රට තුළ මතු වී තිබූ ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉකුත් වසරේ මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නොපවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කරනල්වරයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම නොවැම්බර් 19 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. (Sri Lanka Latest News)
මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන අයගෙන් සමන්විත ත්‍රී පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කර තිබූ විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මේවන විට මියගොස් සිටින බවත් එබැවින් අදාළ පෙත්සමට වෙනත් පුද්ගලයෙකු ආදේශ කොට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ලේඛන අධිකරණ හමුවේ ගොනුකර තිබෙන බවත් පෙන්වා දුන්නා.
මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු ජනාධිපති නීතිඥවරයාට පෙන්වා දුන්නේ පෙත්සම්කරු මියගොස් ඇති බව තහවුරු කෙරෙන ඔහුගේ මරණ සහතිකය අධිකරණය හමුවේ ගොනුකර නොමැති බවයි.
මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයින් සහ සෙසු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ පෙත්සම්කාර කර්නල්වරයාගේ මරණ සහතිකය අධිකරණය හමු වී ගොනුකර නොමැති හෙයින් මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරනු ලබන ඉල්ලීමට තමන්ට විරුද්ධ වන බවයි.
අදාළ පෙත්ස්කරුගේ මරණ සහතිකය අධිකරණයේ හමුවේ ගොනුකර නොමැති නිසා එම කරුණ සැලකිල්ලට ගෙන අදාල නඩුව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා කරනු ලබන ඉල්ලීමට ඉඩ නොදෙන ලෙසත් එම නීතිඥවරු අදිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මුර්දු ප්‍රනාන්දු ද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ පෙත්සම්කරුගේ මරණ සහතිකය නොමැතිව පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වෙනත් පුද්ගලයකු ආදේශ කරන ලෙස කරනු ලබන ඉල්ලීම ගැටලු සහගත බවයි.
කෙසේ වෙතත් අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම යළි නොවැම්බර් මස 19 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.
hirunews










