හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය හමුවේ පෙනී සිටීම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
එහි සඳහන්ව ඇත්තේ එම කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය සම්බන්ධව විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ආරම්භ කර ඇති විමර්ශනය හේතුවෙන් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවය.
ඒ අනුව විමල් වීරවංශ මහතාගෙන් එම කොට්ඨාසය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පහත සඳහන් ආකාරයට පිළිතුරු ලබා දුන් බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.
01. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය තමා විසින් කිසි දිනක දැක නොමැති බවත් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස කිසිදු අවස්ථාවක හඳුනා ගෙන නොමැති බවය.
02. මත්ද්‍රව්‍ය ගෙන එන්නේ රාජ්‍ය අනුග්‍රහය මත හා මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන්නේ රාජ්‍ය අනුග්‍රහය මත බව තමා පැවසුවේ පවතින පොදු තත්වය මත මිස මෙම සිදුවීම සම්බන්ධව නොවන බවත්ය.
03. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු බව පැවසුවේ එම දිනවල මාධ්‍ය මගින් අනාවරණය කල තොරතුරු මත බවය.
04. පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ ගරු ජනාධිපති තුමා එම ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා පුවක්දණ්ඩාවේ සනා යන අයගේ නිවසට පැමිණ ආහාර ගත් බව නොව එම ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ආහාර ගත් බව තමා විසින් දැන ගත් බවය.
05. වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන අය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් එවැනි ප්‍රමාද කිරීමක් සිදු කල හැකි බවට තමා තුල පැවති විශ්වාසය හේතුවෙන් බවත්ය.
ඒ අනුව 2025.10.02 වන දින මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදු කරන ලද ප්‍රකාශ වලට අදාලව කරුණු තහවුරු කිරීමේ කිසිදු සාක්ෂියක් ඔහු විසින් ඊයේ (09) දින ප්‍රකාශ ලබා දෙන අවස්ථාවේදී ඉදිරිපත් කර නොමැත.
එබැවින් දැන දැනම අසත්‍ය බව දන්නා වූ හෝ අසත්‍ය බව විශ්වාස කරන්නාවූ යම් තොරතුරක් හෝ යම් කරුණක් ප්‍රකාශ කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
තවදුරටත් මේ සම්බන්ධව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
විමල් සිය ෆේස්බුක් පිටුවෙන් දුන් පිළිතුර
මා විසින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාල වෙත ලබාදුන් ප්‍රකාශය විකෘති කොට මාධ්‍යවලට ලබාදීම සම්බන්ධවයි :
පසුගියදා අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් පුවක්දණ්ඩාවේ සනා යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.
මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද දින මාධ්‍යයට නිකුත් කොට ඇත.
පැය තුනකට ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහා කරන්නේ පුවක්දණ්ඩාවේ සනා සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.
සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීන භාවයද ප්‍රශ්නයට ලක්කර ගනියි.
පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැලපෙන කටයුත්තක් බවත් කිව යුතුය.
විමල් වීරවංශ
නායක – ජාතික නිදහස් පෙරමුණ
2025.10.10










