ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත්, අභිනව ජනාධිපතිවරයා නොවැම්බර් 17ට කලින් දිවුරුම් යුතු බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අදහස් දැක්වූ මහාචාර්ය පීරිස් මහතා මෙසේද කීය.
මෙම වසරේ නියමිත දින වකවානු තුළ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බවත්, ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක් ලබා ගැනීමට නොහැකි බවට විශ්වාස කරන බවත්, ජනාධිපති ධූරයේ අහෝසි කර මෙම ආණ්ඩුව තව වසරකට ඉදිරියට ගෙන යනවාද යන ප්‍රශ්නය මහජනතාවගෙන් සෘජුව අසන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ජනතාව බලා සිටින්නේ ලැබුණු පළමු වරම මෙම විනාශකාරී ආණ්ඩුව පලවා හැරීමට බව කී පීරිස් මහතා ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමේ නීතිමය බලය හිමිවන්නේ මැතිවරණ කොම්ෂන් සභාවට මිස ජනාධිපති ලේකම් කාර්යාලයට නොවන බවත් කියා සිටියේය.
මෙම වසරේ ජූලි මස අවසානයේ හෝ අගෝස්තු මස මුලදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් බැඳී සිටින බවත්, මෙම වසරේදී ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපැවැත්වුවහොත් නොවැම්බර් 18 වෙනිදාගෙන් පසු පවතින රජය නීතිය අනුකූල නොවන බවත් එය නීති විරෝධී ආණ්ඩුවක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය දක්වන බවද පීරිස් මහතා සදහන් කළේය.










