දවස 2022 මැයි මාසෙ 08 වැනිදා. හැන්දෑ වරුව. mawratanews.lk වෙබ් අඩවිය ඇතුළු බොහෝ මාධ්‍ය ආයතන යම් කාරණාවක් වාර්තා කරනවා. මේ සිද්ධිය නිරවුල්ව නිවැරැදිව අපි අපේ වෙබ් අඩවිය ඔස්සේ ලෝකයට කියලා තිබුණා. ඒ තමයි පහුවදා උදේ 9ට අරලියගහ මන්දිරයේ රැස්වීමක් තියෙනවා. ඒ රැස්වීමෙදි යම් කිසි සිදුවීමක් සිදුවෙනවා. ඉන් පස්සේ ඔවුන් ගෝල්ෆේස් එකට යනවා. ගෝල්ෆේස් එකේදි ගැටුමක් ඇතිවිය හැකියි. ඉතා දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ සම්භාවිතාවක් සහිතයි. ඒ සඳහා සාකච්ඡා පවත්වා අවසන් කියන එක අපි හෙළිදරව් කළා. පළමුවෙන්ම ලිපිය පටන් ගන්නේ ප්‍රශ්නයක් අහලා. ඒකට හේතුව තමයි අපි මාධ්‍යවේදියො විදියට හෙළිකරපු කාරණාව ලංකාවෙ බුද්ධි අංශවලින් වාර්තා කළේ නැද්ද? ඔවුන් මේ ගැන හාංකවිසියක්වත් දැන හිටියෙ නැද්ද? පොලිසිය ගැටුමක් ඇතිවෙන එක වළක්වන්න ගත්ත පියවර මොනවද? අපි දැක්කා මේ සිදුවීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සියලු පරිසරය නිර්මාණය කරලා දෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආරක්ෂාව සඳහා වගකිව යුතු නිලධාරීන් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව කටයුතු කරන ආකාරය.
මේ අපි කතා කරන්නේ 2022 මැයි මාසෙ 09 වැනිදා ගැන. ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා තීරණාත්මක දවසක්. ලංකාවෙ දේශපාලන ඉතිහාසය කළු සලකුණකින් ලකුණු කළ හැකි තවත් එක් දිනයක්. ලියුම්කරුට අනුව මෙය දෙවැනි වෙන්නේ කළු ජූලියට පමණයි. මැයි මාසෙ 09 වැනිදා මේ සිද්ධිය පටන් ගන්න උදේ පාන්දර වෙද්දී විවිධ ප්‍රදේශවලින් බස් රථවල විවිධ කණ්ඩායම් කොළඹට පැමිණියා. මේ පැමිණෙන පිරිසට රුපියල් 5000ක් දීලා, අරක්කු කාලක් දීලා, බත් පාර්සලයක් දීලා මේ ගමනට කැමැති කරවාගත් බවයි අපි යම් තරමකට දන්නේ. පසුව දැනගත්ත විදියට මේ පුද්ගලයන්ගෙන් සමහර අයට බලපෑම් කරලා තිබුණා ඔවුන්ගෙ සමෘද්ධිය කපනවා, වරප්‍රසාද අහිමි කරනවා සහ දේශපාලනික වශයෙන් යම් ගැටලු ඇතිවිය හැකියි කියලා. මේ සියල්ලත් එක්කම බස් රථවල නැඟලා, සෙනඟ කොළඹට පැමිණියා. මේ බස් සියල්ල දේශපාලනික වශයෙන් වෙන් කරගත්ත බස් රථ. පාරෙ බස්වල ආපු අය හිටියා නම් හිටියේ ඉතා අසළොස්සක් විතරයි. මේ සියලු දෙනාම කොළඹට රැගෙන ආවෙ පොහොට්ටුවේ එවක හිටිය ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, නාගරික මන්ත්‍රීවරු ඇතුළු පොහොට්ටු දේශපාලකයන් විසින්. ඒ දේශපාලකයන් රැගත් බස් රථ කොළඹට ඇවිල්ලා කොළඹ අරලියගහ මන්දිරය අවට නතර කරලා මේ අයට අරලියගහ මන්දිරය අසලට එන්න පාර හදලා දුන්නා. අරලියගහ මන්දිරයට ඇතුළු වීම සඳහා ඉන්ද්‍රා ටේ්‍රඩර්ස් එක පැත්තෙන්, ගංගාරාම විහාරස්ථානය පැත්තෙන් තියෙන පාරත්, අනෙක් පැත්තෙන් තියෙන පාරත් සම්පූර්ණයෙන්ම වහලා දාලයි තියෙන්නේ. ඒ පාරවල් දෙක බැරියර් දාලා අවහිර කරලා තිබුණා. සාමාන්‍යයෙන් වාහන දෙක තුනකට විතරක් යන්න පුළුවන් විදියට. කලහකාරී පිරිසක් යම් විදියකින් පැමිණෙනවා නම් පොලිසියට තිබුණේ එකම එක බැරියර් දොරක් විතරක් වහලා දාන්න. ඒත් මේ සියල්ල දැනගෙන පොලිසිය බැරියර් ඉවත් කරලා සියලු දෙනාට අරලියගහ මන්දිරය අසලට එන්න ඉඩ දුන්නා. ඒ වෙනකොට මයිනා ගෝ ගම පරිශ්‍රය වටකරලා මේ මිනිස්සු රැඳී සිටියා. පොලිසිය මේ සිදුවීමට අදාළව සිදුවිය හැකි දේ ගැන දැනගෙන හිටියා කියන එකට තවත් සාක්ෂි තියෙනවා. ඒකට හේතුව තමයි ඒ වෙද්දී ගුවන් හමුදා කණ්ඩායම් ඇතුළු ආරක්ෂක කණ්ඩායම් මේ වටේ යොදවලා තිබුණා. හැබැයි කිසිම කෙනෙක් ඊට ඇතුළු වෙන පුද්ගලයන් නතර කරන්න අවශ්‍ය අණ සාමාන්‍ය සෙබළුන්ට දීලා තිබුණෙ නෑ.
කොල්ලුපිටිය පැත්තෙන් ඇතුළු වුණු පිරිස තුන් හාරසීයක් බව අපට දැනගන්න තියෙනවා. නමුත් නවම් මාවත පෙරහැර මාවත පැත්තෙන් ඇතුළු වුණු ප්‍රමාණය අති විශාලයි. මේ සියලු දෙනාම අරලියගහ මන්දිරය තුළට ගන්නවා. එලෙස ඔවුන්ව ගන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත බවයි අපට හිතෙන්නේ. මේ සිදුවීමේදී සියල්ල සිද්ධ වෙන්නේ පිටපතකට අනුව. මේ පිටපත කලින් දවසේ නිර්මාණය කළ එකක් බව මැයි 08 වැනිදා වාර්තාවල සඳහන්ව තිබුණා. එතැනදී කෙළින්ම චෝදනා කරලා තිබුණේ යෝෂිත රාජපක්ෂට, දේශබන්දු තෙන්නකෝන්ට, ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ ඇතැම් තැන්වල නාමල් රාජපක්ෂට. මේ අය මේ සැලසුම සකස් කරලා, එම සැලසුමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා මේ මිනිසුන්ට අරක්කු දීලා, ඔවුන්ව කුලප්පු කරලා, ඔවුන්ව ගාලුමුවදොරට යවන්න අවශ්‍ය සියලු කටයුතු නිර්මාණය කළා. දැනගන්නට තියෙන විදියට නිල නොලත් ආකාරයෙන් මේ සියල්ල සකස් කරපු යෝෂිත රාජපක්ෂ ඊට කලින් දවසෙ මධ්‍යම රාත්‍රියෙම තිබුණු ගුවන් යානයකින් පිටවෙලා යනවා. මේ විදියට පිටව යන දේශපාලකයන්ගේ දේශපාලන ජීවිතය සුරක්ෂිත කිරීම සඳහා තමයි ගම්වලින් ආව අහිංසක මිනිසුන්ව පාවිච්චි කරන්නේ. මෙතැනදී මේ අයගේ පහරදීමේ සිදුවීමට අදාළව පැහැදිලි ප්‍රකෝපකිරීම සිදුකරන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු. ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ මිනිස්සු රැස් කරලා, ඔවුන්ගෙ ලේ කෝප වෙන විදියට කතා කරලා, උඹලට බැරි නම් අපි ගිහිල්ලා ගහමු, ජනාධිපතිතුමාට බැරි නම් අපට මේක භාරදෙන්න, අපි මේක කඩලා බිඳලා විනාශ කරන්නම්. අපි මේක අයින් කරලා දෙන්නම්, අපි මුන්ට ගහලා එළවන්නම් කියලා මිනිසුන්ව ඇවිස්සීමේ වරද ජොන්ස්ටන් ප්‍රනාන්දුට පැවරෙනවා. එහෙම නම් ජනතාව ප්‍රකෝප කිරීමේ වරදට මේ වෙනකොටත් ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබිය යුතුයි.
රටේ විශාල කලබැගෑනියක් නිර්මාණය කිරීමේ ප්‍රධාන සැකකරු විදියට අපට පේන විදියට චේතනාන්විත ක්‍රියාව සිද්ධ කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු. ජොන්ස්ටන්ගෙ කතාවෙන් පස්සේ මහින්ද රාජපක්ෂ කතා කරනවා. මහින්ද පපුවට ගහගෙන කියනවා, ‘පළමුවත්, දෙවැනුවත්, තෙවැනුවත් මවුබිම’ කියලා. ඔහු අහනවා මම යන්න ඕනෙද කියලා. මේ හෙංචයියො කියනවා නෑ ඔබතුමා යන්න ඕනෙ නෑ කියලා. මේ සියල්ලෙන් පස්සේ අපි දකිනවා ෆේස්බුක් ලයිව් හෝ වෙනත් ලයිව් එකක් ඔස්සේ මොනරාගල දිස්ත්‍රික්කයට සම්බන්ධ එක්තරා පුද්ගලයෙක් කියනවා ‘මේක තමයි වෙලාව – ගෝල්ෆේස් යන්න’ කියලා. ඒ පුද්ගලයාත් මේ සිදුවීමට වගකිව යුත්තෙක් විදියට මේ වෙද්දී අත්අඩංගුවට ගෙන තිබිය යුතුයි. මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඒ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබීම ඉතා වැදගත්.
මේ විදියට ප්‍රකෝප වන පිරිස කෙළින්ම යන්නේ ගෝල්ෆේස් එකට. මේ වෙද්දී සියල්ල දැනගෙන සිටි පොලිසිය සහ හමුදාව ගෝල්ෆේස් එකට මේ අය පැමිණෙන එක නතර කරන්න අවශ්‍ය ශක්තිය සහිතවයි එහි රැඳී සිටියේ. ඒ අය සතුව ජල ප්‍රහාරක රථ, කඳුළු ගෑස් ප්‍රහාරක අවි තියෙනවා. යම් කිසි ප්‍රමාණයකට සැලකිය යුතු භට කණ්ඩයමකුත් ඒ අවස්ථාවේ එතැන ඉන්නවා. මේ පිරිස නතර කරගන්න උත්සාහ නොකිරීම නිසා ඔවුන් ඉතා පහසුවෙන් ගාලුමුවදොරට පැමිණෙනවා. අරලියගහ මන්දිරයේ සිට ගාලුමුවදොරට පිරිසක් පැමිණෙන විට ඒ අය නතර කළ හැකි ස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට හේතුව වෙන්නේ මේ විශාල පිරිසකට එක වෙලාවෙ දුවගෙන එන්න පුළුවන් විදියට මේ මොහොත වෙනකොට අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර අතර යම් කිසි දුරක් තියෙනවා. ඒ අතරතුරදී අවශ්‍ය නම් කිහිප වතාවක් නතර කරන්න පුළුවන්කම තිබුණත් කිසිවෙක් ඔවුන්ව නතර කරන්නේ නැහැ. පැහැදිල කාරණාව ඒකයි. දේශබන්දු තෙන්නකෝන් ඒ වෙලාවෙ එතැන ඉඳලා කියනවා අපි උඹලට ගහන්න දෙන්නෙ නෑ, උඹලා බයවෙන්න එපා කියලා. ඒත් දේශබන්දු තෙන්නකෝන්ම ගැහුවට පස්සේ කඳුළු ගෑස් ගහන්න, ගැහුවට පස්සේ වතුර ගහන්න, ගැහුවට පස්සේ මේක නතර කරන්න කියලා අණ දෙන ආකාරය මාධ්‍යවේදීන්ට ඇහුණු බවයි එක්තරා වෙබ් අඩවියක් වාර්තා කරලා තිබුණේ. දේශබන්දු තෙන්නකෝන් සනත් නිශාන්ත සමග කතා කරමින් පහරදෙන පිරිසත් සමග ඉදිරියට පැමිණෙන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල හුවමාරු වෙලා තිබුණා. එහෙම නම් මේ මොහොතේ සිට දේශබන්දු තෙන්නකෝන්ගේ සේවය අත්හිටුවීමටත්, දේශබන්දු තෙන්නකෝන් නමැති පුද්ගලයාව වහාම අත්අඩංගුවට ගැනීමටත් පියවර ගත යුතුයි. නමුත් තවමත් මේ ලියන මොහොත වන විට ඊට අවශ්‍ය කරන පියවර නිර්මාණය වෙලා නෑ. කෙසේ නමුත් දැන් මේ සිදුවීම සඳහා අවශ්‍ය සියලු වපසරිය නිර්මාණය වෙනවා. ඉන් පස්සේ ගාලුමුවදොරට ඇවිල්ලා පහර දෙනවා. අට්ටාල කඩනවා. පුස්තකාලය කඩා බිඳ දානවා. සාමකාමී අරගල බිම එකම යුද පිටියක් බවට පත්කරනවා.
යුදබිමේ හිටපු මාධ්‍යවේදී ඩිලාන්ගේ ෆේස්බුක් ලයිව් එක අපි සජීවීව බලාගෙන ඉන්නකොට අපට පෙනුණේ ඔවුන් මේ අයට එළව එළවා පහර දෙන ආකාරය. සමහර තරුණියන්ට පහරදී ඇති ආකාරය සම්බන්ධයෙන් වෛද්‍යවරු කියන්නේ මේ තරම් අමානුෂික පහරදීමක් මීට පෙර දැකලා නෑ කියලා. සමහර අයගේ මොළයට, හිසට බරපතළ විදියට තුවාල සිදුවෙලා තියෙනවා. මේ පහරදීම වෙන තෙක් කිසිම පුද්ගලයෙක්, කිසිම ආකාරයකින්, කිසිම රාජ්‍ය දේපළකට හෝ කිසිම ඇමැතිවරයකුගේ නිවෙසකට හෝ කිසිම බස් රථයකට හෝ කිසිම කැබ් රථයකට හෝ කිසිම ආකාරයකින් පහර දීමක් සිදුකරලා නැහැ. සිදුකරලා තිබුණු එකම එක හානිය වෙන්නේ ඇතැම් තැනකදී ටයර් පිළිස්සීම නිසා මාර්ග පද්ධතියට සිදුවෙලා තිබුණු සුළු හානිය විතරයි. හැබැයි ඊට වඩා හානියක් මේ කාපට් පාරවල් සිදුරු කරලා, යකඩ බම්බු හිටවලා ස්ථාවර වැටවල් ගහලා රජයේ අනුග්‍රහයෙන් පොලිසිය හෝ ආරක්ෂක අංශවලින් සිදුකරලා තියෙන බව අපි දැක්කා. හැබැයි මේ සිදුවීම සිද්ධ වුණාට පස්සේ එම පහරදීමට දායක වුණු මැරයො ගෙවල්වලට යවන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා. ඒත් එක්කම කොළඹ මධ්‍යම, දකුණ, උතුර ආදී ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවනවා. ඒ හරහා ඔවුන් උත්සාහ කරන්නේ රට සාමකාමී කිරීමට බව අපට පෙනුණත්, එහි සැබෑ අරමුණ එය නොවන බව අපට පැහැදිලියි. ඔවුන් උත්සාහ කරන්නේ මේ මිනිසුන්ට පිටව යෑම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න. ඒත් අරගලයක සැබෑ ස්වරූපය නොදන්නා දේශපාලන විඥානයක් නැති අඥාන දේශපාලකයන්ගේ කූට ප්‍රයෝගවලට හසුවුණු මිනිස්සු ඒ වෙනකොට තමන්ගෙ ගෙදර පැත්තට යන බස් එක හොයමින් ගංගාරාම පාර දිගේ, නවම් මාවත දිගේ, පෙරහැර මාවත දිගේ ඇවිදිමින් යනවා. මෙන්න මේ මොහොතේ තමයි ප්‍රහාරය ආරම්භ වෙන්නේ. අහිංසක අරගලකරුවන්ට ගෝල්ෆේස් බිමට ගෝඨා ගෝ ගමට පහරදීමත් එක්ක මුළු රටේම කණ්ඩායම් ප්‍රකෝප වෙනවා. ඔවුන් සියලු දෙනා අතට අහුවෙන ආයුධ අරගෙන, යකඩ පොලු අරගෙන පාරට බහිනවා. සමහරු කොළඹට එනවා. සමහරු ගෝල්ෆේස් එකට එනවා. මහරු හුණුපිටිය හරස් මාර්ග අසල විශාල පිරිසක් රැඳිලා ඉන්නවා. ජාතික පුස්තකාලය අසල 4,000කට වැඩි පිරිසක් රැඳිලා ඉන්නවා. කොට්ටාව, මහරගම නගරවල, අධිවේගී පිවිසුම් අසල විශාල පිරිසක් රැඳී ඉන්නවා. ලියුම්කරු මේ තොරතුරු හෙළිකරන්නේ ඇසින් දුටු සාක්ෂි සහිතවයි. ඒ වගේම කටුනායක අධිවේගී මාර්ගයේ තැන් කිහිපයකම රැඳී සිටිමින් බොහෝ දෙනෙක් මේ පරීක්ෂා කිරීම් සිදුකරනවා. ඒ වගේම ගිරිඋල්ල, අනුරාධපුරය ඇතුළු බොහෝ ස්ථානවල තරුණයන් පාරට බැහැලා ගෝඨා ගෝ ගමට පහරදීමට ගිය පුද්ගලයන්ව නතර කරන්න, ඔවුන්ට පහර දෙන්න පටන් අරගන්නවා. ඒ වෙද්දී මේ සිදුවීමට ඍජුවම සහ වක්‍රව වගකිව යුතු පොලිසියටත්, දේශපාලකයන්ටත්, පහරදීමටයි ඔවුන් සූදානම් වෙමින් ඉන්නේ.
දවල් දෙක තුන වෙනකොට මේ ප්‍රහාරය ආරම්භ වෙනවා. අරගලයට පහර දීමට සම්බන්ධ විශාල පිරිසක් අල්ලගෙන ඇවිල්ලා ඔවුන් විසින් බේරේ වැවට දානවා. වාහන විශාල ප්‍රමාණයකුත් බේරේ වැවට දානවා. බස් රථ විශාල ප්‍රමාණයක් ගිනි තියනවා. මහරගමදීත් බස් රථ කිහිපයක් නතර කරගන්නවා. ඒ බස් රථ සියල්ලටම පහර දෙනවා. ඒ වගේම කටුනායක අධිවේගී මාර්ගයේ පැමිණෙන බස් රථ කිහිපයක් ඔවුන් විසින් නතර කරගන්නවා. ගිරිඋල්ලේදී එක් බස් රථයකට පහර දෙනවා. මේ සියල්ලත් එක්ක කොට්ටාව අධිවේගී මාර්ගයේ විශාල පිරිසක් රැඳී සිටිමින් රථ වාහන පරීක්ෂා කරන්න පටන් ගන්නවා. හුණුපිටිය හරස් මාර්ගය දෙසින් පිටවෙන්න යන පිරිසට ඒ ස්ථානයේදී පහර දෙනවා.
මෙතැනදී අපි දැක්කා කිසිම දවසක මිනිස්සු ගැන නොහිතා තමන් ගැන විතරක් හිතපු බව පැහැදිලි වෙච්ච චරිත කිහිපයකටත් පහරදීම්වලට ලක්වෙන්න සිදුවුණා. ඉන් එක් චරිතයක් තමයි මහින්ද කහඳගමගේ. ඔහු ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය නියෝජනය කරමින්, මිනිසුන්ට පහර දෙමින්, තමන්ගෙ බලය භාවිත කරමින් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒ වගේම තමයි වසන්තා හඳපාන්ගොඩ නෝනා. ශිෂ්‍යයන්ගේත්, දරුවන්ගේත් අයිතීන් වෙනුවෙන් සියල්ලෝම හඬ නඟද්දී හඳපාන්ගොඩ නෝනා හඬ නැඟුවේ මහින්දගේ සහ ඔහුගේ දරුවන්ගෙ අනාගතය වෙනුවෙන්. ඇයව අල්ලාගෙන, පහර දෙමින්, ඇයව පාරේ ඇදගෙන යනවා. මහින්ද කහඳගමගේගේ ඇඳුම් ගලවා දාලා තිබුණා. ඔහු එහෙට මෙහෙට වැනෙමින් බොහොම අමාරුවෙන් ගමන් කරනවා අපි දැක්කා. මේක ලංකා ඉතිහාසයේ සිදුවෙච්ච නරකම, භයානකම, ඛේදනීයම දේශපාලනික පහරදීමක්. මේ පහරදීම ඇතුළෙ ඇති විශේෂත්වය වන්නේ කිසිම ජාතියකට, ආගමකට, කුලයකට හෝ කිසිම කණ්ඩායමකට එරෙහි පහරදීමක් නොවන නිසා එය ලෝක ඉතිහාසය තුළදී පවා විශේෂ සිදුවීමක් වෙනවා. මේ මිනිස්සු පහර දුන්නේ විපක්ෂයට නෙවෙයි. පොහොට්ටුවට නෙවෙයි. මේ මිනිස්සු පහර දුන්නේ පොදුජන පෙරමුණට ඡන්දෙ දුන්නු අයට නෙවෙයි. අපි දැක්කා සමහර මන්ත්‍රීවරු තමන්ගෙ ෆේස්බුක් එකේ පළකරලා තිබුණා අපේ ගමේ පෝට්ටුවෙ සාමාජිකයන්ට ගහන්න එන්න දෙන්නෙ නෑ කියලා. එක්සත් ජාතික පක්ෂයෙන් හෝ පොදුජන පෙරමුණෙන් ප්‍රාදේශීය සභාවට ගිය සමහර මන්ත්‍රීවරු මේ විදියට සමාජ මාධ්‍යවලට පළ කරලා තිබුණා. විශේෂයෙන්ම මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ දැනට මන්ත්‍රීවරයෙක් විදියට ඉන්න සඳුන් කියන පුද්ගලයා ඔහුගෙ මුහුණු පොතේ පළකරලා තිබුණා, මගේ ගමේ ඉන්න පොදුජන පෙරමුණේ මිනිසුන්ට ගහන්න දෙන්නෙ නෑ කියලා. ඒ කියන්නේ දේශපාලකයන් නොවන ඡන්දදායකයන්ට ගහන්න දෙන්නේ නෑ කියලා. ඔවුන්ව ආරක්ෂා කරන එක අපේ වගකීමක්. අපේ ගමේ මිනිසුන්ට පිට ගම්වලින් ගහන්න ආවොත් අපි ඒ අයව ආරක්ෂා කරගන්න ඕනෙ කියලා. මේක ගම් ඇතුළේ සිද්ධ වුණා.
ලලිත් එල්ලාවල වගේ සමහර දේශපාලකයන්ගෙ නිවාස පරිස්සම් කළේ ඒ ගම්වල මිනිස්සු. ඒ දේශපාලකයන්ගේ කෙරුවාව ගමේ මිනිස්සු හොඳින් දැන හිටපු හින්දා. ඒත් මේ වෙනකොට දේශපාලකයො විශාල පිරිසකගේ ගේ දොර කඩලා, ගිනිතියලා සියල්ල විනාශ කරලා ඉවරයි. බොහෝ විට දේශපාලකයො මේ තැනට රට ඇදලා දැම්මේ තමන්ගෙ තියෙන අත්‍යාවශ්‍ය වුවමනාවල් ඉෂ්ට කරගන්න. නමුත් මිනිස්සු මේ මොහොතේ කලබල වුණේ, සටන් කළේ තමන්ගෙ පුද්ගලික වුවමනා එපාකම් වෙනුවෙන් නෙවෙයි. ඒ නිසයි මේ මොහොත රටේ ස්වර්ණමය ලකුණක් සහිතව ඉතිහාසගත වීමට නියමිත වෙන්නේ. එක පැත්තකින් තද කළු පැල්ලමක්. තව පැත්තකින් ස්වර්ණමය ලකුණක්. මිනිස්සු දේශපාලනය පැත්තක දාලා තමන්ගෙ පුද්ගලික වුවමනාවන් පැත්තකට දාලා ගෝඨා ගෝ ගමට පහරදීම කියන ම්ලේච්ඡ ත්‍රස්තවාදී ක්‍රියාවට එරෙහිව සටන් වදිනවා. මේ සටන්වැදීම කොයි තරම් දරුණු අතට හැරෙනවාද කියනවා නම් මේකෙ තියෙන ඉතාම තීරණාත්මක අවස්ථාවක් විදියට ලියුම්කරු දකින්නේ දේශබන්දු තෙන්නකෝන්ට පහරදීම. දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියෙක් විදියට අනවශ්‍ය බලයක් ආරූඪ කරගත්ත පුද්ගලයෙක් බව ඉතා පැහැදිලිව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. ඔහු හිටියේ හරියට රජෙක් වගේ. ඔහුට ළං වෙන්න කිසිවෙකුට පුළුවන්කමක් තිබුණෙ නෑ. දේශබන්දු තෙන්නකෝන්ට අමතරව පොලිසියෙ තවත් නිලධාරීන් නියෝජ්‍ය පොලිස්පතිවරු ලෙස කටයුතු කරමින් තමන්ගෙ බල පරාක්‍රමය පෙන්නුවත් ඒ සියලු දෙනාම මේ මොහොතේ පැත්තකට වෙලා හිටියා. අපි දැක්කා කොල්ලුපිටියේ ඕ.අයි.සී. මහත්තයාට පාර දිගේ එළව එළවා පහර දෙනවා. අපි දන්නෙ නෑ ඒ ඇත්තටම කොල්ලුපිටියෙ ඕ.අයි.සී.මද කියලා. ඒත් මාධ්‍යවල සඳහන් වෙලා තිබුණේ කොල්ලුපිටියේ ඕ.අයි.සී. කියලා. ඒ කවුරු නමුත් ඉහළ පොලිස් නිලධාරියෙකුට පන්න පන්නා පහරදෙන වීඩියෝවක් සමාජගත වෙලා තිබුණා. දේශබන්දු තෙන්නකෝන් මේ සියල්ලටම අණ දීලා, පැත්තකට වෙලා බලාගෙන ඉඳලා, තමන්ගෙ බලය අනවශ්‍ය විදියට පාවිච්චි කරලා මේ ස්ථානයට ආවාය කියන අදහසින් යුතුව මිනිස්සු ඔහුට පහර දෙනවා. පළමු පහර එල්ල කළාට පස්සේ තවත් දෙතුන් දෙනෙක්, හය හත්දෙනෙක්, දහ පහළොස් දෙනෙක් ඇවිල්ලා දේශබන්දු තෙන්නකෝන්ට පහර දෙනවා. ඔහුව බේරගන්න පොලිසියට වෙඩි තියන්න සිදුවෙනවා. දේශබන්දු තෙන්නකෝන් මේ වෙනකොට රෝහල්ගත කරලා, හිසට මැහුම් දාලා, ඉතා රහසිගත තැනක තියාගෙන ඉන්නවා කියලයි දැනගන්න තියෙන්නේ. මේ විදියට රහසිගත තැන්වල ඉන්න සිදුවෙන තැනට මේ මිනිස්සු වැඩ කළේ රට වෙනුවෙන් තියෙන ආදරයකින් නෙවෙයි. බොහෝ විට තනිකරම තමන්ගෙ පෞද්ගලික වුවමනාවන් මත. ඒ වගේම මේ සිදුවීමෙ තියෙන තවත් හාස්‍යජනකම දේ තමයි බන්ධනාගාර රැඳවූවන් මේ ස්ථානයට පැමිණීමේ කතාව. ඔවුන් පැමිණීම සම්බන්ධව අමුතු කතාවක් සමාජගත වෙනවා. ඒකත් විශේෂයෙන්ම කියන්න ඕනෙ දෙයක්. මේ කතන්දරය ඇතුළේ කියැවෙන්නේ වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් සම්බන්ධව. ඔවුන්ව නිශ්චිත ක්‍රමවේදයක් යටතේ වැඩබිම්වලට යැවීමක් ගැන විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මූලස්ථානය කියනවා. හැබැයි මේ සම්බන්ධව මාධ්‍යවේදීන් විසින් වාර්තා කරන වෙනත් කාරණාවල කියැවෙන්නේ ඇවන්ට් ගාඩ් සමාගමේ හිමිකරු නිශ්ශංක සේනාධිපතිගේ අවශ්‍යතාව මත මේ සියල්ල සිදුවුණාය කියන එක. එතකොට මේ සම්බන්ධව නිවැරැදි වැඩපිළිවෙළක් තිබුණද, මේ අය කොහොමද ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීම සිදුවූ තැනට ආවේ කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම සමහර විට මේකෙ පේන්න තියෙන කාරණාව තමයි ඇවන්ට් ගාඩ් නිශ්ශංක සේනාධිපතිගේ මූලිකත්වයෙන් මේ සියලු දෙනාම අරගෙන ආවා ගෝල්ෆේස් එකේ ඉන්න පුද්ගලයන්ට පහරදීමට සහ රැස්වීමට. ඒ අයට පස්සේ කොටුවුණු එකයි සිදුවුණේ. එහෙම නම් මේ ලිපිය ලියන මොහොත වෙනකොටත් රැඳවූවන් 58 දෙනෙක් ආගිය අතක් නෑ කියලයි දැනගන්නට ලැබෙන්නේ.
වටරැක බන්ධනාගාරයේ මේ සිදුවීම දිගින් දිගටම සිදුවුණා නම් ඒ සම්බන්ධව හොයා බලන එක අද වෙනකොට වියයුතු දෙයක් බවට පත්වෙලා තියෙනවා. රටේ සිදුවෙච්ච දූෂිත දේවල් විශාල ප්‍රමාණයක් එක් වරම එළියට ආවා. මේ සියලු දූෂිත දේවල් කරලා මහින්ද රාජපක්ෂ රාත්‍රියේ පිටවෙලා ගිය බව තමයි දැනගන්න තියෙන්නේ. සමහර සමාජ මාධ්‍ය පිටුවල මේ පුද්ගලයා පිටවී යන ආකාරය, හෙලිකොප්ටරයකට ගොඩවෙන ආකාරය දැක්වෙන ඡායාරූප තියෙනවා. කොල්ලුපිටියෙ අරලියගහ මන්දිරයෙන් රත්මලානට ගිහින්, රත්මලානෙන් ත්‍රිකුණාමලයට ගිය බව තමයි නිල නොලත් ආරංචිවලින් කියැවෙන්නේ. කොහොම නමුත් මේ ලිපිය ලියන මොහොත වෙද්දී මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා බිමේ නැති බවත්, ඔහු ඉන්දියාවට පලාගිය බවත් නිල නොලත් ආරංචිවලින් පැවසෙනවා. මේවායෙ ඇත්ත නැත්ත අපි නිවැරැදිව කියන්න දන්නේ නෑ. කොහොම නමුත් රට ගිනිතියලා, රට විනාශ කරලා එක දවසක මුළු රටේම මහා ඛේදවාචකයක් නිර්මාණය කරලා, මිනිස්සු දහස් ගණනකට වේදනා දීලා, මිනිස්සු දහස් ගණනක් පීඩාවට පත් කරලා, සිය ගණනක් බේරේ වැවට දාලා, වාහන සිය ගණනක් ගිනි තියලා, මේ වෙනකොට අටදෙනෙක් ජීවිතක්ෂයට පත් කරවලා, 235 දෙනකුට ආසන්න පිරිසක් රෝහල්ගත කරවලා මහින්ද රාජපක්ෂ කියන දේශපාලකයා සිය දේශපාලන ගමන නිමා කොට රාත්‍රියේ හොර රහසේම සියල්ල දමා පැනයනවා. ඒ පැනයද්දී ඔහුගේ ගේදොර සියල්ල ගිනිතියලා, විනාශ කරලා දාලා ඉවරයි. කොහොම නමුත් මේ මොහොත වන විට රට තියෙන්නේ ඉතා තීරණාත්මක තැනක. මියගිය පුද්ගලයන්, තුවාල ලැබූ පුද්ගලයන්, රෝහල්ගත වූ පුද්ගලයන්, දේපොළ අහිමිවූ පුද්ගලයන් ප්‍රමාණය විශාලයි. නමුත් ඒ සියල්ල රටට හෙළිදරව් කරන්නේ මේ රටේ තියෙන දූෂිත දේශපාලනයේ අප්‍රසන්න ස්වභාවය. පුද්ගල දේශපාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා තිබුණු රාජපක්ෂ දේශපාලනයේ අවසානය එසේ නොවනවා නම් තවත් මෙවැනිම දිනක් අපට දකින්නට අහන්නට ලැබෙන්නට ඉඩ තිබෙනවා.
විශාල පිරිසක් මේ වෙද්දී තුවාල ලබලා ඉවරයි. විශාල දේපොළ ප්‍රමාණයක් හානිවෙලා ඉවරයි. අපි අවසන් වශයෙන් ඉල්ලන්නේ ආදරණීය මිත්‍රවරුනි, සහෝදර සහෝදරියනි, මේ රට තවදුරටත් ගිනිතියන්න එපා. මේ රට තවදුරටත් විනාශ කරන්න එපා. අපි ඔබ කිසිවෙක් මහින්දලා නෙවෙයි. අපි ඔබ කිසිවෙක් රාජපක්ෂලා නෙවෙයි. මහින්ද රාජපක්ෂලාගෙ පවුලේ මිනිස්සු මේ රටට ආදරය කළේ නෑ. ඒ මිනිස්සු ආදරය කළේ ඔවුන්ගේ පවුලට විතරයි. ඒ මිනිස්සු රැකගත්තේ ඔවුන්ගේ පවුල විතරයි. ඔවුන් ධනය රැස් කළේ ඔවුන්ගේ පවුලට විතරයි. ඒ මිනිස්සු අපට ලැබෙන්න තිබුණු හැම තුට්ටුවක්ම උකස් කරලා, රටේ හැම දේම හූරගෙන කාලා දැන් මේ රටෙන් පැනලා ගිහිල්ලා. ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිවරයාවත්, බැසිල් රාජපක්ෂවත් වෙනත් කිසිම රාජපක්ෂ කෙනෙක් විශ්වාස කළ යුතු නෑ. ඒ සියලු දෙනාම එකයි. මේ මිනිස්සු එන්නේ අපිව රවට්ටලා අපට වහසිබස් කියලා සුන්දර දේවල් පිළිබඳ හීන දීලා 2015 පන්නලා දාපු රාජපක්ෂලා තව අවුරුදු හතරක් ගතවෙද්දී මේ රටේ රජවෙන්නේ ඒත් එක්ක. ඒ නිසා ආයෙත් දවසක තවත් බොරු කියාගෙන, තවත් සුන්දර කතා කියාගෙන ඔහු අපිව රවට්ටන්න එයි. එදා දවසෙ මේ මිනිසුන්ට රැවටෙන්නෙ නැතුව ඉන්න, මේ මැයි 09 වැනිදා ඛේදවාචකය ඔබට අපූරු කතාවක් ඉතිරි කරාවි කියලා අපි විශ්වාස කරනවා. මැයි 10 වැනිදා වෙද්දී කොළඹ නගරයේ ඇවිදින අපට දකින්න ලැබුණේ කැඩුණු බිඳුණු වාහන විශාල ප්‍රමාණයක්. රිදුණු තැන් විශාල ප්‍රමාණයක්. මිනිස්සු සීසීකඩ විසිරිලා ගියපු හිස් බිමක නටබුන් විශාල ප්‍රමාණයක් විතරයි.
මේ ලිපිය ලියන මොහොත වන විට මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල්, චමල්, ශෂීන්ද්‍ර ඇතුළු රාජපක්ෂලාගේ දේශපාලනය රැකගැනීම වෙනුවෙන් සටන් වැදුණු මිනිස්සු නිසා අවසාන වශයෙන් නිකුත් වූ ප්‍රතිඵලය තමයි මේ ඔබට කියන්න යන්නේ. මේ වන විට මැති ඇමැතිවරුන්ගෙ ගෙවල් 53ක් ගිනිබත් වෙලා අවසානයි. මේ ලිපිය ලියන මොහොතෙන් පසුව තවත් ගෙවල් කීයක් ගිනිබත් වේවිද කියන්න අපි දන්නේ නෑ. ඒ සම්බන්ධව සවිස්තර වාර්තාවක් මේ පුවත්පතේ වෙනත් තැනක පළකරන්න අපි සූදානම්. වාහන 100කට වඩා ගිනිබත් වෙලා අවසානයි. අටදෙනෙක් මියගොස් ඇති බව දැනගන්න තිබෙනවා. ඒ වගේම දෙසිය තිස් දෙදෙනෙක් මේ වෙද්දී තුවාල ලබා ඇති බවයි දැනගන්න තිබෙන්නේ. මේ අතර බස් රථ විශාල ප්‍රමාණයක්, බස්නාහිර පළාත තුළදී ගිනිතබා විනාශ කොට තිබෙනවා. නිල වශයෙන් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ ප්‍රමාණය 97ක් විදියට. මේවායින් විශාල ප්‍රමාණයක් මගී ප්‍රවාහන කටයුතුවලට භාවිත කරපු සාමාන්‍ය බස්රථ. කොහොම නමුත් දැන් සියල්ල සිදුවී අවසානයි. රටට අවසානයේ ඉතිරි වුණේ ගිනිබත් වෙච්ච කැඩුණු බිඳුණු සුන්බුන් ගොඩක් එක්ක ඊළඟ පියවර ගැන බලාපොරොත්තුවක්. බේරේ වැව සම්පූර්ණයෙන්ම සුද්ධ පවිත්‍ර කළ යුතුයි. රාජපක්ෂලාව බේරගන්න ආපු, රාජපක්ෂ නඩයේ මිනිසුන්ගේ මලමුත්‍රාවලින් බේරේ වැව අපවිත්‍ර වෙලයි තියෙන්නේ. ඒ වගේම කැඩුණු බිඳුණු වාහන, ගිනිගත්ත වාහන විශාල ප්‍රමාණයක් බේරේ වැවට දාලා. බේරේ වැව ශුද්ධ කරනවා වගේ ලංකාවේ දේශපාලනයත් ශුද්ධ කරන්න ඕනෙ. ලංකාවේ දේශපාලනයේ තියෙන මල මුත්‍රා ටික අයින් කරලා දාලා මේක ආයෙත් නෙලුම් මල් පිපෙන විලක් බවට පත්කිරීමේ සම්පූර්ණ අයිතිය යුතුකම සහ වගකීම තියෙන්නේ ඔබට සහ මට. ඒ වගකීම ඔබයි මමයි නිවැරැදිව ඉටු නොකරපු නිසයි මේ විදියෙ සිදුවීමක් මේ රටේ සිදුවුණේ. මහින්දලා දේශපාලනයේ ඉහළම තැනට ඔසවා තැබුවේ ඔබ. ඔබ නෑ කියනවා නම් ඔබේ හෘදසාක්ෂියෙන් විමසා බලන්න. මහින්දට ඡන්දෙ දීලා, නාමල්ට ඡන්දෙ දීලා, චමල්ට ඡන්දෙ දීලා, ශෂීන්ද්‍රටත් ඡන්දෙ දීලා ආයෙත් ගෝඨාභයවත් ජනාධිපති කරලා පස්සේ බැසිල් හොර පාරෙන් පාර්ලිමේන්තු එනකොට ඒ වෙලාවෙත් අත්පුඩි ගැහුවෙ ඔබ. ඒ නිසා මේ සියල්ලටම වැරැදිකාරයා ජොන්ස්ටන්වත්, ඇවන්ට්ගාඩ් එකේ අයිතිකාරයවත්, මහින්ද රාජපක්ෂවත්, දේශබන්දු තෙන්නකෝන්වත් කියලා කියනවට වඩා ගැළපෙන්නේ මේකට වැරැදිකාරයො ඔබ සහ මම කියලා කියන එක. මහින්දලගේ දේශපාලන දිවිය නිර්මාණය කරලා මහින්දලා ඇතුළු දේශපාලන කුහකයො දේශපාලන තක්කඩි පාර්ලිමේන්තු එවලා මේ රට විනාශ කෙරුවේ ඔබ සහ මම. ඒ නිසා ඔබයි, මමයි කරපු වරදකට තවත් මිනිසුන්ගෙන් පළි අරගෙන වැඩක් නෑ. ඒ නිසා දැන් අපි පටන් අරගමු. නිර්පාක්ෂිකව හිතමු. එක එකාගෙ දේශපාලනයට කඩේ නොයා අපි අපි වෙනුවෙන් හිතමු. එහෙම වුණොත් අපට රුපියල් 5000කට කඩේ යන්න ඕනෙ වෙන්නෙ නෑ. අපේ සමෘද්ධිය කපනවා කියලා බයවෙන්න ඕනෙත් නෑ. අපිට අපේ පාඩුවෙ ජීවත් වෙන්න පුළුවන්. නිදහස් රටක නිදහස් ජීවිතයකට උරුමකම් කියන්න හැකි වේවි. 09 වැනිදා කළු පැල්ලමේ සටහන් වුණු ලකුණ රන් පැල්ලමක් කරගන්න පුළුවන් වේවි. ඒ නිසා මෙතැනින් නතර වෙමු. අලුතින් පටන්ගමු.
ජීවන පහන් තිළිණ










