපත් විය. එහිදී ඇතැමුන් සජිත්ව විවේචනය කරමින් කියා තිබුණේ විගණකාධිපතිවරයා පත්කර ගැනීමේ සටන පාවාදීමට සජිත් කටයුතු කොට තිබුණා යැයි කියාය. ඊට පෙරද වරක් එස්. විජේරත්න මහත්මියගේ නම ව්‍යවස්ථාදායක සභාවට එවූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබූ පසුබිමක නැවත එම නාමයෝජනාව පිළිගැනීම කිසිසේත්ම අනුමත කළ හැකි එකක් නොවන බවද ඔවුන් එහිදී සජිත්ට කියා තිබිණි. මේ සම්බන්ධයෙන් එළියේද ප්‍රබල විවේචනයක් පැවැතුණත් වැඩියෙන්ම සජිත්ට එම චෝදනාව ආවේ සිය පක්ෂය ඇතුළෙන්ම වීම විශේෂ සිදුවීමක් විය.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා නැවත වතාවක් විගණකාධිපති ධුරය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින දෙවැනි ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වූ විජේරත්න මහත්මියගේ නම යෝජනා කොට එවීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ඊට ව්‍යවස්ථාදායක සභාවේ එකඟතාව හිමිවිමෙන් පසු විජේරත්න මහත්මිය ලංකාවේ පළමු විගණකාධිපතිවරිය ලෙස තේරී පත්වූ අතර, ඇයට ලැබුණු පළමු රාජකාරිය වූයේද මෙම බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විගණන කටයුතු සිදුකිරීමය.
කාලා බලලා නෑ
කෙසේවෙතත් බාල ගල්අඟුරු ගෙන්වීම මුල්කරගෙන විපක්ෂය විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා සතිය ආරම්භයේදීම ඊට අදාළ විගණන වාර්තාවද නිකුත් වීම දෛවෝපගත සිදුවීමක් බවට පත්ව තිබිණි. මෙය මුලින්ම රටට අනාවරණ වූයේ මේ සතියේ පාර්ලිමේන්තුව ආරම්භ වූ පසුගිය අඟහරුවාදා දිනයේදීය. සඳුදා දින පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා පීඩාවට පත්ව සිටින ජනතාවට ලබාදෙන සහන මල්ලට කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් පසු එය පාර්ලිමේන්තුවට දැනුම්දීම සඳහා අඟහරුවාදා දහවල් 12ට පැමිණෙන බව සඳහන් කොට තිබිණි. ඒ අනුව සභානායක බිමල් රත්නායක මහතා අඟහරුවාදා පෙරවරුවේම පාර්ලිමේන්තුවට දැනුම්දී සිටියේ ජනාධිපතිවරයා දහවල් 12 වනවිට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇති බවකි. එමෙන්ම සිය කතාවේදී බිමල් කියා සිටියේ ‘ගල් අඟුරු වංචාව’ සම්බන්ධයෙන් වන විගණකාධිපති වාර්තාව මේ වනවිට නිකුත්වී ඇති බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කොට ඇති බවත්ය.
සාමාන්‍යයෙන් කුමන හෝ වාර්තාවක් සභාගත කරන්නේ නම් එය සෑම මන්ත්‍රීවරයකුටම තමතමන්ට අනන්‍ය වූ භාෂාවෙන් ලබාදීම සිදුකළ යුතුය. බාල ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ලබාදීමට කටයුතු කොට ඇති බව බිමල් සඳහන් කළද ඒ වනවිට විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකුගේ අතට එම වාර්තාව ලැබී නොතිබීම විශේෂ සිදුවීමක් විය. ඒ සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න කරද්දී ආණ්ඩුව පැත්තෙන් කියැවුණේ තවමත් එහි පිටපත් පහක් පමණක් රැගෙන ඇති බවකි. ඒ අනුව සෑම මන්ත්‍රීවරයකුටම පසුව එහි පිටපත බැගින් ලබාදීමට පියවර ගන්නා බවද සඳහන් විය. විපක්ෂය ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු විමසද්දී බිමල් කියා සිටියේ එම පිටපත් ලබාදීම ආණ්ඩුවේ කටයුත්තක් නොව, පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ කටයුත්තක් යැයි කියාය.
කෙසේවෙතත් ආණ්ඩු පක්ෂය එසේ පවසමින් වගකීමෙන් ගැළවුණද මේ පිටුපස කිසියම් රහසක් ඇති බවට විශාල සැකයක් මන්ත්‍රී අජිත් පී. පෙරේරාටත්, මරික්කාර්ටත් මතුව තිබිණි. ඒ අනුව අඟහරුවාදා පෙරවරුවේ සිටම පාර්ලිමේන්තුවේ පුස්තකාලයට යමින්, පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන් හමුවෙමින් ඔවුන් උත්සාහ කළේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට ප්‍රථම මෙම විගණන වාර්තාවේ පිටපතක් තමන් අතට ලබාගැනීමටය. නමුත් ඒ අතරවාරයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සහන පැකේජය ප්‍රකාශයට පත් කළා පමණක් නොව, මෙම ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන්ද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට පියවර ගත්තේය. මෙහිදී පළමු වතාවට ජනාධිපතිවරයා මෙසේ ගෙන්වා ඇති ගල්අඟුරු තත්ත්වයෙන් බාල බව පිළිගැනීම විශේෂ සිදුවීමක් විය. එහිදී තවත් ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ටෙන්ඩර් පටිපාටියේදී කිසිදු වංචාවක් සිදුව නැති බවත්, තමන් හෝ ආණ්ඩුවේ සිටින කිසිවකුත් ගල්අඟුරු කාලා බලා ගෙන ඒමට කටයුතු කොට නැති බවත්ය.
වාර්තාව එළියට
මේ අතරවාරයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගල්අඟුරු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කර තිබූ වාර්තාව සොයාගැනීමට විශාල උත්සාහයක් දරුවත් එය සාර්ථක වී තිබුණේ නැත. ආණ්ඩු පක්ෂයද එම වාර්තාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදීමට උනන්දු වූ ආකාරයක් දැකගන්නට තිබුණේද නැත. නමුත් ජනාධිපතිවරයා සිය කතාව අවසන් කොට මොහොතක් ගතවද්දී සියල්ලන්ම පුදුමයට පත්කරවන ආකාරයේ සිදුවීමක් සිදුව තිබිණි. ඒ, විපක්ෂයේ මන්ත්‍රීවරුන් සොයමින් සිටි විගණකාධිපති වාර්තාව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින්ම සිය වෙබ් අඩවියේ පළකිරීමට කටයුතු කොට තිබීමය. ආණ්ඩුවට එරෙහිව මෙතෙක් චෝදනාවක් ලෙස පමණක් ඉදිරිපත් වූ බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධ සිද්ධිය ආණ්ඩුවට එරෙහිව එල්ල වූ දේශපාලන බෝම්බයක් බවට පත්වූයේ මෙසේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් වූ අවසන් විගණන වාර්තාව එළිදැක්වීමට කටයුතු කිරීමත් සමගය. ඒ අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් කළේ වහාම එම වාර්තාව බාගත කරගනිමින් එහි පිටපත් ලබාගැනීමය.
මේ සම්බන්ධයෙන් මූලිකත්වය ගත්තේ නීතිඥ අජිත් පී. පෙරේරාය. නීතිඥයකු ලෙස ලබා තිබූ පරිචය නිසාම එම වාර්තාව අධ්‍යයනය කරද්දී එහි 13 වැනි පිටුවේ ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් අනාවරණ කර තිබූ සුවිශේෂ තොරතුරු කිහිපයක්ම සොයාගැනීමට අජිත්ට හැකි විය. ඒ අනුව පාර්ලිමේන්තු සභා වාරය අවසන් විමට ඔන්න මෙන්න කියා සභාවට පැමිණි අජිත් විශේෂ වේලාවක් ලබාගෙන විගණකාධිපති වාර්තාවෙන් ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් අනාවරණ කොට තිබූ තොරතුරු සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.
අජිත් එම තොරතුරු සභාවට හෙළි කරද්දී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා පුදුමයට පත්ව නිරුත්තරව ගල්ගැසී සිටි ආකාරයක් දැකගත හැකි විය. ඒ අනුව ජනාධිපතිවරයා එදින දහවල් පාර්ලිමේන්තුවට පැමිණ ඉදිරිපත් කළ සහන පැකේජය දෙවැනි තැනට ඇද දමමින් රටේම ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ අජිත් ඉදිරිපත් කළ විගණන වාර්තාවේ ඇතුළත්ව තිබූ මෙම තොරතුරුය. ඒ අනුව නව විගණකාධිපතිවරිය තමන් විසින් ඉදිරිපත් කළ පළමු විගණන වාර්තාවෙන්ම නොමැකෙන සලකුණක් සටහන් කිරීමට සමත් වී තිබූ ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම බාල ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිතුත්, මරික්කාරුත්, අජිත් පී. පෙරේරාත් වරින් වර පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් බාල ගල්අඟුරු සම්බන්ධයෙන් සිදුකළ සියලු අනාවරණයන් අකුරක් නෑර විගණන වාර්තාව මගින් තහවුරු කොට තිබීමද විශේෂ සිදුවීමක් විය. එහි රස්නය ආණ්ඩුවටද දැනී තිබූ බවක් හොඳටම දැකගත හැකි වූයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ සිය සගයා වූ කුමාර ජයකොඩි මහතා ආරක්ෂා කරන ආකාරයෙන් අදහස් දැක්වූවත්, ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් වන හරිනි අමරසූරිය, බිමල් රත්නායක, නලින්ද ජයතිස්ස වැන්නවුන් කුමාර ජයකොඩිව ආරක්ෂා කරමින් දැඩිව අදහස් දැක්වූ ආකාරයක් දැකගන්නට නොලැබීමය. එමෙන්ම විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන් පළමුව පාර්ලිමේන්තුවට දැනුම් දෙද්දී බිමල්ගේ කටින් කියැවුණේද ‘ගල්අඟුරු වංචාව’ යන වචන කීපයය.
මහ රෑ ආ ඇමතුම
මෙම සටනේ ඊළඟ අදියර ආරම්භ වූයේ බදාදා දිනයේය. බදාදා වනවිට විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ අත්වල ගල්අඟුරු විගණන වාර්තාව පැවැති අතර, ඔවුන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ අධ්‍යයනයක යෙදී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. කෙසේ වෙතත් බදාදා රාත්‍රිය වනවිට සජිත්ට ලැබුණු දුරකතන ඇමතුමකින් කියැවුණේ බ්‍රහස්පතින්දා දිනයේදී කෝප් කමිටුව රැස්වීමට නියමිතව ඇති බවත්, මෙම බාල ගල්අඟුරු වංචාවේ උණුසුම අකාමකා දැමීම සඳහා 2020 සිට 2025 දක්වා වූ කාලසීමාව තුළ ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේ සියලු තොරතුරු ඊට රැගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත්ය. ඒ අනුව වහාම සජිත් කළේ එදින රාත්‍රියේම කෝල් කොන්ෆරන්ස් තාක්ෂණය ඔස්සේ කෝප් කමිටුව නියෝජනය කරන සියලු සජබ මන්ත්‍රීවරුන් හදිසි සාකච්ඡාවක් සඳහා සම්බන්ධ කරවා ගැනීමය. ඒ අනුව යම් හෙයකින් ආණ්ඩුව පවතින තත්ත්වය හමුවේ ජනමතය වෙනතකට යොමුකිරීම සඳහා අතීතයේ ගල්අඟුරු ආනයනය කළ ආකාරය පිළිබඳ තොරතුරු කෝප් කමිටුවට ගෙන ඒමට කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. එමෙන්ම එම සාකච්ඡාවෙන් අනතුරුව මරික්කාර්ට දුරකතන ඇමතුමක් ලබාදුන් සජිත් කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංගය විවාදයට ගන්නා සිකුරාදා දිනයෙහි පාර්ලිමේන්තුවෙන් පිටත ජනතාව ඒකරාශී කිරීමේ කටයුතු ඔහුට භාරදීමට පියවර ගත්තේය. ඒ අනුව ඉතාමත් කෙටි කාලයක් ඇතුළත දුරකතන ඇමතුම් කිහිපයක් හරහා ජනතාව විශාල ප්‍රමාණයක් සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තු වටරවුම අසලට රැගෙන ඒමට මරික්කාර් කටයුතු කොට තිබිණ.
කුමාරට මොකද්ද කරන්නේ?
විගණන වාර්තාවෙන් පවා ගල්අඟුරු ගෙන්වීමේදී රටට පාඩුවක් සිදුව ඇති බව පැහැදිලිව තොරතුරු අනාවරණ කොට තිබියදීත් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කුමක්ද? වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේම කිසිදු වංචා දූෂණයක් සිදු නොකරන බවටත්, එවැන්නක් සිදු නොවන බවට වගබලා ගන්නා බවටත් ජනතාවට පොරොන්දුවක් ලබාදෙමිනි. එවැන්නක් සිදුවන්නේ නම් ඊට එරෙහිව පළමු අවස්ථාවේදීම ක්‍රියාත්මක වීමට පසුබට නොවන බවද මැතිවරණ සමයේදී මාලිමා ප්‍රධානීහු ජනතාවට ප්‍රතිඥා දුන්හ. එය ක්‍රියාවට නංවමින් මුල් අවස්ථාවේදීම හිටපු කතානායක අශෝක රංවල මහතාගේ උපාධිය ව්‍යාජ එකක් බවට ඔප්පු වූ වහා හෙතෙම කතානායක ධුරයෙන් ඉවත් කිරීමටද මාලිමා ප්‍රධානීහු පියවර ගත්හ. ඒ නිසා බොහෝ දෙනා සිතා සිටියේ විගණන වාර්තාව හරහා ගල්අඟුරු ගෙන්වීමේදී දැවැන්ත පාඩුවක් සිදුව ඇති බවට අනාවරණ කිරීමත් සමග ආණ්ඩුවේ ප්‍රධානීන් කුමාර ජයකොඩිවද අමාත්‍ය තනතුරෙන් ඉවත් කරනු ඇතැයි කියාය. නමුත් එවැන්නක් සිදුවනු දැකගන්නට ලැබුණේ නැත.
කෙසේ වෙතත් පසුගිය සතියේ විගණන වාර්තාව පිටවීමත් සමග ආණ්ඩුව ඇතුළේ ගිය කතාවකින් කියැවුණේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙරාතුව කුමාර ජයකොඩි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි කියාය. තවත් කතාවකින් කියැවුණේ එසේ ඉල්ලා අස් නොවන්නේ නම්, වහාම කුමාර ජයකොඩිව ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි කියාය. මෙම තොරතුර පසුගිය සතියේ ‘ද ලීඩර්’ වෙබ් අඩවියද විශේෂ පුවතක් මගින් වාර්තා කිරීමට කටයුතු කර තිබිණි. නමුත් මෙහි ඇත්ත කතාව කුමක්ද?
විගණන වාර්තාව නිකුත් වීමත් සමග පැලවත්ත පක්ෂ මූලස්ථානය දැඩිව ප්‍රකාශ කොට ඇතැයි කියවෙන්නේ කුමාර ජයකොඩි යනු ජවිපෙ සාමාජිකයකු නොවන නිසාත්, ඔහු ජනතා ඡන්දයකින් පාර්ලිමේන්තුවට තේරීපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පැමිණි අයකු නිසාත් වහාම ඔහුව අමාත්‍ය තනතුරෙන් ඉවත් කළ යුතු යැයි කියාය. එහිදී පැලවත්තේ ප්‍රධානීන් වැඩිදුරටත් පෙන්වා දී ඇතැයි පැවසෙන්නේ ඔහුව තවදුරටත් මෙවැනි චෝදනා යටතේ අමාත්‍ය තනතුරේ තබාගැනීමෙන් ආණ්ඩුව දැඩි අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකි යැයි කියාය.
අයින් කරන්නේ නෑ
නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව ඇතුළේ ජනාධිපතිවරයාට සමීප කණ්ඩායම පෙන්වා දී ඇතැයි කියැවෙන්නේ මේ ආකාරයේම චෝදනා වත්මන් කතානායකවරයාටද එල්ල වී ඇති නමුත් ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර නොගත් නිසා කුමාර ජයකොඩිවද අමාත්‍ය තනතුරෙන් ඉවත් කළ යුතු නැතැයි කියාය. විශේෂයෙන්ම වත්මන් කතානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට පවා පැමිණිලි ඉදිරිපත්ව ඇති බවද ඔවුන් මෙහිදී පෙන්වා දී ඇති තර්කයකි. කතානායකවරයා පැලවත්ත පාර්ශ්වය නියෝජනය කරන්නෙකු ලෙස සැලකෙන නිසා කතානායකවරයා ඉවත් කිරීමට පැලවත්ත මූලිකත්වය නොගත්තා සේම කුමාර ජයකොඩි ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරන්නෙකු නිසා ජනාධිපතිවරයාද ඔහුව ඉවත් කිරීමට කටයුතු නොකරනු ඇති බව ඔවුන්ගේ තර්කය වී තිබිණ.
කෙසේ වෙතත් විගණකාධිපති වාර්තාව පැමිණීමත් සමග මේ වනවිට පැලවත්තෙන් එල්ල වන බලපෑම් දැඩි වී ඇති බවක්ද රාජ්‍ය රහස් තීරයට ආරංචිය. ඉන් කියැවෙන්නේ වහාම කුමාර ජයකොඩිව එම තනතුරෙන් ඉවත් කළ යුතු යැයි කියාය. තවදුරටත් කුමාර ජයකොඩිව ආරක්ෂා කිරීමේ තත්ත්වයක පක්ෂය නොමැති බවත්, එසේ ආරක්ෂා කිරීමට ගියහොත් ආණ්ඩුව තවදුරටත් ජනතාව අතර අප්‍රසාදයට පත්විය හැකි බවත් පැලවත්තේ මතය වී ඇති බව පැවසේ. ඒ අනුව ජනාධිපතිවරයාටද මේ වනවිට තවදුරටත් සිය මිතුරා වන කුමාර ජයකොඩි ආරක්ෂා කරගත හැකිද යන ප්‍රශ්නය මතුව ඇති ආකාරයක් දැකගන්නට තිබේ. ඒ අනුව විශ්වාසභංගය කෙසේ හෝ ජයග්‍රහණය කිරීමෙන් පසු කුමාර ජයකොඩිට ඉල්ලා අස්වන ලෙස දැනුම්දීමේ වාතාවරණයක් මතුවිය හැකි බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එවැනි තත්ත්වයක් මතුවුවද ජවිපෙන් කුමාර ජයකොඩිව තවදුරටත් ආරක්ෂා කරනු ඇද්ද යන්න සම්බන්ධයෙන්ද ඇත්තේ බරපතළ ගැටලුවකි.
රවී එළියට ආවා
පසුගිය සතියේ පාර්ලිමේන්තුව ඇතුළේ කුමාර ජයකොඩිගේ විශ්වාසභංගය හේතුකොට ගෙන මෙවැනි සිදුවීම් පෙළක් වාර්තා වෙද්දී කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ විශේෂ සිදුවීමක්ද පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවිය. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයේ පක්ෂ නායකයන් හමුවී විශේෂ සාකච්ඡාවකට එක්වීමය. පසුගිය කාලයේදී මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් ලංකාවට පැමිණි සෑම අවස්ථාවකදීම පාහේ ආණ්ඩුවේ නියෝජිතයන් හමුවී පසුව විපක්ෂයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීම සම්ප්‍රදායක් කොට ගෙන තිබුණද, මාලිමා ආණ්ඩුව බලයට පත්වී මාස හත අටක් ගතවන විට මෙම තත්ත්වය වෙනස් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණ ආණ්ඩුවේ බලධාරීන් සමග සාකච්ඡා කළද, විපක්ෂය සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වා පිට පාරෙන්ම ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. ඊට එරෙහිව විපක්ෂය අවස්ථා ගණනාවකදීම කළ පැමිණිලි හේතුකොට ගෙන මෙවර මූල්‍ය අරමුදලේ නිලධාරීන් ලංකාවට පැමිණි අවස්ථාවේදී විපක්ෂයේ පක්ෂ නායකයන්ටද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවක් ලබාදීමට පියවර ගෙන තිබිණි. ඒ, විපක්ෂයේ පක්ෂ නායකයන් විසින් කතානායක කාර්යාලය හරහා කරනු ලැබ තිබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි. ඒ අනුව පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති එම සාකච්ඡාව ඉතා උණුසුම් එකක් වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඊට හේතු වූයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා වත්මන් තත්ත්වය පිළිබඳව මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගෙන් දිගින් දිගටම කරනු ලැබූ ප්‍රශ්න කිරීම් හේතුකරගෙනය. එහිදී රවී සාකච්ඡාව ආරම්භයේදීම සිය දැඩි අප්‍රසාදය මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ට දැනුම් දුන්නේ එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරයේදී කළ ප්‍රකාශයකටය. .
‘මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ලංකාවෙන් යද්දී ආණ්ඩුව ගෙනයන මූල්‍ය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රසාදය පළකරලා ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. එතුමිය ආණ්ඩුවට පක්ෂපාතී විදියට අදහස් දක්වමින් කියලා තිබ්බේ ආණ්ඩුව ආර්ථිකය හොඳට හසුරුවනවා, රටේ ආර්ථික වර්ධනය හොඳයි වගේ කතාවක්. හැබැයි එතුමිය කිසිම තැනක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන වචනයක්වත් සඳහන් කරලා තිබ්බේ නෑ. මම හිතන්නේ ඒක එතුමියට නොගැළපෙන වැඩක්. ඒ ගැන අපිට ලොකු කලකිරීමක් තියෙනවා. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ආර්ථිකය බංකොලොත් වුණාට පස්සේ අයි.එම්.එෆ්. එකත් එක්ක කතා කරලා රට ඇතුළේ ආර්ථික ප්‍රතිසංස්කරණ කරලා රටේ ආර්ථිකය යළිත් ප්‍රකෘති තත්ත්වයට ගන්න කටයුතු කළේ. ඒ නිසා අඩුම තරමේ එතුමියට තිබුණා වචනයකින් හරි රනිල් වික්‍රමසිංහ මහත්තයට ස්තුති කරන්න. අද ආණ්ඩුව අරන් යන්නෙත් එතුමා ක්‍රියාත්මක කරපු ප්‍රතිපත්ති. කිසි වෙනසක් කරලා නෑ. එහෙම එකේ එතුමිය ආණ්ඩුවට පක්ෂපාතී විදියට ප්‍රකාශයක් කරපු එක වැරැදියි…’ යනුවෙන් කී රවී, එතැනින් නොනැවතී මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ තවදුරටත් ප්‍රශ්න කිරීමටද පියවර ගත්තේය.
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ගැනත් අපට ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ රටක් තවදුරටත් ණය උගුලේ හිරකරන්නේ නැතුව ඒ රට ණය ගන්න එක නවත්තලා ආර්ථිකය දියුණු කරන එකයි. නමුත් දැන් මූල්‍ය අරමුදල කරන්නේ ලංකාවේ ආර්ථිකය තවදුරටත් ණය ගන්න තැනට හසුරුවමින් ඉන්න එක. අඩුම තරමේ මූල්‍ය අරමුදල ඒකට මැදිහත් නොවී ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක්…’ කී රවී ඊට උදාහරණද ගෙනහැර දැක්වීමටත් පියවර ගත්තේය.
මේ ආකාරයට රවී මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට තේරෙන භාෂාවෙන් සරල ඉංග්‍රීසියෙන් සිය ස්ථාවරය පැහැදිලි කරද්දී මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ද ඇස් උඩ තියාගෙන පුදුමයට පත්ව රවී දෙස බලා සිටි ආකාරයක් දැකගත හැකි විය. ඉන් අනතුරුව රවී මූල්‍ය අරමුදලේ වත්මන් ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීමටද පියවර ගත්තේය.
‘සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදල රටක් එක්ක ඉදිරියට ගනුදෙනු කරන්නේ ඔවුන් සමග අස්සන් කළ කොන්දේසිවලට අනුකූලවයි. දැන් ලංකාවේ එහෙම වෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. මොකද සාමාන්‍යයෙන් මූල්‍ය අරමුදලත් එක්ක කටයුතු කරද්දි ඒ රට දූෂණයෙන් තොර විනිවිද පෙනෙන සුළු ආර්ථික ප්‍රතිපත්තියක් අරගෙන යන්න ඕනේ. නිවැරැදි ආර්ථික ක්‍රමවේද මත පිහිටලා කටයුතු කරන්න ඕනේ. හැබැයි දැන් අපිට පේනවා මේ ආණ්ඩුව ඇතුළේ දූෂණ සිද්ධ වෙනවා. සමහර කටයුතුවල විනිවිදභාවයක් නෑ. නමුත් අපිට පේන්නේ නෑ මූල්‍ය අරමුදල ආණ්ඩුවේ ඒ ගනුදෙනු ප්‍රශ්න කරනවා. කෝ මූල්‍ය අරමුදල මේ ප්‍රශ්නවලදී අරන් තියෙන විකල්ප ක්‍රියාමාර්ග?’ යනුවෙන් රවී ප්‍රශ්න කරද්දී මූල්‍ය අරමුදලේ නිලධාරීන්ද නිරුත්තව සිටි ආකාරයක් දැකගත හැකි විය.
අර්චුනාත් මැද්දට පනී
මේ ආකාරයට රවී දිගින් දිගටම මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරද්දී අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාද ඊට සම්බන්ධ වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී අර්චුනා ද ආණ්ඩුවට එල්ල වී ඇති දූෂණ චෝදනා සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගත්තේය.
‘පහුගිය කාලේ ආණ්ඩුවට බරපතළ චෝදනා කීපයක්ම එල්ල වුණා. පළවෙනි එක වුණේ කන්ටේනර් 323ක් කිසිම පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කිරීම. කෝ ඔබතුමාලා ඒ ගැන ප්‍රශ්න කළාද? කෝ ඒවායේ වාර්තා? දැන් අලුත්ම එක ගල්අඟුරු වංචාව. කෝ ඒ ගැන ඔබතුමාලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා අපි දැක්කේ නෑ. හැබැයි ඔබතුමාලගෙ ප්‍රතිපත්තිය දූෂණයෙන් රට තොරවිය යුතුයි කියලයි…’ යනුවෙන් අර්චුනා ප්‍රශ්න කරද්දී රවී ආරම්භ කළ සටන සාර්ථක වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
ඒ අනුව සාකච්ඡාව අවසාන වී විපක්ෂයේ පක්ෂ නායකයන් රැස්වීමෙන් පිටව යද්දී මූල්‍ය අරමුදලේ එක් නියෝජිතයකු රවී අසලට පැමිණ ඔහුගේ අතට අත දී විශේෂ ප්‍රකාශයක් කරනු දක්නට ලැබිණ.
‘මම ඔබතුමා මතුකළ කරුණු ගැන පුදුමයට පත්වුණා. ඔබගේ ප්‍රශ්න කිරීම ප්‍රශස්ත මට්ටමක තිබුණා. ඔබ ඉදිරිපත් කළ කරුණු අපට ඉතා වැදගත්. මොකද මීට කලින් කවුරුවත් අපිව මේ විදියට ප්‍රශ්න කරන්න කටයුතු කරලා නෑ. ඒ ගැන අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි කැමැතියි ඔබතුමා සමග තවදුරටත් මේ ගැන පෞද්ගලිකව සාකච්ඡා කරන්න…’ යනුවෙන් මූල්‍ය අරමුදලේ නියෝජිතයා කියද්දී රවී කියා සිටියේ ඕනෑම අවස්ථාවක තමන් ඊට සූදානම් යැයි කියාය.
මේ ආකාරයට රවී මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵල දින කීපයක් ඉක්ම යෑමට මත්තෙන් දැකගන්නට ලැබුණේ ‘දි අයිලන්ඩ්’ පුවත්පත පසුගිය සතියේ පළකර තිබූ පුවතක් හරහාය. එහිදී මූල්‍ය අරමුදලේ නියෝජිතයකු උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කොට තිබුණේ මූල්‍ය අරමුදල විසින් ආණ්ඩුව වෙත ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටුකිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවනවා යැයි කියාය. එම කොන්දේසි ඉටුකිරීම මත තවදුරටත් මූල්‍ය අරමුදලේ සහාය හිමිවනවාද නැද්ද යන්න තීරණය වන බවද එම පුවතේ සඳහන්ව තිබිණි. ඒ අනුව එම ප්‍රකාශය හරහා රවී දියත් කළ සටන ජයග්‍රහණය කොට තිබූ ආකාරයක් දැකගත හැකි විය.
මන්දිර ගරා වැටිලා
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු විශාල මාධ්‍ය සංදර්ශන පවත්වා සිදුකළ කටයුත්තක් වූයේ හිටපු ජනාධිපතිවරුන් රැඳී සිටි නිල නිවාස යළි ආණ්ඩුවට පවරා ගැනීමය. ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වූ චන්ද්‍රිකා කුමාරතුංග ජීවත් වූ නිදහස් මාවතේ නිවසත්, මහින්ද රාජපක්ෂ ජීවත් වූ විජේරාම මාවතේ නිවසත්, මෛත්‍රීපාල සිරිසේන ජීවත් වූ මහගම සේකර මාවතේ නිවසත්, ගෝඨාභය ජීවත් වූ බෞද්ධාලෝක මාවතේ නිවසත් යළි රජයට පවරා ගැනීමට පියවර ගැනිණි. එහිදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම කියා සිටියේ මෙම ඇතැම් නිල නිවාස අධිකරණ කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට කටයුතු කරන බවත්, ඇතැම් ඒවා තානාපති කාර්යාල හෝ රජයේ කාර්යාල ලෙස හෝ සුපිරි හෝටල් බවට හෝ පත් කිරීමට පියවර ගන්නා බවත්ය. ඒ අනුව ජනතාවද සිතා සිටියේ මෙම නිල නිවාසවලින් ආණ්ඩුව ලොකු වැඩක් ගනු ඇතැයි කියාය.
කෙසේ වෙතත් චන්ද්‍රිකාගේ, මෛත්‍රීපාලගේ, ගෝඨාගේ නිල නිවාස කෙසේ වෙතත් විජේරාම මාවතේ පිහිටි මහින්දගේ නිල නිවස අසලින් යන විට නම් බොහෝ දෙනා පුරුද්දට මෙන් ඒ දෙස බැලීම සිදු කරයි. එසේ බලන බොහෝ දෙනාට දැකගන්නට ඇති දර්ශනයක් වී ඇත්තේ වෙනදා මිනිස්සුන්ගෙන් පිරී ඉතිරී තිබූ මෙම නිල නිවස මේ වනවිට පාළු අම්බලමක් බවට පත්ව ඇති ආකාරයකි. නිසි නඩත්තුවකින් තොරව විනාශයට පත්වෙමින් ඇති ආකාරයකි. එසේත් නැත්නම් අතීතයේදී මෙන් ගරාවැටුණු, වල්වැදුණු පරණ වලව් බවට පත්වෙමින් ඇති බවකි.
මේ සම්බන්ධයෙන් තොරතුරු සොයාගෙන යද්දී අපට වාර්තා වන්නේ මෙම නිල නිවාස ආණ්ඩුවට පවරා ගැනීමට කටයුතු කළද තවමත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එය නිල වශයෙන් භාරගැනීමට පියවර ගෙන නොමැති බවකි. ඊට හේතු වශයෙන් කියවෙන්නේ අදාළ නිවාස භාරගැනීමේදී එහි තිබූ බඩුබාහිරාදිය සම්බන්ධයෙන් වූ ලැයිස්තුව හෙවත් ඉන්වෙන්ටි්‍රය අතුරුදන්ව තිබීමය. එම ලැයිස්තුව නොමැතිව අදාළ නිවාස භාරගැනීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවක් ඒ අනුව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් අතහැර දමා ඇති මෙම නිවාසවල අයිතිය සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති ආකාරයක් දැකගැනීමට පුළුවන. ඒ අනුව පසුගිය සතියේ විපක්ෂයේ ප්‍රබල තැනකින් ස්වාධීන නීතිඥ කණ්ඩායමක් කැඳවා එහි ඇති නීතිමය තත්ත්වය පිළිබඳ සොයාබලන ලෙස දැනුම්දීමක් කොට ඇති බවක් ආරංචිය. ඒ අනුව එම නීතිඥ කණ්ඩායම පසුගිය දිනක හිටපු ජනාධිපති චන්ද්‍රිකා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමන්ම ඔවුන් ඉදිරි දින කීපය ඇතුළත හිටපු ජනාධිපති මහින්දත්, මෛත්‍රීපාලත් හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත. ඒ අනුව ඉදිරියේදී මෙම නිල නිවාසවල අයිතිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලමින් අධිකරණය හමුවේ නඩු පැවරීමට සූදානමින් සිටින බවක්ද දැනගන්නට ඇත.










