උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවත් විවිධ කයිවාරු නායකයන්ගේ සීනි බෝල දේශපාලනයට යටත් වී ඡන්ද කාලෙට ඔවුන් ලබා දෙන සිහින ලෝකවල අතරමං වන බවත් මේ සීනි බෝල ලොසිංජර දේශපාලනයට රැවටුණු කාලය අවසන් විය යුතු බවත් මෙම ප්‍රදේශයේ ජනතාවගේ දේශපාලන හා සිවිල් අයිතිය පමණක් නොව ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය, ජීවත් වීමේ, හොඳ ආදායම් මාර්ගයක් ලබා ගැනීමේ අයිතිය ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. (Sri Lanka Latest News)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 9) යාපනය වෛදෙස්වර් විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 226 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
කතාව ක්‍රියාවට නංවන්න කාලය හරි
විවිධ නායකයන්ගේ කතා යාපනයේ ජනතාව ඇති තරම් අසා ඇති බවත් ඒ කතා අසා යාපනයේ, කිළිනොච්චියේ, වන්නියේ, මන්නාරම, මුලතිව්වල ජනතාවට එපා වී ඇති බවත් මේ කතා ක්‍රියාවට නංවන්න කියා ජනතාව කියා සිටින බවත් එම ක්‍රියාව ලෙස සමගි ජන බලවේග රජයක් තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
උතුරු නැගෙනහිර දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා
යාපනය සහ කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයක්ම දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනා බවත් පාසල් මට්ටමින් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය, ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාව වැඩි දියුණු කරන බවත් ඊට අමතරව අධ්‍යාපන අයිතිය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කරනා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මත්රකුසාගෙන් දරු පරපුර බේරා ගනිමු
මේ දුවා දරුවන් මත් රකුසාගේ බිල්ලට ගැනීමේ මහා ව්‍යායාමක විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නිරත වී ඇති බවත් මේ මත්ද්‍රව්‍ය ජන සමාජයෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බවත් මේ මත්ද්‍රව්‍ය තුළින් විනාශයට ලක් වන දරුදැරියන් ආරක්ෂා කිරීම සඳහා ජන සමාජයෙන් මත්ද්‍රව්‍ය අතුගා දමන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක සමගි ජන බලවේගය සිටිනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බලයක් නොමැතිව යාපනයට වැඩක් කළෙත් අපියි
පසුගිය කාලයේ සිටි පාලකයෝ යාපනයට වැඩක් කළේ රාජ්‍ය බලයක් සහිතව රජයේ ප්‍රතිපාදනවලින් වුවත් බලයක් නොමැතිව යාපනයට අගයක් එකතු කළේ සමගි ජන බලවේගය බවත් සමගි ජන බලවේගය විපක්ෂයක් ලෙස සමස්ත රටම ආවරණය වන ආකාරයේ වැඩකොටසක් ඉටු කර ඇති බවත් මෙය ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පාලකයන් සුහුරු රටක් හදනවා කිව්වට ඒක කරන ආකාරයවත් දන්නේ නැහැ
සුහුරු රටක් ගොඩනගනවා කියා පාලකයන් කිව්වත් එය කරනා ආකාරය පැහැදිලි කිරීමක් රජය සිදු නොකළත් ඊට අදාළ සැලසුම් සමගි ජන බලවේගය සතුව පවතින බවත් සෙසු දේශපාලනඥයන් සිංහල ඡන්ද මල්ල සහ දමිළ ඡන්ද මල්ලි ගැන සිතා කටයුතු කළත් තමා රටේ පාසල් 10099ක 41 ලක්ෂයක් දූදරුවන් ගැන සිතා කටයුතු කරනා බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සක්වල වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 226ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2526ක් වැය කර තිබේ.

































