ගහට කොළට වගේම සතා සිවුපාවාටත් නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය වේවා යන ප්‍රාර්ථනයෙන් 2025 වසරේ මුල්ම කැලෑ කොලම මෙලෙස ආරම්භ කරමු. අද කැලෑ කොලමෙන් අප සාකච්ඡා කරන්නේ දශක ගණනාවක් පුරා මෙරට බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇති අලි-මිනිස් ගැටුමේ වර්තමාන මුහුණුවර පිළිබඳවය. දශක කිහිපයක් තිස්සේ අසාර්ථක වුණු වන අලින් පලවා හැරීමේ මරිමෝඩ ක්‍රියාවලිය, අලුත් වනජීවී ඇමැතිවරයා යටතේ අලුත් වටයකින් යළිත් ආරම්භ වී ඇති ආකාරය දැකගන්නට ලැබේ. එය පටන්ගත් තැනම අසාර්ථක වූ බවත්, ඊට එරෙහිව ජනතාව වීදිබැස ඇති බවත් අපට ලැබෙන ආරංචිවලින් පැහැදිලි වේ. ඊට දිය හැකි හොඳම උදාහරණය නම් ඔයාමඩුව ප්‍රදේශයේ ඇතිවී ඇති තත්ත්වයයි. (Sri Lanka Latest News)
නිලධාරි මාෆියාව ඇමැතිවරයාව අන්දා තිබෙනවා දැයි සැකයක්ද ඇතිව තිබේ. වනජීවී ක්ෂේත්‍රය පිළිබඳ දැනුම් තේරුම් ඇති විද්වතුන් සහ පාරිසරික සංවිධාන මෙම ක්‍රියාව සිදු නොකරන ලෙස කොතෙකුත් ඉල්ලා සිටියද එය බීරි අලින්ට වීණා වැයීමක් පමණක් විය. එහි අහිතකර ප්‍රතිඵල ලැබෙන්නට පටන්ගෙන ඇත්තේ දැන්ය. සංකීර්ණ ප්‍රශ්නයක් වූ මෙම අලි-මිනිස් ගැටුමට ක්ෂණික විසඳුම් ඇත්තේ නැත. විසඳුම් ලබාදිය යුත්තේ අධ්‍යයනයකින් පසුව, විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවය.
පරිසරය සහ සතා සිවුපාවා ගැන සංවේදීතාවක් නැති පාලකයන්ගේ සහ නිලධාරීන්ගේ අමන තීරණ නිසා දුක් විඳින්නේ අසරණ සතුන් සහ ග්‍රාමීය ජනතාවය. ප්‍රශ්නය පැනනැගී ඇති තැනට නොගොස් කොළඹ සීත කාමරවල සිට එම ප්‍රශ්නවලට විසඳුම් සොයන නිලධාරීන්ට එම අසරණකම දැනෙන්නේ නැත.
අලි මිනිස් ගැටුම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් මුහුණුවරක් ගන්නකි. අලි ඇතුන් යනු කොටුකර තැබිය හැකි සතෙකු නොවේ. දෛනිකව අවම වශයෙන් කිලෝමීටර් 20ක දුරක්වත් සංචරණය කිරීම වන අලියාගේ පුරුද්දයි. එබැවින් උගේ චර්යා රටාවන්, සංචරණයන් මනා ලෙස අධ්‍යයනය නොකොට මෙම ගැටලුවට විසඳුම් සෙවීම දුෂ්කරය.
මෙරට අලි ගහනයෙන් 90%ක් පමණ ජීවත් වන්නේ ජාතික වනෝද්‍යානවලින් පිටතය. එසේ වීමටද හේතු තිබේ. පෝෂ්‍යදායී තෘණ වර්ග, අවශේෂ ආහාර වර්ග වැව් පිටි හා ලඳු කැලෑවල තිබීම ඊට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.
නැවත නැවතත් සඳහන් කළ යුතුව ඇත්තේ අසාර්ථක ක්‍රමවේද මගින් සිදුවන්නේ අලි-මිනිස් ගැටුම තව තවත් උග්‍ර වීම පමණක් බවයි. එහෙත් 2020 අලි කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම දැනට තිබෙන කාලෝචිත ක්‍රමවේදය බව සඳහන් කළ යුතුය. එක් එක් අයගේ පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් ව්‍යාපෘති සැකසීමෙන් සිදුවන්නේ අලි – මිනිස් ගැටුම උඩුදිවීම පමණකි. පහත සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීම ඉතා කාලෝචිතය.
● ගොවි බිම් ආවරණය කර අලි වැටවල් ඉදිකිරීම
ප්‍රේරණ කලාපවලින් අනවසර ගොවි බිම් ඉවත් කිරීම
● අලිමංකඩවල් නිදහස් කිරීම
● අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීම
● අලි-මිනිස් සහජීවනය සඳහාත්, සතුන්ගේ ආරක්ෂාව සඳහාත් දැඩි නීතිරීති පැනවීම
● 5%ක් පමණ වන දළ ඇතුන්ගේ විධිමත් සංගණනයක් සිදුකොට එම ඇතුන් ජාතික වස්තු ලෙස ගැසට් කිරීමද ඉතා කාලෝචිත යෝජනා ලෙස සැලකිය හැකිය.
අලියා වනාහි උපරිම වශයෙන් විදේශ විනිමය අප රටට ලබාදෙන සත්වයෙකි. සංචාරක ව්‍යාපාරයේ උන්නතිය සඳහාද අලින්ගේ පැවැත්ම ඉතා වැදගත් වේ. පෙර කවරදාකවත් නොවූ පරිදි සියලු පාරිසරික පද්ධති එක අමාත්‍යාංශයක් ලෙස නිර්මාණය වී තිබීම අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට කදිම අවස්ථාවකි. නීති සම්පාදනයට සහ විසඳුම් සෙවීමට එය නිසි පරිදි යොදාගත හැකිය.
2024 වසරේදී පමණක් අලි-මිනිස් ගැටුම්වලින් වන අලින් 483ක් සහ මිනිසුන් 184ක් අප රටට අහිමි වී තිබේ. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි. 2025 වසරේදීවත් මෙම වටිනා වන අලි සම්පත රැකගැනීම වෙනුවෙන් කැපවීම පුරවැසියන් ලෙස අප සැමගේ වගකීමක් කරගත යුතුය. කැලෑ කොලමේ අපේ ප්‍රාර්ථනය අලින් සහ මිනිසුන් එකම පරිසර පද්ධතියක් තුළ සහජීවනයෙන් ජීවත් වනු දැකීමයි. ඊට තිරසාර විසඳුමක් ලබාදීම බලධාරීන්ගේ සහ පාලකයන්ගේ වගකීම බව අවධාරණය කර සිටිමු.
සමන් හල්ලොලුව










