රුපියල් කෝටි 25කට අධික වටිනාකමක් සහිත අධි ධාරිතා යතුරුපැදි 21ක් නීතිවිරෝධිව මෙරටට ගෙන්වා හම්බන්තොට කුරුලු උයනේ සඟවා තැබීමේ චෝදනාවට අත්අඩංගුවට පත් එහි හිමිකරු මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා ඊයේ (17) නියෝග කළේය.Sri Lanka Latest News
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ හම්බන්තොට නාගර්වැව ප්‍රදේශයේ පිහිටි කුරුලු උයනේ හිමිකරු වන 52 හැවිරිදි අජිත් ගාල්ලගේ නමැත්තාය.
කුරුලු කෑම ගෙන්වන මුවාවෙන් අධි ධාරිතා යතුරුපැදි ගෙන්වා හම්බන්තොට කුරුලු උයනේ ගබඩාවක සඟවා ඇති බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද පෞද්ගලික තොරතුරකට අනුව පොලිස් මධ්‍යම විමර්ශන කාර්යාංශයේ නිලධාරීහු වැටලීම කළහ.
එහිදී කුරුලු උයනේ ගබඩාවක් තුළ සඟවා තිබු රුපියල් කෝටි 25ක් පමණ වටිනා අෙමරිකාවේ නිෂ්පාදිත අශ්ව බල 1000 ප්‍රමාණයේ යතුරු පැදි 08ක් හා එම ධාරිතාවේම ට්‍රයිසිකල් 04ක්ද, චීනයේ නිෂ්පාදිත ට්‍රයිසිකලයක් ද ඇතුළුව යතුරු පැදි 21ක් සමඟ කුරුලු උයනේ කළමනාකරු හා ගබඩා පාලකවරයා අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මේ මස 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණි.
එහිදී මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අජිත් ගාල්ලගේ නමැත්තා පිළිබඳව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරුණු අතර ඒ පිළිබඳව සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කුරුලු උයනේ හිමිකරු වන අජිත් ගාල්ලගේ යන අයද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළ අතර ඔහුගේ විදෙස් ගමන් ද අධිකරණය විසින් තහනම් කෙරුණි.
මෙම සිදුවීමත් සමඟ කුරුලු උයනේ හිමිකරු වන සැකකාර අජිත් ගාල්ලගේ නමැත්තා පදිංචි ස්ථානයද වෙනස් කරමින් විමර්ශන නිලධාරීන් මගහැර සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කළ අතර එහිදී සැකකාර අජිත් ගාල්ලගේ නමැත්තා නාරාහේන්පිට ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ (17) පෙරවරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.










