ජීවිතේ සමහර මොහොතවල් තියෙනවා වචනවලින් කියන්න අමාරුයි. ඒත් ඒ මොහොතේ අපිව අපේ හදවත් ඇතුළෙන්ම කම්පනයට පත්කරනු ලබනවා. සංගීතය අපේ හිතේ ගැඹුරුම තැන් ගැන කතා කරනවා. ස්පර්ශ කරනවා. එවැනි එක් සංගීතවත් රාත්‍රියක ප්‍රේක්ෂකාගාරය සතුටින් පිරිලා තිබුණා. හැම කෙනකුම ගතකළේ සතුටෙන් ප්‍රීතියෙන්. හිනාව අත්පොළසන් හඬ පැතිරුණු ඒ මොහොත උණුසුම් වාතාවරණයක් නිර්මාණය කරලා තිබුණා. ඒ අතරට පැමිණියේ ජනප්‍රිය ගායන ශිල්පියකු වන මංජුල පුෂ්පකුමාරයි. ඔහු හඬ අවදි කළේ අපි කවුරුත් දන්න, හදවතට බරක් දැනෙන ගීතයකිනුයි. ඒ ගීතය චතුර වර්ණසේකර පද රචනා කළ, ‘මට වැඩියෙන් දවසක් අම්මා… ජීවත් වේවා මගේ අම්මා…’ යන ගීතයයි.Sri Lanka Latest News
ගීතය ආරම්භක මොහොතේම සංගීතය වෙනස් වුණා. ඒක විනෝදාස්වාදයක් නෙවෙයි. හැම කෙනකුගේම හදවතට සංවේදීව දැනුණේ ‘අම්මා’ කියන වදනයි. ඒත් ඒ ගීතය එක්තරා පුතෙකුට නිකන්ම නිකන් සරල ගීතයක් වුණේ නැහැ. එයාට ඒ ගීතය ජීවිතයක් ලෙසයි දැනුණේ. සංගීතයට සවන් දෙන්නන් අතරින් එක් තරුණයෙක් වේදිකාව ළඟට ඇවිත් මයික්‍රෆෝනයක් ඉල්ලමින් හඬා වැටෙනවා. ඔහුගේ ඇස්වල රැඳිලා තිබුණේ බය, වේදනාව සහ අහිමි වීමේ සෙවණැල්ලක්. ඔහු ‘මට මේ ගීතය කියන්න දෙන්න’ කියලා බැගෑපත් වුණා. ඔහුගේ මේ ඉල්ලීම ගායක මංජුල පුෂ්පකුමාරට ඇහුණා. ඔහු අර බැගෑපත් වෙන පුද්ගලයාට වේදිකාවට ආරාධනා කරනවා.
මේ සිදුවීම පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ වයිරල් වෙන්න පටන් ගත්තා. ඊට හේතුව වුණේ හැම කෙනෙකුගේම පිවිතුරු ආදරය, වෙනස් නොවන ආදරය වෙන්නේ තමන්ගේ අම්මාගේ ආදරය නිසයි. මේ සිදුවීම හැම කෙනෙකුගේම හදවතට දැනුණා. ඒ අවස්ථාවේ මංජුල පුෂ්පකුමාර ක්‍රියා කළේ ගායකයකු කලාකරුවකු ලෙස නොව, උතුම් හදවතක් තියෙන මනුෂ්‍යයකු ලෙසයි. ඔහුට අම්මාගේ නාමයෙන් හිසනමා ආචාර කළ යුතුයි.
මයික්‍රෆෝනය අතට ගත්තු මේ පුතා තමන්ගේ හදවතේ කකියෙන වේදනාව ලෝකයට ඇහෙන්න කෑගහලා කියන්න පටන්ගත්තා. ඒයාගේ අම්මා පිළිකාවක් සමග සටන් කරනවා. එයාව බේරගන්න බැහැ කියලා දන්නවා. ඒත් එයාට කරන්න පුළුවන් එකම දෙය අම්මා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි. ඒ ඇයි දන්නවද..? අම්මා කියන්නේ ජීවිතේ ආරම්භය. දරුවකුගේ ජීවිතයට ආලෝකය, සතුට මේ හැමදේම අම්මාගෙන් ලැබුණා. ඒ නිසා අම්මා නැති ජීවිතයක් කියන්නේ හිස් එකක් බව මේ තරුණයා දැනගත්තා.
ගීත ලෝකයේ සමහර ගීත තියෙනවා අපේ හදවත් ඇතුළේ නිහඬවම ශෝකයක් උපදවන. අම්මා ගැන ලියවුණු මේ ගීිතය අපි හැමෝම රසවිඳිනවා. එය වචනවලට පෙරළන්න බැරි හැඟීමක්. ‘ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගේ’ යන පදවලින්ම මේ බව ඔප්පු වෙනවා. අපේ ජීවිතය කියන්නේ අම්මා නමැති ආලෝකයෙන් පිරුණු සඳ කිරණක්. අම්මාගේ වේදනාව, අසීමිත කැපවීම සහ අසීමිත ආදරය මේ තුළ ගැබ්ව තිබෙනවා. ඒක නිර්ලෝභීව නිරායාසයෙන් එන පිරිසිදු ආදරයක්. අපේ ජීවිතවල පළමු මිතුරා, පළමු ආරක්ෂකයා අම්මා වනවා වගේම අපි සිනාසෙන වෙලාවට වඩා අපි හඬනකොට අපිට නැගිටින්න ශක්තිය දෙන්නේ අපේ අම්මායි.
‘මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා’ කියන එක සාමාන්‍ය ප්‍රාර්ථනාවක් වගේ පෙනුණාට ඒ තුළ තියෙන්නේ අතිශය පිරිසිදු හදවතක්. තමන්ට වඩා අම්මා ජීවත් වෙන්න කියලා මේ තරුණයා ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ ජීවිතයට වඩා අම්මාගේ ජීවිතය වටිනා බව පිළිගන්න එක ප්‍රේමය ඉක්මවා ගිය බැඳීමක්. අපි පුංචි කාලේ රෑ නිදිවරලා අම්මා අප්‍රමාණ දුක් වින්දේ අපිව උස් මහත් කරන්නයි. මේ ණය මට ගෙවන්න බෑ කියන එක සත්‍යයක්. මේ ලෝකේ අනිත් ණය ගෙවන්න පුළුවන්. නමුත් අම්මා කරන කැපකිරීම දුක්විඳීම් ආපසු ගෙවන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. සමහර වෙලාවට අපි කියපු වචනත් ඇයට වේදනාවක් ගෙන දෙන්න ඇති. ඒ නිසාම ගීතයේ අවසානයේ එන ‘අම්මේ සමාවෙන්න’ කියන වචන අපි හැමෝගෙම හදවතින් නැගෙන නිහඬ පසුතැවීමක් විදියට සලකන්න පුළුවන්. ජීවිතයේ සත්‍ය වටිනාකම අපට තේරෙනකොට බොහෝවිට ප්‍රමාදයි. අම්මා ඉන්න වෙලාවට අපි ඇගේ අගය දැනගන්නේ අඩුවෙන්. නමුත් ඇය නැති දවසක ඒ හිස්තැන කිසිවකින් පිරවිය නොහැකියි. ඒ නිසා මේ ගීතයෙන් කියන්නේ එක දෙයක්. ඒ තමයි, අම්මා ජීවත් වෙලා ඉන්නකොට ඇයව ආදරයෙක් අගය කරන්න, ඇයට කතා කරන්න, ඇයව සතුටින් තියන්න… මන්ද ලෝකයේ අපට හමුවන හැම ආදරයකටම වඩා අම්මාගේ ආදරය හරිම උතුම් නිසා. කවදාවත් ගෙවිය නොහැකි එකම ණය අම්මාගේ ආදරය බව මේ තරුණයා අවධාරණය කළේ තමන්ගේ හදවතේ නැගුණු වේදනාව සමගයි.
‘මට වැඩියෙන් දවසක්’ කියන වචනවල ගැබ්වෙලා තියෙන්නේ අම්මාව නැතිවෙයි, අහිමි වෙයි කියන බිය. ඒ ගැන හිතන කොට අපිට දැනෙන්නේ වේදනාවක්. මේ ගීතය අහනකොට බොහෝ දෙනකුට තමන්ගේ අම්මාව මතක් වෙනවා. අම්මා ඉන්නකොට ඇයට ආදරය කරන්න, මියගියාම පසුතැවෙන්න එපා.
ඒ හඬ අපව කම්පනයට පත්කරනු ලබනවා. ඒ හඬට හදවත කඩාවැටෙනවා. ඒක නවතින්නේ නැහැ. මොකද ඒක ගීතයක් විතරක් නෙවෙයි. මේ පුතාගේ හදවතේ කඳුළු. ප්‍රේක්ෂකාගාරය ඒ මොහොතේ නිශ්ශබ්ද වුණා. බොහෝ දෙනකුගේ ඇස්වලට කඳුළු ආවා. හැම කෙනකුම හදවතින් අම්මා කෙරෙහි බැඳුණා. මෙයින් අපට පෙනෙන්නේ ගීතය කියන්නේ විනෝදාස්වාදය විතරක් ලබාදෙන මාධ්‍යයක් නෙවෙයි කියන එකයි. එය අපේ ජීවිත හා දැඩිව බැඳී පවතින සංවේදී මාධ්‍යයක්.
මේ පුතාට මංජුල දුන්නේ මයික් එකක් විතරක් නෙවෙයි. එයා දුන්නේ පුතාට තමන්ගේ වේදනාව ලෝකයට කියන්න අවස්ථාවක්. ඒ වගේම අපි හැමෝටම මතක් කරලා දුන්නා අම්මා කියන්නේ අපේ ජීවිතේ තියෙන විශාලම ආදරය කියලා. අවසානයේ පුතාගේ ගායනය නිමාවුණා. ඒත් ඒ මොහොත ඒ හැඟීම ඒ කඳුළු අපිට අමතක වෙන්නේ නැහැ. අම්මා ජීවත් වෙලා ඉන්න කාලෙම ‘මම ඔයාට ආදරෙයි අම්මා’ කියන්න අමතක කරන්න එපා. ඒ අම්මාට ඉක්මන් සුව ලැබේවා… ඒ පුතාගේ හදවතට ශක්තිය ලැබේවා… මවුපියෝ කොයිතරම් කාලයක් ජීවත් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා අම්මාට තාත්තාට ආදරය, කරුණාව, කෘතවේදීත්වය දක්වන්න මොහොතක්වත් ප්‍රමාද වෙන්න එපා. එහෙම වුණොත් ඔබට ජීවිත කාලයම පසුතැවෙන්න සිදුවේවි…
ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගේ
අම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේ
දෙවියන්ටත් දෙවියන් වූ අපේ අම්මා වාගේ
කවුරුත් නෑ ආදරයක් දුන්නේ මට ලෝකේ…
ජීවිතයට වඩා වටිනවා අම්මා
මේ ලෝකෙට වඩා වටිනවා අම්මා
මට වැඩියෙන් දවසක් අම්මා
ජීවත් වේවා මගේ අම්මා…
ජීවිතේ මට වගේ වෙන කාටවත්ම නොකෙරූ
ආදරේ අම්මාගේ වරමක්ද මටම ලැබුණු
ලේටික කිරි වුණාම
ආදරේ වැඩි වුණාම
දෙතනින් පිටාරය ගලයි
මේ ණය මට ගෙවන්න
බෑ මේ ආත්මයට
හැමදාමත් මං ණයයි
අම්මාට තාමත් ණයයි
මට වැඩියෙන් දවසක් අම්මා
ජීවත් වේවා මගේ අම්මා…
මං නිසා ඔය නෙතින්
කඳුළක් වැටෙන්න ඇතිනේ
මං නිසා කරදරෙන් සිත රිදව ගන්න ඇතිනේ
අම්මේ සමාවෙන්න
නොසිතා දුන්නු දුකට
මට පවු සිද්ධ වෙන්නෙපා…
ලබනා ආත්මෙකදි
දෙව්ලොව සම්පත් පිරි
තැනකම යළි ඉපදේවා
මගේ අම්මා ඉපදේවා…

නිලන්ති රේණුකා










