රටේ ජනතාව අසීරුවෙන් ජිවත්වන මොහොතක ඒ පිළිබඳව නොසිතා තමන්ගේ ආදායම් මාර්ග ගැන පමණක් සිතන පිරිසක් ආණ්ඩුවේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.Sri Lanka Latest News
අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මැතිතුමාය
ආණ්ඩුවේ මැති ඇමැතිවරු දුෂිත ගනුදෙනුවල නිරත වෙමින් වැඩ කරන ජනතාවගේ මුදල් මංකොල්ල කන බවත් එම දූෂිත ගනුදෙනු නතර කරන්න ජනාධිපතිවරයා කටයුතු නොකරන බවත් මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය.
2048 වන තෙක් රටේ ජනතාවට ඉවසන්න යැයි කියන ජනාධිපති ඔහුගේ ගජමිතුරන්ට රටේ සම්පත් සොරකම් කරන්න ඉඩ ලබාදී තිබෙන බවත් රටේ සිදුවන වංචා දූෂණ නවත්වන්න කටයුතු නොකළහොත් රට තවත් ආර්ථික වශයෙන් කඩාවැටෙනු ඇති බව රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා මෙසේ ද කීය,
‘‘ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබාදෙන්න ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. ඒ අතර ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. ඒ වගේම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය විසඳන්න මේ මොහොතේ නොහැකි බව මුදල් අමාත්‍යාංශයද පවසා තිබෙනවා. රටේ ආර්ථික අර්බුදයක් තිබෙන නිසා ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය විසඳන්න නොහැකි බව රජය පවසනවා. නමුත් රටේ ආර්ථික අර්බුදය තුළ රටේ සිදුවන වංචා දූෂණ නවත්වන්න ආණ්ඩුව සහ ජනාධිපතිවරයා කටයුතු කරන්නෙත් නෑ.
පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගතයුතු ළමයි 50,000 ක් පමණ තවම පාසල්වලට ඇතුළත් කර ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම රටේ සිටින පාසල් දරුවන්ගෙන් සියයට 50 ක් තවම අදින්නේ පසුගිය අවුරුද්දේ ඇදපු නිල ඇඳුම. ඒ වගේම පාසල් දරුවන්ගෙන් සියයට 40 කට පමණ පාසල් යාමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ආර්ථික ගැටලු හේතුවෙන් ඒ දරුවන්ට පාසල් යාමට අවශ්‍ය භෞතික සම්පත් ලබාදීමට දෙමාපියන්ට නොහැකි වෙලා තිබෙනවා.
ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයට විසදන්න ආණ්ඩුව කටයුතු කරන්නෙත් නෑ. ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් නොයන දරුවන් පාසල් යෑවීමට රජය වැඩපිළිවෙළක් සකස් කරන්නෙත් නෑ. ඒ අතර රටේ සිදුවන මහා පරිමාණ වංචා දූෂණ නවත්වාගන්න ජනාධිපතිවරයා කටයුතු කරන්නෙත් නෑ. මේ කිසිවකට නිසි විසදුමක් ලබානොදී ගුරු හා විදුහල්පති සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන්න ජනාධිපතිවරයා ගැසට් නිවේදන නිකුත් කරන්න උත්සහ කරනවා. ගෝඨාභය රාජපක්ෂ කළා වගේ සියලු දේ සඳහා ගැසට් නිවේදන නිකුත් කරන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයත් කටයුතු කරනවා. නමුත් මැති ඇමැතිවරු ටෙන්ඩර් නොදා සිදුකරන ගනුදෙනු නවත්වන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැසට් ගහන්නේ නෑ.
අදානි සමාගම සමඟ මන්නාරම සුළං විදුලිබලාගාර ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කරන්න ආණ්ඩුව සුදානම් වෙනවා. අදානි සමාගමට මන්නාරම සුළං විදුලි බලාගාරයක් ඉදි කිරිම සඳහා වන ව්‍යාපෘතිය පිලිබඳ සොයන්න තාක්ෂණික කමිටුටක් අමාත්‍ය මණ්ඩලය පත් කළා. ඒ කමිටුව නිර්දේශ කරලා තිබෙනවා අදානි සමාගමෙන් සුළං විදුලි ඒකකයක් ඩොලර් ශත 5.2 කට ලබාගන්න පුලුවන්කියලා. නමුත් විදුලිබල ඇමැතිවරයා අදානි සමාගමෙන් සුළං විදුලි ඒකකයක් ඩොලර් ශත 8.2 කට කැබ්නට් මණ්ඩලයෙන් අනුමැතිය අරගෙන තිබෙනවා. ඒ වගේම මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාරය සඳහා ටෙන්ඩර් විවෘත කළාම ඒ ටෙන්ඩරය ලබාගන්න කැමැත්තෙන් සිටින සමාගම් පවසනවා සුළං විදුලි ඒකකයක් ඩොලර් ශත 4 කට ලබාදෙන්න පුලුවන් කියලා. නමුත් අදානි සමාගම මන්නාරමේ ඉදිකරන්න යන සුළං විදුලිබලාගාර ව්‍යාපෘතියෙන් සුළං විදුලි ඒකකයක් ඩොලර් ශත 8.2 කට ගන්න පුලුවන් කියලා. ඒ වගේම විදේශිකයන්ගෙන් වී එෆ් එස් ආයතනය ඩොලර් 25 බැගින් අය කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතියත් ලබාදෙනවා. මේ හරහා රටේ මුදල් අවභාවිතයට ලක්වෙලා තිබෙනවා. විසා නිකුත් කිරිම හරහා ශ්‍රී ලංකාවට පැමිණිය යුතු ආදායම විදේශීය සමාගමක් ලබාගන්නවා. මෙවැනි දූෂිත ගිවිසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කිසිදු සංවේදීභාවයක් නෑ. ඒ වගේම මේ මුදල් විනිවිදභාවයෙන් යුතුව ලැබුණානම් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය විසදන්න පුලුවන්.
ඒ වගේම බදු ගෙවීම පැහැර හැරීම නිසා බිලියන 1860 ක් , වැට් බද්ද පැහැර හැරීම නිසා බිලියන 678 ක් , 2023 බදු සහන ලබාදීම නිසා බිලියන 972 ක් රටට අහිමි වෙලා තිබෙනවා. ඒ අනුව රටට ලැබිය යුතු මුලු මුදලා රුපියල් බිලියන 2716 ක් ලැබිය යුතුයි. මේ බදු ප්‍රමාණය අය කර ගන්න රජයට කිසිදු වැඩපිළිවෙළක් නෑ. සිනි බදු වංචාව රුපියල් බිලියන 15,000 කට වඩා වැඩියි මේ මුදල් අය කර ගැනීමට රජයට කිසිදු වැඩපිළිවෙලන් නෑ. නමුත් ආණ්ඩුව රටේ වැඩකරන ජනතාව ගෙවන සියලු බදු වගේම විදුලිබිල , ජල බිල , ගෑස් මිල වැඩි කරලා සමාන්‍ය ජනතාව පීඩාවට පත් කරලා රාජ්‍ය ආදායම වැඩි කරන්න රජය කටයුතු කරනවා. නමුත් මැති ඇමැතිවරු දුෂිත ගනුදෙනු කරමින් වැඩ කරන ජනතාවගේ මුදල් මංකොල්ල කනවා. මේ වංචා දූෂණ නතර කරන්න ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක් නෑ. රටේ ජනතාව අසීරුවෙන් ජිවත්වන මොහොතකදී ඒ තුළ විවිධ දූෂිත ගනුදෙනු සිදුකරන ජනතාව ගැන හිතන්නේ නැති තමන්ගේ ආදායම ගැන පමණක් හිතන ආණ්ඩුවක් තමයි වර්තමානයේ තිබෙන්නේ. ඒ වගේම අන්ත දූෂිත කැබිනට් මණ්ඩලයක් තමයි රට පාලනය කරන්නේ.‘‘
දූෂණ නවත්වන්න කටයුතු කළේ නැතිනම් රට තවත් ආර්ථික අගාධයට වැටෙනවා
‘‘පිටකොටුවේ මැනිං වෙළඳ සංකීර්ණය තිබුණ භුමියේ ප්‍රමාණය අක්කර 5 ක් වගේ වෙනවා. ඒ භුමිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතෙකුට කිසිදු ආකාරයේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව ලබාදීලා තිබෙනවා. මාසයකට ලක්ෂ 25 ක කුලියකට තමයි ඒ භුමිය ජනාධිපතිවරයාගේ හිතවතෙකුට ලබාදීලා තිබෙන්නේ. ඒ වගේම වරාය ඉදිරියේ රේගු දෙපාර්තමේන්තුව ආසන්නයේ තිබෙන ඉඩම ටෙන්ඩර් කැඳවලා ලබාදිලා තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය ඒ ඉඩම දිලා තිබෙන්නේ මාසයකට ලක්ෂ 100 ක කුලියකට. ඒ වගේම මැනිං වෙළඳ සංකීර්ණය තිබුණ භුමිය කුලියට දිලා තිබෙන්නේ මාස 6 ක කාලයකට. 2023 පෙබරවාරි මාසයේ තමයි මේ ඉඩම කුලියට දිලා තිබෙන්නේ. නමුත් තවම ඒ භුමිය භාවිතා කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතෙක්. මේ ආකාරයේ වංචා නොකර විනිවිදභාවයකින් ගනුදෙනු සිදුකරනවානම් රටේ ජනතාවට තව සහන ලබාදෙන්න පුලුවන්. ගුරුවරුන්ගේ වැටුපු විෂමතාවය විසඳුන්න පුලුවන් , ජනතාවට ප්රතිලාභ ලබාදෙන්න පුලුවන් , ඉන්ධන මිල අඩු කරන්න පුලුවන්. නමුත් මේ කිසිදු වංචනික ගනුදෙනු නවත්වන්න ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නෑ. ඒ වගේම මැනිං වෙළඳ සංකීර්ණය තිබුණ භුමියේ බ්‍රිතාන්‍ය කාලයේ භාවිතා කළ ලක්ෂයකට වැඩි කලු ගල් තොගයක් තිබෙනවා. ඒ කලුගලක් රුපියල් 185 ක විකුණන්න පුළුවන් වන ආකාරයට ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා. ඒ කලුගලක් වෙළඳපොල වටිනාකම රුපියල් 800 යි. මේ හරහා නාගරික සංවර්ධන අධිකාරියට සහ රජයට මිලියන 50 කට වැඩිය පාඩු වෙනවා. මේ වැනි වංචනික ගනුදෙනු සිදුවන විට රට වැටී තිබෙන අගාධයෙන් කොහොමද ගොඩගන්නේ. 2048 වන තුරු රටේ ජනතාවට ඉවසන්න කියලා ජනාධිපතිගේ ගජමිතුරන්ට සොරකම් කරන්න ඉඩ ලබා දෙනවා. ජනාධිපතිගේ ගජමිතුරන්ට රටේ තිබෙන සම්පත් සොරකම් කරන්න ඉඩ ලබාදීලා තිබෙනවා. මේ වංචා දූෂණ නවත්වන්න කටයුතු කළේ නැතිනම් රට තවත් ආර්ථික අගාධයට වැටෙනවා.‘‘
සමගි ජනබලවේගයේ කිසිම කෙනෙක් ජනාධිපති සමඟ එකතු වෙන්නේ නෑ
‘‘කාංචන විජේසේකර , මහින්දානන්ද අලුත් ගමගේ , ප්‍රසන්න රණතුංග සමඟ ජනාධිපතිවරණය දිනන් නොහැකි බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දන්නවා. ඒ නිසා ජනාධිපතිගේ මාධ්‍ය ඒකකය නිතරම ප්‍රචාර යවනවා සමගි ජනබලවේගයෙන් කොටසක් ආණ්ඩුවට එකතු වෙනවා කියලා. පොහොට්ටුවේ කණ්ඩායම සමඟ කටයුතු කරලා රටේ ජනතාවගේ ජන මතය දිනා ගන්න නොහැකි බව ජනාධිපතිවරයා දන්නවා. ජනාධිපතිවරයා සහභාගි වන රැස්වීම කෘතිම රැස්වීම්. ජනතාපතිවරයා සහ ජනාධිපතිවරයා සහභාගි වන රැස්වීම් වලට පැමිණෙන ජනතාව අතර කිසිදු සම්බන්ධතාවයක් නෑ. ජනාධිපති කතා කරනවා ජනතාව අහගෙන ඉන්නවා. කිසිම උද්යෝගයකින් ජනතාව ඒ රැස්වීම්වල ඉන්නවා දකින්න ලැබෙන්නේ නෑ. ජනාධිපතිවරයා සමඟ සිටින කණ්ඩායමට මැතිවරණයක් දිනන්න හැකියාවක් නැති නිසා තමයි සමගි ජනබලවේගය කඩන්න උත්සහ කරන්නේ. රට විනාශ කළ , රට ආර්ථික වශයෙන් බංකොලොත් කළ පිරිස සමඟ එකතු වෙන්න සමගි ජනබලවේගයේ කිසිම කෙනෙක් ජනාධිපති සමඟ එකතු වෙන්නේ නෑ.‘‘
පොදුජන පෙරමුණ හොදින්ම දන්නවා ජනාධිපතිවරණය පරාජය වෙනවා කියලා
‘‘පොදුජන පෙරමුණ උත්සහ කරන්නේ පොදුජන පෙරමුණේ නායකයා ලෙස නාමල් රාජපක්ෂව ඉදිරියට ගේන්න. ඒ දෙය කරන්න නම් පොදුජන පෙරමුණට ඉදිරි ජනාධිපතිවරණයේදී තනි අපෙක්ෂකයෙන් දාන්න සිදුවෙනවා. එහෙම වුණොත් තමයි පොදුජන පෙරමුණේ ඡන්ද පදනම ආරක්ෂා කර ගන්න පුලුවන් වෙන්නේ. පොදුජන පෙරමුණේ ඡන්ද පදනම රනිල් වික්‍රමසිංහ ගෙනල්ලා වැඩි කර ගන්න බෑ. ඒ බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් දන්නවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහට කරන්න බැරි යෝජනාවක් පොදුජන පෙරමුණ ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ තමයි සමගි ජනබලවේගයෙන් මන්ත්‍රීවරු 25 ක් ආණ්ඩුවට ගන්න වැඩපිළිවෙළ. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක් කරන්න ජනාධිපතිවරයාට ශක්තියක් නෑ. වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ කටයුතු කළොත් පොදුජන පෙරමුණේ අවසානය කියලා පොදුජන පෙරමුණ දන්නවා. පොදුජන පෙරමුණ හොදින්ම දන්නවා ජනාධිපතිවරණය පරාජය වෙනවා කියලා. ඔවුන් ජනාධිපතිවරණය දිනන්න කටයුතු කරන්නේ නෑ. පාර්ලිමේන්තු මැතිවරණයකදී මන්ත්‍රී ආසන 40 ක් 50 ක් ගන්න තමයි පොදුජන පෙරමුණ උත්සහ කරන්නේ. රැස්වීම් වල බොරුවට ඇවිත් කෑ ගහනවා. නැත්නම් ඉන්න පිරිසත් පොදුජන පෙරමුණට අහිමි වෙන බව ඔවුන් දන්නවා.‘‘
දේශපාලනිකව බංකොලොත් වුණ කණ්ඩායම තමයි අද රනිල් වික්‍රමසිංහ සමඟ ඉන්නේ
‘‘මේ වනවිට පිල්ලෙයාන් ජනාධිපතිවරයා සමඟ එකතුවෙලා කටයුතු කරනවා. නමුත් සියලු දෙනා දන්නවා පිල්ලෙයාන්ගේ ලේකම්වරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පිල්ලෙයාන්ට විශාල චෝදනාවක් එල්ල කළ බව. ඒ පිල්ලෙයාන්ගේ ලේකම්වරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ඇතුළු එම වාර්තා වැඩසටහන ගැන හොයන්න ජනාධිපතිවරයා කමිටුවක් පත් කළා. දැන් මාස 9 ක කාලයක් ගතවී ගොස් තිබෙනවා. නමුත් තවම ඒ කමිටු වාර්තාව එළි දැක්වීමට කටයුතු කරලා නෑ. ඒ වගේම දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා චෝදනා ලැබූ කරුණාඅම්මාන් සිටින්නෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ. දේශපාලනිකව බංකොලොත් වුණ කණ්ඩායම තමයි අද රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වෙලා සිටින්නේ. ඒ කණ්ඩායම සමඟ එකතු වෙන්න සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කිසිවිටෙකත් කටයුතු කරන්නේ නෑ. ‘‘
ලංකාවේ ඉගෙන ගෙන ලංකාව ගොඩගන්න වෑයම් කරන විද්‍යාඥයින් පිරිස ඉන්නේ සජබය සමඟ
‘‘ජාතික ජනබලවේගය සංවිධානය කරලා තිබුණ සමුළුවකට ශ්‍රී ලාංකික විද්‍යාඥයින් පිරිසක් ලංකාවට ඇවිත් තිබුණා. නමුත් ලෝකයේ ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සමගි ජනබලවේගය සමඟ නැති වුණාට ශ්‍රී ලංකාව තුළ සිටින විද්‍යාඥයින් පිරිස සිටින්නේ සමගි ජනබලවේගය සමඟයි. රටේ වැඩකරන ජනතාවගේ බදු මුදල් වලින් අධ්‍යාපනය ලබලා ශ්‍රි ලංකාවේ සිටිමින් රටට සේවය කරන විද්‍යාඥයින් සිටින්නේ පිරිස සිටින්නේ සමගි ජනබලවේගය සමඟයි. ජාතික ජනබලවේගය සංවිධානය කරපු සමුළුවට එන විද්‍යාඥයින් දේශනය ඉවර කරලා නැවත විදෙස් ගත වෙනවා. ඒ වගේ විද්‍යාඥයින් පිරිසක් ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන්නත් කටයුතු කළා. අවසානයේ ඒ ආපු විද්‍යාඥයින් පිරිස ඔවුන් පදිංචි රටවලට ගියා. ශ්‍රි ලංකාවේ ජනතාව ඉන්ධන පොලිමේ හිටියා, ගෑස් පොලිමේ හිටියා. ලංකාවේම ඉගෙන ගෙන ලංකාවේ පදිංචි වෙලා ලංකාව ගොඩගන්න වෑයම් කරන විද්‍යාඥයින් පිරිසක් සමගි ජනබලවේගය සමඟ එකතු වෙලා සිටිනවා. ඒ ගැන සමගි ජනබලවේගයට ආඩම්බරයි. ඔවුන් තමයි ඇත්ත දේශප්‍රේමීන්, ලංකාවේම ඉගෙන ගෙන ලංකාවේ සේවය කරන විද්‍යාඥයින් කවදාවත් රට දාලා යන්නේ නෑ. ඔවුන් රට ගොඩගන්න සමගි ජනබලවේගය සමඟ එකතු වෙලා සිටිනවා.‘‘
පාර්ලිමේන්තුවේ අලුත් මන්ත්‍රීවරු සජබය සමඟ එකතුවෙන්න බලාගෙන ඉන්නේ
‘‘ ඒ වගේම නවක මන්ත්‍රීවරු රැසක් බලාපොරොත්තුවෙන් සිටිනවා ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබෙන දක්ෂ නායකත්වයක් තිබෙන , දක්ෂ පිරිසක් සිටින කණ්ඩායමක් සමඟ එකතුවෙන්න. ඒ සියලු දෙනාම දන්නවා රටේ තිබෙන හොඳම දක්ෂතම දේශපාලන කණ්ඩායම තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ කියලා. සමගි ජනබලවේගය සමඟ එකතු වෙලා වැඩ කරන්න පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරු බලාපොරොත්තුවෙන් සිටිනවා. ඉදිරියේදී ඔවුන් සමගි ජනබලවේගය සමඟ එකතු වෙයි.‘‘